Print this Article


සදහම් දැනුම

ප්‍රශ්නය

ලක්දිවට බුදු දහම ගෙන ඒමෙන් පසුව ජලය හා එක්වූ ප්‍රධාන ඇදහිලි හා චාරිත්‍ර ක්‍රම දෙකක් වූයේ ශ්‍රී මහා බෝධින් වහන්සේ හා දන්ත ධාතුන් වහන්සේ මුල් කර ගත් පූජා විධින්ය. ජය ශ්‍රී මහාබෝධින් වහන්සේ රෝපණය කර එය ජලයෙන් නැහැවීම සඳහා ක්‍ෂත්‍රිය කන්‍යා කුමරියන් සතර දෙනෙක් ධර්මාශෝක රජු විසින්ම අනුරාධපුරයට එවන ලද්දේ සශි‍්‍රකත්වය පිළිබඳව එකල පැවැති විශ්වාසය නිසා විය යුතුය. මෙම චාරිත්‍ර සම්ප්‍රදාය පිළිබඳව ඓතිහාසික තොරතුරු ඇසුරෙන් පැහැදිලි කරන්න.

පිළිතුර

රජ කෙනෙකු සතුව තිබූ ප්‍රධානතම වගකීම වූයේ ජනතාවගේ කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය වැසි ජලය කලට සැපයීමය. එය සිදුවන්නේ රජුගේ ධාර්මිකත්වය මතය යන විශ්වාසය මිනිසුන් අතර විය. එසේ වැසි නොලැබී ගිය කල රජවරුන් සත්‍යක්‍රියා කිරීමට පවා පෙළඹුණේ එහෙයිනි. සිරි ස¼ගබෝ රජතුමන් එවැනි අවස්ථාවක කළ සත්‍ය ක්‍රියාවක් ගැන වංස කථා වල විස්තර වෙයි. ශ්‍රී මහා බෝධින් වහන්සේට කන්නලව් කිරීමෙන් හා පුද පූජා පැවැත්වීමෙන් අවශ්‍ය වර්ෂා ජලය ලබා ගැනීමට හැකි බව ජන විශ්වාසයයි. නියං කාලයට තිසා වැවෙන් පැන්ගෙන පෙරහරින් ගොස් බෝධින් වහන්සේ නැහැවීම වැසි ලබා ගැනීමේ එක් පිළිවෙතකි. දළදා වහන්සේට එවැනි බලයක් ඇතැයි විශ්වාස කළ ජනයා වාර්ෂිකව දන්ත ධාතුන් වහන්සේ ප්‍රදර්ශනය කිරීමෙන් වර්ෂාව බලාපොරෙත්තු වූහ.

වැසි නොවසින කල පෙරහර කොට දන්ත ධාතුන් වහන්සේ ප්‍රදර්ශනය කිරීමේ සම්ප්‍රදාය අද දක්වාත් පවතින්නකි. සැදැහැවත් බෞද්ධ රජවරුන් බොහෝ දෙනෙකු මුළු මහත් ලක් තලයම ශ්‍රී මහා බෝධින් වහන්සේට සහ දන්ත ධාතුන් වහන්සේට පූජා කොට යමක් මේ පොළොවේ උපදීද එය පළමුව බුදුරදුන්ට පූජා නොකොට පරිභෝජනය නොකළ යුතු යැයි නීති පැන වූයේද එහෙයිනි.මහපොළොවෙන් උපදින දැයෙන් ත්‍රිවිධ රත්නය පූජා කිරීම සැදැහැවත් නරපතියන් ප්‍රමුඛ මේ රටේ දුගී දුප්පත් සියලු ජනයා පුරුදු වූ සද්චාරිත්‍රයකි. එය මහා පුණ්‍ය ක්‍රියාවක් සේ සැලකු ඔවුහු ඒ හේතුවෙන් උසස් ජීවන පැවැත්මක් ලබාගත හැකි බව විශ්වාස කළහ. රටවැසියාගේ කුසගනි නිවා ඔවුන් සතුටට පත්කර භික්‍ෂූන් වහන්සේ පෝෂණීය කොට ධර්මය ආරක්ෂා කිරීමෙන් රජවරු ධාර්මික ජීවිතයක්ම ගත කළෝය.

