Print this Article


මුල් යුගයේ ධර්මදූත සේවය

මුල් යුගයේ ධර්මදූත සේවය

මා විසින් ඔවුන්ට අමාදොර හරින ලදී. අසනු කැමැත්තෝ ශ්‍රද්ධාව පෙරදැරි කර ගනිත්වා අසනු කැමැත්තන් ශ්‍රද්ධාවක් ඇතිවූවන්ට මේ දහම් අමා දොරකි. එබැවින් අවශ්‍ය වන්නේ අසනු කැමැත්ත හා ශ්‍රද්ධාවයි. මෙහි ශ්‍රද්ධාව නම් අන්ධ විශ්වාසය හෝ භක්තිය නොවන බව අවධාරණය කළ යුත්තකි. බොහෝ ආගම් විශ්වාසය භක්තිය මත පදනම් වේ. බුදුදහම කිසි කලෙකත් එබඳු පදනමක නොපිහිටියකි. මිනිසාගේ ශ්‍රේෂ්ඨත්වය, සිතීමේ නිදහස ඉතාමත් ඉහළින් අගය කරන තහවුරු කරන බුදුදහම වැනි ආගමක් වෙන නැත. එහි දැක්වෙන ශ්‍රද්ධාව අන්ධ විශ්වාසයක් හෝ භක්තියක් නොවේ. ශ්‍රද්ධාව හඳුන්වා දීමට යොදා ඇති අර්ථකථන සාවදානව විමසිය යුතුය

ධර්මය නම් සත්‍යය යි. සත්‍යය නම් යථා භූතයයි. යථා භූතය සොයා යාම සත්‍ය ගවේශීන්ගේ පරමාර්ථයයි. සත්‍ය ඥානයෙන් තොරවීම ලොව සියලුම දුක් දොම්නස්වලට හේතුවයි. යථා භූත ඥානයෙන් වෙන්ව ලොව ඇතිතාක් දුක් දොම්නස්වලට පැටලී අවුල් වියවුල් වූ ප්‍රජාව කෙරෙහි කරුණා භරිත වීම සත්‍ය ගවේශනයට පදනමයි. බුද්ධත්වයෙන් සංකේතවත් වන්නේ මේ කරුණාවත්, ප්‍රඥාවත් දෙකයි. සිද්ධාර්ථ ගෞතම බෝසතාණෝ කාරුණික වූහ. සත්‍ය ගවේශී වූහ. එහි ප්‍රතිඵල වශයෙන් සාධක සතරක් සිද්ධ කළහ. ඒ යථාභූත ඥානය ලැබීම නම් විය. (පරිඤේඤය්‍යං පරිඤ්ඤාතං) ලෝක ස්වභාව පිරිසිඳ දත්හ. (පභාතබ්බං පහීනං) ලෝ දුක් උපදවන හේතු නසාලූහ. (සච්ජිකාතබ්බං සච්ජිකතං) පරම සැනසීම පසක් කළහ. (භාවේතබ්බං භාවිතං) ඒ සඳහා මාර්ගය ප්‍රගුණ කළහ. මෙය සතර කරුණු සත්‍ය යයි, කෘත්‍ය යයි, කෘතයි කියා යම්දාක යම් අවස්ථාවක උන්වහන්සේ නිෂ්ටාවට පත් වූ සේක් ද එයම උන්වහන්සේගේ බුද්ධත්වයයි.

මේ සත්‍යය ලෝකයට අයත් වූවකි. එය කිසියම් එක පුද්ගලයකුට අයත් වූවක් නොවේ. පුද්ගල කණ්ඩායමකට අයත් වූවකුත් නොවේ. තථාගතයන් වහන්සේලා ඇති කල්හිත් නැති කල්හිත් අවිපරිතව නොවෙනස්ව පවතී. සත්‍යයේ පැවැත්ම එකක්ම මිස දෙකක් නොවන හෙයින් අවිඳු අඳුරින් වැසී පවතින්නා යථා භූතය අනාවරණය කිරීමම තථාගතයන් වහන්සේලාගේ කාර්යයි. දැන දැන පසක් කළ යථා භූතය අනාවරණය කිරීමෙහිලා කරුණාව, ලෝකානුකම්පාව මිස වෙනත් කිසිවක බලමහිමයක් අවශ්‍ය නැත. වසන් කළ යුතු රහසක් යා කළ යුතු අඩුවක් හෝ එහි නැති බැවිනි. පවත්නේ එකම බාධාවක් පමණි. අඳුරෙන් අඳුරට විනා අඳුරෙන් එළියට ගමන් කරන වුන් හිඟවීම පමණකි. (රාගරත්නා න දක්ඛින්ති තමෝක්ධන්ධෙන ආවටා) නමුත් මෙබඳු ලෝකයේ වුවත් ප්‍රකාශ කරන පමණින් කරුණු වටහා ගන්නා පුද්ගලයෝ ද (උග්ඝටිතඤ්ඤ) බෙදා විග්‍රහ කොට දැක්වීමෙන් කරුණු වටහා ගන්නා පුද්ගලයෝ ද (විපටිතඤ්ඤ) සවිස්තරව දැක්වීමෙන් කරුණු වටහා ගන්නා පුද්ගලයෝ ද (ඤෙය්‍ය) සිටිති. ඔවුන්ගේ සිත සැප පිණිස සත්‍ය අනාවරණය කළ යුතු වේ. ධර්ම ප්‍රචාරය කරුණා මෛත්‍රි පූර්වාංගම කාර්යක් බව බලහත්කාර පිළිගැන්වීමක් නොවන බව බුද්ධ දේශනාවක ම සඳහන් වන්නේ මෙසේ ය.

