Print this Article


මැටි බඳුනෙන් කියැවෙන බණ

මැටි බඳුනෙන් කියැවෙන බණ

සත්ත්ව ජීවිතත් එම මැටි බඳුන් වැනිය. ඇතැම් සත්ත්වයෝ කලල අවස්ථාවේදීම විනාශ වෙති. සමහර දරුවන් මිය යන්නේ මව්කුස තුළදීමය. කුසින් බිහිවන විට, ඉපදී දින දෙක තුනකින් හෝ මිය යන්නෝද වෙති. හොඳට දුව පැන සෙල්ලම් කරන වයසේදී හෝ නාඹර තරුණ වියේදී හෝ ඇතැම් අය මිය යති. වැඩිහිටියන් ලෙස ඇතැම්විට වසර සියයකටත් වැඩි ආයුෂ ගෙවා මිය යන්නෝ ද වෙති. ඒ සෑම ජීවිතයකම පවතින්නේ මැරෙන ස්වභාවයමය.

පසේනදී කොසොල් රජතුමා දිනක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණියේ ශෝකයෙන් බර වූ මුහුණින් යුතුව ය. බුදුරදුන්ට වන්දනා කර එකත්පස්ව හිඳගත් රජුගෙන් මහරජ, ඔබ මේ මහ දවල් පැමිණියේ කොහි සිටදැයි බුදුරජාණන් වහන්සේ විමසූසේක. රජතුමා පැවසූ වදන් මෙසේ ය. ‘බුදුරජාණන් වහන්ස, බොහෝ වයස්ගත දිරා ගිය සිරුරකින් යුක්ත, උපතින් එකසිය විසි අවුරුද්දක් වූ මගේ මිත්තණිය මිය ගියා. එතුමිය හරිම පි‍්‍රයමනාප කෙනෙක්. ඒ මරණය මට මහත් වූ දුක් ගෙන දෙන්නක්. ස්වාමිනි, ඇත් රුවන හෝ අස් රුවන ගම්වරයක් හෝ ජනපදයක් හෝ දී මිත්තණිය මරණයෙන් මුදාගැනීමට හැකියාව තිබිණි නම් මා එසේ කරනවා.”

රජතුමා එසේ පැවසූ විට “මහරජ, සියලුම සතුන් මරණය ස්වභාව කොට ඇති අයයි. සියලු සතුන්ගේ ම ජීවිත මරණයෙන් කෙළවර වෙනවා. කිසිම සතකු නොමැරෙන තත්ත්වයට පත් වී නැත” යනුවෙන් බුදුරජාණන් වහන්සේ වදාළහ. එම බුදු වදන රජුගේ සිතට තදින් ම කා වැදිණි. ඒ නිසාම “භාග්‍යවතුන් වහන්ස, හරිම අසිරිමත්. හරිම පුදුමයි. සියලුම සතුන්ගේ අවසානය මරණය බවටත්, කිසිම සතකු නොමැරෙන ස්වභාවයට පත් වී නැති බවටත් කළ දේශනාව හරි අසිරිමත් එකකැයි හෙතෙම පැවසීය. මෙහිදි ජීවිතය සහ මරණය අතර සම්බන්ධතාව බුදුරජාණන් වහන්සේ විසින් පැහැදිලි කරනු ලැබුයේ උපමාවක්ද ගෙනහැර දක්වමිනි.

‘මහරජ, කුඹල්කරුවන් විසින් නිපදවනු ලබන මැටි භාජන අමු හෝ වේවා පිලිස්සු හෝ වේවා සියල්ලම බිඳීම ස්වභාව කොට ඇතියේ බිඳීමෙන් අවසන් වනුයේ නොබිඳෙන තත්ත්වයට පත් නොවූයේ යම් සේද එමෙන් සියලු ම සත්ත්වයෝ මරණය ස්වභාව කොට ඇත්තෝ ය. මරණය අවසානයකොට ඇත්තෝ ය, නොමැරෙන තත්ත්වයට පත් නොවූවෝ ය උන් වහන්සේ දේශනා කළහ.

මැටි බඳුනක් කුඹල්කරුවකු විසින් සාදනු ලබමින් සිටියදීම බිඳී යෑමට ඉඩ ඇත. ඇතැම්විට වේලීමට තබා තිබියදී හෝ පිලිස්සීම සඳහා පෝරණුවට ඇතුළත් කරද්දී හෝ බිඳීයෑමට හැකිය. ඇතැම් විට බිඳෙන්නේ පිලිස්සෙන අතරතුර හෝ පෝරණුවෙන් පිටතට ගැනීමේදීය. සමහරවිට වෙළෙඳ පොළට ගෙන යෑමේදී හෝ පාරිභෝගිකයකු විසින් සිය නිවසට ගෙන යනු ලැබීමේදී බිඳීයා හැකිය. ගෙදර ගෙනගොස් ටික දිනකින් මැටි බඳුන බිඳී යෑමට ඉඩ ඇති අතර පරම්පරා ගණනක් පරිහරණය කළාට පසුව වුවද බිඳී යෑමට හැකිය. සෑම මැටි බඳුනකම තිබෙන්නේ කවදා හෝ සිඳෙන බිඳෙන ස්වභාවයයි. ඒවා අවසාන වන්නේ බිඳීමෙන් මයි. නොබිඳෙන ගතියක් එම කිසිදු භාජනයක නැත.

