Print this Article


බෝසත් සිරිත හා අසිරිමත් බුදු සිරිත ලිපි මාලාව 06

සතර පෙර නිමිති දැකීම

නවම් පෝය දා පත්‍රය හා සම්බන්ධයි ( බෝසත් සිරිත හා අසිරිමත් බුදු සිරිත ලිපි මාලාව 05 බෝධි සත්වයන් වහන්සේගෙන් වැඳුම් නොලැබුවේ ඇයි?)

මිනිසුන් මෙය දැක අපගේ කාලදේවල තාපස තුමා දැන් මේ සිනා සී නැවත හඬයි. ඊට හේතුව කුමක්ද? අපගේ ආර්ය පුත්‍රයන්ට කුමක් හෝ හානියක්දැයි ඇසීය. එහෙම කිසිදු අන්තරායක් නොවේ. මේ කුමරා නිසැකවම බුදුවේ. එසේ නම් හැඩුවේ ඇයි? දැයි විමසීය. මේ වගේ කුමරෙක් බුදුවන මොහොතේ දැකීමට නොලැබෙන්නේ යැයි හැගීම නිසා මට ඇති වන නොලැබීයාමත් , හානිය, අලාභය සලකාගෙන තමා ශෝකයට පත් වී හැඬූ බව කීය.

අනතුරුව තම නෑයෙකුවත් මේ කුමරා බුදුවනවා දැකීමට සිටින්නේදැයි බැලීය. තමන්ගේ බෑණා කෙනෙකු වූ නාලක දරුවා දැකීය. ඒ තම නැගණියගේ නිවසට ගොස් “නාලක” පුත්‍රයා කොහිදැයි විමසීය.නිවසෙහි සිටින බව කීය. එසේ නම් ගෙන්වන්නැයි කියා ගෙන්වා නාලක පුත, සුද්ධෝදන මහ රජතුමා හට පුතෙක් ලැබුණා. ඒ උත්තමයා බුදුවන බුද්ධාංකුරයෙක් අවුරුදු තිස් පහකින් පසුව බුදුවෙනවා. ඒ උත්තමයා දකින්නට ඔබ අදම පැවිදි වන්නැයි කීය. අසූ හත් කෙලක් ධනය ඇති කුලයක උපන් දරුවකු වුවත් කවදාවත් තම මාමා තමා අනර්ථයෙහි යොදවන්නේ නැතැයි සිතා එදාම මැටි බඳුණක් සහ කහ සිවුරක් ගෙන්වා ගෙන කෙස් රැවුල් බා, කහවත් හැඳ මේ ලෝකයේ යම් උත්තම පුද්ගලයෙක් වේද? උන්වහන්සේ උදෙසා මාගේ මේ පැවිද්ද වේවායි බෝධිසත්වයන් වහන්සේ දෙසට ඇඳිලි බැඳගෙන පසඟ පිහිටුවා වැඳගෙන පාත්‍රය (සිවිකාව)‘ මල්ලට දමාගෙන කරේ එල්ලාගෙන හිමවතට පිවිස පැවිදි දිවිය ගත කළහ.

බෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වීමෙන් පසු පැමිණ නාලක ප්‍රතිපදාව දේශනා කරවා ගෙන නැවත හිමවතට ගොස් රහත් භාවයට පත්ව ඉතාමත් උසස් ප්‍රතිපදාවකට පත්ව මාස හතක් පමණ ආයුෂ ඇතිව ඊට ස්වර්ණ පර්වතයක් ඇසුරු කරගෙන අනුපදිසේස පරිනිර්වාණයෙන් පිරිනිවන් පෑහ.

බෝසතාණන් වහන්සේ ඉපිද පස්වන දවසෙහි නම් තබන දින රාජ භවනය සිව් ආකාර සුගන්ධයෙන් සුගන්ධවත් කර ලද පස් මල් විසුරුවා දිය නුමුසු කිරිබතක් උයා එකසිය අටක් බමුණන් කැඳවා රාජභවනෙහි හිඳුවා උසස් ආහාරවලින් සංග්‍රහ කර දකින ලක්ෂණ මොනවාදැයි විමසීය. රාම, ධජ, ලක්ඛන මන්ති,කොණ්ඩඤ්ඤ, පූජා සුයාම , සුදත්ත යන අට දෙනා ඉතාම දක්‍ෂ විය. ප්‍රතිසන්ධිය සිදුවුනදා සිහිනය පිළිබඳ විස්තර කළේද එම අට දෙනාමය. ඒ අතර සිටි හත් දෙනෙකු ඇඟිලි දෙකක් එසවීය. ඇඟිලි දෙක ඔසවා කියන්නේ මේ ලක්ෂණයන්ගෙන් සමන්විත කෙනෙක් ගිහිගෙය වසන්නේ නම් සක්විති රජවන්නේය. පැවිදි වන්නේ නම් බුදු වන්නේය.