අපාරුතා තේසං අමතස්ස ද්වාරා
යෙ සොතවන්තො පමුඤ්චන්තු සද්ධං

මේ බුද්ධ ධර්ම ප්‍රචාරයෙහි ස්වරූපයයි. මා විසින් ඔවුන්ට අමාදොර හරින ලදී. අසනු කැමැත්තෝ ශ්‍රද්ධාව පෙරදැරි කර ගනිත්වා අසනු කැමැත්තන් ශ්‍රද්ධාවක් ඇතිවූවන්ට මේ දහම් අමා දොරකි. එබැවින් අවශ්‍ය වන්නේ අසනු කැමැත්ත හා ශ්‍රද්ධාවයි. මෙහි ශ්‍රද්ධාව නම් අන්ධ විශ්වාසය හෝ භක්තිය නොවන බව අවධාරණය කළ යුත්තකි. බොහෝ ආගම් විශ්වාසය භක්තිය මත පදනම් වේ. බුදුදහම කිසි කලෙකත් එබඳු පදනමක නොපිහිටියකි. මිනිසාගේ ශ්‍රේෂ්ඨත්වය, සිතීමේ නිදහස ඉතාමත් ඉහළින් අගය කරන තහවුරු කරන බුදුදහම වැනි ආගමක් වෙන නැත. එහි දැක්වෙන ශ්‍රද්ධාව අන්ධ විශ්වාසයක් හෝ භක්තියක් නොවේ. ශ්‍රද්ධාව හඳුන්වා දීමට යොදා ඇති අර්ථකථන සාවදානව විමසිය යුතුය. ශ්‍රද්ධාව යන්න විස්තර කොට ඇත්තේ අවෙච්චප්පසාද යන වචනයෙනි. එහි තේරුම දැක පැහැදීම යනුයි. දැක පැහැදීම අඳුරේ අතපත ගෑමක් නොවේ. යථාර්ථ වශයෙන් තතු දැන තතු දැක ගොඩනඟා ගන්නා පැහැදීමකි. එය චලනය නොවේ. එවිට අචල ශ්‍රද්ධාවයි. විචාරාත්මක බව, බුද්ධිගෝචර බව වැනි පෘථුල ගුණාත්මක ස්ථාරවත්වයක් ශ්‍රද්ධා යන්නෙහි අන්තර්ගතය. විචාර බුද්ධියෙන් පැහැදී කන් යොමන ජනතාව සඳහා ධර්ම ප්‍රචාරය අත්‍යවශ්‍ය බව මින් පැවසේ.

ධර්මදූත සේවාව අරඹමින් බුදුරදුන් කළ ප්‍රකාශය විනය පිටක මහාවග්ග පාලියේ අපට හමුවන්නේ මේ විදියටයි. ‘මහණෙනි, බහුජනතාවගේ හිත සුව පිණිස, බහුජනතාවගේ සැප පිණිස, ලෝකානුකම්පාව පිණිස, දෙවි මිනිසුන්ගේ දියුණුව පිණිස, හිත සුව පිණිස, සැප පිණිස, චාරිකාවේ යෙදෙව්. දෙදෙනෙක් එක මඟ නොයව්. ආදිකල්‍යාන, මධ්‍ය කල්‍යාන, පර්යවසාන කල්‍යාන, අර්ථවත්, ව්‍යාඤ්ජවත්, සාකල්‍ය පරිපූර්ණ පරිශුද්ධ ධර්මය දේශනා කරව්. අල්පරජස්ක සත්වයෝ ද සිටිති. දහම් නොඇසීමෙන් ඔවුහු පිරිහෙති. ධර්මය අසා පසක් කරන්නෝ සිටිති. එහෙයින් දහම් දෙසීමට පිටත්ව යව්, මම ද උරුවෙලා ජනපදයෙහි සේනානි නියම්ගමට යමි’.

