Print this Article


මෙත් සිතිවිලි බෝ කළ හැකියි

මෙත් සිතිවිලි බෝ කළ හැකියි

අපට නිතර දෙවේලේ ඇසෙන, මෛත්‍රි භාවනාව වැඩිය හැකියැ’ යි පැවැසෙන ක්‍රමයක් ඇත. ඒ අනුව වචන මාලාවක් සජ්ඣායනා කිරීම සිදුවෙයි. “මම නිදුක් වෙම්වා, නිරෝගි වෙම්වා, සුවපත් වෙම්වා, නිවන් දකිම්වා. මා මෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගි වෙත්වා, සුවපත් වෙත්වා, නිවන් දකිත්වා” මේ ලෙස සජ්ඣායනා කිරීමෙන් කුසලයක් අත්වන බව සැබෑවකි. එහෙත් මෛත්‍රි භාවනාවෙහි නියම අනුසස් ලැබගන්නට නම් එය වඩන නිසි ක්‍රමයක් ඇත. බුද්ධ දේශනාවේත් අටුවා ටීකාවලත් ඒ ක්‍රමය පෙන්වා දී ඇත. ඒ ඇසුරෙන් මෙත් වැඩීම ප්‍රගුණ කරන අයුරු කෙසේදැ’ යි දැන ගනිමු.

එහිදී මුලින්ම භාවනා අරමුණ ගැන දැනුමක් ලබාගැනීම අවශ්‍යය. අප භාවනා ආරම්භයේ දී සියලු සත්වයන් අරමුණු කරන්නේ කෙසේ දැ’යි යන්න ගැටලු සහගතය. සියලු සත්වයන් යැයි ගත් විට එය පුළුල් පරාසයක විෂයකි. භාවනාවට අරමුණක් අවශ්‍යයි. කසිණ භාවනාවේ දී කසිණ මණ්ඩලය අරමුණු කරයි. ආනාපාන සති භාවනාවේ දී නාසය අග සුළං පහරක් වදින බව අරමුණු කරයි. මේ ආකාරයට භාවනාවට අරමුණක් අවශ්‍ය වන බව පැහැදිලි ය. මෛත්‍රි භාවනා ආරම්භයේ දී සියලු සත්වයන් අරමුණු කරන්නේ කෙසේ දැ’යි යන්න ගැටලු සහගත වන්නේ සියලු සත්වයන් යන්න පුළුල් විෂයක් වන නිසාය. ඒ නිසා එය අසාර්ථක ක්‍රියාවකි. මෛත්‍රි භාවනා ගුණයක් නොවැඩේ.

මෛත්‍රි භාවනාවට ගන්නා අරමුණ සැලකීමේ දී මුලින්ම නැඹුරු විය යුත්තේ තමන් දෙසට යි. මෛත්‍රිය පතුරුවන්නට නම් මුලින් මෛත්‍රිය හදාගෙන තිබිය යුතු යි. තමන් වෙත මෛත්‍රිය පැතිරවීම ආත්මාර්ථකාමී හැඟීමක් නොවේ, තමන් සුවපත් වී, ඒ සුවපත් වීම අන් අයටත් බෙදා දීමේ පිළිවෙළකි මෙය. මෙහිදී භාවනා වැඩීමටම කැපවී කටයුතු කරනවා නම් අවම වශයෙන් සතියක්වත් තමාට මෛත්‍රි වඩන්නට අවශ්‍යයි. භාවනා මධ්‍යස්ථානයකට පැමිණ භාවනා වැඩීමට නොහැකි නම් තම නිවසේ දීම ටික ටික හෝ භාවනාව ප්‍රගුණ කර ගත යුතුයි.

