Print this Article


පූජාච පූජනීයානං

ඉහගම ධම්මවංස නා හිමි

හාරිස්පත්තුවේ ඓතිහාසික ඉහගම ග්‍රාමවරයෙහි 1946 මැයි 20 වැනි දින බබානිස් ඉහළ ගෙදර ‘උපාසක තුමන්ටත් ‘වටගොඩ යසවතී, මුතුරංවල්ලිගෙදර උපාසිකාවටත් පුත් කුමරෙක් වශයෙන් ජන්ම ලාභය ලැබු’ජයතුංග ඉහළගෙදර ‘ කුමරුවා, ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ මඬදෙණිය කනිටු විදුහලෙන් සහ ඉහගම කනිටු විදුහල් වලිනි. බටගල්ලේ ධම්මරතන විශ්ව විද්‍යාල්‍යයීය පිරිවෙනට ඇතුළත්ව උසස් පෙළ සහ ත්‍රිපිටක ධර්මය හදාරා, 1970 මැයි 20 වැනි දින මහාචාර්ය ‘හපුගොඩ නන්දාරාම ‘ නා හිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් ඉහගම සුගත මහා විහාරය, දොඹගම්මන සුදර්ශනාරමය යන උභය විහාරාධිපති ‘බටගල්ලේ සුමනසාර’ ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් ‘ඉහගම ධම්මවංස’ යන නමින් පැවිදි බවට පත්වූහ.

උගත මනා බණ දහම් මැනවින් හදාරා 1971 ජුනි මස 24 වැනි දින මහවැලි නදියේ හක්කිඳ වරාතැන්න උදකුක්ඛේප සීමා මාලකයේදි උපසම්පදා වූහ. උපසම්පදාවෙන් පසු උන්වහන්සේ යළි ධම්මරතන පිරිවෙනෙහි අධ්‍යාපනය ලබා උසස් අධ්‍යාපනය ලබනු වස් කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය මහ පිරිවෙනට අතුළත්ව ඉතා දක්ෂ ලෙස පෙරපර භාෂා ශාස්ත්‍රය ධර්ම විනය සාහිත්‍යය මැනවින් හැදෑරූහ. එවක ශ්‍රී සුමංගල ගුණානුස්මරණ සංගමය මගින් පවත්වන ලද ත්‍රිපිටක විභාග සමත්ව 1970 වසරෙහි අවසාන ප්‍රථම අංශයෙහි ප්‍රමුඛයා බවට පත්වී ගුණතිලක ශිෂ්‍යත්වය ද භාෂාත්‍රයේ ප්‍රථමයාට හිමි වන පැලෑනේ වජිරඥාන බුද්ධ ධර්ම ත්‍යාගයද ලබා ගත්හ. 1978 වසරෙහි අවසාන ද්වීතියාංශයේ ප්‍රමුඛයා බවට පත්වී භාෂාත්‍රයේ ප්‍රථම ත්‍යාගයද අනගාරික ධර්මපාල සාහිත්‍යය, ත්‍යාගයද ,ශ්‍රී සාරානන්ද සූත්‍ර ධර්ම ත්‍යාගයද සහිතව “ස්‍යාමරාජ’ ත්‍යාගය ද හිමි කර ගත්හ.එම වසරෙහි පවත්වන ලද බෞද්ධ ධර්මාචාර්ය විභාගයේ සියලුම විෂයයන්ට විශිෂ්ට සාමාර්ථ ලබා දිවයිනෙන්ම ප්‍රථමයා බවට පත් වූහ.

