Print this Article


සදහම් දැනුම

ප්‍රශ්නය - අංගුත්තර නිකාය පත්තකම්ම සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ අනේපිඬු සිටුවරයාටයි. මෙම සූත්‍ර පෙළ දහමෙහි එන පරිදි ලොව කෙනෙකු විසින් දුකසේ ලබා ගත යුතු සම්පත් 04 ක් ගැන කියැවේ. එම සම්පත් ළඟා කර ගැනීමට උපකාරි වන දුර්ලභ කරුණු සතරෙකි. ඒවා කෙටියෙන් පැහැදිලි කරන්න.

පිළිතුර -
1. දැහැමින් ධන සම්පත උපදවා ගැනීම
2. දැහැමින් පිරිවර සකස්කර ගැනීම
3. චිර ජීවනය දැහැමින් කල්ගත කිරීම
4. මරණින් මතු දිව්‍ය සම්පත් ලැබීම

උපකාරි වන කරුණු 04

1. සද්ධා සම්පදා
2. සීල සම්පදා
3. වාග සම්පදා
4. පඤ්ඤා සම්පදා

ප්‍රශ්නය - නිර්මාණවාදය පිළිබඳව පැරැණිතම අදහස නම් දෙවියන් වහන්සේ ඔහුගේ ප්‍රමිතිය අනුව මිනිසා මැවූ බවයි. ඊට වෙනත් මත වාදයක් ඉදිරිපත් කළ පසුකාලීන චින්තකයෝ මිනිසා ඔහු ගේම ප්‍රතිමූර්තියෙන් දෙවියන් මැවූ බව පවසති.

එක් අවස්ථාවක ‘සුභ’ නම් තරුණයෙක් බුදුන්වහන්සේ වෙත පැමිණ මිනිසුන් අතර දීර්ඝායුෂ ඇත්තෝද අල්පායුෂ්ක ඇත්තෝ ද වෙති. රෝගීහු ද නීරෝගීහුද වෙති. සුරුපී විරූපී අයද වෙති. බලවත්හු ද බෙලහීනයෝ ද වෙති. අනුවණයෝ මෙන් නැණවත්හුද වෙති යනුවෙන් මිනිසුන් අතර උස් පහත් භේදයට කරුණු විචාළේය. මෙම නිර්මාණවාදී අදහස්වලට පිළිතුරු වශයෙන් බුදු දහමේ එන පෙළ දහම් පැහැදිලි කරන්න.

පිළිතුර- ‘සුභ’ මානවකයාට භාග්‍යවතුන් වහන්සේ ඉතා කෙටි පිළිතුරු සපයමින් සත්වයෝ කර්මය ස්වකීය කොට ඇත්තාහ. කර්මය දායාද කොට ඇත්තාහ. කර්මයේම පිළිසරණ කොට ඇත්තාහ.කර්මය විසින් සත්වයා හීන , පහත්බවට පත් කරන්නේ යැයි වදාළහ. ප්‍රතීත්‍ය සමුප්පාද ධර්මය අනුව උන්වහන්සේ තව දුරටත් මෙම කරුණ පිළිබඳව පැහැදිලි කරමින් අප විසින් නෙළනු ලබන්නේ අප විසින්ම වපුරන ලද බීජයේ අස්වැන්නයි. අප වපුරන බීජයේ අස්වැන්න අප කවදා කොතනක හෝ නෙළන්නෙමු. එක් අතකින් බැලූ විට අප අපගේම ක්‍රියාවල ප්‍රතිඵලයයි. අප අනාගතයේ දී ඵල විඳින්නේ වර්තමානික ක්‍රියාවලියෙහි ප්‍රතිඵලයයි. අනෙක් අතින් බලන කල සමස්තයක් වශයෙන් අප අප කළ ක්‍රියාවෙහිම ප්‍රතිඵලය නොවේ. අප අනාගතයෙහි ඵල විඳින්නේ වර්තමානයෙහි අපගේ ක්‍රියාවලම ප්‍රතිඵල නොවේ. නිදසුනක් ගතහොත් අද අපරාධකරුවා හෙට සද්භාවයෙන් යුක්ත අහිංසකයෙකු විය හැකිය. බුදු දහම අනුව එක එල්ලේම නියති වාදයක් හැටියට කර්මය පිළිගැනීමක් ධර්මන්‍යාය නොවේ.

