Print this Article


පිරිනිවුණි ඒ නිකෙලෙස් රහත් හිමිවරු 30 විජිතසේන මහරහතන් වහන්සේ

 පිරිනිවුණි ඒ නිකෙලෙස් රහත් හිමිවරු 30

විජිතසේන මහරහතන් වහන්සේ

ජීවිතයේ හැම දෙයටම මුල් වන්නේත්, ශ්‍රේෂ්ඨ වන්නෙත් සිත යි. හැම දෙයක් ම හට ගන්නෙත් සිත මුල් කරගෙනම යි. ඒ සිත දමනය කිරීම දුෂ්කර දෙයක්. එයට හේතුව සිත යනු චපල දෙයක් නිසා. වතුරෙන් ගොඩට දැමූ මාළුවෙක් දඟලන්නාක් මෙන් මේ සිතද අරමුණක් අරමුණක් පාසා සැලෙමින් පවතී. අනුත්තර පුරිසදම්මසාරථි වූ බුදුරජාණන් වහන්සේගේ උපකාරයෙන් ජය ගැනීමට දුෂ්කර ඒ සිත ජයගත් ‘විජිතසේන’ නම් උතුම් මහරහතන් වහන්සේ ගැන අදත් අප සිත පහදවා ගනිමු.

අත්ථදස්සී නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මීට කල්ප ගණනාවකට පෙර යුගයක ලොව පහළ වී වදාළා. එකල විජිතසේන තෙරුන් ප්‍රඥාවන්ත තරුණයෙක් ලෙස ඉපදී සිටියා. ගිහි ජීවිතය ගැන කළකිරුණු ඔහු සෘෂිවරයෙක් බවට පත්ව වනයේ ජීවත් වුණා. දවසක් ඔහු කිසි දවසක දැක නැති සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඔහුට මුණ ගැසුණා. එදා අත්ථදස්සී බුදුරජාණන් වහන්සේ සෘද්ධි බලයෙන් අහසිනුයි වැඩම කළේ. ලක්ඛණ ශාස්ත්‍රය ගැන දැනගෙන සිටි මේ සෘෂිවරයා අහසින් වඩිනා බුදුරජාණන් වහන්සේ දැක අප්‍රමාණ පී‍්‍රතියකට පත්වෙලා. මහ හඬින් කෑ ගසා පවසනවා. ‘අනේ ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, මට අනුකම්පා කරන සේක්වා! මම ඔබවහන්සේට දන් පූජා කරන්න කැමැතියි. අනේ මගේ දානය පිළිගන්නා සේක්වා!’ අත්ථදස්සි බුදුරජාණන් වහන්සේ ඔහුට අනුකම්පා කළා. අහස් ගමන නවතා ඔහු පැන වූ තණ ඇතිරිය මත වැඩ සිටියා. එකල ‘බදුළු’ නමින් ප්‍රණීත පළතුරක් තිබුණා. බොහෝමත් ම පැහැදීමෙන් මේ සෘෂිවරයා බුදුරජාණන් වහන්සේට බදුළු ගෙඩි පූජා කළා. භාග්‍යවතුන් වහන්සේ ද ඔහු බලා සිටියදීම ඒ දානය වැළඳුවා. එය දුටු ඔහුගේ් සිතේ පැහැදීම තවත් වැඩි වුණා. ආදර ගෞරවයෙන් යුක්තව ඒ සම්බුදු සිරිපා කමල් සිරසින් වන්දනා කළා.

මහත්ඵල මහානිසංස වූ එම බුද්ධ පූජාවේ විපාක වශයෙන් ඔහු දෙව් මිනිස් සුගතියේ ඉපිද සැප සම්පත් වින්දා. මේ මහා භද්‍ර කල්පයේ මිනිසුන්ගේ ආයුෂ එකසිය විස්සක් වූ යුගයේ දෙව් ලොවින් චුත වූ හෙතෙම මේ කෝසල රාජධානියේ ඇතුන් මෙහෙයවන කුලයක උපත ලැබුවා. විජිතසේන නමින් හැඳින්වූ මොහු තරුණ විය වන විට ඇතුන් දමනය කිරීමෙහි දක්ෂයෙක් වුණා. ඔහුට ඇතුන් දමනය කිරීමේ ශිල්පය ඉගැන්වූයේ සේන හා උපසේන යන මාමාවරු දෙදෙදෙනක් විසිනු යි. හදිසියේම ගිහි ජීවිතය අතහැර දමා ගෞතම නම් ශාස්තෘන් වහන්සේ නමකගේ සමීපයෙහි තම මාමාවරුන් පැවිදි වූ බව විජිතසේන තරුණයාට දැන ගන්නට ලැබුණා. ඒ හේතුවෙන්ම ඔහුද ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඇසුර ලැබීමට භාග්‍යවන්තයෙක් වුණා.

