Print this Article


රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 25 මහා නා හිමියන් පින්කම් කළේ නිහඬවය

රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 25

මහා නා හිමියන් පින්කම් කළේ නිහඬවය

රේරුකානේ මා හිමියන්ගේ බොහෝ ජන්ම දින පින්කම් සිදුවූයේ අත්‍යවශ්‍ය වූ අවශ්‍යතාවයන් වෙනුවෙනි. එසේම බොහෝ දාන පින්කම් සම්ප්‍රදායෙන් ගතානුගතිකත්වයෙන් මිදුණු ප්‍රායෝගික අවශ්‍යතා සැපිරූ පින්කම් බවට පත්වීම නිසා මෙම පින්කම් ඉතා වටිනා පින්කම් බවට පත්විය. උන්වහන්සේගේ මේ වෙනස් එසේම ප්‍රායෝගික පින්කම් කිරීම ඉතා විචිත්‍රවත් විය. බොහෝ අය නොසිතා නැවුම් දෙයක් කිරීම ඊට හේතුවයි

චන්දවිමල මහා නා හිමියන් පින්කමක්, දානයක් ආදිය කරනවා යැයි බොහෝ දෙනකුගේ කන වැකුනේ නම් එයට අවශ්‍ය අඩුම කුඩුම ලොරි ගණනින් ගොඩ ගැසෙන බව සත්‍යයකි. ඒ තරමට උන්වහන්සේට රට පුරාම දහස් ගණනින් සැදැහැවතුන් ඇළුම් කරන ඇත්තන් සිටි බව නොරහසකි. එහෙත් මහා නා හිමියන් පින්කමක් කරන විට රටට අඬ බෙර ගැසුවේ නැත. පින් පත්තර අතින් අතට යැව්වේ ද නැත.

තනතුරු පැමිණියේ මහා නා හිමියන් ට පිටු පසිනි. මහා නා හිමියන් වැඩ සිටියේ තනතුරුවලට ඉදිරියෙනි. 1947 වර්ෂයේ සිට තම ජන්ම දින පින්කම ඉතා හොඳින් කිරීමට උන්වහන්සේ පෙළඹුණේ තමාට ඇති හැකි ප්‍රමාණය හඳුනා ගනිමින් ය.

චතුරාර්ය සත්‍යය පොත ලීවත් මුද්‍රණය කිරීමට මුදල් කීයක් වත් නායක හාමුදුරුවන් අතේ නොවීය. එම නිසා මුද්‍රණය කිරීමට කීප දෙනෙක් ණයට මුදල් ලබා දුන්හ. පොත මුද්‍රණය කිරීමෙන් අනතුරුව ලැබුණු මුදලින් ණය ගෙවා දැමූ විට රු. 500 ක් ඉතිරි විය. ඒ කාලේ විදියට රු. 500 ක් කියන්නේ සැලකිය යුතු මුදලකි. එම මුදලින් නායක හාමුදුරුවෝ කැලණි විහාරස්ථානයේ දී ලොකු පින්කමක් සිදු කළහ. තවත් ජන්ම දින සැමරුමකදී අනුරාධපුරයට වැඩම කර රුවන්වැලි සෑය අභියස විදුලි ආලෝක පූජාවක් මල්, පහන්, ගිලන්පස පූජාවන් ඉතා සාර්ථක අන්දමින් පැවැත්වූහ. තවත් වර්ෂයක අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස ද විශාල පින්කමක් සිදු කරන ලදහ.

කතරගමට වැඩම කර දිළින්දන් උදෙසා ආහාර පාන වස්ත්‍රාදිය පරිත්‍යාග කිරීම සමහර වර්ෂ වලදී සිදුකළහ. එවැනි ජන්ම දිනයකදී හොරණ සහ මත්තේගොඩ මහලු නිවාසයන්හි වැඩිහිටියන් වෙනුවෙන් දාන පින්කම් කළහ. තවත් වර්ෂයකදී කොළඹ මහ රෝහලේ භික්‍ෂු වාට්ටුවේ සිටින ගිලන් වූ භික්‍ෂූන් වහන්සේලාට දාන මානාදියෙන් සංග්‍රහ කර රෝහලට අවශ්‍ය රෝද පුටු මෙන්ම රෝගීන්ට අවශ්‍යය ඇඳන් කීපයක් ද පරිත්‍යාග කළහ.

එවන් උපන් දින සැමරුම් කීපයකදී තුලාභාර දාන කීපයක් ද සංවිධානය කිරීම විශේෂයකි. ‘තුලාභාර’ දානය යනුවෙන් අදහස් කරන්නේ තමාගේ බර ප්‍රමාණයට සහල් ආදී පාරිභෝගික ද්‍රව්‍ය කිරා ඒවා දන්දීම ය. තවත් එක් ජන්ම දින සැමරුමකදී කුඩා දරුවන් සිටින දිළිඳු අම්මලාට, කිරි පිටි, සීනි, තේ කොළ, සබන් සහ වස්ත්‍රාදී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කළහ. දරුණු නියඟය පැවැති කාලයක අනුරාධපුරය මිහින්තලය ආදී ප්‍රදේශයන්හි වෙසෙන ගර්භණී මාතාවන්ට අත්‍යවශ්‍ය දේ විමසා බලා ඒවා පරිත්‍යාග කෙරිණි.

