මාදුපිටියේ ශ්‍රී මේධානන්ද අනු නා හිමි
හැටේ දශකයේ අතිශය ජනපි‍්‍රය ධර්ම දේශකයාණන් වහන්සේ නමක් ලෙස කීර්ති
නාමයක් ඉසිලූ පණ්ඩිතාචාර්ය මාදුපිටියේ ශ්‍රී මේධානන්ද අනු නා හිමියෝ
බුදු බණ දේශනා කිරීමට සහජයෙන්ම වරම් ලද උතුමෙකු වූහ. සරලව හා සුගමව
තථාගත ධර්මය බෞද්ධ ශ්‍රාවකයාට සමීප කිරීමෙහිලා දක්‍ෂතාවක් දැක් වූ
උන්වහන්සේ මාදුපිටිය නම් ගමත් මේධානන්ද යන ශ්‍රී නාමයත් ගිහි පැවිදි
ශ්‍රාවක මතකයෙහි රැඳවීමට සමත් වූහ. සම්බුද්ධ දේශනාව ඇතුළත් පෙළ දහමත්
අටුවාව පිළිබඳවත් ප්‍රාමාණික දැනුමක් ලබාගෙන තිබූ පඬිවරයෙකු වූ
උන්වහන්සේ තම ධර්මඥානය චිත්තාකර්ෂණීය අයුරින් පහදා දෙන්නට දැක් වූ
හැකියාව අද්වතීය ය.
පානදුර වලාන ශ්‍රී විජය සෞගත විද්‍යාලය පිරිවෙන් ආයතනයේ
ප්‍රමුඛාචාර්යවරයා ලෙස පුළුල් ධර්ම ශාස්ත්‍රීය මෙහෙවරක නිරත වූ
මේධානන්ද නාහිමියෝ ප්‍රාචීන භාෂා ශාස්ත්‍ර මෙන්ම ඉංගී‍්‍රසි භාෂාව
පිළිබඳවද නිපුණත්වයක් දැක්විය.
1916 සැපතැම්බර් 16 දින පානදුරේ මාදුපිටියේ දී ජන්ම ලාභය ලැබූ
උන්වහන්සේ උපතින්ම බෞද්ධ ආභාෂය ලද පුණ්‍ය වන්තයෙක් වූහ. 1927 දී වලාන
ශ්‍රී විජය සෞගත විද්‍යාලයාධිපතිව වැඩ විසූ පණ්ඩිතාචාර්ය වලානේ ශ්‍රී
විජයනන්ද අධිකරණ නා හිමියන්ගේ ශිෂ්‍යයෙකු ලෙස සසුන් මඟට පිවිසි
උන්වහන්සේ කුඩා කල සිටම ත්‍රිපිටක ධර්මයත් භාෂා ශාස්ත්‍රත් මැනවින්
හදාළහ. මහත් කැපවීමෙන් ලබාගත් දැනුම සිසුන් වෙත ලබාදීමට කටයුතු කළ
උන්වහන්සේ ප්‍රවීණ ගුරුවරයෙකු ද වූහ. දේශනයෙන් මෙන්ම ලේඛනයෙන් ද ධර්මය
සමාජගත කිරීමට කැප වී ක්‍රියා කළ මේධානන්ද හිමියන් විසින් කුඩා ධර්ම
ග්‍රන්ථ රාශියක් ද ලියා පළ කරනු ලැබිණි. සිංහල කවිය පිළිබඳව ද
විශාරදයෙකු වූ උන්වහන්සේගේ කවි මහ සරලය, සුගමය, සදුපදේශ ප්‍රකාශනයෙහිලා
දැක් වූ දක්‍ෂතාව ද සුවිශේෂීය. දවසේ කවිය නමින් දෛනිකව කාව්‍ය රචනයෙහි
යෙදුණු උන්වහන්සේ කව් දහස් ගණනක් රචනා කළහ. බුදු බණ කියන්නට කවි මඟ ද
සාර්ථකව භාවිත කළ බවට නිදසුන් කිහිපයක් මෙසේ ය.
