Print this Article


තරුණ පිරිසට නිසි අවබෝධයක් ලබා දෙමු

දරුවන්ගේ ආවේගශීලි බව නිසා මෙන්ම කුතුහලය නිසා ඔවුන් යහපත් හා අයහපත් දෙඅංශයටම යොමුවන බව අප මීට ඉහත කතා කළා.

ස්වභාව ධර්මයා විසින් ලබාදී තිබෙන සුන්දරත්වය අත් විඳින්න ඇතැම්විට තරුණ පරපුරට හැකියාවක් නැහැ. සාහිත්‍ය කලාව,ආගම, සියල්ල ඔවුන්ගෙන් දුරුවෙලා යාන්ත්‍රික රොබෝවරුන්ගේ මෙන් ඔවුන්ගේ මනස එක්සත් වෙලා. ඔවුන්ගේ ක්‍රියාකාරකම් දෙස බැලූවිට අපට පැහැදිලිව පෙනී යන විශේෂ කරුණක් වන්නේ ඔවුන් තමන් මිය යන බව අමතක කර ජීවත්වන බවයි. මිනිස් ජීවිතය තාවකාලික බවක් ඔවුන්ගේ මනැසට දැනී නැහැ. සමස්ත අධ්‍යාපන රටාවම මීට වගකිව යුතුවනවා. මේ සම්බන්ධයෙන් රජයට දොස් පවරා වැඩක් නැහැ. අද ඇතැම් දෙනා කරන්නේ පවත්නා රජයට දොස් පැවරීමය. තරුණ දූ දරුවන් ක්‍රියා කරන ආකාරය ඔවුන් විසින් ගනු ලබන ක්ෂණික තීරණ දෙස බැලීමේදී අපට ඉතා පැහැදිලි වන්නේ

අප කොයිතරම් වෙහෙසුණත් තරුණ පිරිසට නිසි අවබෝධයක් ලබා දීමට නොහැකිනම් සියලු වැඩපිළිවෙළ නිෂ්ඵල වනවා. තරුණ තරුණියනට අසන්නට දකින්නට තිබෙන්නේ අසීමිත ලෙස පංචේන්ද්‍රියන් පිනවන ආකාරයයි. පංචේන්ද්‍රියන් පිනවීම ගිහි පිරිස් විසින් සිදු කළ යුතු වුවත් අසීමිත ලෙස ඉඳුරන් පිනවීමෙන් සමාජය විශාල ව්‍යසනයකට ලක් වෙනවා. මේ අසීමිත පංචේන්ද්‍රියන් පිනවීමේ ක්‍රමය තුළ තරුණ පිරිස අතරමංවී ආවේගශීලිව අපේක්‍ෂාවන් තර කරගෙනයි ඉන්නේ. රටක අනාගතය, ජාතියක අනාගතය සංස්කෘතියක අනාගතය ඒ අයුරින් රැක ගන්න බැහැ. එදිනෙදා මනැස පිනවන තරුණ පිරිස නිසා බොල් තරුණ පිරිසක් බිහිවනවා. අද තරුණ පිරිසේ දැක්ම හැදියාව හොඳින් බලාගන්න පුළුවන් පාසලක් අවසන් වන විට ගේට්ටුවක් ළඟ ටික වේලාවක් බලාගෙන සිටියහොත්, එම දරුවන්ගේ භාෂාව, චර්යා ධර්ම, හැසිරීම, ගමන් විලාසය මේ සියල්ලම කියාපාන්නේ අපේ තරුණ පිරිසගේ ක්‍රියාකලාපයයි.

