Print this Article


මහා කරුණාවෙන් දියත සිසිල් කළ බුදු සමිඳාණෝ

මහා කරුණාවෙන් දියත සිසිල් කළ බුදු සමිඳාණෝ

අප ජීවත් වන මේ ලෝක ධාතුව තුළ මනුෂ්‍යත්වයෙන් පිරිපුන් ශ්‍රේෂ්ඨතම උත්තමයා ලෙස අප සලකන්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේය. එයට හේතු රාශියක් තිබේ. කිසිදු මිනිසකු තුළ දැකිය නොහැකි අපරිමිත ගුණ සමුදායක් ලොව්තුරා බුදු හිමියන් තුළ පවතී. එම ගුණ පිළිබඳ අවධානය යොමු කිරීමෙන් පැහැදිලි වන්නේ සියලු ලෝසතුන් වෙත උන්වහන්සේ තුළ පැවැති අනන්ත දයාව හා කරුණාවය.

බුදුහිමියන් ලොව පහළ වන සමය තුළ සමාජයේ සියලු වරප්‍රසාද හිමිව තිබුණේ බමුණු සමාජයටයි. එහිදී ඔවුහු සාමාන්‍ය, අන්ත අසරණ මිනිසුන් පාගා දමා ඔවුන්ගේ ශ්‍රමය සූරා කෑමට පුරුදුව සිටියහ. එවන් යුගයක පහළ වූ ශ්‍රේෂ්ඨ මානව හිතවාදියා ලොව්තුරා බුදුරජාණන් වහන්සේයි. උන්වහන්සේ එම සමාජ අසාධාරණය හෙළා දුටහ. එහිදී බ්‍රාහ්මණ සමාජයත් සමඟ තර්කානුකූලව හැප්පී ඔවුන්ගේ මත ඛණ්ඩනය කළ සේක. ඒ කිසිම තැනකදී අවි ආයුධ, දඬු මුගුරු පරිහරණය නොකළ සේක. ඒ සියල්ල සිදුකළේ ප්‍රඥාව හා කරුණාව මුල් කරගෙනය.

න ජච්චා වසලො හොති
න ජච්චා හොති බ්‍රාහ්මණො
කම්මනා වසලො හොති
කම්මනා හොති බ්‍රාහ්මණො

මව් කුසයෙන් ඉපදෙන තැන සිටම, අසාධාරණ සමාජ ක්‍රමයකට අසරණ මිනිසුන්ට මුහුණපෑමට සිදු වූ අතර බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණ සමාජයෙන් අසරණ මිනිසුන් බේරා ගැනීමට විශාල පරිශ්‍රමයක් දැරූ සේක. එහිදී උන්වහන්සේ තම නුවණින්ම අවබෝධ කරගත් ධර්මය ගුරු තනතුරෙහි තබාගෙන එම ලැබූ ධර්මාවබෝධය තුළින් ලෝකය හා සත්වයා පිළිබඳ නිර්ණය කළ සේක.

ඒ අනුව, උපතින් කෙනෙකු වසලයකු හෝ බ්‍රාහ්මණයකු හෝ නොවන බවත් කරන ක්‍රියාව අනුවම වසලයකු හෝ බ්‍රාහ්මණයකු වන බවත් දේශනා කළ සේක. එම අදහස් මොන තරම් තර්කානුකූලද? මොන තරම් මනුෂ්‍ය ප්‍රජාව උදෙසා කළ ප්‍රකාශයක්ද? ඕනෑම පුද්ගලයෙකුට එහි පවතින සත්‍යය මනාව පැහැදිලි වනවාට කිසිදු සැකයක් නැත.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ලෝක සත්ත්වයාට දුන් පණිවිඩය ඉතා චමත්කාරජනකය. එය මනුෂ්‍යත්වයෙන් හෙබි සැබෑ මිනිසකුගේ ලක්ෂණය ලොවට කියාපෑමකි. කරුණාව, දයාව, අනුකම්පාව, මෛත්‍රිය, පරාර්ථ සේවාව, නිහතමානි බව, ඉවසීම, කළගුණ සැලකීම, පොදු බව, සමානාත්මතාව ආදී අනන්ත ගුණ සමුදායකින් පිරිපුන් ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයකු වශයෙන්, ලොවට පෑයූ සූර්යයා වූයේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේයි. මහා සාගරය පරයා නැඟෙන සිල් ගුණ සුවඳ මුළු තුන්ලෝකයේම හැමුවේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වෙතින් හැර වෙන කවුරුන් වෙතින්ද?