ඒ අතර සිටි සියල්ලන්ටම වඩා බාල කොණ්ඩඤ්ඤ බමුණා බෝධි සත්වයන් වහන්සේගේ ලක්‍ෂණ දැක මේ කුමරා ගිහි ගෙයි විසීමට කරුණක් නැත. එක ඇඟිල්ලක් ඔසවා මේ කුමරාගේ අන්තිම භවයයි. මේ කුමරාට ඇත්තේ එකම මගක් පමණය. එනම් බුදුවීමය. ඒ නිසා “ සිද්ධාර්ථ”යන නම තැබීය. සියලු ලෝකවාසී නට අර්ථ සිද්ධිය සලසන බැවින් ‘සිද්ධාර්ථ’ යන නම තැබීය.

ඒ වෙලාවේ බ්‍රාහ්මණයන් තම නිවෙස්වලට ගොස් තම දරුවනට ළමයිනේ අපිත් පැවිදි වෙමුයි කීය. සුද්ධෝදන රජතුමාගේ පුතනුවන් සර්වඥතා ඤාණයට පත් වන විට අප සිටිනවාද? නැද්ද? කියා කිය නොහැකිය. ඒ නිසා නුඹලා උන්වහන්සේගේ ශාසනයේ උන්වහන්සේගේ බුද්ධත්වයෙන් පසුව පැවිදි වන්නට යැයි කීය.

අනතුරුව බමුණන් සත් දෙනෙකු කලක් ජීවත්ව මිය පරලොව ගියහ. කොණ්ඩඤ්ඤ බමුණා නිරෝගීව සිටියහ. මහා සත්වයන් වහන්සේ මහබිනික්මන් කරන කාලයේ දැකලා මහා භිනිෂ්ක්‍රමණය කර පිළිවෙලින් උරු වේලාවට ගොස් මේ භූමි භාගය ඉතාම ලස්සනයි. ප්‍රධන් වීර්ය වඩන උත්තමයෙකුට ඉතාම සුදුසු තැනක් කියල සිත උපදවා වාසයට පැමිණි වෙලාවෙ මහා සත්වයන් වහන්සේ පැවිදිවූ බව අසා අර බ්‍රාහ්මණ පුත්‍රයන් ළඟට ගොස් මෙසේ කීය. “ සිදුහත් කුමාරයා පැවිදි වුනා. උන්වහන්සේ නිසැකවම බුදු වෙනවා ඒ නිසා ඔබලාගේ පියවරු නිරෝගීව සිටියා නම් අදම ගොස් පැවිදි වෙනවා. ඒ නිසා ඔබලා කැමැති නම් මා ඒ උත්තම පුරුෂයාට අනුව පැවිදි වන බව කීය.

සියලු දෙනාටම ඒකච්ඡන්දයකට පැමිණීමට බැරිවිය. කොණ්ඩඤ්ඤ බමුණා ජ්‍යෙෂ්ඨ කරගෙන අනෙකුත් සිවි දෙනෙක් පැවිදි විය.

කොණ්ඩඤ්ඤ බමුණා ජ්‍යෙෂ්ඨ කරගෙන එසේ පැවිදි වූ අනෙකුත් සිව්දෙනා කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණයා සමග පස්දෙනෙකු වූ බැවින් එම පස්දෙනා පස්වග තෙරුන් නම් වූහ.

එදා කවර නම් වූ කාරණා දැකීමෙන් මගේ පුතා පැවිදි වන්නේ දැයි සුද්ධෝදන රජතුමා විමසීය. සතර පෙර නිමිති දැකීමෙන් යැයි කීය. ඒ සතර මහා පෙරනිමිති මොනවා දැයි විමසීය. වයසට ගිය කෙනෙක්, රෝගී වූ අයෙක්, මළ අයෙක් සහ පැවිදිරුවක් යනුවෙන් කී කල්හි එවැනි අයෙක් මගේ පුතාගේ ළඟටවත් ඒමට ඉඩ නොදෙන්නැයි රජතුමා දැන්වීය. මගේ පුතා සතර මහා දීපයන්ගෙන් ඵෙශ්චර්යට පත් කර චක්‍රවර්ති රාජ්‍යයට පත්කරන්නට ඕනෑ යැයි රජතුමා කල්පනා කළහ. මෙසේ කල්පනා කර ලෙඩෙක්, මහල්ලෙක්, මළ මිනියක් සහ පැවිදිරුවක් නො එන්නට සතර දිසාවේ ගව්වක් පමණ වූ දුරින් ආරක්ෂාව යෙදවීය. එහිදී සතර දිසාවෙන් පැමිණී ඤාතීහුද එහි සිටියහ. බුදු වුවත් රජ වුවත් අප එක් ගව්වක් බැගින් දෙන බවට ඒ ඤාතීහු පොරොන්දු වූහ. බුදු වුවොත් ක්‍ෂත්‍රිය තෙරවරුන් පිරිවරාගෙන හැසිරෙයි. රජ වුවොත් ක්‍ෂත්‍රිය කුමාරවරු පිරිවරාගෙන හැසිරේ. රජතුමාද උසස් රූපයෙන් යුක්ත, සියලු දෝෂයන්ගෙන් දුරු වූ කිරි මව්වරුන් යෙදවූහ. බෝධි සත්වයන් වහන්සේ ශ්‍රී සෞභාග්‍යයෙන් මහත් පිරිවරෙන් වැඩෙන්නට වූහ.