සත්ත්ව ජීවිතත් එම මැටි බඳුන් වැනිය. ඇතැම් සත්ත්වයෝ කලල අවස්ථාවේදීම විනාශ වෙති. සමහර දරුවන් මිය යන්නේ මව්කුස තුළදීමය. කුසින් බිහිවන විට, ඉපදී දින දෙක තුනකින් හෝ මිය යන්නෝද වෙති. හොඳට දුව පැන සෙල්ලම් කරන වයසේදී හෝ නාඹර තරුණ වියේදී හෝ ඇතැම් අය මිය යති. වැඩිහිටියන් ලෙස ඇතැම්විට වසර සියයකටත් වැඩි ආයුෂ ගෙවා මිය යන්නෝ ද වෙති. ඒ සෑම ජීවිතයකම පවතින්නේ මැරෙන ස්වභාවයමය. කිසිවකුත් නොමැරෙන තත්ත්වයට පත් වී නැත. දිය ගොඩ වෙසෙන සියලුම සත්ත්වයන්ගේ ස්වභාවය එයයි. මැටි බඳුන්වලට උපමා කොට තිබෙන්නේ එබැවිනි.

සියලු සත්ත්වයන් යන්නට තම දූ පුතුන් ද ඇතුළත් වන බව මව්පියන් තේරුම් ගත යුතුය. තම මව්පියන් ද සියලු සතුන්ට ඇතුළත් වන බව දරුවන් තේරුම් ගත යුතුය. සියලු සත්ත්වයන්ට තම බිරිඳ ද ඇතුළත් වන බව සැමියාත් තම සැමියාද ඊට ඇතුළත් වන බව බිරිඳත් කල්පනා කළ යුතු ය. සියලු සතුන්ට ඇතුළත් නොවන කිසිදු සහෝදරයකු සහෝදරියක මිතුරකු මිතුරියක, ගිහියකු පැවිද්දකු, දෙවියකු, බ්‍රහ්මයකු, අපා, දෙපා, බහුපා සතකු නැති බව අප තේරුම් ගත යුතුය. අනිත්‍යතාව එනම් අස්ථිර බව එක ගමකට නියම්ගමකට එක කුල පරපුරකට වෙන් වූ ධර්මතාවක් නොවන බවත් දෙවියන් සහිත සමස්ත ලෝකයාටම පොදු වූ ධර්මතාවක් බවත් බුදු දහමෙහි ඉගැන් වේ. අනිත්‍යතාව පිළිබඳ පණිිවුඩය ඉතා ප්‍රබල ලෙස අපට ලබාදෙන්නේ මරණය යි. එයින් ඇති වන අමිහිරි වේදනාව අපගේ සිතට තදින් ම දැනේ. එම වේදනාව තුනී කර ගත හැකි වන්නේ මරණය කාටත් උරුම ධර්මතාවක් බවට ගැඹුරින් වටහා ගැනීමෙනි. මරණය පොදු උරුමය වුවද එය අකාලයේ සිදුවනු දැකීමට අපේ සිත කැමැති නැත.කුඩා දරුවන්ගේ, තරුණ තරුණියන්ගේ මරණ ගැන අසන, ඒවා දකින අපි බොහෝවිට කම්පා වෙමු. එය පුදුමයක් නොවන්නේ අවුරුදු එකසිය විස්සක් ගත කළ මිත්තණියගේ මරණය ගැන පවා කොසොල් රජු කළ ප්‍රකාශය විග්‍රහ කර බලන විට ය.

උපත ලද අනුපිළිවෙළටම විපතද සිදු නොවේ. එය කුමන වයසේ දී කොතැනක දී කෙබඳු ආකාරයට වේදැයි නිශ්චිත ව කිව හැකි නොවේ. ඇතැම්විට මව්පියන් හොඳින් ජීවත්ව සිටියදී දරුවෝ මිය යති. වැඩි මහලු සොයුරු සොයුරියන් ජීවත් වෙද්දී බාල සොයුරු සොයුරියෝ මිය යති. භූ®මි කම්පා සුළිසුළං, සුනාමි වැනි විපත් අවස්ථාවන්හි පවුල් පිටින්ම එකට මියැදෙති. අප සිතන පතන පරිදිම අප කැමැති පරිදිම ක්‍රියාත්මක වීමට ලෝකය සූදානම් නැත. ‘නොසිතූ දෙය සිදුවේ - සිතූ® දෙය ද වැනසී යේ” අප සිතන පතන සියල්ල එලෙසම සිදු වෙත් නම් ලෝකය මොනතරම් සුන්දර සුවදායී වනු ඇත්ද?