මෙසේ ලෝකානුකම්පාව පදනම් කරගෙන ඇරැඹුනු බුද්ධ ධර්ම ප්‍රචාරය එදා මෙදා අතර සියවස් විසිපහකටත් වැඩි දීර්ඝ කාලයක් පුරා බලයෙන්, හිංසාවෙන් තබා අවිචාරයෙන්වත් සිදුකළ අවස්ථාවක් දක්නට, අසන්නට නොලැබේ. මිනිසුන් ධර්මය දත යුත්තේ කෙතරම් නිදහස්ව, නිවහල්ව ද? ධර්මය මිනිසුන්ට දැක්විය යුත්තේ කෙතරම් විවෘත ප්‍රකට ආකාරයෙන් ද? යන්න පිළිබඳව පරමෝතකෘෂ්ට උපදේශය අංගුත්තර නිකාය කාලාම සූත්‍රයෙන් පැවසේ. කවර ආගමික ඉගැන්වීමක් හෝ කවර ශාස්තෘවරයකුගේ දේශනයක හෝ දක්නට නොලැබෙන ඒ අසිරිමත් බුද්ධෝපදේශය බෞද්ධයන්ගේ සුවිශේෂී ගෞරවයට හා කීර්තියට හේතුවන්නකි.

වරක් කාලාමයට වැඩමකළ බුදුරදුන් හමුවීමට පැමිණි කාලාමයෝ උන්වහන්සේට මෙසේ සැළ කළහ.’ස්වාමීනි මේ කාලාම කේසපුත්තයට නොඑක් නොඑක් මහණ බමුණෝ පැමිණෙති. ඔවුහු තමතමන්ගේ වාද ගැනම ඉදිරිපත් කරති. පැහැදිලි කරති. නිවැරැදි බව කියති. සෙසු වාද හෙලා දකිති. බැහැර කරති. නමුත් ඔවුන්ගෙන් ඇත්ත කියන්නෝ කවුද? බොරු කියන්නෝ කවුද? කියා අපට ඇතිවන්නේ සැකැයක්මයි විමතියක්මයි.’

බුදුරජාණන් වහන්සේ ඔවුනට පිළිතුරු දෙමින් වදාළේ මෙසේ ය. “කාලාමයනි ඔබලා සැකකිරීම සුදුසුයි. විමතිය පළ කිරීම සුදුසුයි. ඔබලාගේ සැකය ඔබලාගේ විමතිය සැක ඇති තැනක්ම විමති ඇති තැනැක්ම හටගත් එකක්. එනිසා කාලාම වරුනි ආරංචියෙන් පරපුරෙන් ආ නිසා මෙහෙමලු යන කට කතා නිසා, මේ අපේ ආගමික සම්ප්‍රදායයි කියා, තර්කය නිසා, ණය නිසා, මෙය, යහපත් වගේය කියා කල්පනාවන නිසා, මෙය අපේ දෘෂ්ටියට ගැළපේ යැයි කියා, මේ යෝග්‍ය පුද්ගලයෙකි කියා, මේ අපේ ගුරුතුමාය කියා යමක් පිළිගත යුතු නැත. යම්විටෙක මේ දේ අයහපත්ව වැරැදිය. මේදේ යහපත්ය, නිවැරැදි කියා, ඔබට වැටහුණොත් ඒ දේ පිළිගන්නා හොඳ නරක පිළිබඳ අවබෝධය කා ගෙවත් නිගමනයෙන් තොරව මිනිසාගේ විචාර බුද්ධියෙන්ම නිර්ණය කිරීමට මිනිසාට ඇති නිදහස, ශක්තිය හා අයිතිය බුදුදහම අගයකොට ඇත්තේ එක් දෙතුන් තැනක නොවේ. ශ්‍රාවකයන් විසින් තම ශාස්තෘවරයා පවා විමසා බැලිය යුතු බවත් ශාස්තෘවරයා සම්‍යක් සම්බුද්ධ ද නැද්ද කියා හඳුනා ගත හැක්කේ ඉන් අනතුරුව බවත් මජ්ඣිම නිකාය විමංසක සූත්‍රයෙහි උගන්වා තිබේ.