බුදුන් වහන්සේගේ චරිත කතාව කියවන ඕනෑම කෙනකුට උන්වහන්සේ තුළ පැවැති ශ්‍රේෂ්ඨ මනුෂ්‍යත්වය මනාව අවබෝධ වේ. සමහර තැන්වලදී, අනුන් සුවපත් කරනු වස් බුදුරජාණන් වහන්සේ හට අපහසුතාවලට ලක් වීමටද සිදුවිය. උන්වහන්සේ කාලයද, ශ්‍රමයද කැප කළේ අනුන් සඳහාමය. මනුෂ්‍යත්වයක් ගැන නොසිතන කෙනකුට නම් එම කාලයත් තමන්ගේ සුඛ විහරණය සඳහා යොදා ගැනීමට තිබුණි. එසේ වුව ද බුදුරජාණන් වහන්සේ අනුන් සඳහාම කාලය, ශ්‍රමය, කැප කළ අසහාය මනුෂ්‍යත්වයෙන් හෙබි ශ්‍රේෂ්ඨ උත්තමයෙකි.

අසරණයන්ට පිහිට වීම පිළිබඳ සැලකීමේදී, සමහර අවස්ථාවලදී උන්වහන්සේට සැතැපුම් ගණන් පා ගමනින්ම වැඩම කිරීමට සිදු විය. සමහර විට පැය ගණන් වාඩි වී සිටීමට සිදු විය.වෙලාවට දාන මාන පවා නොමැති වූ අවස්ථාද නැතුවා නොවේ. එසේ අපහසුතා විඳීමට උන්වහන්සේට සිදුවූයේ ලෝක සත්වයා දුකෙන් මුදා ගැනීමේ අපරිමිත කාරුණිකත්වය නිසාමය. උන්වහන්සේට කිසිදු අපහසුතාවකින් තොරව සැපවත් ජීවිතයක් ගත කිරීමටද අවකාශ තිබුණි. බුදු බව ලබා ගෙන වුවද ,රාජ රාජ මහාමාත්‍යාදීන්ගෙන් පමණක වුවද පුද සත්කාර ලබමින් හිඳීමට හැකියාව තිබුණි. නමුදු ශ්‍රේෂ්ඨ මනුෂ්‍යත්වයෙන් පිරි උත්තමයකුට එසේ සිටිය නොහැකිය. අනුන්ගේ දුක දැක තම කරුණාව යොමා ඔවුනට පිහිටවීම ශ්‍රේෂ්ඨ උත්තමයින්ගේ පිළිවෙතයි.

බුදුරජාණන් වහන්සේගේ විශිෂ්ට ගුණාංග මතුකෙරෙන අවස්ථා බුද්ධ චරිතය තුළින් අප විමසා බලමු. එවැනි අවස්ථා රාශියක් ඇත. ඒ ඒ අවස්ථාවලදී බුදුකරුණාව විවිධ අයුරින් ගලා ගිය තැන් හදුනා ගැනීමට පුළුවන. එයට භේදයකින් තොරව සියලු සත්වයාම හසුවිය.

