Print this Article


අනූ නව වන ජන්ම දිනය සමරන ලද දෙදියවල දෙවසුමන නා හිමි

අනූ නව වන ජන්ම දිනය සමරන ලද දෙදියවල දෙවසුමන නා හිමි

ආයුෂය තුළින් ජීවිතය වඩ වඩාත් ඔප මට්ටම් වන්නේ ය. එලෙස ඔප මට්ටම් වූ පැවිදි දිවි පෙවෙතක් ගත කරන හා ඒ නිසාම බුදුදහමේ පෝෂණයට මහඟු සේවයක් සිදු කරන දකුණු කළුතර ශ්‍රී පූර්වාරාම ධර්මවිජය පිරිවෙනේ විහාරාධිපති දෛදියවල දෙවසුමනාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පසුගියදා සිය අනූනවවන ජන්ම දිනය සැමරූහ.

1914 පෙබරවාරි අට වන දින කළුතර දෙදියවල ගම්පියසේ ඩී.ඩී. පේදිරික් අප්පුහාමි හා ඊ.එම්.එල්සිනා හාමිනේ යන දම්පතීන් දෙදෙනාට දාව උන්වහන්සේ මෙලොව ජන්ම ලාභය ලැබූහ. එදින උපන් කුමරාට එම දෙමව්පියන් විසින් නම් තැබුවේ ඩී.ඩී. හෙන්රි ලෙසිනි.

සිය උපන් ගම වූ දෙදියවල ග්‍රාමයේ කනිෂ්ඨ පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබූ මෙම පින්වත් කුමරුවා අවුරුදු 13 දී ශ්‍රී පූර්වාරාම ධර්ම විජය පිරිවෙනට ඇතුළත් විය. තම පියාගේ ඉල්ලීමට අනුව එහිදී මනාව වෙදකම ඉගෙන ගත්තේ ය. පසුව 1936 සැප්තැම්බර් මස 03 වන දින කුශාග්‍ර බුද්ධිමත් පඩිවරයාණන් වහන්සේ නමක් වූ ආඳාවල සාරානන්දාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් ප්‍රවෘජ්‍යා භූමියට ඇතුළත් විය. එදින සිට උන්වහන්සේ දෙදියවල දෙවසුමන යන නමින් හැඳින්විණි.

පැවිදි දිවියට පත් දෙදියවල දෙවසුමන සාමණේර හිමියෝ ශාසනික වත් පිළිවෙත් පිළිබඳව මූලික දැනුම සිය ගුරුදේවයන් වහන්සේගේ මඟ පෙන්වීම අනුව ලැබූහ. මනාවූ ශ්‍රමණාකල්පයන්ගෙන් හෙබි දෙදියවල හිමියෝ පැවිදිවීමෙන් පසුව කළුතර ශ්‍රී පූර්වාරාම ධර්මවිජය පිරිවෙනේ මූලික පැවිදි අධ්‍යාපනය ලැබූහ. ත්‍රිපිටක බුද්ධවචනය පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය සඳහා යොමුවූ උන්වහන්සේ තම ගුරු දේවයන් වහන්සේගේ ගුරු හරුකම් මධ්‍යයේ ත්‍රිපිටකය හැදෑරූහ.

ශාසනික මෙන්ම ශාස්ත්‍රීය කටයුතුද හැදෑරීමෙන් උගතමනා බණ දහම්හි ශික්‍ෂණයෙන් පරිපූර්ණව සපිරුණු විසි වයස් ඇත්තේ 1944 ජූලි මස 22 වන දින කෝට්ටේ රජමහ විහාරස්ථ ශ්‍රී කල්‍යාණි සාමගි‍්‍ර ධර්ම මහා සංඝසභායත්ත සිරි මංගල උපෝසථාගාරයේ දී ආඳාවල සාරානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් උපසම්පදාවට පත්වූහ.

එවකට කළුතර ශ්‍රී පූර්වාරාම ධර්මවිජය පිරිවෙනේ විහාරාධිපතිව වැඩ විසූ ආඳාවල සාරානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත්වීම නිසා 1944 මැයි මස 10 වන දින සිට ධර්මවිජය පිරිවන් විහාරස්ථානයේ විහාරාධිපතිත්වය පැවරුනේ දෙදියවල දෙවසුමන හිමිපාණන්ටය. විහාරාධිපති පදවියට පත් උන්වහන්සේ ශ්‍රී පූර්වාරාම ධර්මවිජය පිරිවෙන් විහාරස්ථානය දර්ශනීය සිද්ධස්ථානයක් බවට පත් කිරීමට මහත් කැපවීමක් සිදු කළහ. විහාරස්ථානයේ සියලු ඉදිකිරීම් හා අලංකරණයන් නිම කරවන ලද්දේ දුටු දුටුවන්ගේ නෙත් සිත් පහන් වන අයුරිනි. ධර්මවිජය පිරිවෙනද තවදුරටත් සක්‍රියකොට ලියාපදිංචි පිරිවෙනක් බවට පත් කළේ දෙවසුමන නාහිමියන් විසිනි. මීට වසර පනහකට පමණ පෙර උන්වහන්සේ ආරම්භ කළ ශ්‍රී දෙවසුමන දහම් පාසල අද කළුතර පුරවරයේ දරු දැරියන්ට දහම් දැනුම් බෙදන ප්‍රමුඛතම දහම් පාසලකි.