සෑම දෙයක්ම කර්මය අනුව යැයි නියතියෙක් වශයෙන් ගන්නේ නම් මිනිසා ඒකාත්මික වශයෙන් ශිෂ්ටයෙකු හෝ දුෂ්ටයෙකු විය යුතුය. සෑම මිනිසෙක්ම පව්කාරයෙක්ම යන්න බෞද්ධ නියමය නොවේ. අසනීපයක් සුවකර ගැනීමට අප වෛද්‍යවරයෙකු වෙත යා යුතුය. කර්මානුරූපව රෝග වැලදේ යැයි නියතියක පිහිටා සිටීමෙන් ජීවිත හානියද සිදු විය හැකිය.

ප්‍රශ්නය - ‘’ මම සැප විඳිමි’ යන හැඟීම යම් තාක් සත්ත්වයා තුළ පවත්වයි නම් ඒ තාක් ඔහු තුළ භවයෙන් ඉවත්වීමේ කැමැත්ත පහළ නොවේ. මේ හැඟීම සත්ත්වයා තුළින් ඉවත් කළ හැකි විසුද්ධි මාර්ගය පැහැදිල කරන්න.

පිළිතුර - අභිසමය සංයුක්තයේ ‘නගර’ සූත්‍රයෙහි බුදුහිමියන් පෙන්වා දෙන හැටියට බුදුවීමට පෙර බෝසත් අවස්ථාවෙහිදීම එතුමනට ලෝකයා ඒකාන්තයේ දුකට පැමිණියේය. කුමක් හේතුකොට ගෙන දුක ඇති වේ දැයි විමසන විට ජාතිය නිසා ජරා මරණ ඇතිවේ යයිද,මේ අනුක්‍රමය තව දුරටත් සොයා බලන විට ‘දුක ප්‍රතීත්‍ය සමුප්පන්න බව ද එම හේතු ප්‍රත්‍යයන්ගේ ක්‍රමාණුකූල නිරෝධයෙන් දුක්ඛ නිරෝධය වන බව ද අවබෝධ වූ ආකාරය විස්තර කොට “ දුක්ඛ නිරෝධ ගාමිණි ප්‍රතිපදා සත්‍යය” දන්වනු වස් එක්තරා උපමාවක් දක්වමිනි. මහ වනයෙහි හැසිරෙන කිසියම් මිනිසෙක් පෙර මිනිසුන් ගමන් කළ පැරැණි මඟක් – පැරැණි මාවතක් දැක එමඟ යන ඔහු මල් උයනින් වන උයනින් පොකුණින්, පවුරින් සිත්කලුව තිබුණු පැරැණි මාවතක් දකී. එමඟ යන ඔහු මල් උයනින් වන උයනින් පොකුණින්, පවුරින් සිත්කලුව තිබුණු පැරැණි මාවතක් දකී. පසුව ඔහු දුටු දෑ රජුට මහ ඇමැතියකුට කියයි. එම රජුගෙන් මහ ඇමැති තෙමේ පැරැණි මාවත ඔස්සේ ගොස් තතු දැක එහි නගරයක් කරවයි. පසු කල එම නගරය සමෘද්ධි වූයේ ජනාකීර්ණ වූයේ ප්‍රසිද්ධ වූයේ විපුලත්වය පැමිණියේ වෙයි.

“මහණෙනි, එයින්ම මම පෙර විසූ සම්මා සම්බුදුවරයන් විසින් අනුගමනය කරන ලද පැරැණි මහ (පුරාණ මග්ගං) පැරැණි මාවත (පුරාණං අඤ්ජසං) දැක්කෙමි. එම ඉපැරැණි මාවත නම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. එම මඟ අනුගමනය කොට තමන් වහන්සේ සංඛාර, සංඛාර සමුදය, සංඛාර නිරෝධය සංඛාර නිරෝධ ගාමිණී පටිපදාව දැනගත් පසු එය මහණන්ටද මෙහෙණින්ටද උවසුවන්ටද උවැසියන්ටද ප්‍රකාශ කළ බව දක්වා මෙසේද සඳහන් කරති. මහණෙනි! ඒ මේ බඹසර සමෘද්ධ වූයේද සියල්ලෙන් පිරුමෙන් ද බොහෝ දෙනා විසින් දත යුතු වූයේ ද හැම අයුරින් පුළුල් බව පැමිණියේද ඇති තාක් නුවණැති මිනිසුන් විසින් ප්‍රකාශ කරන ලදදේ වෙයි.

