Print this Article


අත්හැරීම සැපයට හේතුයි

සිතේ ස්වභාව ආස්වාදය සොයා යෑමය. උපන් සත්වයා උත්සාහ දරන්නේද සතුට ගෙන දෙන හැම දෙයක්ම තමා වසඟයේ ස්ථිරසාරව පවත්වා ගැනීමටයි. එහෙත් හේතුන්ගෙන් හටගත් යමක්වේද මොහොතක් පාසා වෙනස් වෙමින් විපරිණාමයට පත්වීම ධර්ම නියාමය වේ.කොපමණ වින්දනය ස්ථීර කරගැනීමට ප්‍රයත්න කළත් තාවකාලික වන්නේය. තාවකාලික දේ නුවණින් විමසා අත්හැරීම මානසික සුවයට හේතු වන්නේය. නමුත් අවිද්‍යාව ප්‍රත්‍ය කරගත් ලෝකයා නැවැත නැවැත ඉන්ද්‍රියන් පිනවීමට යෑමෙන් කෙළවර දුකට, ශෝකයට, තැවීමට, අසහනයට පත්වන කරුණු කාරණා රැස් කරන්නේය.කර්ම රැස්කරන තාක් සසර දුකින් එතෙරවීමට ශක්තියක් ඇති නොවන්නේය.

ඇසක් ලැබුණේ මනා සිහිනුවණින් ලෝකය දෙස බැලීමටයි. ඇස නුවණින් පවත්වා ගැනීමට උත්සාහ කළොත් කෙලෙස්වලින් තෙත් නොවී සිත නිවාගැනීමට හැකියාව සැලසෙන්නේය. එහෙත් අසීමිත පිනවීමට යොමු වීමෙන් සහනය නැතිවී දුකින් පීඩිත පරාජිත පුද්ගලයකු ඔබ කෙරෙන් නිර්මාණය වන්නේය.ඇස සතුටු කිරීම සැපයක් නම් ශෝක පරිදේව දෝමනස්සයන් හට නොගත යුතුය. යමක් පි‍්‍රය ලෙස සීමාව ඉක්මවා සිතන්නට යෑමෙන් දුක් පීඩා සිත්තැවුල් වැඩිවීමක් මිස අඩුවීමක් ඇති නොවන්නේය. කාය චිත්ත සහනය වැනසීම සිදුවන්නේය.

පිනවීම තුළින් කුසල මූලය වර්ධනය වීමක් කෙසේවත් නොවන්නේය. සිතේ කිලිටි භාවයම වර්ධනය වන්නේය. එනම් ලෝභ, ද්වේශ මෝහයම ශීඝ්‍රව වර්ධනය වන්නේය. පුහුදුන් අශ්‍රැතවත් සත්වයාට තමාගේ සිත පිරිසුදු වීම,අපිරිසුදුවීම කෙසේ වන්නේද කියා දැනීමක් හටනොගන්නේය. එයට හේතුව වන්නේ අයෝනිසෝ මනසිකාරය බව තේරුම් ගත යුතුය. නුවණින් යුතුව මනසිකාරය කරන ශ්‍රැතවත් ශ්‍රාවකයාට පමණයි පවිත්‍ර, අපවිත්‍ර භාවය හටගත් බව මනා ලෙස තේරුම් කරගැනීමට පුුළුවන්කම සැලසෙන්නේ. එම සිත තුළයි විවේකය, විරාගය, නිරෝධය, නිවීමට සිත පත් කරගැනීම, ලොව පරම සැපය වන ධර්මාවබෝධය සැලසෙන්නේ. ඒ සඳහා ඇස කෙරෙහි කලකිරීම ප්‍රකට කොටගෙන අත්හැරීම සඳහා සිත වඩයි. කෙලෙස් නැසීමට හිතකර වු මාර්ගය වන සප්ත බොජ්ක්‍ධංගයන් ම වඩයි. බහුල ලෙස දියුණු කරගනියි.