දිවි පෙවෙත උදෙසා
දුසිරිත් කරන මිනිසා
මිනිස්කම වනසා
යාය පිරිහී දවස දවසා
සිගරැට් සුරුට්ටු
කරගත හොතින් කිට්ටු
ඇඟ ද වේ කෙට්ටු
කාස රෝගෙන් වේය මට්ටු
මස් මාළු කරවල
බිත්තර යමෙකු කෑ කල
මළ කුණු නිදන් කළ
සොහොන් පිටියක් වේය බඩ තුළ
පුරා පනස් වසරක පමණ කාලයක් පුළුල් ජාතික ආගමික හා සාමාජික මෙහෙවරක
නිරතව වැඩ සිටි මේධානන්ද නාහිමියෝ අපවත්වීමෙන් වසර 25ක් ගතවීම නිමිතිකර
ගුණානුස්මරණ පින්කම් මාලාවක් වලාන ශ්‍රී විජය සෞගත විද්‍යාලය පිරිවෙන්
විහාරස්ථානයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. වත්මන් විද්‍යාලයාධිපති
පානදුරේ විජිත නන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කෙරෙන එම පින්කම්
මාලාව මේ මස 22 වන දින සිට මාර්තු 02 දින දක්වා පැවැත්වේ. මෙයට සමගාමීව
වාහල්කඩ විවෘත කිරීමද පසුගියදා සිදුවිය. මාර්තු 02 දින 150 නමක් උදෙසා
සංඝගත දක්‍ෂිණාවක් ද පැවැත් වේ. මෙපින් බලෙන් උන්වහන්සේට උතුම්
නිර්වාණාවබෝධය ලැබේවා!
පාණදුරේ රන්කොත් විහාරවාසී ශ්‍රී සෞගත විද්‍යාලය පිරිවෙනේ පරිවේණාධිපති
රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති
අයගම සුසීල හිමි
ඌරුගමුවේ වාචිස්සර නා හිමි
සංඝ පීතෘන් වහන්සේලා අතරින් නුගේගොඩ පාගොඩ ධර්මදූත මධ්‍යස්ථානාධිපති
ශාස්ත්‍රවේදී ඌරුගමුවේ වාචීස්සර නාහිමියන්ට හිමි වන්නේ අද්විතීය
ස්ථානයකි.
රුහුණූ පුරවරයේ බිහිවී කොළොම් තොටට සම්ප්‍රාප්තව ශ්‍රී ජයවර්ධනපුර
කෝට්ටේ නුගේගොඩ පාගොඩ බෞද්ධ මධ්‍යස්ථානය ප්‍රතිෂ්ඨාපනය කළ අති පූජ්‍ය
වීරකැටියේ කවීශ්වර නාහිමියන්ගේ සෙවනේ හැදී වැඩී උන්වහන්සේ අපවත්
වූවායින් පසුව ධර්ම දූත මධ්‍යස්ථානාධිපති ධුරයට ඌරුගමුවේ වාචීස්සර
නාහිමි පත් වූහ. මාතර දිසාවේ ඌරුගමුවේ විසූ පී.ඇල්. කරෝලිස් අප්පුහාමි
හා ඩිංගිරිහාමි කොඩිතුවක්කු දෙමහල්ලන්ගේ සෙනෙහෙබර කැදැල්ලේ දුවා දරුවන්
නව දෙනෙක් වූහ. 1944 මාර්තු මස 05 වෙනි දින මොළොව එළිය දුටු , ඒ.පී.
ලියනගේ නමින් නම තැබුණු පුතු පවුලේ හය වැන්නා විය. කල වයස අනුව
අධ්‍යාපනයට ප්‍රථමයෙන් ඌරුගමුව මෙතෝදිස්ත විද්‍යාලයටත්,අනතුරුව
විද්‍යාරාජ විද්‍යාලයටත් ඇතුලත් කෙරුණි.
පාසල් වියේදීම බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා කෙරෙහි පැවති ගෞරව
භක්ත්‍යාදරයත්, ආගම දහම කෙරෙහි උපතින්ම ලත් ලැදියාවත් නිසා පාසල්
අධ්‍යාපනයට ආයුබෝවන් කියා පැවදිවීමට තීරණය කෙරුණි. මේ උතුම් කර්ත්‍යවයට
සූදානම් වීම පිණිස බෞද්ධ ධර්ම ශාස්ත්‍රීය අධ්‍යාපනය ලැබීමට කොළඹ
මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනස්ථානයට ගිහි ශිෂ්‍යයෙකු ලෙස ඇතුලත් විය.
