Print this Article


උතුම් මිනිසුන් වෙමු

උතුම් මිනිසුන් වෙමු

“මනං උස්සන්තීති මනුස්සා” උසස් වූ ගතිවලින් පිරුණු මනසක් ඇති අය මනුෂ්‍යයන් බවද, පහත් වූ ගතිවලින් පිරුණු මනසක් ඇති අය මනුෂ්‍යයන් නොවන බවද බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. මේ අනුව බලනවිට මනුෂ්‍ය රූපයෙන් පමණක් පෙනී සිටිමින් අමනුෂ්‍ය ගතිවලින් යුතු යක්ෂ, ප්‍රේත, තිරිසන්, සර්පයන්සේ, හැසිරෙන අයද අප සමාජයේ අපමණ ඇති බව දක්නට ලැබේ.

මෙම දෙපිරිස අද පමණක් නොව, මිනිස්ලොව පහළවුණ දා සිටම සිටිය බව බුදුදහමේ සඳහන් වෙයි. දීඝනිකායට අයත් අග්ගඤ්ඤ සූත්‍රයේ දැක්වෙන ආකාරයට ලෝකය හටගත් පසු පහළ වූ මිනිසුන් අතර යහපත් ගති ඇති අය මෙන්ම, අතින් පයින් දඬු මුගුරුවලින් අන් අයට තලන අයද, සොරකම, හිංසාව, බොරුකීම, නින්දා කිරීම ආදී අපරාධකරුවන් ද එදා සිටිය බව සඳහන් වෙයි.

මේ අනුව බලන විට උතුම් ගුණධර්මයන්ගෙන් යුක්ත අය උසස් මිනිසුන් ය. අධම ගුණ ධර්මයන්ගෙන් යුක්ත අය පහත් මිනිසුන්ය, යනුවෙන් බුදුදහමේ උගන්වා ඇත.

මිනිසා පහත් අයකු වීමට හේතුවන කරුණු රැසක් ‘වසල සූත්‍රයේ’ දක්වා ඇත. ඒවායෙන් කරුණු කිහිපයක් මෙහි සඳහන් කරමි. කෝපවීම, වෛර කිරීම, ගුණමකුවීම, මිසදිටුවීම, පස්පව්, දස අකුසල් කිරීම, ණයගෙන නොදී මඟ හැරීම ආදියයි. එමනිසා, පහත් පුද්ගලයෙක් වීමට හේතුවන මෙවැනි අයහපත් ගති අතහැර, උතුම් මිනිසෙක්වීමට හේතු වන යහපත් ගති ජීවිතයට සම්බන්ධ කර ගනිමු. ඒවා මෙසේ දක්වමු.

මව්පිය උපස්ථානය

දරුවන් විසින් දෙමවුපියන්ට අනිවාර්යයෙන් උපස්ථාන කළ යුතු ය. දෙමව්පියන්ගෙන් දරුවන්ට ලැබුණු උපකාරවල අගය අසීමිතය. දරුවා බිහිවනතුරු කුසයේ දරාගෙන සිටින අම්මා විඳින දුක අනන්තය. බිහි වුණාට පසු දරුවාට තමන්ගේ වැඩ තනිවම කරගන්නට හැකිවනතුරු අම්මාගේ ඇඟේ ලේ කිරට හරවා පොවමින් මල මුත්‍ර අතින් අයින් කරමින්, පිරිසුදු කරමින් මව ද පියාද තම ළමයා වෙනුවෙන් තම කාලය, ශක්තිය, ධනය යොදවමින් උසස් බලාපොරොත්තු ඇතිව අම්මා, තාත්තා වින්ද දුක් අපමණය. එවැනි මවට හා පියාට නොසලකන දරුවන් පහත් පුද්ගලයන් බව වසල සූත්‍රයේ එන,