අප දැන් ජාති, ජරා, ව්‍යාධි, මරණ නමැති දුක හටගන්නා ක්‍රමවේදය තේරුම් කර ගනිමු. මවුකුස සිට ළදරු , තරුණ, මධ්‍යම , මහලු විය දක්වාම සත් කැල සැපයයි සිතා අභිනන්දනය තුළින් නිර්මාණය කර ඇත්තේ කුමක්ද කියා විමසා බලමු. යමකු ඇස පිළිගනී නම් හෙතෙම දුක පිළිගෙන ඇත. දුක පිළිගනී නම් එම පුද්ගලයා දුකින් නොමිදෙයි. යමකු කන පිළිගනී නම් හෙතෙම දුක පිළිගත්තා වෙයි. දුක පිළිගත්තා නම් හෙතෙම දුකින් නොමිදෙයි. යමකු නාසය පිළිගනීනම් හෙතෙම දුක පිළිගනියි. දුක පිළිගනී නම් දුකින් නොමිදෙයි.දිව පිළිගත්තා නම් දුක පිළිගත්තා වෙයි. දුක පිළිගනී නම් දුකින් නොමිදෙයි. කය පිළිගනී නම් හෙතෙම දුක පිළිගත්තා වෙයි. දුක පිළිගනි නම් දුකෙන් නොමිදෙයි. යමකු සිත පිළිගනී නම් හෙතෙම දුක පිළිගත්තා වෙයි. දුක පිළිගනී නම් දුකෙන් නොමිදෙයි. දුකින් නොමිදුණේ යන්නෙන් අදහස් වන්නේ ඇස් ආදි ඉන්ද්‍රියන් අවුළා ගත් බවයි. සැප ප්‍රාර්ථනා කළාට නොලැබෙන බව මෙයින් මනා ලෙස තේරුම් ගත යුතුව ඇත.

යමකු ඇස නොපිළිගනී නම් හෙතෙම දුක නොපිළිගනියි. යමකු දුක නොපිළිගනි නම් හෙතෙම දුකින් මිදුණේ වෙයි. යමකු කන නොපිළීගනී නම් හෙතෙම දුක නොපිළිගත්තා වෙයි. දුක නොපිළිගත්තා නම් හෙතෙම දුකින් මිදෙයි. නාසය නොපිළිගත්තා නම් දුක නොපිළිගත්තා වෙයි. දුක නොපිළිගනී නම් දුකෙන් මිදුණේ වෙයි. දිව නොපිළිගනී නම් දුක නොපිළිගත්තා වෙයි. යමකු දුක නොපිළිගනී නම් දුකින් මිදුණේ වෙයි. කය නොපිළිගනී නම් හෙතෙම දුක නොපිළිගත්තා වෙයි. දුක නොපිළිගනී නම් දුකෙන් මිදුණේ වෙයි. යමකු සිත නොපිළිගනී නම් හෙතෙම දුක නොපිළිගනියි. යමකු දුක නොපිළි ගනී නම් හෙතෙම දුකෙන් මිදෙයි. දුකෙන් මිදුණා යන්නෙන් අදහස් වන්නේ ඇස ආදි ඉඳුරන් අවුළා නොගත් බවයි. එහෙත් සත් කැල සැපයයි සිතා දිවා රාත්‍රි අවුළාගෙන ඇත.ජීවිතය පුරාම ඇවිළි ඇති බැවින් සසරින් නොමිදෙයි.මෙම කරුණු කාරණා නැවැත නැවැත කියවා තේරුම් කර ගැනීමට උත්සාහවත් වන්න.

යමකු ඇසට අරමුණු වන රූපය නන්දනය කෙරේ නම් හෙතෙම දුක අභිනන්දනය කරයි. දුක සතුටින් පිළිගනී නම් හෙතෙම දුකින් නොමිදෙයි. මෙලෙස ශබ්ද, ගන්ධ,රස ස්පර්ශ ධර්ම අභීනන්දනය කෙරේ නම් දුක අභිනන්දනය කරයි. යමකු දුක අභිනන්දනය කෙරේ නම් හෙතෙම දුකින් නොමිදුණේ වෙයි.

යමකු ඇසට අරමුණු වන රූප අභිනන්දනා නොකෙරේ නම් හෙතෙම දුක අභිනන්දනය නොකරයි. දුක අභිනන්දනය නොකෙරේ නම් හෙතෙම දුකින් මිදුණේ වෙයි. මෙලෙස ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම අභිනන්දනය නොකෙරේ නම් හෙතෙම දුක අභිනන්දනය නොකරයි. යමකු දුක අභිනන්දනය නොකෙරේ නම් හෙතෙම දුකින් මිදුණේ වෙයි.