ප්‍රතිසම්භිදා මාර්ගයෙහි ‘අහං අවේරෝ හෝමි, අබ්‍යාපජ්ජෝ හෝමි, අනීඝෝ හෝමි, සුඛී අත්තානං පරිහරාමි.’ යනුවෙන් වාක්‍ය සතරක් දැක්වේ. මේ වාක්‍ය සතරෙන් එකක් ගනිමු. ‘අහං අවේරෝ හෝමි, මම වෛර නැත්තෙක් වෙම්වා’ ආදී වශයෙන් සිතෙන් කීමට ලෙහෙසි ආකාරයට ගත හැකියි. ‘මම වෛර නැති වෙම්වා’ යන්න මනැසෙන් කියවිය යුතුයි.

මුලින්ම තමන් භාවනා සඳහා වාඩි වී තුනුරුවන් ගුණ සිහිපත් කිරීම් ආදියට විනාඩි 5ක් පමණ ගත කළ හැකියි. ඉන් පසු දෙඇස් පියාගෙන තමා ගැන සිතයි. සිතෙන් තමන්ගේ රූපය දෙස බලා සිටිනවා මෙන් තමන් ගේ සිතේ අවධානය හිඳ සිටින ඉරියව්වට යොමු කරයි. එවිට, වාඩි වී සිටින ඉරියව්ව ගැන තමන්ට හැඟීමක් ඇතිවනු ඇත. ඉන්පසු ‘මම වෛර නැතිවෙම්වා, වෛර නැති වෙම්වා’ ආදි වශයෙන් තමන් ගැන බලමින් භාවනා වැඩිය යුතුයි. භාවනා කාර්යයටම ඇලී කටයුතු කරනවා නම් සතියක්වත් මෙලෙස ප්‍රගුණ කිරීම අවශ්‍යයි. ටික ටික භාවනා කරනවා නම් සති දෙක තුනක්වත් තමාට මෙත් වැඩීම කළ යුතුයි. එවිට භාවනාව ප්‍රගුණ වෙයි.

දැන් මේ භාවනාව ප්‍රගුණ වී දැ’ යි දැන ගන්නේ කෙසේදැ’ යි බලමු. තමන්ටම එය තේරුම් කරගත හැකියි’ ‘වෛර නැති වෙම්වා’ යන සිතුවිලි මාලාව, එනම් චිත්ත පරම්පරාව ප්‍රගුණතාවට පත් වී ඇති හෙයින්, වෙනත් කෙනකු දෙස බැලුවත් ‘වෛර නැතිවේවා’ යනුවෙන් සිත ක්‍රියා කරන්නට පටන් ගනී. එම මට්ටමට පැමිණ ඇත්නම් තමාට මෙත් වැඩීම ප්‍රගුණ වී ඇති බව සලකාගත හැකියි. ඉන්පසුව අනුන්ට මෙත් වැඩීම ආරම්භ කළ හැකියි.

දැන් ඊළඟට ගන්නේ වෙනත් පුද්ගල අරමුණකි. අරමුණක් ගැනීමේදී, භාවනා වඩන තැනැත්තියක නම් භාවනා අරමුණ වශයෙන් කාන්තාවක ගනී. පුරුෂයකු නම් භාවනා අරමුණ වශයෙන් පුරුෂයකු ගනී. විසභාග අරමුණු නොගනී. පුරුෂයකු කාන්තාවක අරමුණු කරන්නේවත්, කාන්තාවක පුරුෂයකු අරමුණු කරන්නේවත් නැත. රාගාදියට එය හේතුවිය හැකි බැවිනි. මුලින්ම තමා ඉතා පි‍්‍රය කරන, ආදරය කරන කෙනකු අරමුණු කරන්නේත් නැත. තරහ කෙනකු අරමුණු කරන්නේත් නැත. මධ්‍යස්ථ කෙනකු ගන්නෙත් නැත, තමන්ට වඩා ගුණවත්, සිල්වත් වැඩිහිටි කෙනකු, මව පියා හෝ ගුරුවරයකු වැනි අයකු මුලින්ම අරමුණු කරයි.