යොමාතරංවා පිතරංවා - ජිණ්ණකං ගත යොබ්බනං
පහුසන්තො න භරති - තංජඤ්ඤා වසලො ඉති

යන ගාථාවෙන් පැහැදිලි වෙයි. තමන්ගේ අත පය දැඩි වී තනිවම තම අවශ්‍යතාවන් කරගන්න හැකිවුණු ඇතැම් දරුවන් මව්පියන් නොසලකා හරිති. තමන් පොහොසත් වුණාට පසු දුප්පත් මවුපියන් දකින්නටවත් යන්නේ නැති දරුවන් ද ඇත. ඇතැම් දරුවන් තම බිරිඳට හෝ සැමියාට වසඟ වී මව්පියන්ට කරදර කරති. එවැනි දරුවන් ද පහත් අයයි. අජාසත්ත කුමාරයා අසත්පුරුෂ ආශ්‍රය නිසා තම පියාට අනන්ත වධ දී සිරගෙට දැම්මේ ය. නමුත්, තමන්ට දාව උපන් ළමයා දුටුවිට එම ළමයා කෙරෙහි දාරක ප්‍රේමය සිතේ ඇති වූ පසු අනේ මගේ පියා ද, මම උපන්දා සිට මටත් මෙසේම ප්‍රේම කරන්නට ඇතැයි සිතා අජාසත්ත කුමරු තම පිය රජතුමා සිරගෙයින් මුදා හැරියේ ය.

එසේම, තම බිරියගේ හෝ සැමියාගේ ආදරය ස්ථිර නැත. ඇතැම්විට වෙනස් විය හැකිය. නමුත්, මවුපියන්ගේ ආදරය කවදාවත් වෙනස් නොවේ. මෙසේ දරුවන්ට අවංකවම ආදරය කරන මවට, පියාට දරුවන් විසින් සලකන්නේ නැතිනම්, එය ඉතාම පහත් ගතියකි. ඈත අතීතයේ සිටම උතුම් අය තම මව්පියන්ට උපස්ථාන කළහ. අපගේ බෝසතාණන් වහන්සේද තම මවුපියන්ට උපස්ථාන කළ බව බෝසත් චරිතයෙන් පෙනෙයි. මවුපියන්ගේ ගුණ ඉතා මහත් ය. එම නිසා මහත් වූ පින්කමක් වන මවුපිය උපස්ථානය කර අපි උතුම් මිනිසුන් වෙමු.

කුල දෙටුවන් පිදීම

තමන්ගේ පවුලේ වැඩිහිටි අය වන ආච්චී, සීයා, පුංචි අම්මා, බාප්පා, නැන්දා, මාමා, අයියා අක්කා, ආදීන්ට ද පිදිය යුතු ය. ගරු කළ යුතු ය. ආදි කාලීන සමාජයේ කුල දෙටුවන් පිදීම ඉතා උසස් පිළිවෙතක් ලෙස පැවැතිණි. එම නිසා එදා බාල, මහලු අය අතර දැඩි සම්බන්ධයක් පැවතුණේ ය. යමෙක් තම වැඩිහිටියන්ට ගරු කරන්නේ නම්, එය උතුම් මිනිස් පිළිවෙතක් බව සිතට ගනිමු.

පි‍්‍රය වචන කතා කිරීම

මෙය බොහෝ දෙනෙක් තමාගේ පැත්තට අවනත කරගත හැකි පිළිවෙතකි. තද පරුෂ යක්‍ෂයන් පවා පි‍්‍රය වචනයෙන් තමාගේ පැත්තට නැඹුරු කර ගත හැකි ය. මෘදු වචනයන්ට තිරිසන් සතුන් පවා කැමැතිය. ආදරයෙන් කරුණාවෙන් කතා කළ විට තිරිසන් සතුන්ගෙන් බර වැඩ පවා කරගත හැකිය. යහපත් ගති ඇති මනුෂ්‍යයන්ද මෘදු මොළොක් වචන ඇසීමට කැමැතිය. පරුෂ වචන කීම කටින් සිදුවන අකුසලයකි. නමුත්, මෙය නොසලකා හරින නූතන සමාජයේ ඇතැම් අය තම දූ දරුවන් ඉදිරිපිට ද පරුෂ වචන කියන්නට පුරුදු වී සිටිති. එවැනි විළි බිය නැති අය ඇසුරු නොකර අපි උතුම් අය වෙමු.