විජිතසේන තරුණයා කිසි දිනෙක නො දුටු විරූ අසිරියක් එදින සිදුවුණා. ඒ අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ යමක මහා පෙළහර පානා අයුරු ඔහුට දකින්නට ලැබීම යි. එකම විටෙක ගිනි දැල් හා සිසිල් දිය දහරා විහිදුවමින් සිදුකළ ඒ පෙළහර විජිතසේනගේ සිත මවිතයට පත්කළා. එමෙන්ම ශාස්තෘන් වනහන්සේ ගැන විශාල පැහැදීමක් ද ඇතිවුණා. ඔහුටද බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පැවිදිවීමේ ආසාවක් හට ගත්තා. ඒ වනවිටත් සේන හා උපසේන යන ස්වාමින් වහන්සේලා අරහත්වයට පත්වී සිටියා. තම මාමාවරු සොයා ගිය විජිතසේන තරුණයා ඒ උතුම් මහරහතන් වහන්සේලා සමීපයේ දී ගෞතම බුදු සසුනේ පැවිදි බව ලැබුවා.

දැන් ආචාර්යයන් වහන්සේලාගේ උපදෙස්වලට අනුව විජිතසේන හිමියන්ගේ සිත දමනය කරගෙන සමථ විදර්ශනා වැඩීමට වෙහෙසෙනවා. නමුත් හරිම පුදුම යි. උන්වහන්සේගේ සිත කලබලයට පත්වුණ වඳුරෙක් අත්තෙන් අත්තට මාරු වෙමින් වේගයෙන් පැන දුවන්නාක් මෙන් කෙලෙස් සහගත කල්පනාවෙන් ම හැසිරෙන්නට වුණා. ඇත්තෙන්ම අකුසලයෙන් හිත මුදවාගන්න එක ලෙහෙසි පහසු දෙයක් නොවේ. නමුත් චිත්ත සන්තානය පරිපූර්ණ වශයෙන්ම අකුසලයෙන් මුදවා පාරිශුද්ධත්වයට පත්කර ගත් ගෞතම බුදුරජාණන් වහන්සේ සිත කුසලයේ පිහිටුවා ගන්නා ආකාරය ගැන ශ්‍රාවකයින්ට මනා කොට පෙන්වා දී වදාළා.

‘පින්වත් මහණෙනි, භික්ෂුවක් යම් අරමුණක් මුල්කරගෙන යම් කාරණයක් හිතන්න පටන්ගන්න කොට රාග සහිත වූත්, ද්වේෂ සහිත වූත්, මෝහ සහිත වූත් පාපි අකුසල් සිතිවිලි උපදිනවා නම් ඒ භික්ෂුව කළ යුත්තේ එම අරමුණෙන් තමන්ගේ අවධානය ඉවත් කර වෙනත් කුසල් අරමුණක් මෙනෙහි කිරීම යි. එවිට අකුසල් අරමුණින් බැහැරව වෙනත් කුසල් අරමුණක් සිතන්න පටන් ගත්තු නිසා අර රාග සහිත වූත් ද්වේශ සහිත වූත්, මෝහ සහිත වූත් පාපි අකුසල් දුරු නොවේ නම් භාග්‍යවතුන් වහන්සේ දෙවැනි ක්‍රමයක් වදාළා. එනම් පාපි කුසල විතර්කවල භයානක පැත්ත ගැන නුවණින් විමසීම යි. ‘මේවා අකුසල විතර්ක. මේ අකුසල විතර්ක හොඳ දේවල් නොවේ. මේ අකුසල විතර්කවලින් අවසානයේ දී ලැබෙන්නේ දුක් විපාක පමණයි’ කියලා. ඉතින් ඒ විදිහට ඒ පාපි විතර්කවල භයානක පැත්ත ගැන නුවණින් විමසද්දී අර රාග සහිතවූත් ද්වේශ සහිත වූත්, මෝහ සහිත වූත් පාපි අකුසල විතර්ක නැතිවෙලා යනවා. අභාවයට පත් වෙනවා.

ඒ අතරිනුත් අකුසල් දුරු නොවේ නම් ඒ භික්ෂුව අකුසල විතර්කය ගැන සිහි නො කර ඉන්න ඕන. එවිට ඒ අකුසලය අභාවයට පත්වෙනවා.එසේත් අකුසල් නැති නොවේ නම් ඒ අකුසල් සිතිවිල්ල හට ගන්න හේතු වූ මූලය මොකක්ද කියලා විමසන්නට ඕන. එවිටත් ඒ අකුසලය අභාවයට පත්වෙනවා.

නමුත් මේ හතර ආකාරයෙන්ම වීර්ය කරලත් අකුසලය දුරු වෙන්නේ නැතිනම් ශක්ති සම්පන්න පුරුෂයෙක් දුර්වල මිනිසෙකුගේ ඔළුවෙන් හෝ, ඇඟෙන් හෝ අල්ලගෙන තරවටු කරලා හොඳ හැටියට වෙහෙසෙනවා. ඒ වගේ ඒ භික්ෂුවත් දත් මිටිකාගෙන දිව තල්ලට තද කරගෙන කුසල් සිතිවිලි වලින් අකුසල් සිතිවිල්ලට හොඳ හැටියට නිග්‍රහ කරන්නට ඕන. එතකොට ඒ පාපි අකුසල් දුරුකර ගන්න පුළුවන් කියා භාග්‍යවතුන් වහන්සේ “විතක්ක සණ්ඨාන” සූත්‍ර දේශනාවේ දී පෙන්වා වදාළ.