1978 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළත්ව ශාස්ත්‍රවේදි උපාධිය හිමි කර ගත්හ. මෙසේ අධ්‍යාපනය අංශයෙන් ඉහළ දක්ෂතා දැක්වූ ධම්මවංස හිමියන් කෙරෙහි පැහැදුන උඩරට අමරපුර මහා නිකායේ ‘සාසන්ජෝතිකා’ කාරක සංග සභාව විසින් උන්වහනසේට ‘ධර්ම සාහිත්‍ය ශූරී’ යන ගෞරව නාමයද ප්‍රදානය කරන ලදී. එවක පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ බෞද්ධ සංගමයෙහි ලේකම් වශයෙන්ද ක්‍රියාශීලිව කටයුතු කළහ. විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන කාලය තුළ වැඩ විසූ ‘රඹුක්පොතංග ශ්‍රී බෝධිමල්කඩ විහාරස්ථානයේ දියුණූව උදෙසාද ඉමහත් කැප කිරීමක් කරන ලදී. අනතුරුව ඉහගම ශ්‍රී සුගත මහා විහාරයට වැඩම කළ ධම්මවංස හිමියෝ කන්ද උඩරට ශ්‍රේෂ්ඨ විද්‍යස්ථානයක් වන හරංකහව හේනේගම ‘ශ්‍රී සංඝානන්ද ‘ පිරිවෙනෙහි ගුරුවරයෙකු වශයෙන් සුවිශේෂි මෙහෙවරක් කළහ. ඉන්පසු අනුරාධපුර දිසාවේ අධිකරණ සංඝ නායකව වැඩ විසූ ‘විනයාචාර්ය පෑලව පඤ්ඤාජෝති ‘ නාහිමි පාණන්ගේ ඇරයුමෙන් අනුරාධපුර විහාර බුලංකුලමේ ශ්‍රී වර්ධනාරාමාධිපතීන් වහන්සේ වශයෙන් කටයුතු කරන ලදී. අනතුරුව විහාරබුලංකුලම විද්‍යාලයෙහි ගුරුවරයෙකු වශයෙන්ද පත්වීමක් ලැබූ උන්වහන්සේ පාසල මෙන්ම විහාරස්ථානය ද දියුණු කිරීමට අපමණ වෙහෙසක් ගත්හ.නව සංඝාවාසය ඉදි කිරීම ඇතුළු අංගෝපාංග රැසක් ඉදි කරමින් සමිති සමාගම් දහම් පාසල් ආදිය පිහිටුවමින්, කටයුතු කරන අතර බුලංකුලම විද්‍යාලයේ උප ගුරු, නියෝජ්‍ය විදුහල්පති, විදුහල්පති තනතුර දක්වා උසස්වීම් ලැබ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂී කාර්ය භාරයක් ඉටු කළහ. බුලංකුලම විහාරස්ථානයට අමතරව විහාර පළමුගම ‘ශ්‍රී සුදර්ශණාරාමයේ’ ද විහාරාධිපතීන් වහන්සේ වශයෙන් කටයුතු කරමින් එම ගමෙහි දියුණුවට උර දුන්හ. එයටද අමතරව මෙහි ‘ශ්‍රී සුගත මහා විහාරය ‘ නමින් විහාරස්ථානයක් ආරම්භ කළහ. එම ගම්මානයෙහි ද සමිති සමාගම් මෙන්ම දහම් පාසල් ආරම්භ කර ගමෙහි උන්නතිය සඳහා කටයුතු කළහ. ස්වකීය ගුරු දේවයන් වහන්සේට උපහාරයක් වශයෙන් ‘විහාර මැදවච්චිය ‘ ගම්මානයෙහි ‘ශ්‍රී සුමනසාර’ දහම් පාසල ආරම්භ කර වර්තමානය වන විට එය උසස් අන්දමින් පවත්වා ගෙන යනු ලැබේ.

මහරගම ජාතික අධ්‍යාපන ආයතන මගින් පවත්වනු ලබන පශ්චාද් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමා උපාධියද සමත් වූ උන්වහන්සේ මහනුවර බටුගොඩ විදුහලට ස්ථාන මාරුවක් ලැබ එහි විදුහල්පති වශයෙන් කටයුතු කළහ. ගුරු සේවයෙන් විශ්‍රාම ලැබූ ධම්මවංස හිමියෝ යළි අනුරාධපුර විහාර බුලංකුලමෙහි ශ්‍රී වර්ධනාරාමයට වැඩම කොට රජ රට දුෂ්කර ගම්මාන දියුණු කිරීම උදෙසා තම දිවිය කැප කරමින් කටයුතු කරති. මධ්‍යම නුවර ගම් පළාතේ එක්සත් භික්ෂූ සංගමයෙහි සහ ශාසනාරක්ෂක බල මණ්ඩලයෙහි නියෝජ්‍ය සභාපති වශයෙන්ද සාමය සහ සහජීවනය සඳහා වන අන්තර් ආගමික (බෞද්ධ, හින්දු, කතෝලික, ඉස්ලාම්) සංවිධානයේ අනුරාධපුර මධ්‍යස්ථානයේ සභාපති වශයෙන්ද කටයුතු කරයි. ධම්මාවංස නාහිමියෝ උගත් ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා රැසක් සසුනට දායාද කර සිටිති. උන්වහන්සේලා අතර රත්මලාන ලලිත් ඇතුලත්මුදලි විදුහලෙහි ආචාර්ය රයිගම සල්පිටි හේවාගම් තුන් කෝරලයෙහි ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රවේදි ඉහගම යසස්සී හිමි. අනුරාධපුර තලාව නවෝද්‍යා විදුහලෙහි ආචාර්ය ශාස්ත්‍රපති ඉහගම විජිතධම්ම හිමි,රත්මලාන මහා විද්‍යාලයෙහි ආචර්ය මාතලේ සුමංගල හිමි, උළුක්කුලම ශ්‍රී සුමන පිරිවෙනෙහි ආචාර්ය ධර්මාන්තේවාසික ගෝනගල ඤාණාලෝක හිමි, මධ්‍යම නුවරගම් පළාතේ එක්සත් භික්ෂූ සංවිධානයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි මැහියල්ලේ ආනන්ද හිමි, රත්මලාන පරමධම්මචේතිය පිරිවෙනෙහි ශිෂ්‍ය හැද්දෑවේ නාලක හිමි සහ විලච්චියේ සීලවංස හිමි වැනි සිසු දරුවන් සසුනෙහි උන්නතියට කටයුතු කරමින් වැඩ සිටිති.

