Print this Article


දළදා වහන්සේට පූජෝපහාර දැක්වීමට ලැබීම මා ලද ලොකුම වාසනාවයි

අපේ ජීවමාන බුදුරජාණන් වහන්සේට කරන පූජෝපහාරයක් ලෙස සලකා ශ්‍රීමත් දළදා වහන්සේට පුජෝපහාර දක්වන්නට මගේ දෑත වාසනා වන්තවීම ජීවිතයේ මා ලද ලොකුම වාසනාව ලෙස සළකනවායැයි මහනුවර අස්ගිරි, විජයසුන්දරාරාම උභය විහාරාධිපති මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහානායක අග්ග මහා පණ්ඩිත උඩුගම ශ්‍රී ධම්මදස්සි රතනපාල බුද්ධරක්‍ඛිත මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ‘බුදුසරණට’ පැවැසූහ.

මෙම මස 17 වන දා 84 වන ජන්ම දිනය යෙදී ඇති සුපින්බර අස්ගිරි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සසුනඹර ඒකාලෝක කරනු ලබන ආදර්ශවත් මහා යතිවරයාණන් වහන්සේ නමකි. ගිහි පැවිදි උභය සමාජයේම මහත් ගෞරවයට ලක්ව වැඩ සිටින මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ‘බුදුසරණ’ සමඟ කළ සාකච්ඡාවකින් මෙම ලිපිය සැකසිනි.

වයඹ පළාතේ, කුරුණෑගල දිසාවට අයත් දඹදෙණි හත්පත්තුවේ රැකව කෝරළේ පිහිටි සුන්දර ගම්මානයකි, උඩුගම.

උඩුගම විසූ ජයසුන්දර මුදියන්සේලාගේ පුංචි බණ්ඩාර නිලමේතුමා සහ ජයසුන්දර මුදියන්සේලාගේ මුතුමැණිකේ දම්පතීන්ට දාව මෙලොව එළිය දුටු පින්වත් පුත්රුවනක් විය.

1930 මාර්තු 17 වන දා උපන් එම පින්වත් කුමරා ජේ.ඇම්. අමරසිංහ නම් විය.

බහ තෝරන විය ගෙවීයත්ම උඩුගම පන්සලේ එවකට නායක හාමුදුරුවන් වෙතින් අකුරු කරවූ එම කුමරුවා 1934 මැයි මස 14 වන දා උඩුගම පාසලට ඇතුළත් විය. එහිදී ගුරු සිත් දිනා ගනිමින් අටවැනි පන්තිය දක්වා අධ්‍යාපනය ලැබීය.

එම කුමරුවා 1944 ජූනි මසදී අස්ගිරි මහාවිහාරයේ දී උඩුගම රතනපාල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙතින් ‘උඩුගම බුද්ධරක්‍ඛිත’ නමින් සසුන් දායාදය ලැබූහ.

අනතුරුව මාතලේ ධර්මරාජ පිරිවෙනින් පණ්ඩිත ගම්මුල්ලේ ශ්‍රී චන්දජෝති නාහිමියන් යටතේ අධ්‍යාපනය ලැබීය.

ලියන්ගස්තැන්න විහාරස්ථානයේ වැඩ වාසය කළ උඩුගම බුද්ධරක්‍ඛිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ වාහල නාග නාමයෙන් අස්ගිරි මහා විහාරයීය උපෝසථාගාරයේ දී 1951 දී අධිසිල් ලැබූහ.

උඩුගම ශ්‍රී රතනපාල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ අනුනායක ධුරයට පත්වීමත් සමඟ 1955 දී අස්ගිරි විහාරයට වැඩම කළ උඩුගම බුද්ධරක්‍ඛිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ සිය ගුරුදේවයන් වහන්සේ අපවත්වන තෙක්ම ( 1970 ) අස්ගිරි විහාරයේ වැඩ වාසය කළහ.

උඩුගම ශ්‍රී රතනපාල මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහානායක ධුරන්දරව වැඩ විසූ කාලයේ දී උන්වහන්සේගේ ශිෂ්‍යයන් වහන්සේ ලෙස 1969 සිට පළමුවරට ශ්‍රීමත් දළදා වහන්සේගේ තේවා කටයුතුවලට සම්බන්ධ වීමට උඩුගම බුද්ධරක්‍ඛිත ස්වාමීන්ද්‍රයන් වහන්සේට භාග්‍යය උදාවිය.