විද්‍යෝදය ධර්ම ශාස්ත්‍රීය අධ්‍යාපන පෝෂණයෙන් අනතුරුව 1964 ජුනි 22 දී
අමරපුර සිරි සද්ධම්ම වංශ මහා නිකායට අයත් භික්‍ෂුවක් ලෙස ප්‍රවෘජ්ජා
භූමියට ප්‍රවිෂ්ට විය. මෙයට අඩ සියවසකට පෙර එය සිදුවූයේ පාගොඩ ධර්ම දූත
මධ්‍යස්ථානයේදීමය. ආචාර්යන් වහන්සේලා වූයේ අපවත් වී වදාළ වීරකැටියේ
කවීස්සර, බෙලිඅත්තේ ඛේමානන්ද යන නාහිමිවරුන්ය. උන්වහන්සේ අමරපුර මහා
නිකායේ මහානායක කොස්ගොඩ ධම්මවංශ මහා නාහිමිගේ උපාධ්‍යාය යටතේ බලපිටිය
කප්පින වලව්ව උදකුප්ඛේප සීමා මාලකයේදී 1967 පොසොන් මස 22 දා සුපිරි
ශුද්ධෝපසම්පදාවට පත් වූහ.
ගිහි ශිෂ්‍යයෙකු ලෙස විද්‍යෝදය පිරිවෙනට ඇතුලත් වූ උන්වහන්සේ පිරිවෙන්
අධ්‍යාපනය අවසන් කොට විශ්ව විද්‍යාල උසස් අධ්‍යාපනයට යොමු වූයේ
විද්‍යෝදය විශ්ව විද්‍යාලයට ඇතුලත් වීමෙනි. ධර්ම දූත දහම් පාසලේ
විදුහල්පති වන්නේ ද ඌරුගමුවේ වාචීස්සර නාහිමියන්ය. උපතින් 70 වියට පත්
, පැවිද්දෙන් 50 විය සපිරි ඌරුගමුවේ වාචීස්සර නා හිමිගේ ජීවිතයේ විශේෂ
සංධිස්ථාන දිනයකි මාර්තු මස 05 දා. ඒ නිමිති කරගෙන වාචිස්සර නා
හිමියන්ට දීර්ඝායු නිරෝගි සැප පතා මාර්තු 01 වැනිදා සර්ව රාත්‍රික
පරිත්‍රාණ දේශනයක්ද 02 දා සංඝගත දක්‍ෂිණාවක්ද රඹුක්කන, රිදීගම අන්දර
වැට ආදි සියලු ශාඛා එකතුව නුගේගොඩ පාගොඩ ධර්ම දූත මූලස්ථානයේදි
පැවැත්වේ.
හේරස් ප්‍රනාන්දු
හොරහීන්ඇල්ලේ ගුණරතන නා හිමි
සබරගමු පළාතේ, හොරහීන්ඇල්ල නම් ගම්මානයේ විසු සැදැහැවත් ප්‍රභූ මව් පිය
දෙපළකට දාව වර්ෂ 1940 ඔක්.මස 14 දින මෙලොව ජන්මදායාදය ලත් මුන්වහන්සේ
සහෝදර සහෝදරියන් සිව්දෙනෙකුගෙන් යුතු පවුලේ බාලයා විය.
උපතින් දාහතර වැනි වියට එළඹීමත් සමඟ උන්වහන්සේ උතුම් ප්‍රව්‍රජ්‍යා
භූමියට පත්වූයේ පැල්මඩුල්ලේ සිරිසුමිත්තානන්ද නාහිමියන්ගේ
උපාධ්‍යායත්වයෙන් හා එරබද්දේ සුමන නාහිමියන්ගේ ආචාර්යත්වයෙනි. එම
පැවිද්ද සිදුවූයේ 1954 ජුනි මස 20 දින හොරහීන්ඇල්ල බෝමළුව
විහාරස්ථානයේදීය.මූලික පැවිදි අධ්‍යාපනය තම ගුරුදේවයන් වහන්සේලා
වෙතින්ම ලබාගත් ගුණරතන හිමියෝ වැඩිදුර අධ්‍යාපනය සඳහා ඇතුළු වූයේ
රත්නපුර ශ්‍රී සුමන මහා පිරිවෙනටයි. උපසම්පදා අධි ශීලයට පත් වූයේ 1967
ජූලි මස කොළඹ ජේතවන පිරිවෙන මූලික කරගෙන කළ්‍යාණි නදි උදකුක්ඛේප සීමාවේ
පැවැත් වූ උපසම්පදා වාරයේදීය.
