Print this Article


ගල්පොල ශ්‍රී ශෛලතලාරාමයේ ධම්මානන්ද දහම් පාසල

ගල්පොල ශ්‍රී ශෛලතලාරාමයේ ධම්මානන්ද දහම් පාසල

ආචාර්ය මණ්ඩලය



සිසු දරු දැරියන්ගෙන් කොටසක්

කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය (බටහිර) ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක බල මණ්ඩලයට අයත් ගල්පොල ශ්‍රී ශෛලතලාරාම පුරාණ විහාරස්ථ ශ්‍රී ධම්මානන්ද දහම් පාසල ප්‍රදේශයේ බොදු දරු දැරියන්ගේ දහම් දැනුම වර්ධනය කිරීමෙහිලා ප්‍රයත්න දරන දහම් නිකේතනයකි.

1945 දී පමණ එවකට විහාරාධිපති ධුරය දැරූ අපවත්වී වදාළ මාකේවිට ධම්මානන්ද හිමිගේ මූලිකත්වයෙන් දහම් පාසල ආරම්භ කර ඇත.

පසුකලෙක විහාරාධිපති ධුරය දැරූ අපවත්වී වදාළ නිට්ටඹුගෙදර වාචිස්සර හිමි මේ දහම් පාසලේ උන්නතිය සහ චිරස්තිථිය උදෙසා කටයුතු කර ඇත.

වත්මන් විහාරාධිපති අනුරාධපුර රුවන්වැලිසෑය මහ පිරිවෙන් පරිවේණාධිපති වැල්ලගිරියේ සීලසුමන හිමි දහම් පාසලේ ප්‍රධානාචාර්ය ධුරය උසුලන අතර සුවදැල්පත අනුරුද්ධ හිමි විසින් නියෝජ්‍ය විදුහල්පති ධුරය දරනු ලබති.

ප්‍රදේශයේ උගත් ගිහි පැවිදි පිරිසක් ආචාර්ය මණ්ඩලය ලෙස කටයුතු කරනු ලබයි.

මෙහි වත්මන් ශිෂ්‍ය සංඛ්‍යාව 300 ක් පමණ වෙයි.

දහම් පාසලේ ශිෂ්‍ය සමිතියක් ක්‍රියාත්මක වන අතර ජී.එම්.ලක්‍ෂ්මි දිනුෂා දැරිය සභාපති ලෙසද රවිඳු දිල්ෂාන් දරුවා ලේකම් ලෙස ද කටයුතු කරති.

වර්ෂය පුරා ක්‍රියාත්මක වන වැඩසටහන් අතර සිල් සමාදන්වීම, දහම් චාරිකා වෙසක් පහන් කූඩු තරග, වාර්ෂික ත්‍යාග සහ සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවය, විවිධ ශ්‍රමදාන ආදිය වෙයි.

දහම් පාසලේ උන්නතිය සහ චිරස්තිථිය උදෙසා කැප වන වත්මන් විහාරාධිපති වැල්ලගිරියේ සීලසුමන හිමි, විහාරස්ථ දායක සභාව ප්‍රදේශයේ දානපතියන් කෘතවේදීව සිහිපත් කරමු.