Print this Article


දුර දිග බලා ජීවිතය ජය ගන්න

දුර දිග බලා ජීවිතය ජය ගන්න

බුදුපියාණන් වහන්සේ උගන්වා වදාළ සුවිශේෂි කාරණයක් ලෙස ඉදිරිය දැක කටයුතු කිරීම හැඳින්විය හැකිය. ක්‍ෂණික තීරණ මත කටයුතු කිරීම බුදු දහමේ ඉගැන්වීම නොවේ. මුළු බුද්ධ චරිතය තුළම ගැබ් වී ඇත්තේ එම දර්ශනයයි. බුදු හිමිට සුමේධ තාපස අවධියේ දීපංකර පාද මූලයේදී සසරින් මිදීමට අවකාශය තිබුණද ලෝක සත්වයාටම සෙතක් සැනසුමක් උදාකර දෙනු වස් උන්වහන්සේ බුද්ධත්වය ප්‍රාර්ථනා කරමින් ඒ සඳහා පාරමිතා පුරන ලද්දේ ද දූරදර්ශීව දුටු චින්තනය නිසාය. ඒ අනුව මුළු බුද්ධ චරිතය තුළම පවතින්නේ දූරදර්ශීව සිතා විමසා කටයුතු කිරීමය .

උන්වහන්සේ දේශනා කළේ ද ධර්මය වැළඳ ගැනීමේදී වුවද හොඳින් සිතා බලා විමසා එය වැළඳ ගන්නා ලෙසය. එහි දී කරුණු 10 කට අනුව එය නොපිළිගෙන තම ප්‍රඥාවෙන්ම දැක දැන ධර්මය වැළඳ ගන්නා ලෙස දේශනා කළහ. එයට හේතුව වන්නේ ක්‍ෂණික තීරණ තුළ ස්ථිර සාර විසඳුම් නොලැබෙන බැවිනි. ‘ඉක්මන් කොටයි.

පනින්නට පෙර සිතා බලනු ‘ ආදී වැකි තුළද එම අදහස ඇතුළත් වී ඇත. බුදු හිමිට මුහුණ දීමට සිදුවූ විවිධ ප්‍රශ්න වලදී උන්වහන්සේ ක්‍ෂණික තීරණ නොගෙන දූරදර්ශීව සිතා බලා ස්ථිරසාර විසඳුම් ලබා දුන්හ.

සමහර අවස්ථාවලදී බුදු හිමිට නොයෙක් අපහාස , අපකීර්ති ලැබුණු අවස්ථාවල දී ආනන්ද හිමි එම ගම හෝ නගරය අත්හැර වෙන ප්‍රදේශයකට යෑමටද බුදු හිමිගෙන් ඉල්ලා සිටි අවස්ථා ඇත. ඒ කිසිම අවස්ථාවක බුදු හිමි එසේ නොකොට ක්‍ෂණික තීරණ නොගෙන කාලයත් සමඟ එම ප්‍රශ්න පැහැදිලිව නිරවුල්ව නිරාකරණය කළ ආකාරය බුද්ධ චරිතය තුළ ඉතා පැහැදිලි ය.

ඇති ප්‍රශ්නය හරි හැටි වටහාගෙන ක්‍ෂණික තීරණ නොගෙන දුරදිග බලා ප්‍රශ්න විසඳීමට උත්සුක වන්නේ නම් එතුළින් ස්ථිරසාර විසඳුම් ලබා ගැනීමට පුළුවන. අද සිය දිවි නසා ගැනීමට හේතු වී ඇත්තේ ද දුරදිග නොබලා කටයුතු කිරීමය.

ප්‍රශ්නයක් පැමිණි කළ දුරදිග නොබලා එම ප්‍රශ්නයට අනුව අනුන් මැරීම හෝ තමන්ගේ ජීවිතය විනාශ කර ගැනීම තුළින් විසඳුම් ලබා ගැනීමට හැකිවේද? එය අප බුද්ධිමත්ව සිතා බලා විමසා කළ යුතු දෙයකි.

තමන්ගේ ජීවිතයත් අන්‍යයන්ගේ ජීවිතත් පිළිබඳ අවධානය යොමුකිරීමෙන් අපට දුරදිග බැලීමට සිදු වනු ඇත. ලාභ, අලාභ, යස, අයස , නින්දා, ප්‍රශංසා, සැප, දුක, ආදි අටලෝ දහමට සත්වයාට නිරන්තරයෙන් මුහුණදීමට සිදුවේ. එය ලොව ඇති ධර්මතාවයයි. අප කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් එයට මුහුණ දිය යුතුය. බොහෝ දෙනෙකුට සිදුවී ඇත්තේ අටලෝ දහමේ වාසි ලාභ පැත්ත තුළින් උදම් වීමත්, අලාභ අවාසි පැත්තෙන් කම්පිත වීමත්ය.

උදාහරණයක් ගත් කල්හි විභාගයකට මුහුණ දීම, නැත්තම් ක්‍රීඩාවකට මුහුණ දීම තුළින් අනිවාර්යෙන්ම දිනුම හෝ පැරදුම හිමිවේ. දිනුම නොලැබෙන තැන බොහෝ අය පැරදුම බාර ගැනීමට අකැමැතිය. එය ප්‍රතික්‍ෂේප කිරීමට උත්සුක වෙති. එහිදී එම පැරැදුම සැනසුමක් කර ගැනීමට ධර්මානුකූ®ල පියවරක් නොගෙන ක්‍ෂණික තීරණ මත දුරදිග නොබලා ක්‍රියා කිරීමට පියවර ගනිති.