1975 දී ත්‍රිපිටකවේදී උපාධිය බුද්ධශ්‍රාවක ධර්මපීඨයෙන් හිමිකරගත්
ගුණරතන නාහිමියෝ එතැන් පටන් වඩාත් උනන්දුවෙන් තම ජාතික ආගමික
අධ්‍යාපනික කටයුතු බටුගෙදර ශෛලතලාරාමය කේන්ද්‍ර කරගෙන ආරම්භ කළහ.
ලක් වටාපොත ශි‍්‍ර දේවානන්ද පිරිවෙන්හි උපාචාර්යවරයෙකු වශයෙන් සේවය කළ
හොරහීන්ඇල්ලේ හිමියන් 1991 සිට 2000 වර්ෂයේ විශ්‍රාම යනතුරු
තිරිවාන්කැටිය ජයසුනන්දාරාම මූල මහා විහාර පිරිවෙන්හි පරිවේණාධිපති
ස්වාමීන් වහන්සේ වශයෙන් හැදෙන වැඩෙන භික්‍ෂූ පිරිසට ආදර්ශ සම්පන්නව
සිදු කළ අධ්‍යාපන සේවය සදා නොමැකී පවතිනු ඇත. ගුණරතන හිමියෝ තම
විහාරස්ථානයේ පැරණි විහාරය ප්‍රතිසංස්කරණ කරවීමෙන්ද අභිනව චෛත්‍යය
රාජයාණන් වහන්සේ ඉදිකරවීමෙන්ද, තායි බුදුපිළිම වහන්සේ නමක් තැන්පත් කර
බෝධින් වහන්සේ වටා බෝධි ඝරයක් ඉදිකරවීමෙන්ද බොදු ජනතාවගේ ශ්‍රද්ධාව
වැඩෙන ලෙස කටයුතු රැසක් සිදු කර ඇත.
මෙසේ බොහෝ ලෝ සසුන් වැඩ පිණිස ක්‍රියා කරන හොරහීන්ඇල්ලේ ගුණරතන
නාහිමියන් උපතින් වර්ෂ හැත්තෑ හතරක්ද (74) පැවිද්දෙන් වර්ෂ හැටක්ද (60)
උපසම්පදාවෙන් වර්ෂ හතළිස් හතක්ද (47) සපුරා සිටින අවස්ථාවේදී
උන්වහන්සේගේ සේවය අගයකොට උපහාර දක්වා සම්භාවනා පැවැත්වීමට ශිෂ්‍ය පිරිස
හා දායක පිරිසත් ආශි‍්‍රත මහා සංඝරත්නයත් කටයුතු යොදා ඇත.පෙබ.23 වන දින
බටුගෙදර ශෙලතලාරාම විහාරස්ථානයේදී උපහාර ලැබූ ත්‍රිපිටකවේදී හොරහීන්
ඇල්ලේ ගුණරතන නාහිමියන් වහන්සේට තෙරුවන් සරණින් නිදුක්ව නීරෝගිව
තවදුරටත් ලෝක ශාසනික මහ මෙහෙවරක් සිදු කිරීමට ශක්තිය ලැබේවායි අපි
ආශිර්වාද කරමු.
මීරිගම, මිණිඔලුවේ
විද්‍යාවාස පිරිවෙන් විහාරාධිපති
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ
අධිකරණ නායක ධුරන්දර
ත්‍රිපිටක විශාරද ශාස්ත්‍රපති
මකුලෑවේ විමල නා හිමි
බුද්ධරක්ඛිත ලොකු හාමුදුරුවෝ
මීට වසර විසි හතරකට පෙර අපවත් වී වදාළ ගනේගම ශ්‍රී ඉන්ද්‍රසර
ධර්මායතනාධිපති මද්දේගම බුද්ධරක්ඛිත ලොකු හාමුදුරුවන් වහන්සේ.
හිනිදුම් පත්තුවේ මද්දේගම ග්‍රාමයෙහි ඊ.එල්. සයිමන් අප්පුහාමි මහතා සහ
බී එල් . හින්නිහාමිනේ මාතාව යන දෙමව්පියන්ගේ පින්වත් පුතෙකු වශයෙන්
1926 දෙසැම්බර් මස 07 වන දින උපත ලබන ලදී. ඔහු නමින් ඒ .එල්. කරුණාසේන
නම් විය. මෙම කුමරුවා මද්දේගම මාජුවාන ශ්‍රී පුෂ්පාරාමාධිපති මාජුවානේ
උපරතන මාහිමිපාණන් වහන්සේ ගේ ආචාර්යත්වයෙන් 1940 ජනවාරි මස 25 වෙනිදා
මද්දේගම බුද්ධරක්ඛිත යන නමින් පැවිදි බිමට පත් විය.