එසේම කලා වැව ප්‍රදේශයේ ගංවතුරෙන් අනාථ වූවන්ට අවශ්‍ය ද්‍රව්‍ය සපයා දෙන ලදී.

මේ අතරවාරයේ තවත් ජන්ම දින පින්කම් කීපයකදී පිරිවෙන් අධ්‍යාපනය ලබන භික්‍ෂූන් වහන්සේලාට ද පරිත්‍යාගයන් සිදු කළහ. එසේම ඇතැම් වර්ෂයන්හිදී විහාරස්ථානය වෙත භික්‍ෂූන් වහන්සේ වැඩම කරවා දානය දෙන ලදී.

අප නිවසක විහාරස්ථානයක දාන දෙන විට එම දෙන තැනැත්තාගේ පරිත්‍යාගශීලීත්වය පිළිබඳව ගුණ කථන කිරීමට පෙළඹීම සිරිතක් වී තිබේ. තණ්හාව අත්හැරීමේ ප්‍රායෝගික ක්‍රියාවක් වශයෙන් දානයක් දෙන පින්වතාට වචනයකින් දෙකකින් පුණ්‍යානුමෝදනාවක් කළාට එය හිතට මදිකමකි. බඩකට පුරවා ලූ ආකාරයට හිතත් පිරෙන්නට ගුණ ගායනා ප්‍රශස්ති අවශ්‍යමය. නැතිනම් පින්කළ හිත කනස්සල්ලට පත්වෙයි.

එහෙත් තම විහාරස්ථානයට වැඩම වූ භික්‍ෂූන් වහන්සේට දානයක් දීමෙන් පසුව චන්දවිමල මහා නාහිමියෝ වචන කීපයක් කියා දානය පිරිකර ආදිය පරිත්‍යාග කළ අතර මුලින් හෝ අගින් කිසිම අනුශාසනාවක් කිරීමට නොපෙළඹෙති. තමා පිළිබඳ කෙරෙන ගුණ කථනයන් කාරුණිකව ප්‍රතික්‍ෂේප කරති. එමනිසා ඉතා අත්‍යවශ්‍ය දේ අඩංගු වූ මෙවැනි දානමය පින්කමක් ඉතා සරල එහෙත් අංගසම්පූර්ණ ආකාරයෙන් නිම වේ.

එසේම මහා නා හිමියන්ගේ ජන්ම දිනයේ දී එදිනට එළඹෙන වයසේ වසර ගණනට සමාන දිළිඳු අය කැඳවා ඔවුන් වෙත වියළි ආහාර පරිත්‍යග කිරීමට ද උන්වහන්සේ පෙළඹුණහ.

තවත් වර්ෂයකදී මඩකඩ ආරණ්‍යයට පුංචි විහාරයක් ද ඉදිකරවා දීමට ද නායක හාමුදුරුවෝ කටයුතු කළහ. දැනට විනයාලංකාරාරාම විහාරස්ථානයේ ඇති සීමා මාලකය ද සෑදුවේ එවැනි ජන්ම පින්කමකදී ය. මේ අතර ළිං පොකුණු කීපයක් සාදවා දීමට ද භික්‍ෂූන් වහන්සේලාගේ වාසයට අවශ්‍ය ආවාස කුටි කීපයක් සාදවා දීමටද ඒ දඬු පාලම් වෙනුවට කොන්ක්‍රීට් දමා දෙපා පාලම් ආදිය සකස් කිරීම මෙන්ම තවත් භික්‍ෂූන් වහන්සේලාට සොයා බලා අවශ්‍ය සිවුරු පාත්‍රා, ඇඳන් පරිත්‍යාග කිරීම මෙන්ම කන්‍යාවන් වෙනුවෙන් දෙන ලද දානයන් ද විශේෂ වෙයි.

ඇත්තෙන්ම රේරුකානේ මා හිමියන්ගේ බොහෝ ජන්ම දින පින්කම් සිදුවූයේ අත්‍යවශ්‍ය වූ අවශ්‍යතාවයන් වෙනුවෙනි. එසේම බොහෝ දාන පින්කම් සම්පද්‍රායෙන් ගතානුගතිකත්වයෙන් මිදුණු ප්‍රායෝගික අවශ්‍යතා සැපිරූ පින්කම් බවට පත්වීම නිසා මෙම පින්කම් ඉතා වටිනා පින්කම් බවට පත්විය. උන්වහන්සේගේ මේ වෙනස් එසේම ප්‍රායෝගික පින්කම් කිරීම ඉතා විචිත්‍රවත් විය. බොහෝ අය නොසිතා නැවුම් දෙයක් කිරීම ඊට හේතුවයි.