මේ සඳහා අපට ඇති හොඳම ආදර්ශයක් ජාතක පොතෙන් ලබා ගත හැකිය. ජාතක පොතෙහි 365 වෙනි ජාතක කථාව තුළින් පැහැදිලි වන්නේ ළඟ නොබලා දුර බැලීම තුළින් ජීවිතය ජය ගත් ආකාරයකි. එහි සඳහන් වන්නේ ‘දීඝං පස්ස - මා රස්සං’ යනුවෙන් දුර බලන්න ළඟ නොබලන්න යන අදහසයි. එම ජාතක කතාව නම්, දීඝිති රජ කුමරුගේ ඇකයෙහි හිස තබා දීඝ කෝසල රජ නිදා සිටියේය. එවිට කුමරා සිය මවුපියන් මැරූ සතුරා මරමි සිතා අතකින් කඩුවත්, අතකින් රජුගේ කෙස් වැටියත් අල්ලාගෙන මෙසේ සිතීය.

මාගේ පියා මියයන විට පරික්‍ෂාකාරි වේවායි කීය. ඒ අවවාදය නොකැඩිය යුතුය. ඉක්බිති හෙතෙම කඩුවකින් රජුගේ පිටට තට්ටු කොට පුබුදුවා කඩුව අමෝරා කෙස් වැටිය අල්වා ගෙන පියාගේ අවවාදය නිසා තා නොමරමි කීය. ඉක්බිති දෙදෙනා කඩුවෙහි අත ගසා දිවුරා ඔවු නොවුන් ක්‍ෂමා කර ගත්හ.

බරණැස් රජ කුමරුට දියණිය පාවා දී ඇමැතියන්ට කියා කොසොල් රාජ්‍යය ඔහුටම පාවා දුන්නේය.එසමයෙහි දෙමව්පියෝ නම් මෙකල දෙමව්පියෝ මය .දීඝිති කුමරා නම් තමන් වහන්සේම යැයි ද සර්වඥයන් වහන්සේ වදාළ සේක.

ඉහත කථා පුවත තුළින්ද ජීවිතය සකස් කර ගැනීමට පුළුවන. ඒ අනුව අප අපගේ ජීවිතයට එළඹෙන විවිධ ප්‍රශ්න ගැටලුවලදී කම්පා නොවී ක්‍ෂණීක තීරණ නොගෙන දුර දිග බලා කටයුතු කිරීමට සිතට ගත යුතුය.

එය තමන්ටත් අනුන්ටත් යහපතක් සිදු කරනු ඇත. එය මෙලොවටත්, පරලොවටත්, යහපතක් සිදු කරනු ඇත. ඒ අනුව සිතා බුද්ධියට මුල් තැන දී ජීවිතය ජය ගැනීමට උත්සුක විය යුතුය. එහිදී ප්‍රධාන වශයෙන් ඉවසීමට මුල්තැන දිය යුතුය.

‘ඉවසීමෙන් සැනසුම ලැබේ’ යන්න පරම සත්‍යයකි. ක්‍රිස්තුන් වහන්සේ දේශනා කළේ කම්මුලට පාරක් ගැසූ කළ අනිත් කම්මුලත් අල්ලන්න යනුවෙනි.

ලොව බිහි වූ ශාස්තෘවරු පඬිවරු, දාර්ශනිකයන්ගේ ජීවිත තුළ ජයග්‍රහණ ලබා ඇත්නම් ඒ දූරදර්ශීව කටයුතු කිරීම හේතුවෙනි.ඒ මොහොත ගැන පමණක් සිතීමෙන් සාර්ථක විසඳුම් ලබා ගැනීමට අපහසුය. හෙටක්, අනාගතයක් ගැන සිතා නිරතුරුවම කටයුතු කරන්නේ නම් එය ඉතා වැදගත් වනු ඇත. ඉති වුන්තකපාලිි කෝසල සංයුත්තයේ සඳහන් ගාථාවක් මේ සඳහා ඉතා වැදගත් වනු ඇත.

’අප්පමාදං පසංසන්ති
පුඤ්ඤකිරයාසු පණ්ඩිතා
අප්පමත්තො උභෝ අත්ථෙ
අධීගණ්හාති පණ්ඩිතො’

පුණ්‍යක්‍රියා විෂයෙහි සිහි එළවා වාසය කිරීමයයි කියන ලද අප්‍රමාදය බුද්ධාදී පණ්ඩිතයෝ පසසත්. අප්‍රමාදී වූ නුවණැති තැනැත්තා. උභය ලෝකාර්ථය අත්කර ගනී.

මෙම ගාථා ධර්මය තුළින් ගැඹුරු අර්ථයක් ගම්‍ය වේ. සසර දුක් බැවිනුත්, එයින් මිදී නිවන් ලැබීමට කුසල් රැස් කර ගැනීමත්, ඒ හැර සසරින් මිදීමට මඟක් නැති බවත් මින් විද්‍යාමාන වේ.

එහිදී වුවද ක්‍ෂණික වෘත අනුගමනය නොකොට බුදුරදුන් වදාළ ප්‍රතිපත්ති මාර්ගයට පිවිසීම වැදගත් වේ. එතුළින් දුරින් පෙනෙන නිර්වාණ ධර්මය තමන් අභියසට ළඟා කර ගැනීමට පුළුවන. එතුළින් සසර දුකින් මිදීමට අවශ්‍යය අඩිතාලම සැකසෙනු ඇත.