‘යො භීක්ඛවේ චක්ඛුස්ස උප්පාදො ඨීති අභිනිබ්බත්ති පාතුභාවො, දුක්ඛස්සෙසො උප්පාදො රොගානං ඨීති ජරාමරණස්ස පාතුභාවො “

‘මහණෙනි, ඇසෙහි යම් ඉපැදීමෙක් පැවැත්මෙක් නිපැද්මෙක් පහළ වීමෙක් වේ නම් මේ දුකෙහි ඉපැදීමයි. රෝගයන්ගේ පැවැත්මයි. ජරාමරණයෙහි පහළවීමය.

මෙලෙස කනෙහි, නාසයෙහි, දිවෙහි ,කයෙහි, සිතෙහි යම් ඉපැදීමෙක්, පැවැත්මෙක්, නිපැද්මෙක්, පහළ වීමෙක් වේනම් දුකෙහි ඉපදීමයි. රෝගයන්ගේ පැවැත්මයි. ජරා මරණයෙහි පහළ වීමයි.

“යො ච භික්ඛවෙ චක්ඛුස්ස නිරොධො වූපසමො අත්‍ථගමො, දුක්ඛස්සෝ නිරොධො රොගානං වුපසමො ජරාමරණස්ස අත්‍ථගමො”

“මහණෙනි ඇසෙහි යම් නිරෝධයෙක් ව්‍යුපසමයෙක් ඇස්තංගමයෙක් නැතිවීමෙන් වේ නම් මේ දුකෙහි නිරෝධයයි. රෝගයන්ගේ ව්‍යුපසමයයි. ජරා මරණයෙහි අස්තංගමයයි. මෙලෙස කනෙහි, නාසයෙහි, දිවෙහි, කයෙහි, සිතෙහි යම් නිරෝධයෙක් ව්‍යුපසමයෙක් වේ නම් මේ දුකෙහි නිරෝධයයි. රෝගයන්ගේ ව්‍යුපසමයයි. ජරාමරණයෙහි අස්තංගමයයි. ඇස අත්හැරීමෙන් ජරාමරණය නැති බවත් දුකක් රෝගයක් නොමැති බවත් තතුªසේ වටහා ගත යුතුයි. නිිරන්තරයෙන් වෙනස් වී යන බිඳී නැසෙන ඇස ආදි ඉන්ද්‍රියන් දැඩිකොට අල්වා ගැනීමෙන් (උපදානය) ඔබට කිසිදිනෙක මිදීමක් නොමැතිබව මෙම කරුණූ තුළින් තේරුම් කර ගන්න.

දිනක් භාග්‍යවතුන් වහන්සේ ගයාගම නුදුරෙහි ගයා ශීර්ෂයෙහි (ගල්තලාවෙහි) භික්ෂූන් දහසක් සමඟ වැඩ වාසය කරන සේක. එම භික්‍ෂූන් වහන්සේට ඇවිළීම පිළිබඳ මෙසේ දේශනා කළ සේක.

‘මහණෙනි, සියල්ල ඇවිළ ගන්නා ලදී. කවර සියල්ලක්ද? ඇස ඇවිළ ගන්නා ලදය. රූපයන් ඇවිළගන්නා ලදය. චක්ඛු විඤ්ඤාණය ඇවිළ ගන්නා ලදය. චක්ඛු සම්ඵස්සය ඇවිළගන්නා ලදය. චක්ඛුසම්ඵස්සය නිසා හටගත් යම් වු සුව, දුක්,නොදුක් නොසුව වු යම් වේදනාවක් වේ නම් එයද ඇවිළ ගන්නා ලදය. කිමෙකින් ඇවිළ ගන්නා ලද ද යත්, රාග ගින්නෙන් දෝස ගින්නෙන් මෝහ ගින්නෙන් අවුළා ගත්තා වෙයි. ඇවිළගත් සත්වයන් ජාතියෙන් ජරා මරණයෙන් ඇවිළ ගත්තා වෙයි. සෝක පරිදේවයෙන් දුඞඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් ඇවිළ ගත්තා වෙයි. මෙසේ කන, නාසය, දිව, කය, මනැස ඇවිළගන්නා ලදය. ධර්මයන් ඇවිළ ගන්නා ලදය. මනෝ විඤ්ඤාණය ඇවිළගන්නා ලදය. මනෝ සම්ඵස්සය ඇවිළගන්නා ලදය. මනෝ සම්ඵස්සය නිසා සුව හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වු හෝ යම් වේදනාවෙක් උපදී නම් එයද ඇවිළ ගන්නා ලද්දේය. කිමෙකින් ඇවිළ ගෙනද? ජාතියෙන්, ජරාවෙන්, මරණයෙන් ඇවිළ ගෙනය.සෝකයෙන් පරිදේවයෙන්, දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් ඇවිළගන්නා ලද්දේ වෙයි.රාග ගින්නෙන් දෝස ගින්නෙන් මෝහ ගින්නෙන් හාත්පසින් ඇවිළගෙන ඇත්තේ වෙයි.