දිනක් රජතුමාට ‘වප් මඟුල් නම් මංගල්‍යයක් විය. එදින නගරය දිව්‍ය විමානයක් සේ සරසා සියලු දාසි කම්කරුවන් අලංකාර ඇඳුමෙන් සැරසී සුවඳ මල් ආදියෙන් සැරසී රජ මැදුරට එකතු විය.රජතුමා මෙම වප් මඟුල සඳහා නගුල් දහසක් යෙදවීය. හත්සිය අනූනවයක් සමග රිදී පිරියම් කරවන ලද රජතුමා අල්ලන ලද නගුල රතු රන්වලින් නිපදවූවකි. ගවයන්ගේ ආභරණ පවා රන් ආලේපන විය. රජතුමා මහා පිරිවරෙන් නික්ම තම සෙනෙහෙබර පුත්‍ර රත්නයද සමග එම වප් මඟුල පැවැති ස්ථානයේ පිහිටි එක් දඹරුක් සෙවනක පහතින් මේ කුමාරයන් වෙත සයනයක් පනවා උසින් රන්තරු කපන ලද වියනක් බැඳ එමෙන්ම හණ රෙදිවලින් වටතිර ඇද ආරක්‍ෂාව තබා රජතුමා සියලු අලංකාර වතින් සැරසී ඇමැතිවරුද පිරිවරාගෙන සීසෑමට ගියහ.

රජතුමා රන් නගුල අතට ගත්හ. ඇමැතිවරු හත්සිය අනූනවයක් දෙනා රිදී නගුල් ද ගොවියෝ අනෙකුත්, නගුල් ද ගත්හ. ඒ අය නගුල් අතට ගෙන ඒමේ අත සී සාන්නට වූහ. රජතුමා කෙළවරට ම යයි. කෙළවර සිට ආපස්සට එයි. ඒ අතර කිරි මව්වරු බෝධිසත්වයන් වහන්සේ රැක බලාගෙන සිටියාය. ඒ රජතුමාගේ සම්පත්තිය දැකිය යුතු යැයි සිතා රෙදි ආවරණයෙන් (වට රතිවලින්) එළියට ආහ. බෝධිසත්වයන් වහන්සේ කවුරුත්නො දැක වේගයෙන් නැගිට පළඟක් බැඳ ගෙන ආනපාන සතිය සිහිකොට ප්‍රථම ධ්‍යානය ඉපිදවීය. කිරි මව්වරුන් කෑම බීම අතරතුර ඇවිදින විට මදක් පමා විය. අනෙකුත් ගස්වල ඡායාව නතර විය. සියලු රුක්වල ඡායා බෝධිසත්වයන් වහන්සේ වැඩ සිටි රුක දෙසට ඡායාව ආහ.

රාජ පුත්‍රයා තනියම සිටිනවා යැයි කල්පනාවට නැගි ඇවිත් බලන විට බෝධිසත්වයන් වහන්සේ පළඟක් බැඳ වැඩ සිටිනු දැක රජතුමාට ඒ බව දැන්වීය. දේවයන් වහන්ස! කුමාරයා මේ අයුරෙන් වාඩි වී සිටියි.අනෙකුත් ගස්වලද ඡායාව නතර වී ඇත.

රජතුමා වේගයෙන් පැමිණ එම ප්‍රාතිහාර්ය දැක පුතේ, මෙන්න ඔබට මගේ දෙවන වැඳීම යැයි කියා පිය මහ රජතුමා වැන්දාහ. අනුක්‍රමයෙන් මේ කුමරා දොළොස් වියට පත්විය.

මතු සම්බන්ධයි