කෙටි කාලයක් තුළදී ආචාර්යන් වහන්සේ සමීපයේ දී අවශ්‍ය හෙරණසිඛ බණ දහම්
උගත් උන්වහන්සේ විසි වයස් සම්පූර්ණව 1947 ජුනි මස 07 වෙනිදා මහනුවර
මල්වතු මහා විහාරයේදි උපසම්පදා ශීලයෙහි පිහිටියහ.
කොළඹ මාළිගාකන්ද විද්‍යෝදය මහා පිරිවෙනට ඇතුළත් වූ මද්දේගම බුද්ධරක්ඛිත
හිමියෝ ඉතා දක්ෂ ලෙස ධර්ම විනය ශබ්ද ශාස්ත්‍ර හදාරා පණ්ඩිත විභාගයෙන්ද
සාමාර්ථය ලැබූහ.
මාජුවානේ පුෂ්පාරාමය අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් වීම පමණක් නොව
ශ්‍රී ඉන්ද්‍රසාර විද්‍යායතන පිරිවෙන වැනි ශ්‍රේෂ්ඨ විද්‍යාස්ථානයක්
බිහි කිරීමත් එහි සියලු ශාස්ත්‍රීය කටයුතු තම සහෝදර පණ්ඩිත කොරළේගම
පඤ්ඤානන්ද හිමියන්ට පවරා දුන් අපේ මද්දේගම හාමුදුරුවෝ සමාජ සේවා කටයුතු
වලම නිරත වූහ.
මුන් වහන්සේ මාජුවාන ප්‍රදේශයේ ගමනාගමනය හා විදුලි පහසුකම් හා බලවේග
පේෂකර්ම මධ්‍යස්ථානය ඇති කිරීමට දැඩි වෙහෙසක් ගත්හ. දුප්පත් මහ ජනතාවගේ
රැකියා අවස්ථා සලසා දීම සඳහා සමූපකාර, ගිනිකුරු කම්හලක් ඇරඹීමටද කටයුතු
කළහ. කෙරදේවල ග්‍රාම සංවර්ධන සමිතිය පිහිටුවීම, පුෂ්පාරාමස්ථ ධර්ම
ප්‍රබෝධිනී දහම් පාසල ආරම්භ කළහ. එසේම ගාලු ගඟබඩ පත්තුවේ ප්‍රාදේශීය
ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ සමාරම්භක ලේඛකාධිකාරි වරයා වශයෙන් පත් වූ
බුද්ධරක්ඛිත හිමියෝ පන්සල්, දහම් පාසල්, බෞද්ධ සමිති නගා සිටුවමින්
වසර 14 ක්ම උදාර ජාතික ආගමික අධ්‍යාපනික, සංස්කෘතික සේවා රාශියක් සිදු
කළහ.
1970 දී පමණ මද්දේගම ගනේගම ශ්‍රී ඉන්ද්‍රසර ධර්මායතනය ආරම්භ කළ
උන්වහන්සේ සුපේශල ශික්‍ෂාකාමි සඟ පරපුරක් බිහි කිරීම සඳහා සිය දිවියේ
පශ්චාත් කාලය කැප කළහ. වාහන පහසුකම් ඇති මෙම යුගයෙහි පයින්ම සැතපුම්
ගණන් ඇවිදිමින් කළ කැපවීම අති විශිෂ්ටය.
උන්වහන්සේ 1990 පෙබරවාරි මස 12 වෙනිදා අපවත් වී වදාළහ.
මෙවර 24 වන ගුණ සැමරුම වෙනුවෙන් පින්කම් මාලාවක් පැවැත්විණි. මෙපින්
බලෙන් මද්දේගම බුද්ධරක්ඛිත පණ්ඩිත හාමුදුරුවන් වහන්සේට උතුම් නිවන් සුව
සැලසේවායි පතමු.
බද්දේගම මහගොඩකන්ද ඉසිපතනාරාම
විහාරාධිකාරි
ශාස්ත්‍රපති බලගොඩ සිරිනිවාස හිමි |