ඉහගම ධම්මවංස හිමිපාණන් වහන්සේ විසින් මහනුවර දිස්ත්‍රික්කයට මෙන්ම පුරා වසර තිහකට අධික කාලයක් තිස්සේ අනුරාධපුර විහාර ගම්මාන ඇතුළු දුෂ්කර ගමමාන වලට දිවි නොතකා කරනු ලබන අනූපමේය සේවාවන් අගයනු වස් උඩරට අමරපුර මහා නිකායේ මහා නායක සාහිත්‍ය ශූරී රාජකීය පණ්ඩිත මහා මහෝපාධ්‍යාය, තෙරිපැහැ සෝමානන්දාභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් දෙවා වදාරණ ලද උතුරු මැද පළාතේ අධිකරණ සංඝනායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීමේ උපහාර උත්සවය අති පූජ්‍ය මහා නායක අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ප්‍රධාන මහා සංඝ රත්නයෙත්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජන රජයේ අග්‍රාමාත්‍ය තුමන්, උතුරු මැද පළාත් ආණ්ඩුකාර තුමන්, ප්‍රධානාමාත්‍ය තුමන් ඇතුළු සම්භාවනීය පැවිදි, ගිහි පිරිස මෙන්ම විහාර ගම්මාන ඇතුළු ප්‍රදේශවාසි ජනතාවගේ ද සහභාගිත්වයෙන් 2014 මාර්තු මස 9 වැනි දින ප.ව. 02 ට විහාර පළමුගම ශ්‍රී සුදර්ශණාරාමයේදි පැවැත්වීමට කටයුතු යොදා ඇත.


තිත්තගල්ලේ විමලවංශ නාහිමි

අහංගම, තිත්තගල්ලේ, පැලෑස්ස විවේකාරාමාධිපති තිත්තගල්ලේ විමලවංශ හිමිපාණන්ගේ ජීවන ගමන් මගේ 63 වැනි සැතපුම් කණුව පසු කිරීම පෙබරවාරි මස 27 දිනට යෙදී තිබුණි.

1951 තිත්තගල්ල දංගල්ලෙගොඩ දී අභාවප්‍රාප්ත විශ්‍රාමලත් විදුහල්පති සාමවිනිසුරු ආ.සී. අල්ගෙවත්ත මහතාට හා ඇස්.ඒ. යසවතී යන දෙමව්පියන්ට දාව මෙම කුමරුවා එම පවුලේ පස්වැනියා වී උපත ලදී. ප්‍රසාද් ජයලාල් යනුවෙන් නම් තබනු ලැබීය.

තිත්තගල්ල දොඹගොඩ මහා විද්‍යාලයෙන් හා මාවැල්ල විද්‍යාලයෙන් දහය වසර දක්වා උගත් මොහු වැඩිදුර අධ්‍යාපනය සඳහා ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයෙන් සාමාන්‍යපෙළ, උසස් පෙළ සමත් වී විශ්ව විද්‍යාල අධ්‍යාපනය නොලබා 1982 පෙබරවාරි මස 3 දින වැලිගම අරියවංශ නාහිමි පාණන්ගේ ආචාර්යත්වයෙන් තිත්තගල්ලේ විමලවංශ යන නමින් පැවිදි බිමට ඇතුලත් වූහ.

