Print this Article


උතුමන් පෙළීමෙන් අවැඩම සිදු වේ

නමො තස්ස භගවතො අරහතො
සම්මා සම්බුද්ධස්ස

වෙදනං ඵරුසං ජානිං
සරීරස්සච භෙදනං
ගරුකං වා පි ආබාධං
චිත්තක්ඛෙපං ව පාපුනෙ

රාජතොවා උපස්සග්ගං
අබ්භක්ඛානං ව දාරුණං
පරික්ඛයං ව ඤාතීනං
භොගානං ව පභංගුරං

අථ වස්ස අගාරානි
අග්ගි ඩහති පාවකො
කායස්ස භෙදා දුප්පඤ්ඤො
නිරයං සොපපජ්ජති

සුපින්වතුනි,

අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඉහත දැක්වෙන ගාථා තුන සඳහන් වන්නේ බෞද්ධයාගේ අත්පොත ලෙස සලකනු ලබන ධම්මපදයේ දණ්ඩ වර්ගයේය. මෙම ගාථා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනු ලැබුවේ අග්‍රශ්‍රාවක මුගලන් මහරහතන් වහන්සේ නිමිති කරගෙනය.

මුගලන් මහ රහතන් වහන්සේ අප කවුරුත් දැනගෙන තිබෙන පරිදි ඍද්ධිමතුන් වහන්සේ අතර අග තැන්පත් මහ රහතන් වහන්සේය. උන්වහන්සේ දිව්‍යලෝකයට වැඩම කර, පින් කළ අය දිව සැප විඳින ආකාරය විමසා දැන ඒ තොරතුරු ජනතාවට පවසමින් ඔවුන්ගේ සිත් කුසලයට යොමු කරවන සේක. ඒ නිසා අන්‍යාගමිකයෝ පවා බුදුදහම ගැන පැහැදීමට පත්වූහ. අන්‍ය තිර්ථකයෝ මේ නිසා මුගලන් මහ තෙරුන් වහන්සේ කෙරෙහි වෛර බැඳ උන්වහන්සේ විනාශ කර දැමීමට සූදානම් වූහ.

පින්වතුනි, ඔවුහු පළමුව මිනීමරු සොර කණ්ඩායමක් කැඳවා ඔවුන්ට අල්ලස් දී මුගලන් මහරහතන් වහන්සේ විනාශකර දැමීමට උපදෙස් දුන්හ. එම උපදෙස් පරිදි සොර කණ්ඩායම මුගලන් මහරහතන් වහන්සේ සොයාගෙන උන්වහන්සේ වැඩසිටි කළුගල්ලෙන විහාරයට ගියහ. විහාරය වටකොට මුගලන් තෙරුන් වහන්සේ අල්වා ගැනීමට සූදානම් වූහ. නමුත් දෙවතාවක්ම මුගලන් තෙරුන් වහන්සේ ඍද්ධි බලයෙන් අහසින් වැඩම කළහ. තුන්වැනි වතාවේදී මෙම මැර කණ්ඩායම තමන් මරා දැමීමට පැමිණෙන්නේ කුමන හේතුවක් නිසා දැයි සලකා බැලීමේදී උන්වහන්සේට පෙනුණේ තමන් පෙර කළ අකුශල කර්මයක් විපාක දීමට එන බවයි. කෙසේවත් ඉන් මිදිය නොහැකි බවද උන්වහන්සේට පෙනුණි. ඒ අනුව, ඊළඟ දවසේ මැර කණ්ඩායම පැමිණෙන විට, උන්වහන්සේ තම විහාරස්ථානයේම වැඩ සිටියහ. මැර කණ්ඩායම ද එතැනට පැමිණ උන්වහන්සේ තලා පෙළා දමා ගියහ. තෙරුන් වහන්සේ එම වේදානාවෙන් පිරිනිවන් පෑමට ආසන්න වී තම ඍද්ධි බලයෙන් බුදුරජාණන් වහන්සේ වැඳ අවසර ගැනීමට වැඩම කළහ.පසුව තමන් වහන්සේගේ ගල්ලෙන් විහාරයට වැඩම කර පිරිනිවන් පා වදාළහ.