1957 දී කර්මවාගාචාර්ය පදවියක් ද 1966 දී අස්ගිරි මහා විහාරයීය විංසත් වාර්ගික කාරක මහා සංඝ සභාවට ද පත් වූ උන්වහන්සේ 1992 රන්ගිරි දඹුල රජමහා විහාරයේ නායක පදවියට ද 1998 දී අස්ගිරි මහා විහාර පාර්ශවයේ අනුනායක පදවියට ද පත්විය. 1999 දෙසැම්බර් 13 වන දා උන්වහන්සේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහානායක පදවියෙන් පිදුම් ලැබූහ. බුරුම රාජ්‍යයෙන් අග්ගමහා පණ්ඩිත උපාධියෙන් ද උන්වහන්සේ පිදුම් ලදහ.

මහ නා හිමිපාණන් වහන්සේ පැවැසූ අදහස් මෙසේ ය.

මගේ ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ කිහිපනමක් වැඩ ඉන්නවා. දැනට අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී කථිකාචාර්ය ආණමඩුවේ ධම්මදස්සි නම ප්‍රධාන ශිෂ්‍ය හිමිවරු කීප නමක් වැඩ ඉන්නවා.

අපේ නායක හාමුදුරුවො වැඩ ඉන්න කාලයේදී මා සංඝ සභාවේ කාරක සභාවට බැඳුණා. 1969 ඉඳල කාරක සභාවේ කටයුතු කළා. ඒ අතරතුර මාලිගාවේ කටයුතුවලටත් සම්බන්ධවීමට පටන් ගත්තා. 1969 ඉඳළ ශ්‍රී දළාදා මාලිගාවේ තේවා කටයුතුවලට වරින් වර සම්බන්ධ වීමට අවස්ථාව ලැබුණා.

1970 ඉඳල ගොඩමුන්නේ ශ්‍රී නාගසේන ධම්මානන්ද මහානායක හාමුදුරුවෝ 1975 දක්වා මහානායක පදවිය දැරුවා. 1975 ඉඳළ 1995 දක්වා මහ පදවිය දැරුවේ පලිපාන චන්දානන්ද මහානායක හාමුදුරුවෝ.

යටවර සංඝරක්‍ඛිත අනුනායක හාමුදුරුවො අපවත්වීමෙන් පසුව අනුනායක පදවියට මා පත්වුණා. 1999 පලිපාන චන්දානන්ද මහානායක හාමුදුරුවො අපවත්වුනාට පසුව 1999 දෙසැම්බර් 13 වනදා මහ පදවියට මා පත්වුණා. එදා ඉඳළ මේ දක්වා අවුරුදු දාහතරක් විතර ඒ කටයුතු කරගෙන යනවා.

ඉතින් මේ කාලසීමාව තුළදී මට කරන්නට පුළුවන් අයුරෙන් අස්ගිරි විහාරයටත්, අපේ සංඝ සභාවටත් පොදුවේ ශාසනයටත් රටටත්, ලෝකයටත් සේවය කළා කියල මා සතුටු වෙනවා. විදේශ රටවල ආරාධනාවලට අනුව ආගමික කටයුතු සඳහා පමණක් ගමන් වාර සියයකට වඩා මා ගිහින් තිබෙනවා. බෙහෙත් ගන්න ගියපු වාරත් සමඟ ගමන් 133ක් විදේශවලට ගිහින් තිබෙනවා.

විදේශවලින් ආපු බොහෝ ආරාධනා බාර නොගෙනත් අතහැරියෙ අපහසු නිසා. ශ්‍රී මත් දළදා වහන්සේගේ තේවා කටයුතුවලට සම්බන්ධ වුණේ 1969 දීය. එදා ඉඳල වරින් වර අපේ මහානායක හාමුදුරුවන්ගේ කාලයේ දීත් ගොඩමුන්නේ මහානායක හාමුදුරුවන්ගේ කාලයේදීත් පලිපාන මහානායක හාමුදුරුවන්ගේ කාලයේදීත් මා දළදා වහන්සේගේ තේවා කටයුතුවලට සම්බන්ධ වුණා.

මහානායක හාමුදුරුවරු තුන් නමක් යටතේ ඒ කටයුතු කරන්නට ලැබීමත් මට මහා වාසනාවක්.