දැන් එසේ අරමුණු කරන පුද්ගලයා තමන් ඉදිරියේ (සිල්ගත් ස්වභාවයෙන් හෝ) හිඳ සිටින ඉරියවුව සිතින් සිතා ඔහු අරමුණු කරගෙන මෛත්‍රි වැඩීම ආරම්භ කළ යුතුයි. ඊට පෙර මඳ වේලාවක් තමන්ට ‘මම වෛර නැති වෙම්වා’ යැයි මෙත් වැඩීම හොඳය. ඉන් පසුව ‘වෛර නැතිවේවා, වෛර නැතිවේවා’ යැයි අනෙක් පුද්ගලයාට සිතෙන් මෛත්‍රි කරන්න. එසේ ටික දිනක් මෙත් වැඩීමෙන් පසු තමන් ගැනත් ඒ තැනැත්තා ගැනත් මෙත් සිත සමාන මට්ටමකට පැමිණ තිබේනම් නිසි පරිදි ක්‍රමවත්ව භාවනා වඩා ඇති බව වටහා ගත හැකියි.

එසේ ප්‍රගුණ කිරීමෙන් පසු ඊළඟට අරමුණ වශයෙන් තෝරාගත යුත්තේ තමන්ට පි‍්‍රය කෙනෙකි. පි‍්‍රය කෙනකු තමන් ඉදිරියේ හිඳ සිටිනවා සේ සිතෙන් සලකා ‘වෛර නැතිවේවා වෛර නැතිවේවා’ යනුවෙන් මෙත් වඩන්න. එවිට, පි‍්‍රය කෙනකු නිසා ඔහු වෙත ආශාව වැනි හැඟීමක් ඇති වීමට ද ඉඩ තිබේ. අන්න එවිට ඔහුට මෙත් වැඩීම නවතා තමන්ට හෝ මුලින් මෙත් වැඩූ තැනැත්තාට හෝ මෙත් වැඩිය යුතුයි. එසේ සිදුකර සිත සකසා ගත් පසු යළි පි‍්‍රය පුද්ගලයා අරමුණු කරගෙන මෙත් වඩන්න. එවිටත් ආශාව වැනි හැඟීම් මතුවේ නම් සිතුවිලිවලට දිගටම ඒ ආකාරයට ක්‍රියා කරන්නට ඉඩ නොදිය යුතුයි. ඒ සඳහා යළිත් තමන්ට හෝ මුලින් මෙත් වැඩූ අනෙක් තැනැත්තාට හෝ මෛත්‍රි කළ යුතුයි. එසේ සිදුකොට යළිත් පි‍්‍රය තැනැත්තා අරමුණු කර මෙත් වඩන්න. මේ ආකාරයට සිදු කළ විට පි‍්‍රය කෙනාටත්, මුලින් මෛත්‍රි කළ තැනැත්තාටත්, තමාටත් එක මට්ටමට මෙත් වැඩිය හැකි ආකාරයට සිත තැන්පත් කර ගත හැකිය. එය කෙසේවත් අසීරු දෙයක් නොවේ. උත්සාහ කළ විට ලෙහෙසි කටයුත්තකි.