කේලාම් නොකීම

ඔවුනොවුන් අතර සමඟිය සමාදානය දියුණුව ඇති කිරීමට මහත් වූ උපකාරයකි කේලාම් නොකීම. එසේම රටවල්, පළාත්, ජාතීන් පවුල් අතර අසමඟියට, විනාශයට ප්‍රධාන හේතුවකි කේලාම් කීම, එය කටින් සිදුවන අකුසලයකි. යමෙක් කේලාම් කියන්නේනම්, ඔහු ඔවුනොවුන් අතර සමඟිය විනාශ කරන භයානක සතෙකි. අසත්පුරුෂයෙකි. එම නිසා එවැනි පාපකාරීන් ඇසුරු නොකර, කේලාම් නො කියන උතුම් මිනිසුන් වෙන්නට අධිටන් කර ගනිමු.

මසුරුමල දුරු කිරීම

තමන් ළඟ තිබෙන සියලු භෞතික සම්පත් තමන්ට පමණක් ප්‍රයෝජනය ගැනීම සඳහා පොදි බැඳගෙන අනුන්ට නොදීමේ දැඩි ආශාව, තණ්හාව මසුරුකමයි. එම මසුරු බව ඇති අයගේ සිත යක්‍ෂයන් අරක්ගත් පොකුණක් වගේ ය. ඔහු තම ධනය පින් සඳහා යොදවන්නේ ද නැත. ධනයෙන් නියම ප්‍රයෝජනය ගන්න නොදන්නා මසුරෝ කුණුකම්කොට මැරී අපායේ උපදිති. එමනිසා නුවණ ඇති අය වශයෙන් මසුරුකම් දුරුකොට නැති බැරි අහිංසක අයට හැකි පමණින් උදව්කොට ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කොට මෙලොවත් පරලොවත් යහපත සඳහා තම ධනය යොදවා උතුම් ජීවිත ඇති අය බවට පත්වෙමු.

ඇත්තකීම

මෙයද මිනිසෙකු ළඟ තිබියයුතු උතුම් ගුණයකි. සත්‍ය වචන කතා කිරීම උතුම් මංගල කරුණක් බව මංගල සූත්‍රයේ ඇති, ‘සුභාසිතාච යාවාචා - එතං මංගල මුත්තමං’ යන ගාථා පාඨයෙන් පැහැදිලි වෙයි.යමෙක් ඇත්ත කියනවානම්, ඔහු හැමදෙනාටම පි‍්‍රය මනාප අයෙක් වෙයි. හැමදෙනාම විශ්වාස කරයි. එසේම, යමෙක් බොරු කියන්නේ නම්, ඔහු අවිශ්වාස කරති. පිළිකුල් කරති.

තරහ මැඩ පැවැත්වීම

යමෙකුගේ සිතේ තරහ ඇතිවන්නේ නම් ඔහුගේ දෙලොවම පිරිහෙයි. මේ බව පරාභව සූත්‍රයේ ද ඇත. එමනිසා තරහ මැඩ පවත්වාගෙන යමෙක් ඉවසන්නේ නම්, ඔහුගේ දෙලොව දියුණුවට හේතුවෙයි. ඒ බව “ඛන්ති’ පාරමිතාවෙන් ද මනාව පැහැදිලි වෙයි. තරහ මැඩ පවත්වාගෙන ඉවසීමෙන් ක්‍රියා කරන විට සතුරන් දමනය වෙයි. දෙළොවම යහපත සැලැසේ. “ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය” යන්නෙන් ඒ බව පෙනෙයි. එමනිසා, මෙම සියලු කරුණු සිතට ගෙන ඒ අනුව පිළිපදින අය උතුම් මිනිසුන් බවට පත්වෙන බව වටහාගෙන මෙම කරුණු සිතෙහි තැන්පත් කරගන්න පුරුදුවෙමු. කෙලවරක් නැති මෙම සසරේ අපමණ රෞද්‍ර වූ දුක්විඳ පෙර කරන ලද පිනක් මුල් වී ඇස් පෙනෙන, කන් ඇසෙන, අතපය අවලංගු වී නැතිව, ප්‍රඥාව ඇතිව, භෞතික සම්පත්වලින් යුතුව වාසනාවන්ත උතුම් මනුෂ්‍ය ජීවිතයක් ලබා ගත් අපි නැවත සසර දුකට පත්නොවන්නට අධිෂ්ඨාන කර ගනිමු.