උදෑසන හොඳින් මුණ ගැසුණු අය සවස මැරී සිටිනු දැකිය හැකිය. සවස යහතින් කල් ගෙවූ අය පසු දා උදය මරණයට පත් වී සිටිය හැකිය. අප ද කවදා හෝ මිය යනු ඒකාන්තය. එය අද ද හෙට දැයි අපි නොදනිමු. කුමන මොහොතක මරණය පැමිණියත් අප එයට සූදානම්ව සිටිය යුතුය. මරණයට සූදානම්ව සිටීම යනු උකටලීව, උදාසීනව, සියලු වැඩ අතහැර අක්‍රියව අනේ අනිච්චං යයි සිතමින් කල්ගත කිරීම නොවේ. අප්‍රමාදීව කුසල් දහම්හි යෙදීම යි.

අද අද එයි මරු පින්කර ගන්නේ
කෙලෙස ද සෙට මරු නේති සිතන්නේ
කිකලද මහ සෙන් මරු ඇප වන්නේ
කුමට ද කුසලට කම්මැලි වන්නේ

ලෝවැඩ සඟරාව දෙන මෙම උපදේශය අප නිතර සිහිපත් කළ යුත්තකි. මරණය පිළිබඳව මෙනෙහි කිරීම ජීවිතයෙන් පලා යෑමක් නොවේ. යථාර්ථයට මුහුණ දීමකි. බුදුරජාණන් වහන්සේ අපට වදාළේ උදේ සවස මරණය පිළිබඳව මෙනෙහි කරන ලෙසයි. මරණය රාත්‍රි කාලයේ සිදු වූවත්, දවල් කාලයේ සිදු වූවත් ඒ මරණ මොහොත පැමිණෙන විට තමාට අහිත පිණිස විය හැකි අකුසල දහම් තමා තුළ පවතින බව පෙනේ නම් එම අකුසල දහම්වලින් මිඳිමේ කැමැත්ත හා ඒ සඳහා වූ උත්සාහය අප ඇතිකර ගත යුත්තේ හිස ගිනි ගත්තකු එම ගිනි නිවා ගැනීමට වහ වහා ක්‍රියා කරන්නාක් මෙනි.

අප සසර අප්‍රමාණ වාර ගණනක් මැරී ඉපදී ඇත්තෙමු. කෙලෙසුන් සහිතව සිටින තාක් කල් අපට යළි යළිත් මරණයට ගොදුරු වීමට සිදුවේ. මෙම ජීවිතය අවසන්වූවායින් පසුව යළි නූපදින තත්ත්වයට මේ ජීවිත කාලය තුළම පත් විය නොහැකි නම් අප කළ යුත්තේ සසර මැරෙන වාර ගණනවත් අඩුකර ගැනීමට ක්‍රියා කිරීමයි. එයට එකම මග අකුසලයෙන් වැළකී කුසලයෙහි යෙදීමයි. ඒ සඳහා හොඳම ජීවිතය මේ ගත කරන ජීවිතයයි. හොඳම මොහොත මේ මොහොතයි. මහා සම්පත් වෙනුවෙන් දරු මුණුබුරන් වෙනුවෙන් වෙහෙසෙමින් අධාර්මිකව වාසය කළහොත්, අකුසල ක්‍රියාවන්හි යෙදුණහොත් එහි විපාක වශයෙන් දුගතිගාමී වන විට ඒ ධන සම්පත් හෝ දරු මුණුබුරන් හෝ පිහිටට එන්නේ නැත. ඒ අධාර්මික ජීවිතයේ විපාක තමාම විඳ ගත යුතු වේ. ධනය ඉපයිය යුතුය. දරුමල්ලන් ඇතුව ජීවත් වීමට කැමැති ගිහියන්ට ඒ සඳහා බාධාවක් නැත. එහෙත් සියල්ල කළ යුත්තේ තමන් මැරෙන බව දැනගෙන ය. මැරෙන බව දැනගෙන, මරණය මෙනෙහි කරමින් ජීවත් වන්නා තුළ මෛත්‍රිය , කරුණාව ආදී ගුණ දහම් වැඩේ. ප්‍රඥාව දියුණු වේ. මරණානුස්සතිය වඩන්නා සිල්වත් ජීවිතයකට පෙළඹෙන්නේ නිරායාසයෙනි. ඔහු නිසැකව ම නිවන්මගෙහි යන්නෙකි.