විශේෂයෙන් කෘෂිකර්මය, සඳහා අවශ්‍ය ජලපහසුකම් සැලසූ රජවරු බෝසතුන් මෙන්ම දෙවිවරුන් වශයෙන් ද සැලකු සිංහල ගැමි විශ්වාසය අනුව රජතුමන් වූ කලී සියලු සතුන්ගේ දුක් ගිනි නිවා ඔවුන්ගේ මෙලොව පරලොව සුගතිය සලසන මිනිස් වෙස් ගත් දෙවියෙකි. නිසි කලට වැසි වසීවා සශ්‍ය සම්පත් වැඩිවේවා. රජු දැහැමි වේවා මේ සියල්ලෙන් රටට සෞභාග්‍යය උදාවේවා යැයි උදේ සවස මහා සංඝයා වහන්සේ මෙත් වඩන්නේ එබැවිනි. ජලයේ ඇති බලයත් රජතුමාගේ ධාර්මික ජීවිතයත් අතර සම්බන්ධතාවය ගැන එවැනි බෞද්ධ සංකල්පයකින් කරුණු වටහා ගත හැකියි.

මහසෙන් මහරජතුමා මින්නේරි දෙවියන් වශයෙන් සැලකුණේ ඒ හේතුවෙනි. ජලය හා සිංහල බෞද්ධ චාරිත්‍ර වාරිත්‍ර අතර ඇත්තේ දැඩි සම්බන්ධතාවයකි. සිංහල ගැමි ජීවිතයේ සංකේතාත්මකව ඉටු කරන මෙහෙය සිත් ගන්නා සුළුය.අත පැන් වත් කිරීමෙන් සංකේතවත් වන්නේ අයිතිය ලබාදීමයි.මෙය දන්දීමෙහිදීත් විවාහයේදීත් සිදුවන චාරිත්‍රයෙකි. මළගිය අයට පින් පැමිණවීමෙහිදීත් පැන් වැඩීම යනු වෙන් සිදු වන්නේ එවැනි අදහසක් ක්‍රියාත්මක කිරීමකි.ලෙඩ දුක් නිවාරණය සඳහා යොදා ගත්තේ පිරිත් පැන්ය. සුබ නිමිති අතර ජලය වැදගත් වස්තුවකි. වතුර කලය සෞභාග්‍යයේ සංකේතයකි.

ප්‍රශ්නය

මා අතහැර නොයන සෙවණැල්ල සේ (ඡායාව අනපායිනි) පින් දහමෙහි විපාක පැහැදිලි කරන නිදර්ශනයක් බුද්ධ කාලීන ශ්‍රාවකයාණන් වහන්සේලාගේ චරිතාපදානයන් අතරෙන් හඳුන්වා දෙන්න.

පිළිතුර

ලාභීන් අතරින් අගතනතුර ලත් සීවලී මහ රහතන් වහන්සේ

ප්‍රශ්නය

පියමතුරා බුදුරදුන් සමීපයෙහි මම මතු බුදු සසුනක “ ධර්මකථික’ භික්ෂූණීන් අතරෙන් අගතනතුර පතමි’ යනුවන් කළ ප්‍රාර්ථනාව ඉටු කරමින් ගෞතම බුදුරජාණන් වහන්සේ අබියස පසු කලෙක ධර්ම කථික භික්ෂුණීන් අතර අග තනතුරු ලැබූ රහත් තෙරණිය කවුද?

පිළිතුර

ධම්මදින්නා රහත් තෙරණිය

ප්‍රශ්නය

පැරැණි දඹදිව වෛදික යුගයේ ඍග්වේද ග්‍රන්ථයේ 10 මණ්ඩලයේ 90 වන සුක්තයේ පහත සඳහන් ශ්ලෝකය සඳහන්ව ඇත.වෛදික බ්‍රාහ්මණ සම්ප්‍රදායේ මූලික අදහසක් මෙම ශ්ලෝකයෙන් පෙන්වා දී ඇත. එමඟින් වර්ණභේදය ගැනද කියැවේ. විමසන්න.