ලොව පවත්නා දුක් දැක ගැනීම එයට හේතුව සෙවීම එහි නිරෝධය තේරුම් ගැනීම එයට මඟ සොයා ගැනීම එම මඟ ගමන් කිරීම හා අවසාන අරමුණු ඉටු කර ගැනීම නගර සූත්‍රයෙහි විස්තර කෙරෙන්නේ බුදු හිමියන් බෝසත් කල සිට ක්‍රමානුකූලව ලද පෞද්ගලික අත්දැකීමක් ලෙසිනි. එහෙත් එම මඟ පෞද්ගලික නිර්මාණයක් නොවේ. සොයා ගැනීමක් පමණි. පෙර බුදුවරුන් විසින් ද අනුගමික මාර්ගයකි. නුවණැති ඕනෑම අයෙකුගෙන් අනුමැතිය ලැබෙන අන්අයට අනුගමනය කළ හැකි මාර්ගයකි. ‘ධම්ම චක්ක’ සූත්‍රයෙහි ද්වාදශාකාරය විස්තර කරන තැන් පෙන්වා දී ඇත්තේ මේ මඟ වනාහි දැකගත යුතු හා අවබෝධ කටයුතු හා වැඩිය යුතු එකක් ලෙසනි. හුදු අවබෝධය ප්‍රමාණවත් නොවේ. (පරිඤ්ඤෙය්‍ය) ඒ ඒ පුද්ගලයා තම තමන් විසින්ම ගමන් කළ යුතුය.මේ අනුව ආර්ය අෂ්ටාංගික මාර්ගය ඊශ්වර නිර්මාණයක් නොවේ. දේව අනාවරණයක් ද නොවේ. බාහිර බලවේගයක් විසින් කරන ලද ප්‍රදානයක්ද නොවේ. විශ්වාස කටයුතු දෙයක්ද නොවේ. මිනිස් නැණ නුවණින් සොයා ගත යුතු බුද්ධි මාර්ගයකි.ආත්ම විස්වාසයකින් යුක්තව ආත්ම ශක්තිය ඇතිව අනුගමනය කළ යුත්තකි. ‘තුම්හෙව කිච්චං ආතප්පං අක්ඛාතාරෝ තථාගතා’ සියල්ල දත් බුදුවරු ද මාර්ගය කියා දෙන්නෝ පමණි.

ප්‍රශ්නය - ‘විඤ්ඤාණය නිසා නාමරූප හටගැනේ.’මෙම ප්‍රස්තුතය – ගැඹුරු ධර්ම විවරණයකි. එහෙත් සරලව ධර්මානුකූ®ලව විවරණයක් කළ හැකිය. පැහැදිලි කරන්න.

පිළිතුර - නාම රූප යන්නෙන් ගැනෙන්නේ ස්කන්ධ පංචකයයි.

‘වේදනා - සඤ්ඤා , සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධ (කොටස්) හතර නාම වශයෙන්ද රූපය රූපස්කන්ධ වශයෙන්ද බෙදී යයි. (විභජ්ජ) බෙදීමයි.

නාම ශබ්දය නොයෙක් අතට නැම්ම යන අදහස දෙයි. නාම ස්කන්ධ එබඳු නොයෙක් අතට නැමීමට පත්වන ධර්ම නිසා ඒ නමින් සංග්‍රහ වී තිබේ.සුඛ දුක්ඛ වශයෙන් පමණක් නොව කුසල අකුසල වශයෙන්ද නාම ස්කන්ධ නොයෙක් අතට පරිවර්තනය වෙයි. රූප යනු විනාශවන ස්වභාවය යන අර්ථය රූපයෙහි භෞතික ස්වරූපය ක්‍ෂණික වෙනස් වීමයි. ස්කන්ධ පංචකයෙහි ගතිය පිළිබඳව සාමාන්‍ය ජනතාව අවමගුල් අවස්ථාවෙහිදී සිහිගන්වන අනිච්චා වත සංඛාර උප්පාදවය, ධම්මිනො උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති තෙසං වූප සමො සුඛෝ යන පාඨවලින් ඉතාමත් පැහැදිලිය.