මේ පුවත දැන ගැනීමට ලැබීමෙන් මගධාධිපති අජාසත් රජතුමා එම සිද්ධියට සම්බන්ධ අන්‍ය තීර්ථකයන් පන්සියයක් ද මැර කණ්ඩායමේ පන්සිය දෙනෙකුද වධ දී මරා දැමුවේය. මෙම සිද්ධිය දැනගත් මහා සංඝරත්නය දම් සභා මණ්ඩපයේදි මේ පුවත පිළිබඳ සාකච්ඡා කළහ. එම ස්ථානයට වැඩම කළ බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේගේ සාකච්ඡාවට සම්බන්ධ වෙමින්, මුගලන් මහරහතන් වහන්සේ පිළිබඳ අතීත කථා පුවතක් ගෙන හැර දක්වා වදාළසේක.

මුගලන් තෙරුන් වහන්සේ පෙර අත් බවය කදී තම බිරියගේ කේලම් බස් වලට රැවටී තම මවුපියන් කැලෑවකට කැඳවාගෙන ගොස් සොර කණ්ඩායමක් තලාපෙළා දමන බව හගවා තමන්ම තම මවුපියන් විනාශකර දැමීය. එම අකුශල කර්මයේ විපාකය භවයෙන් භවයට විපාක දෙමින් පැමිණ,මේ අන්තිම ආත්ම භාවයේදි ගෞතම බුදු රදුන්ගේ අගසව් තනතුරක් ලැබ මහරහතන් තෙරනමක් බවට පත්වුවද තමන්ගේ මවුපියන් මරා දැමු බලවත් අකුශල කර්මය නිසා උන්වහන්සේට මැර කණ්ඩාමක වධ හිංසා වලට ලක්වීමෙන් පිරිනිවන් පාන්නට සිදු විය.

යම් කෙනෙකු රහත් උතුමන්ට අනර්ථයක් අවැඩක් කරයි නම් එහි විපාක විඳින්නට සිදුවන බවද බුදුන් වහන්සේ පෙන්වා දුන් සේක. එසේ නිදොස් උතුමන්ට අවැඩ සිදුකරන අයට විපත්තිකර කරුණූ දහයකට මුහුණ පාන්නට සිදුවන බව ධර්ම දේශනාවේ මාතෘකා කළ ගාථා තුනෙන් කියැවෙයි. එම විපත් මොනවා දැයි මීළඟට විමසා බලමු.

1.අත්පා කැඩීම් බිඳීම් වශයෙන් සිදුවන වේදනාවන්ට මුහුණ පෑම
2. උපයා සපයා ගත් වස්තුව විනාශ වී යාම
3. ඔළු පැලීම්, වෙඩි වැදීම් ආදියෙන් ශරීරයට හානි සිදුවීම
4. දරුණු රෝගාබාධ වලට මුහුණ දීමට සිදුවීම
5. උමතු පුද්ගලයකු බවට පත්වීම
6. රජුන්ගෙන් වධ බන්ධනවලට මුහුණ පෑමට සිදුවීම
7. අභූත චෝදනාවලට මුහුණ දීමට සිදුවීම
8. නැදෑ හිතවතුන්ගෙන් පිරිහී යෑම
9. තමන් සතුව පැවැති ගේ දොර ඉඩකඩම් විනාශ වීම
10. ගෙවල් ගිනිගැනීම් ආදියට ලක්වීම

මේ කී කරුණුවලින් එක් දෙයකට හෝ මුහුණදීමට සිදුවීම අනිවාර්ය වේ.

පින්වතුනි, අද සමාජයෙන් ම,මේ පිළිබඳ තොරතුරු අපට ප්‍රත්‍යක්‍ෂයෙන් දැන ගත හැකියි.එබැවින් කිසිවිටෙකවත් නිදොස් උතුමන්ට නින්දා අපහාස කිරීම, ඔවුන්ට අවැඩ සිදුකිරීම නොකළ යුතුවේ. බුදුදහමේ දැක්වෙන ඉගැන්වීම් අනුගමනය කර අනාගත ජීවිතය සාර්ථක කරගැනීමට අදිටන් කර ගන්න.

සැමට සම්මා සම්බුදු සරණයි!