බ්‍රාහ්මණස්‍ය මුඛ මාසීද්

බාහු රාජන්‍ය කෘතං

ඌරු තදස්‍ය යද් වෛශ්‍යාම්

පාදභ්‍යාම් ශූ®දෝ අජායත

අනුවාදය – බමුණ! උපත මහ බඹූගේ මුඛයෙන් සිදු වූ අතර ක්‍ෂත්‍රියයා ඔහුගේ දෙබාහුවෙන් උපත ලැබීය. මහ බඹුගේ දෙකලවා වලින් වෛශ්‍යයාද ඔහුගේ පාදයෙන් ශුද්‍රයා ද ජනිත විය.

පිළිතුර

මෙම වේද ගීතාවෙන් අරමුණු කිහිපයක්ම බමුණන් විසින් සනාථ කරගෙන තිබේ. ප්‍රජා නිර්මාණයට මෙන්ම වර්ණභේදයට ආගමික පදනමක් ආරෝපිත කිරීමෙන් පවතින සමාජ ප්‍රභේදයන්ට (කොටස් වලට) ශුද්ධ භාවයක් හා දේව නිර්මාණ වාදයත් එකතු කිරීමෙන් ආගමික සාධාරණී කරණයක් ලබා දී තිබේ. ඒ අනුව මිනිස් වර්ගයාට වර්ණභේදය වූකලී අනුල්ලංඝනීය (වෙනස් කිරීමට බලයක් නැති) අභියෝග නොකළ යුතු බ්‍රහ්ම නිර්මිත වෙනස්නොවන සදාකාලික ප්‍රභේදයක් බවට ඒත්තු ගැන්විණි.

ප්‍රශ්නය

මම සැප විඳීමි. යන හැඟීම යම් තාක් සත්වයා තුළ බලපවත්වයි. නම්, ඒතාක් ඔහු තුළ සංසාර විමුක්තිය පිළිබඳ කැමැත්ත පහළ නොවේ.මේ හැඟීම සත්වයා තුළින් ඉවත් කළ හැකි විසුද්ධි මාර්ගය පැහැදිලි කරන්න.

පිළිතුර

චතුරාර්ය සත්‍යයෙහි එන සිව්වැන්න දුක්ඛ නිරෝධ ගාමිණි පටිපදා මාර්ග සත්‍යයි. මෙම සත්‍යයෙහි ප්‍රථමයෙන්ම ‘සම්මා දිට්ඨිය’ යහපත් දැකීම, නම් යම් කිසිවක් ඇති පරිද්දෙන් යථා භූත ලෙස දැක ගැනීමයි. යථාභූ®ත ලෙස දැකගත හැකිවන්නේ චතුරාර්ය සත්‍යය මගිනි.සම්‍යග් දෘෂ්ටිය නම් චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය යැයි කියන්නේ එහෙයිනි. නිවන් දකින්නට අපට ඉවහල් වන උත්තම ප්‍රඥාව නම් මේ අවබෝධයමයි. අවබෝධය දෙවදැරූම් යැයි පෙළ දහමෙහි උගන්වයි.අප බොහෝ විට අවබෝධය යයි ගන්නේ අපට මතක තිබෙන අප දන්නා කරුණු අනුව යම් දෙයක් නුවණින් තේරුම් ගැනීමය. මේ වනාහි අනුබෝධයයි.