ශ්‍රීමත් දන්ත ධාතුන් වහන්සේට ගෞරවෝපහාර දැක්වීමට පුරා වසර හතළිහක පමණ කාලයක් මට වාසනාව උදාවුණා. දළදා හාමුදුරුවන්ගේ පිහිට තමා අපට තිබෙන්නෙ. ඒ පින, ඒ වාසනාව මට අදටත් අප්‍රමාණ සතුටක්. වරින්වර තේවා කටයුතුමෙන්ම පසුගිය වසර දක්වා තේවාව භාරවත් කටයුතු කළා. මාලිගාවේ සංවර්ධනය සදහාත් මට කළහැකි කටයුතු සිදු කළා. මෑත භාගයේ අපේ ශිෂ්‍ය දරනාගම කුසලධම්ම ස්ථවිරයන් ප්‍රධාන බෞද්ධයා නාලිකාව මෙහෙයවීමෙන් සැදැහැවතුන්ගේ ආධාරයෙන් මාලිගාවේ දොරවල් දෙකක් රිදියෙන් ඉදි කළා. මාලිගාවේ සියලු කටයුතු වලට ආධාර උපකාර කළා.

පලිපාන චන්දානන්ද මහානායක හාමුදුරුවෝ අපවත්වුනාට පසුව අස්ගිරි විහාරයේ පොහොය ගෙය සංවර්ධනය කළා. රජයේ ආධාරයෙන් තඹ උළු වහලයක් යෙදුවා. පොහොය ගෙයි මළුව කලුගල් අතුරවා සකස්කරවුවා. අස්ගිරි විහාරයට ඇතුළුවන ස්ථානයේ වාහල්කඩක් ඉදිකෙරුවා. ජපානයේ ආධාරයෙන් එය ඉදිකළේ.

ඊට පසුව ජනාධිපතිතුමා ප්‍රධාන රජයේ සහාය ලබා ගනිමින් මාර්ගය සම්පූර්ණයෙන් කාපට් යෙදවීම් ආදී සංවර්ධන කටයුතු සියල්ල කරවීමට හැකිවුණා.

මෑත භාගයේ තට්ටු පහක විශ්‍රාම ශාලාවක් ඉදි කරවූවා. ආධාර උපකාර ඉල්ලා රැස්වීම් මොකුත් නැතිව එය ආරම්භ කළා. පටන් අරගෙන ඉදිකර ගෙන යන අතරතුර එය දැකපු අය ආධාර කළා. ජනාධිපතිතුමාත් එය දැකල ඊට ආධාර කළා. කෝටි නවය හමාරක් පමණ වැය වෙලා තිබෙනවා. ඉන් කෝටි හතරක් පමණ රජය ඇතුළු දායක පිරිස් වෙතින් ලැබුණා. ඉතිරි මුදල් මට ලැබුණු ඒවායි. ඊට විදේශීය අයගෙන් සෑහෙන ආධාරයක් ලැබුණා.

අස්ගිරි විහාරයට අඩුවක්ම තිබූ විශ්‍රාම ශාලාවක් මගේ කාලයේ දී ඉදිකරවීමට හැකිවීම ගැනත් මා සතුටු වෙනවා.

උපසම්පදා වාරයේ දී දුර බැහැර ඉඳල එන යන අයට නේවාසිකවීමට ඉඩ පහසුකම් එතරම් තිබුණේ නෑ. පොඩි පන්සල් නිසා ඒවායෙත් ඉඩ සීමිතයි. ඒ නිසාම තමයි ඒ ගොඩනැඟිල්ල ඉදි කරන්න මුල් වුණේ.

අස්ගිරියේ සංවර්ධනයට ජනාධිපතිතුමා මිලියන 100ක මුදලක් වෙන්කර දුන්නා. නිල නිවාසයේ කටයුතුත් මේ දිනවල රජය මඟින් කරගෙන යනු ලබනවා. මගේ කාලසීමාවේදී අස්ගිරි විහාරයටත් සෑහෙන සේවයක් ඉටු කර තිබෙනවා.

රටේ කවර ස්ථානයකින් ආරාධනාවක් ලැබුණත් පුළුවන් අයුරෙන් ඒ හැම දෙයක්ම ඉටු කළා. බැරි බැරි ගාතෙ වුණත් අදටත් ඒ වගකීම, යුතුකම් ඉටු කරනවා. ඒ නිසා මම හරියට ම සතුටු වෙනවා. දඹදිව බුද්ධගයාවට මා ගමන් වාර තිස් ගණනක් ගොස් තිබෙනවා. මහාබෝධි සංගමයේ අනුශාසක ලෙසත්, මා පත්කර ගෙන තිබෙනවා. මගේ ජීවිත කාලයේ දී සැනසෙන්නට පුළුවන් අයුරෙන් වැඩ කර තිබෙනවා.

රට දැය සමයට තවත් මෙහෙවර සැලසීමට අස්ගිරි පාර්ශ්වයේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට තෙරුවන් සරණ ලැබේවා.

සීසර් සුදුසිංහ