පින්වත, ඇස ගෙවෙන දහමක් වේ. ආයුෂ ගෙවෙයි. උපත සමග මරණය කර්මානුරූපව ඔබ ගෙන ඇත. එය ස්ථිර සාර නොවෙයි. කැඩෙන, බිඳෙන සැලෙන, විනාශවෙන රෝගයෙකි. ගණ්ඩයෙහි හුලකි, වනයකි, හටගෙන මැරෙන ස්වභාවයෙන් යුක්ත වන්නෙකි. ඇස කෙරෙහි ආලය, පේ‍්‍රමය, ආශාව අත්හැරීමෙන් මනැස සුවපත්වෙයි.ඇස අවුළා ගැනීමෙන් කිසිදිනෙක ජරාව්‍යාධි මරණයෙන් නොමිදෙයි. ඇස සුබ නිමිත්ත ලෙස නොගෙන අසුබ ප්‍රකට කොට බවුන් වඩන්න. නිතර සතියෙන් පැවැත්ම ගෙනියන්න.සතිය යනු අවුළා නොගැනීමයි. කර්ම බීජ සකස් නොකිරීමයි.මෙසේ හික්මෙන්න.’

භාග්‍යවතුන් වහන්සේ මෙසේද වදාළ සේක.

‘මහණෙනි, ඇසෙහි ආදීනව (දෝෂය) දක්නා ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවක තෙම ඇසෙහි කලකිරෙයි. ඇස කලකිරිය යුක්තයි.අෂ්ට ලෝක ධර්මයෙන් හමුවෙහි කම්පානොවන්න.ඇස කැඩෙන බිදෙන සුළුයි. රූපයන් වැනසෙන සුළුයි. රූපයන් කෙරෙහි කලකිරිය යුතුයි. ඇසෙයි පහළවන සිත (චක්ඛු විඤ්ඤාණය ) කෙරෙහි කලකිරිය යුතුයි. චක්ඛු සම්ඵස්සයෙහි කලකිරිය යුතුයි. එයින් හට ගන්නා සුව, දුක් නොදුක් නොසුව වු යම් වේදනාවෙන් වේ නම් එයින් කලකිරෙයි. මෙලෙස කන, නාසය, දිව, කය, සිතෙහි කලකිරෙයි.

ධර්මයන්හිත් කලකිරෙයි. මනෝ විඤ්ඤාණයෙහිත් කලකරෙයි. මනෝ සම්ඵස්සයෙහිත් කලකිරෙයි. මනෝ සම්ඵස්ස නිසා හටගත් සුව හෝ දුක් හෝ නොදුක් නොසුව හෝ යම් ත්‍රිවිධ වේදනාවක් වේ නම් එහිත් කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි.රාගි ගින්නෙන් නොදැවෙයි. නොඇලීම ඇතිකර ගනියි. මිදුණු කල්හි සියල්ලෙන් (ඇස ආදි ද්වාරයෙන්) මිදුණේ යන දැනීම ඇතිවෙයි. ජාතිය ක්ෂය වූවා වෙයි.බඹසර වැස නිමවන ලදී එනම් ආර්ය අෂ්ඨාංගික මාර්ගය පූර්ණ කළා වෙයි. ඉදිරියට යමක් කිරීම පිණිස නැතැයි දැන ගනියි.’

මෙම දේශනාව වදාළ කල්හි දහසක් භික්‍ෂූන් වහන්සේ ගේ සිත් උපාදාන රහිතව කෙලෙසුන්ගෙන් මිදුණේ විය. සකල ක්ලේශයන්ගෙන් මිදී රහත් ඵලයට පත්විය.ඔබත් ද්වාරයන් අවුළා නොගෙන සම්‍යක් ඤාණය භාවිත කොට ආස්වාද, ආදිනව, නිස්සරණය මනා ලෙස අවබෝධ කොටගෙන ජාති ජරා මරණ ආදි සකල දුකෙන් නිදහස් වීමට උත්සාහවත් වන්න.

සිතුවම - සරත් නන්ද කුමාර