ප්‍රශ්නය - බුදු දහමට අනුව පුද්ගල පද්මය විකසිත ප්‍රබුද්ධ පුෂ්පයක් වන්නේ සමාජයීය ක්ෂේත්‍රය තුළය.මම යන ඒක පුද්ගල සංකල්පයෙන් අප යන සාමූහික සමාජය බිහිවෙයි. මාගේ වටිනාකම අගය මීට වටිනා අගයක් ඇතුවා මෙන්ම අනෙකාටද එසේ වෙයි. අහංචව අමරිතු කාමාජීවතු කාම සුඛ කාම , දුක්ඛ පටික්කුලා තක්‍ෂව පරස්ස ඇමරිතුකාම මෙයින් ගම්‍ය වන්නේ අන් අයගේ වටිනාකම අගය පිළිබඳ නිරතුරුවම සැම අයෙක්ම සැලකිලිමත් විය යුතු බවයි. තම පෞරුෂයේ වටිනාකම නැත්නම් අගය පිළිබඳව නිරතුරුවම සෑම අයෙක්ම සැලකිලිමත් විය යුතුබවයි. තම පෞරුෂයේ වටිනාකම නැත්නම් අගය පිළිබඳව හැඟීම උද්ගත වන්නේ අනුන් වෙතිනි. කෙනෙකුගේ පෞරුෂය යන්න බොහෝ දුරට ඔහු අවට ඇති පරිසරයේ ප්‍රතිඵලයෙකි. එම පරිසරයේම කොටසකි. සිඟාලෝවාද සුත්‍රයෙන් බුදුන්වහන්සේ අවධාරණය කරන යුතුකම් හා අයිතිවාසිකම් ප්‍රවණතාවය හා ඉහත සඳහන් අදහස කෙතෙක් දුරට බෞද්ධ පෙළ දහමට සමගාමි වන්නක්දැයි යන්න පැහැදිලි කරන්න.

පිළිතුර - සිඟාලෝවාද සූත්‍රයෙහිදී බුදු හිමියන් අවධාරණය කොට දක්වන්නේ යුතුකම්වලින් අයිතිවාසිකම් ගම්‍යමාන වන බවත් අයිතිවාසිකම්වලින් යුතුකම් ගම්‍යමාන වන බවත්ය.අපට ලැබෙන අයිතිවාසිකම්වලට කෘතගුණ පූර්ණ ආකල්පයක් දක්වන්නේ නැතිනම් දුදනන් හා මෝඩයන් බහුල සමාජයක් බිහිවන ලකුණු පහළ වන බවත් සමාජය සදාචාරාත්මක අගයෙන්ද පිරිහී පුද්ගල අගයද හීන වී යන බවත් ය.

සොබාදහම අප වෙත සාධාරණ අන්දමින් සලකන නිසා අප විසින්ද සොබාදහමට සාධාරණ අන්දමින් සැලකිය යුතු බව අවධාරණය කරයි. ස්වභාවධර්මය සමඟ කතාබහක් ඇතිකරගත හැකි එකම මඟ නම් සදාචාරය බව බුදුසමය අවධාරණය කරයි. මක්නිසාද ස්වභාවධර්මයාගේ ස්වභාවය වන්නේ සදාචාරය වන නිසාය.

බුදුදහමට අනුව මෛත්‍රිය වනාහි සකල සත්වයන් කෙරෙහිත් ස්වභාවධර්මයා කෙරෙහිත් පැතිර යුතු බව අවධාරණය කරයි. බුදුසමය මානව හිතවාදී වැනි පටු සීමාවන්ගෙන් ඔබ්බට ගමන් කරන ‘සබ්බේ සත්තා භවන්තුසුඛිතත්තා’ සියලු සත්වයෝම සුවපත් වීම සඳහා අපේක්ෂා කරන ආගමකි.