එවක පටන්ම කළුතර ප්‍රදේශවාසීන්ගේ ගෞරව ප්‍රසාදයට පත් දෙදියවල නා හිමියෝ විවිධ ආගමික සේවාවන් ඉටු කරමින් වැඩ වසති. උන්වහන්සේ සිය භික්‍ෂු දිවිය වඩාත් කැප කළේ ධර්ම විජය පිරිවෙන් විහාරස්ථානය දියුණු කිරීම සඳහාමය. පන්සලේ විහාර මලුව රැක ගැනීමට ඉදි කරන ලද ගල් ප්‍රාකාරය ද විශ්මය දනවන නිර්මාණයක් වේ. කඳු මුදුනේ පිහිටා ඇති විහාරස්ථානයක් බැවින් ඊට ගැළපෙන පරිදි සීමිත බිම්කඩද අලංකරණය කළේ උන්වහන්සේ විසිනි. සංඝාවාසය, ධර්මශාලාව, පුස්තකාලය, ධාතුමන්දිරය සහිත සිවු මහල් ගොඩනැඟිල්ලද එම ධර්මශාලාවේ ඇති කැටයම් ද විශ්මය දනවන සුළුය. මෙම සිවු මහල් ධර්ම ශාලාව ගොඩනඟා අවසන් කිරීමට උන්වහන්සේ දශක තුනක තරම් කාලයක් ගත වුවද මහත් පරිශ්‍රමයෙන් තනවන ලද එම ගොඩනැඟිල්ල විවෘත කොට උන්වහන්සේ තම ආත්ම ශක්තිය ප්‍රදර්ශනය කළහ.

ක්‍රියාශීලී භික්‍ෂුවක් වූ, දෙවසුමන හිමියෝ යුක්තිය, සාධාරණත්වය පිළිබඳව කටයුතු කරන ලද්දේ අයෝමය හැකියාවකින් යුතුවය. කවර තරමේ අයෙකු වුවද ශාසනික දියුණුවට එකඟ කරවා ගැනීමට උන්වහන්සේට මහඟු හැකියාවක් තිබුණි. එනිසාම බොහෝ ප්‍රභූවරු උන්වහන්සේගේ දායක දායිකාවන් බවට පත් වූහ. තමන් වහන්සේගේ සිතැඟි ප්‍රාර්ථනාවන් ඉටු කර ගැනීමට මහඟු රුකුලක් වූයේ මහාචාර්ය නෙලුවේ සුමනවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු ශිෂ්‍ය පිරිසයි. උන්වහන්සේට ගුණවත් පැවිදි ශිෂ්‍ය පිරිසක් ද වෙති. වත්මන් කළුතර තොටමුණ ප්‍රධාන සංඝනායක ආඳාවල දේවසිරි නාහිමි, අපවත්වී වදාළ පොරවගම සුමනසිරි නාහිමි, ගුන්නෑපානේ විමලබුද්ධි හිමි, මග්ගොන විමලධම්ම හිමි, අපවත්වී වදාළ දොඩම්ගොඩ ඤාණසීහ හිමි, මහාචාර්ය නෙලුවේ සුමනවංශ නාහිමි, කළුතර විමලඤාණ හිමි, අතුරුවැල්ලේ ජිනරතන හිමි, නේපාලයේ අසෝක හිමි, නේපාලයේ ත්‍රිරතන හිමි ඇතුළු තවත් දෙස් විදෙස් ශිෂ්‍ය හිමිවරු උන්වහන්සේගේ පැවිදි ශිෂ්‍යයන්ය.එම සියලු ශිෂ්‍ය හිමිවරු උගත්, බුද්ධිමත් බැවින් හා උන්වහන්සේලා සියලු දෙනා ආගමික, සාමාජික, ශාසනික හා ශාස්ත්‍රීය මට්ටමෙන් සුවිසල් සේවාවන් රැසක් සිදු කරන බැවින් දෙදියවල දෙවසුමන නාහිමියෝ ඉමහත් පී‍්‍රතියෙන් කල් යවති.

උන්වහන්සේගේ ශාසනික සේවය අගයා කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගි‍්‍රධර්ම මහා සංඝසභාවෙන් සද්ධර්ම කීර්ති ශ්‍රී ගෞරව නාමය පුද කරන ලද අතර, කළුතර පළාතේ ප්‍රධාන සංඝනායක පදවියෙන් ද පිදුම් ලැබූහ. දෙදියවල දෙවසුමන නාහිමියෝ පසුගියදා 99 වන වියට පා තැබූහ.ඒ නිමිතිකොට ගෙන කළුතර ශ්‍රී පූර්වාරාම ධර්ම විජය පිරිවෙන විසින් ආශිර්වාදාත්මක පින්කම් මාලාවක් සංවිධානය කර තිබිණි. උන්වහන්සේට දිගාසිරි පතමින් ඉදි කරවන ලද දෙමහල් ධර්ම ශාලාව දෙදියවල දෙවසුමන නාහිමි ධර්මශාලාව ලෙස නම් කොට විවෘත කිරීම පසුගියදා සිදු කෙරුණි. මාර්තු මස 01 වන දින සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනයක් පැවැත් වූ අතර, පසුදින ශතාධික මහා සංඝරත්නය විෂයෙහි සංඝගත දක්‍ෂිණාවක් පිරිනැමීම ද සිදුවිය.