ඉන්පසුවයි අප මෛත්‍රි කිරීමට තමන් සමඟ අමනාප අයකු තෝරා ගන්නේ, මුලින් අය මෙන් ඔහු ද තමන් ඉදිරියේ හිඳ සිටින ඉරියව්ව සිතෙන් සලකාගත යුතුයි. ඔහුට ‘වෛර නැතිවේවා. වෛර නැතිවේවා’ යැයි භාවනා වැඩිය යුතුයි. එසේ සිදුකරන විට ඔහු කලින් තමන්ට කළ වැරැද්දක් හෝ කෙනෙහිලිකමක් හෝ සිහිපත් වනවා නම් භාවනාව ඉදිරියට කරගෙන යා නොහැකියි. එසේ වූ විට ඔහුට මෙත් වැඩීම නවත්වා තමන්ට හෝ මුලින් මෙත් වැඩීමට අරමුණු කළ දෙදෙනාගෙන් කෙනකුට හෝ මඳ වේලාවක් මෙත් වඩන්න. එවිට සිතුවිලි සමනය වේ. ඉන්පසු යළිත් අර අමනාප පුද්ගලයා අරමුණු කරමින් මෛත්‍රිය වඩන්න. මේ ආකාරයට විටින් විට අරමුණ වෙනස් කරමින් අමනාප පුද්ගලයාට ද පෙර අයට සේම, තමන්ට සේම මෙත් වැඩිය හැකි මට්ටමට එන තෙක් භාවනාව සිදු කරන්න. මෙය කළ නොහැකි අසීරු වැඩක් නොවේ. කළ හැකි ලෙහෙසි වැඩකි. උත්සාහ කර බැලිය යුතුයි.

ඉහත මට්ටමට සිත පැමිණීම ‘සීමා සම්භේදය’ ලෙස හඳුන්වයි. තමන්ය, පි‍්‍රය පුද්ගලයාය, අමනාප තැනැත්තාය කියා භේදයක් නැතිව භාවනා වැඩීමට හැකිවීමයි. තමන්ය, හිතවතාය, අමනාප තැනැත්තාය යනුවෙන් තිබෙන සීමාව බිඳ දැමීම යි. මේ මට්ටමේ දී සිත බෙහෙවින් තැන්පත් වේ. මෛත්‍රි භාවනාවේ ප්‍රයෝජනයක් ලබන්නට නම් ඒ මට්ටමට සිත ගෙන ආ යුතුයි. නැතිනම්, මෛත්‍රි භාවනා පාඨ කියැවීම, සජ්ඣායනා කිරීම කළාට වැඩක් සිදු නොවේ.

මෛත්‍රි භාවනාව සාමාන්‍ය ජීවිතයට ගළපා ගැනීමෙන් අත්වන ප්‍රතිලාභ රැසකි. මෙත්තානිශංස සූත්‍රයේ දී ආනිශංස එකොළහක් ලැබිය හැකි බව පෙන්වා දී ඇත. මෛත්‍රිය වඩන තැනැත්තාගේ මනැස සැහැල්ලු ය. ඔහුට සියල්ලන්ගේ අවනත බව හිමිය. සැවොම ඔහුගේ කීමට නැවෙයි. තරහ නොගන්නා නිසා ඔහුට කිසිවකු බැන්නද අඬදබර ඇති නොවන අතර එකට එක කීමට ද නොයයි. එයින්ම ජීවිතය පහසු වේ.

පාසල් යන දරුවන්ට ද මෛත්‍රි භාවනාව ප්‍රගුණ කිරීම වඩාත් ඵලදායක ය. මනැස සන්සිඳුණු විට හොඳින් පාඩම් මතක හිටී. ධාරණ ශක්තිය වැඩේ. තමනට වැඩිහිටියකු, ගුරුවරයකු, මවුපියන් අවවාද කළ විට නොකිපෙයි. තමන්ගේ යහපතට කියූවක් බව සලකා ගැනීමේ හැකියාව මෙවැනි දරුවන් සතුය.

මෛත්‍රි භාවනාව සමාජයේ ප්‍රායෝගික මට්ටමෙන් ක්‍රියාත්මක වේ නම් සමාජ පරිහානිය අඩුවනු ඇත. සංකීර්ණතාව, මානසික අසහනය සමනය වීම සිදු වේ. මෛත්‍රි සිතුවිලි එසේ පැතිරවිය හැකිය. සිතෙන් සිතට බෝ කළ හැකි, වර්ධනය කළ හැකි භාවනාවකි.

සටහන: නිලූෂා නිරංජලා