ඒ තබා දහම් දැන, දහම් දැක පැහැද බුදුසමය වැළඳ ගැනීමට දායකයන් සූදානම් වෙද්දී ඉක්මන් නොවිය යුතු බවත්, ඉතා වගකීමෙන් සිතා මතා එය කළ යුතු බවත් එක්වරක් නොව තුන්වර දක්වා බුදුරදුන්ම සිහිගැන්වූ අවස්ථා ගැන සූත්‍ර පිඨකයෙහි සඳහන් ය. මජ්ඣිම නිකාය උපාලි සූත්‍රයෙහි එන ආදර්ශමත් පුවත මෙසේය. උපාලි ගෘහපති නිගණ්ඨ නාථ පුත්‍රගේ හොඳ ප්‍රබල දායකයෙක් බුදුරදුන් නාලන්දාවට වැඩි අවස්ථාවක කර්මවාදය පිළිබඳ වාද කොට බුදුරදුන් පරාජය කරවීම පිණිස නාථ පුත්ත උපාලි පිටත්කොට යැවීය. වාදයෙන් නාථ පුත්තගේ මතය වැරැදි බවත්, බුද්ධ මතය නිවැරැදි බවත් ඒත්තු ගත් උපාලි තමා උපාසකයකු කොට පිළිගන්නා ලෙස අයැද සිටියේ ය. බුදුරජාණන් වහන්සේ ඒ අදහස නැවත සලකා බලන ලෙසත් උපාලි වැනි ප්‍රකට පුද්ගලයන් හොඳින් සිතාමතා කටයුතු කළ යුතු බවත්, දෙවෙනි, තුන්වැනිවත් ප්‍රකාශ කළහ. උපාසකයකු වන බවට කී විට පළමුව නුවරුන්ට පැන්තොටක් මෙන් පැවැති උපාලි නිවස ඉන් පසුවත් ඔවුන්ට පෙරසේ සංග්‍රහ සලසන තැනක් විය යුතු බව වදාළහ.

ධර්ම ප්‍රචාරයෙහි ලා අනුගමනය කළ මේ පරමාදර්ශවත් පිළිවෙළ ධර්ම ප්‍රචාරය පිළිබඳ බෞද්ධ ඉතිහාසයේ කිසිදාක වෙනසකට පත් නොවූ බෞද්ධ සංස්කෘතියේ විශිෂ්ට අංගයකි. මේ සත්‍ය ධර්මයේ සිදුකළ හැකි ලෝක සේවා දුටු විඥයන් බුද්ධර්මය ප්‍රචාරයට දැක්වූයේ සාතිශය උනන්දුවකි. බුද්ධ පරිනිර්වාණයෙන් පසු ධර්මය සුරක්‍ෂිත කරගැනීමට ග්‍රාවකයන් දක්වා ඇති උනන්දුව යෙදූ පරිශ්‍රමය ගැන විස්තර අපේ සාසන ඉතිහාසයෙහි දක්නට ලැබේ. කාලිනව විසු රජමහ ඇමැතියන්ගේ මෙන්ම ජනතාවගේ අනුග්‍රහය ඇතිව සිදුකරන ලද ධර්ම සංගායනා මාර්ගයෙන් තහවුරු කරගත් ධර්මය ලෝකයා හමුවේ තැබීමට යොදන ලද විධි විධාන ගැන ද ශාසන ඉතිහාසයේ තොරතුරු වලින් අපට දැන ගන්නට ලැබේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් බුද්ධ පරිනිර්වාණයෙන් සියවස් කීපයක් ගතවන විට ආසියාවේ විශාල ප්‍රදේශයක් පුරා බුදුදහම ව්‍යාප්ත විය. ධර්මදූත සේවාව පිළිබඳ අද්විතීය සටහන් තැබූ ලෝකයේ ප්‍රමුඛ පුද්ගලයා ලෙස ධර්මාශෝක රජතුමාගේ නම සඳහන් කළ හැකි ය. දික් විජය අතහැර ධර්ම විජය කිරීමේ නියැළී මෙවන් ප්‍රබල වෙනත් රජකුගේ නමක් ලෝක ඉතිහාසයෙහි දක්නට නොමැත. කාලිංග යුද්ධයෙන් ජය ලබා ගෙනත් හිංසාව පිළිබඳ වේදනාවෙන් යුතුව සියලු හිංසාවලින් මිදී ධර්මයෙන් ලොව දිනීමට ගත් තීරණය වූ දේශීය වූත් ජාත්‍යන්තර වූත් ධර්ම ප්‍රචාරක ව්‍යාපාරයක් බවට පත්විය.

ඉතිරි කොටස මාර්තු 24 වන දා පත්‍රයේ පළවේ