මෙය ගැඹුරු නොවේ. සැබෑ ගැඹුරු අවබෝධය නම් විනිවිද දැකීම හෙවත් ප්‍රතිවේදයයි.මෙය වනාහී යම් දෙයක බාහිර නමට මුළා නොවී එය ඇති පරිදදෙන් (යොනිසො මනසිකාර) යථාර්ථයෙන් දැක ගැනීමය. ප්‍රතිවේදය ලැබෙන්නේ සිත සියලු කෙලෙස් වලින් මුදාගෙන භාවනාව මගින් දියුණු කළ විටය. (බුදුන් වදාළ ධර්මය වල්පොළ රාහුල හිමි ඇසුරෙන්)

ප්‍රශ්නය

විඤ්ඤාණපච්චයා නාමරූපං විඤ්ඤාණය ප්‍රත්‍යකොට ගෙන නාම රූප හට ගනී.පෙළ දහම් විවරණයට අනුව ගැඹුරින් සාකච්ඡා කළ යුතු දහම් න්‍යායකි. එහෙත් ගැඹුරු අර්ථයෙන් සරල අර්ථයට ධර්මානුකූලව විවරණය කළ හැකිය. පැහැදිලි කරන්න.

පිළිතුර

නාම හා රූප යනනෙන් ගැනෙන්නේ ස්කන්ධ පංචකයයි. වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධ හතර නාම ස්කන්ධ වශයෙන් ද කය රූපස්කන්ධය වශයෙන්ද වෙන්වෙයි. නාම ශබ්දය නොයෙක් අතට නැමීම යන අදහස දෙයි.නාමස්කන්ධ එබඳු නොයෙක් අතට නැමීමට පත්වන ධර්ම නිසා ඒ නමින් සංග්‍රහ වී තිබේ. සුඛ දුක්ඛ වශයෙන් පමණක් නොව කුසල අකුසල වශයෙන්ද නාමස්කන්ධ නොයෙක් අතට පරිවර්තනය වෙයි. රූප යනු විනාශ වන ස්වභාවය යන අර්ථයයි. රූපයෙහි ස්වභාවය ක්ෂණික පරිවර්තනයයි.

ප්‍රශ්නය

නිවන පසක් කරගනු කැමැති අයෙකු විසින් තමා විසින් ඇති කරගත යුතු බල ධර්මයෝ පසෙකි ඒ මොනවාද?

පිළිතුර

සද්ධා බලය – විරිය බලය, සති බලය, සමාධි බලය පඤ්ඤා බලය වේ.ශ්‍රද්ධා බලය ඇතිකරගත් තැනැත්තෙකුට ඉතිරි බලයන් නිරායාශයෙන් ඇති කරගත හැකියි.

ප්‍රශ්නය

දහම් නයට අනුව සෑම මිනිසෙක්ම ආහාරපාන, නිවාස ආදී මූලික විහරණයන් හා සමානව කීර්තිය හා ධනය,ද අපේක්‍ෂා කරයි. ධර්මයෙහි ‘අභ යත්ථ කටග්ගහ’ යනු මෙලොව මේ සම්පත් අපේක්‍ෂාව මෙන්ම පරලොව ද සුගතිගාමිත්වය ප්‍රාර්ථනා කරයි. මෙසේ දෙලොව අභිවෘද්ධිය ළඟා කරගත හැකි කරුණු 10 ක් (අං.නි) දසක නිපාතයෙහි සඳහන් වෙයි. පැහැදිලි කරන්න.

පිළිතුර

පෙළ දහමෙහි දස අරිය වඩ්ඩියෝ යනුවෙන් ආර්ය ශ්‍රාවකයකු භෞතික සම්පත්වලින් මෙන්ම ආධ්‍යාත්මික ගුණ සම්පතින්ද වර්ධනය විය යුතු බව සඳහන් වෙයි. ඒවා නම් ඛෙත්තවත්තු -කෙත්වතු වැඩීම

ධධන ධඤ්ඤානි –ධන ධාන්‍ය

පුත්තදාරා -අඹුදරු

දාස කම්මකාර පොරිසා - දැසිදස්

කම්කරු

චතුප්පාදා - සිවුපා ගව මහීෂාදීන්

ශ්‍රද්ධා -ශ්‍රද්ධාවෙන්

සීලං - සීලයෙන්

සුතං – බහුශ්‍රැත භාවයෙන්

චාගො - පරිත්‍යාගයෙන්

පඤ්ඤා– ප්‍රඥාවෙනි