විජිතසේන හිමියන් ද හිතට හොඳ හැටි නිග්‍රහ කළා. වීර්යෙන් අකුසල් දුරු කළා. නිකෙලෙස් භාවයට පත් වී වදාළා. තමන් වහන්සේ විසින් ජය ගැනීමට දුෂ්කර සිත ජය ගැනීම පිණිස සිතට නිග්‍රහ කළ ආකාරයට විජිතසේන මහ රහතන් වහන්සේ සුන්දර ගාථාවන්ගෙන් දේශනා කොට වදාළා.

ඕලගෙස්සාමි තේ චිත්ත ආණිද්වාරේව හත්ථිනං
න තං පාපේ නියෝජෙස්සං කාමජාල සරීරං

ඒයි සිත, මම දැන් නුඹට බාහිර අරමුණු ඔස්සේ ඉන්න දෙන්නේ නැහැ. නුවර දොරටුවේ බැඳල ඉන්න ඇතෙක් වගේ තියා ගන්නවා. ශරීරයෙන් හට ගන්නා කාම දැලක් ඇති සිත නුඹ මම පාපයට නම් යොදවන්නේ නැහැ.

ත්වං ඕලොග්ගෝ න ගඤ්ජිසි ද්වාරවිවරං ගජෝව අලභන්තෝ
න ච චිත්තකලී පුනප්පුනං පසහං පාපරතෝ චරිස්සසි

ඒ ඇතාට නුවර දොරවල් අයෙමත් ඇරෙන්නේ නැහැ. ඒ විදිහටයි මම නුඹ බාහිර අරමුණුවලින් වළක්වන්නේ. සිත දැන් ඉතින් සිටිය යුත්තේ පව්වල ඇලෙන දරුණු ගත නැතිව යි.

යථා කුඤ්ජරං අදන්තං නවග්ගං අංකුසග්ගහෝ
බලවා ආවත්තේති අකාමං ඒවං ආවත්තයිස්සං තං

අලුතින් අල්ලා ගත්තු ඇතාගේ කිසිම හික්මීමක් නැහැ. ඇත්ගොව්වා හෙණ්ඩුවෙන් ඇනල ඇතාව දමනය කරන කොට ඌ දමනය වෙන්නෙ අකැමැත්තෙන්. ඒ විදිහටයි මම නුඹ දමනය කරන්නේ.

යථා වරහයද මකුසලෝ සාරථි පවරෝ දමේති ආජඤ්ඤං
එවං දමයිස්සං තං පතිට්ඨිතෝ පඤ්චබලේසු

අශ්වයන් හීලෑ කරන්නට දක්ෂ වූ උතුම් රියැදුරෙක් ශ්‍රේෂ්ඨ අශ්වයෙක්ව දමනය කරනව වගේ මාත් සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා යන පංච බල ධර්මයේ පිහිටා නුඹ දමනය කර ගන්නෙමි.

සතියා තං නිබන්ධිස්සං පයතත්තෝ වෝ දමෙස්සාමි
විරිය ධුරනිග්ගහීතෝ නයිතෝ දුරං ගමිස්සසේ චිත්තා

ඒයි සිත, මම නුඹ ගැටගහල තියෙන්නේ සිහිය නමැති රැහැන් පටින්. මම නුඹ සෝදන්නේ පවිත්‍ර වූ ජීවිතයෙන්. වීරියෙන් උඩට ඔසවලා වරදට නිග්‍රහ කරල වරදින් වළක්වා ගත් නුඹට දැන් ඉතින් සංසාරෙ ගමන් බිමන් ඉවරයි.

සැබැවින්ම ගෞතම අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළේ යුද්ධ දාහකින් ජය ගන්නවාටත් වඩා කෙලෙස් යුද්ධයෙන් ජය ගැනීම අතිශයින්ම දුෂ්කර දෙයක් කියලයි. නෙළුම් පොකුණකට බැස ලපටි නෙළුම් දඬු පහසුවෙන් කඩා දමන මහා හස්ති රාජයන් සේ සිත තුළ හට ගත් ලාමක අකුසල් කඩා බිඳ දමා කෙලෙස් යුද්ධයෙන් ජය ගෙන අමා මහ නිවන් සුවයට පත් වූ ඒ උතුම් මහරහතන් වහන්සේලා ගැන අප සිත පහදවා ගනිමු.

සටහන: නයනා නිල්මිණි


පිරිනිවුණි ඒ නිකෙලෙස් රහත් හිමිවරු 29 වක්කලී මහරහතන් වහන්සේ