ඉහත අප සඳහන් කළ පරිදි මාහිමියන් මෙවැනි පින්කම් සංවිධානය කළේ වෙනත් කෙනකු හෝ අඩු තරමින් තමා සමීපයේ සිටි හිතවත් දායකයකුවත් අපහසුතාවයට පත් කිරීමෙන් නොවේ. තමා වෙත පෙර පින් බලයෙන් හෝ නිරායාසයෙන් ලද කීර්තිනාමය වෙනුවෙන් හෝ ලැබුණු යමක් වුණි නම් ඒ ලැබුණු දෙය අනුව දානයද සංවිධානය කළහ. එම නිසාම සමීපයේ සිටි කිසිවකුටත් පීඩාවක් ඇති නොවී ය. ලැබෙන දේ බෙදා දීමෙන් මෙවැනි උසස් පින්කම් කිරීමට උන්වහන්සේට හැකි වූහ. පරිත්‍යාගයේ සැබෑ අරුත ද මනාව දැන සිටි නිසා එයට අනුගතව චන්දවිමල හිමියන් කළ පින්කම් ඉතා උසස් පින්කම් බවට පත් විය.

එවන් යහපත් වඩාත් උචිත ප්‍රායෝගික අත්දැකීම් ඇසීමට ලැබීමෙන් ද අප සැමට ද සාර්ථක දන් පින්කම් ආදිය කිරීමට සුදුසු පසුබිමක් සකස් කර ගැනීමට අවශ්‍යය අවබෝධය ජීවිතයට උකහා ගත හැකි ය. මෙවන් දාන පිළිබඳ කතා කිරීමේ දී කල්‍යාණවංශ හිමියන් තම නායක හිමියන් විඳි අත් දැකීම් කීපයක් ද මෙනෙහි කරයි. “දවසක් මේ ළඟම තිබෙන මීමන කියන ගමේ ගෙදරක දානයක් සූදානම් කරලා අපේ නායක හාමුදුරුවන්ට ආරාධනාවක් කළා. දානය සියක් නමක් වෙනුවෙන් සකසා තිබෙන බවත් ඒ වෙනුවෙන් මැටි පාත්තර සියයක් දානය වැළඳීමට සූදානම් කර ඇති බවත් දායක පිරිස පැවසුවා.”

“එවිට අපේ නායක හාමුදුරුවන් දුන්නේ අපූරු උත්තරයක්. ඇත්තන්ම එය හොඳ පැහැදිලි කිරීමක්. මැටි පාත්තරේ හරි යකඩ පාත්තරේ හරි පිඟානක හරි වැළඳුවාට එහි කිසිම වෙනසක් නැහැ. මැටිපාත්තරේම වැළඳිය යුතු යැයි කියනවා නම් දානෙ බාර ගන්න අපහසුයි.”

“මේ වචන ටික ඇසීමෙන් පසුව දානය දීමට සිතාගෙන සිටි ඇත්තන් දොස් කියමින් යන්නට ගියා. ආයේ කවදාවත් පන්සල පැත්තේ ආවේ නැහැ.”

මෙයින් අදහස් කෙරෙන්නේ එවන් පින්කම් කිරීමේ දී සුදුසු ලෙස ක්‍රියාකරනවා හැර බලකිරීම් පීඩනයන් නොකළ යුතු බවකි. තම තමාට රුචි ආකාරයට අවශ්‍ය සීමාවන් තුළ කටයුතු කරනවා හැරෙන්නට නිශ්ඵල ක්‍රියාවන්ගේ ඵලය ද නිශ්ඵලමය.

චන්දවිමල මා හිමියන් සෑම විටම කටයුතු කළේ ධර්මානුකූල සත්‍ය මතම පදනම් වෙමිනි. යමකු කරන ක්‍රියාව ඊට අනුකූල නොවන්නේ නම් එය නොවළහා පහදා දීමට ඒ වෙනුවෙන් තම අදහස කෙලින් ප්‍රකාශ කිරීමට කිසිවිටෙකවත් මහා නාහිමියන් පසුබට වුණේ නැත. තමාගේ සමීපයකු හෝ එවැනි දේකින් කළකිරේවි යැයි අමනාපවේ යැයි සිතා නිවැරදි දේ පැවසීමෙන් පාඩුවක් සිදු වුවද වැරදි දෘෂ්ඨීන් හිත් තුළ රඳවා තබා ගැනීමට ඉඩ දී උන්වහන්සේ මුනිවත රැක්කේ ද නැත.

එසේම කවුරුන් හෝ තමා වෙත පහදවා ගැනීමට ඇඳ බැඳ තබා ගැනීමට සත්‍යයෙන් පිට පැන කිසිම දෙයක් නොකරණ, නිවැරදි දෘෂ්ඨියකින් හරිදේ පමණක් කිරීම මහා නා හිමියන් සතු වූ උදාර ගුණයක් බව කල්‍යාණවංශ හිමියෝ පවසති.

තවත් කොටසක් මාර්තු 24 වන දා පත්‍රයේ පළ වේ


රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 24 පරම ලාභය නිරෝගි සැපත ය