යෞවනයන් අතරමං වෙලා ගුණයෙන් නුවණින් පරිබාහිර වූ ලෝකයකයි ඔවුන් දිවිගෙවන්නේ. අද ඇතැම් මාධ්‍ය පවා කටයුතු කරන්නේ හුදෙක් වාණිජ පරමාර්ථ මුදුන්පත් කරගන්නයි. තරුණ පිරිස් ආවේග මත කුතුහලය මත නොදැනීම මත ඔවුන් බලාපොරොත්තු වනදේ කෙසේ හෝ ලබාදීම විනා ඉන් සිදුවන සමාජමය හානිය ගැන බොහෝ විට අවධානය යොමු කර නැහැ. විද්‍යුත් මුද්‍රිත මාධ්‍ය දෙකම ඇතැම්විට මේ තත්වයට පත්වෙලා .කොතැනින් කෝකට යනවාද? යන්න නොදන්නා ලෙසින් තරුණ පිරිස ඒ මාධ්‍ය ලෝකයේ අතරමං වෙලා. මේ අතරමං වීම තුළ සිංහල දෙමළ, මුස්ලිම්, සියලු දෙනා මුලාවෙලා. වසර සිය ගණනක් එක්ව සිටි මේ පිරිස ජාතීන් අතර විරසකවීම් ඇතිවුණේ තරුණ පිරිස අතරට ගුණදහම් ඉවසීම ,කරුණාව ,දයාව , නිසි අයුරින් ලබා නොදුන් නිසයි. දැහැමින් ජීවත්වීම අපහසුබව බුදුදහමේද දැක්වේ.

හිරිමතාච දුජ්ජීවං - නිච්චං සුචිගවෙසිනා
අලිනෙනප්ප ගබ්හෙන - ශ්‍රද්ධා ජීවෙන පස්සතා

ලජ්ජා, බය ඇති , දැහැමින් දිවිගෙවීමට සිතන කෙසේ හෝ ජීවත් වුවහොත් ඇතැයි නොසිතන කපටි නොව යහපත් පුද්ගලයකුට ජීවත්වීම අපහසු බව ධම්මපදයේ මෙම ගාථාවෙන් දක්වා තිබෙනවා.

මේ නිසා තරුණ දරුවන්ට යහපත්ව දිවි ගෙවීමේ අපහසුව අනන්‍යයන්ට කරදර හිරහැර නොකර ජීවත්වීමේ අපහසුව මෙන්ම එහි අරුත පැහැදිලි කර දිය යුතුවනවා. පැයක් දෙකක් අසුන් ගෙන ධර්ම දේශනා කිරීමෙන් එසේත් නැත්නම් මේ සම්බන්ධව පැය ගණන් ගුවන්විදුලි හෝ රූපවාහිනි වැඩසටහන් නිපදවීමෙන් හෝ පුවත්පත් පිටු පිරවීමෙන් පලක් වන්නේ නැහැ. තරුණ පිරිස නිසි මඟට ගැනීමේ ප්‍රායෝගික වැඩපිළිවෙළක් අවශ්‍ය වනවා.

තරුණ පිරිස විසින් ඉල්ලන දේම නොව සුදුසු සේ සිත් ඉල්ලන ආකාරයෙන් ලබාදිය යුතුවෙනවා. තරුණ තරුණියන් නිරතුරුවම තමන් ජය ගැනීමට උත්සාහ දරනවා. ජයග්‍රහණය ලැබීමට සැමවිටම උපදෙස් ලබා දෙනවා විනා ඉන් ලබා ගත හැකි ලබා ගත යුතු අත්දැකීම් දැනුම ගැන කිසිවක් ඔවුන් දැනුම්වත් කරන්නේ නැහැ.

ජයං වෙරං පසවති - දුක්ඛං සෙති පරාජිතෝ
උපසන්නෙ සුඛං සෙති - හිත්වා ජය පරාජයං

ජයග්‍රාහකයා සතුටක් ඇතිකර ගන්නා බවත් පරාජිතයා සැමවිටම දුක්වන බවත් පවසන මේ ධම්ම පද ගාථාව කියන්නේ ශාන්ත පුද්ගලයන් ජය පරාජ දෙකෙහිම සුවසේ ජීවත්වන බවයි.

සියල්ලට පෙර මුදල් ඉදිරියට දමා තරුණ පිරිස විලාසිතා හා මුදල් අතර ලෝකයක අතරමං වී තිබෙන බවක් පෙනෙනවා.

සාකච්ඡා කළේ: තාරක වික්‍රමසේකර