පැවිදි වීමෙන් පසු සිය ගුරු දේවයන් වහන්සේගෙන් වත් පිලිවෙත් ප්‍රගුණ කර දික්වැල්ලේ වේවැල්වල අරණ්‍යයට වී බණ භාවනා ප්‍රගුණ කළ උන්වහන්සේ සිය ගුරු දේවයන් වූ වැලිගම ආරියවංශ නා හිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් දොඩන්දුව ගංගාරාම විහාරස්ථ සීමාමාලකයේ 1984 දී ජුනි මස 22 වන දින උපසම්පදාව ලබාගත්හ.

1983 සිට බොහෝ දෙනෙකුගේ ඉල්ලීම පිට පැලැස්ස ගම්මානයේ පිහිටි ගොඩනැගිල්ලට වී ආගමික වතාවත් වල යෙදුන මුන් වහන්සේ එදා සිට මේ දක්වා කාලය තුළ ලඳු කැලෑවක් වී තිබුණ මෙම පුණ්‍ය භූමිය මේ වන විට සියලු අංගයන්ගෙන් පිරිපුන් විවේකාරාමය අද යන එන බැතිමතුන්ගේ සිත්ගන්නා ආකාරයට නිර්මාණය වී ඇති අතර තිත්තගල්ලේ විමලවංශ හිමියන් විසින් මෙහි ‘ධර්ම ප්‍රදීප’ නමින් දහම් පාසලක්ද පවත්වා ගෙන යන අතර ප්‍රදේශයේ වෙහෙර විහාරවල පැවැත්වෙන දාන, ශීල, භාවනා වැඩසටහන් මෙහෙයවනු ලබයි.

මුන් වහන්සේගේ 63 වැනි උපන්දිනය සමරා පෙබරවාරි මස 27 දින පින්කම් මාලාවක්ද පවත්වා 63 නමකට දානමය පින්කමක් කිරීමට එම ගමේ තරුණ පිරිස දායක සභාව හා දහම් පාසල් අචාර්ය මණ්ඩලය හා සිසු පිරිස කටයුතු යොදා තිබිණි.


ඕවල සෝරත නා හිමි

ස්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නායක මාහිමිපාණන් විසින් යටිනුවර ප්‍රධාන සංඝනායක පදවියට පත් කරනු ලැබූ කඩුගන්නාව කදංගම ඉල්ලදොර පුරාණ පොත්ගුල් විහාරාධිපති, විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පති, අධ්‍යාපනවේදී ශාස්ත්‍රපති, ආරණ්‍ය වංශික සංඝකීර්ති ශ්‍රී සරණංකර සීලානන්ද ධම්මරක්‍ඛිතාභිධාන ඕවල සෝරත නාහිමිපාණන් වෙත ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවය මාර්තු මස හත් වෙනි (7 ) සිකුරාදා සවස 3.00 ට මල්වතු මහා විහාරයීය ඓතිහාසික මංගල උපෝෂථාගාරයේ දී පැවැත්වේ.

මහානායක මාහිමි ප්‍රධාන මල්වතු මහා විහාරපාර්ශ්වයේ අනුනායක ශාස්ත්‍රපති නියංගොඩ විජිත සිරි අනු නා හිමි මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත දිඹුල්කුඹුරේ විමලධම්ම අනු නා හිමි දෙනම අතින් ශ්‍රී සන්නස් පත්‍ර ලබන යටිනුවර අභිනව ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති ඕවල සෝරත නාහිමියෝ විංශත් වර්ගික කාරක මහා සංඝ සභාව වෙත සම්භාවනීය ගිහි පැවිදි පිරිසක් සහභාගිවන මම උත්සවයේ දී, ප්‍රසාද පූජාවක් පවත්වා මහා සංඝරත්නයේ ආසිරිවාද ලබති.

අභිනව සංඝනායක හිමිපාණන් වහන්සේ පසුදින එනම්, මාර්තු මස 8 වෙනි දා සවස 4.00 ට පිළිගැනීමේ සම්භාවනීය උත්සවයක්, ඉල්ලදොර පුරාණ පොත්ගුල් විහාරයේ දී පැවැත්වෙන අතර සවස 1.30 ට මහපෙරහරකින් කොටබෝ ගොඩ විහාරය සිට නාහිමි වැඩමවාගෙන යනු ලබති.