* එකම දිනක දරු දෙදෙන, ස්වාමියා, මවුපියන් හා සහෝදරයා අහිමි වු පටාචාරාවන්ට පිහිට වීම

* පුතු මළ සොවින් දුක් වූ කිසාගෝතමියට පිහිට වීම

* බ්‍රාහ්මණ සමාජයේ අසාධාරණයට ලක් වී කසල ශෝධකයකු වශයෙන් සිටි සුනීතට උපකාරවීම

* මිතුරන්ගේ කේලම් මත වැරැදිකරුවකු වීමට වූ අහිංසක කුමරුවා අංගුලිමාල නම් මිනීමරුවකු වී මිනිසුන් නවසිය අනූනව දෙනකු මරා මව මැරීමට තිබියදී බුදුන් වහන්සේගේ අපමණ කරුණාව නිසා විමුක්තිය ලැබීම

* දුක් ගිනි ඉවසා ගත නොහැකි තැන ගෙල වැලලා මැරෙන්නට සිතූ රජ්ජුමාලාට පිහිටවීම

* පියාගෙනුත් පිහිටක් නොලැබුණ මට්ටකුණ්ඩලී නම් වූ දරුවාට උපකාරි වීම

* දරුවන්ගේ සැලකිලි නොලැබී මහ මඟට පත් වෘද්ධ බමුණාට පිහිට වීම

* බුදුන්ට ගල් පෙරලූ දේවදත්තට පිහිට වීම

* රා කළගෙඩි දහසයක් පොවා බුදුන් මැරීමට පෙරට එවූ නාලාගිරි ඇතාට පිළිසරණ වීම

* සොරුන් කුඹුරක මසුරන් පොදියක් දමා යෑමෙන්, අසරණ ගොවියකු රාජ දණ්ඩනයට හසුවීමට තිබියදී ඔහුට උපකාරීවීම

* උදේනි රජුගේ මංගල ඇතින්න වයසට යෑම හේතුවෙන් අත්හැරීම නිසා පිහිටක් නොමැති කල බුදු හිමි පිළිසරණ වීම

* සුළු පියාගේ අසාධාරණයට ලක්වී සොහොනේ මළ කඳක බැඳ දැමූ සෝපාක කුඩා දරුවාට පිහිට වීම

* ආලවක යක්ෂයාට පිහිට වීම

මේ ආදී වශයෙන් සිදුවීම් රාශියක් බුද්ධ චරිතය තුළ පවතී. එයින් කිහිපයක් ඉහතින් දැක්වුවද තව බොහෝ සිදුවීම් තිබේ. ඒ සියල්ලක්ම උත්තම මනුෂ්‍යත්වය ඉස්මතු වූ අවස්ථායි. ආත්මාර්ථය මුළුමනින්ම ඉවත්කොට පරාර්ථය මුළු දිවිය පුරාම ඔප් නැංවූ ශ්‍රේෂ්ඨ මනුෂ්‍යත්වයකින් යුත් බුදුරජාණන් වහන්සේ නිර්මාපකයකු හෝ දෙවියන් විසින් මේ ලෝකයට මැවූ කෙනකු හෝ නොව මනුෂ්‍යයෙකි. නමුත් මිනිසුන් අතර ඉපදී මිනිසුන් සමඟ ජීවත්වූ උත්තරීතර මනුෂ්‍යයෙකි. නෙළුම් මලක් මෙන් පිරිසුදු ,කෙලෙස් අත්හැරී, මිනිස් සමාජයේ ජීවත් වුවත් නොගැටී නොඇලී ජීවත් වූ ශ්‍රේෂ්ඨ උත්තමයෙකි.

වරක් උක්කට්ඨා හා සෙතව්‍ය යන නගරාන්තර මාවතෙහි පා ගමනින් වඩින බුදුරජාණන් වහන්සේගේ පා සටහන් දැක, ලක්ෂණ ශාස්ත්‍රය දත් ද්‍රෝණ බමුණා විස්මයට පැමිණ, බුදුරජුන් හමුවට අවුත් ‘භවත්නි, ඔබ දෙවියෙක්ද? ගාන්ධර්වයෙක්ද? යක්ෂයෙක්ද? මනුෂ්‍යයෙක්ද? යනුවෙන් ප්‍රශ්න කළේය. එහිදී බුදුරජාණන් වහන්සේ තමන් දෙවියකු හෝ ගාන්ධර්වයකු හෝ යක්‍ෂයකු හෝ මනුෂ්‍යයෙකු හෝ නොවන බව වදාළහ. එසේ නම් කවරකු දැයි බමුණා පෙරළා ප්‍රශ්න කළේය.

“යම් ආශ්‍රව කොටසක් ප්‍රහීන නැති නිසා දෙවියකු වේ නම් ඒ ආශ්‍රව මම නැවත නූපදනා ලෙස නැති කළෙමි. එමෙන්ම ගාන්ධර්ව ,යක්ෂ, මනුෂ්‍ය යන තත්ත්වවලට අයත් ආශ්‍රවද ප්‍රහීන කළෙමි. යම් සේ උපුල්, නෙළුම් ආදී මලක් දියෙහි වැඩී දියෙන් පැන නැඟී දියෙහි නොගැටී පවතින්නා සේ මම ලොවෙහි උපන්නෙමි, ලොවෙහි වැඩුනෙමි, ලෝකය අභිභවා ලෝකයෙහි නොඇලී නොගැටී වාසය කරමි. බමුණ, මා බුද්ධ යයි දැන ගන්න “ ආදී වශයෙන් බුදුහිමියෝ පහදා දුන්හ.

මේ අයුරෙන් බලන කල්හි බුදුහිමි සාමාන්‍ය මිනිසුන් අතරම පහළ වී සම්මා සම්බුද්ධත්වය අවබෝධ කොටගෙන, සමාජ භේදයක් නොමැතිව සෑම දෙනා හටම සම මෙත් ගුණයෙන් උපකාර කළ ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙකි. මනුෂ්‍යත්වය තුළින් අන්‍යයන්ට පිහිට වීමේදී , බාල, තරුණ, වයෝවෘද්ධ ආදී වයස් භේදයන් මනාව අවබෝධ කොටගෙන ඔවුනට සරිලන ආකාරයෙන් මානසිකත්වය තේරුම් කොටගෙන පිහිට පිළිසරණ වූහ. ස්වල්ප වේලාවක් තම කටයුතු සඳහා තබාගෙන ඉතිරි මුළු කාලයම අනුන් සඳහා කැප කළ බුදු හිමිගේ අගය, වටිනාකම එදාට වඩා අදද දැනේ.

අවුරුදු හතළිස් පහක් ලෝක සත්වයා වෙනුවෙන් කාලය කැප කළ උන්වහන්සේ තුළ තිබූ නිහතමානීකම, ඉවසීම, කළගුණ සැලකීම ආදී ශ්‍රේෂ්ඨ ගුණාංග ලොව කිසිවකු තුළ දැකිය නොහැකිය. ලෝකයට පළමුව කෘතගුණ සැලකීමේ පාඩම කියා දුන්නේ බුදු හිමියන්ය. එනම් තමනට බුදුවීමට පිහිට වූ බෝධිය දෙස සතියක් ඇසිපිය නොහෙළා බලා හිදීමෙනි. මේ ආදී වශයෙන් නොයෙක් තැන්හි බුදුහිමිගේ මනුෂ්‍යත්වය අපට වටහා ගත හැකිය. ශ්‍රේෂ්ඨ මනුෂ්‍යත්වයකින් හෙබි බුදුරදුන්ගේ චරිත කතාව ආදර්ශයට ගෙන අපේ ජීවිතවල අඩු පාඩු මකා ගනිමින් මිනිසත් බව අර්ථවත් කර ගත යුතුව ඇත. එහිදී මිනිසත්කම පතුරුවමින් සමාජයේ ශ්‍රේෂ්ඨ මිනිසකු විලසින් ජීවත්වීමට උත්සාහවත් විය යුතුය.