Print this Article


අකුසලයෙහි ආදීනව නුවණින් දැකීම

අකුසලයෙහි ආදීනව නුවණින් දැකීම

යෝනිසෝමනසිකාරය සන්තානය තුළින් බැහැර වී අයෝනිසෝමනසිකාරය හටගත් විට අකුසල් දහම් පැමිණ සිතේ විවේක සුවය සහ සැනසිල්ල විනාශ කර දමන්නේය. එය සත්වයාට දීර්ඝ කාලයක් දුක් පිණිස, පීඩා පිණිස, අපහසු විහරණය පිණිස පවතී. තමාගේ ශීලය වැරැදි ආකාරයෙන් ගැනීම මුල් කරගෙන තවත් පැත්තකින් අකුසලය වැඩෙන්නට ඉඩ තිබෙන අයුරු පෙර ලිපියකදී ද සාකච්ඡා කළෙමු. මෙවරත් ඒ ගැන වැඩිදුරටත් අවධානය යොමු කරමු.

දිනක් ලොව්තුරා බුදුන් වහන්සේ බරණැස් නුවරට නුදුරින් පිහිටි මහ ගසක් යට වැඩ වසන සේක. ඒරකපත්ත නා රජුටත් එහි රැස්වෙන පිරිසටත් සිදුවන යහපත ගැන සලකා බුදුන් වහන්සේ එහි වැඩම කළ සේක. කාශ්‍යප බුදුපියාණන් වහන්සේ ගේ ශාසනයේ අවුරුදු විසි දහසක් කල් මැනැවින් සිල් රැක, පසුතැවිල්ලක් මුල්කොට මෙසේ තිරිසන් ගතව උපන් කෙනෙකි ඒරක පත්ත නාරජු. ඒ සිදුවීම මෙසේ විය . එදවස එම භික්‍ෂූන් වහන්සේ කිසියම් කාරණයක් නිසා ගඟකින් එතෙර වීමට සූදානම් විය. ඒ සඳහා ඔරුවකින් එගොඩ යෑමට මෙතෙර සිට අත්තක් අල්ලාගෙන නැඟීමට සූදානම් විය. ඔරුව ගඟේ ඇදීයාමත් සමඟ අල්ලාගත් අත්තෙන් පතක් කැඩිණ. එය සුළු ඇවතකි. ඒ සඳහා ඇවැත් දෙසීමක් නොකළ අතර පසුතැවිල්ලට පත්විය. ඒ පිළිබඳ නැවැත නැවැත චේතනා ඇති කරගනිමින් සිතන්නට විය. සිල් රැක්කත් තමා තුළ පසුතැවිල්ල ,දෝමනස්සය, කනස්සල්ල, නිරන්තරයෙන්ම පැවැතිණි. එය අකුසලයකි. මහණ දම් පිරුවත් ඇතැම්විට එසේ වර්ධනය වන අකුසලය හඳුනා ගැනීමට නුපුළුවන. එහි විපළිසර භාවයටම පත්විය. එය හේතුකොට ගෙනම මරණෙන් මතු නා රජෙක්ව උප්පත්තිය ලැබුවේය. මෙය කාගේත් විමසීමට භාජනය කර ගත යුතුය. බොහෝ කලක් සිල් රැක්කත් සුළු කාරණයක් ගැන නිරන්තරයෙන්ම පසුතැවිල්ලට පත්ව අකුසල සිතිවිලි තමා තුළ වර්ධනය වන්නට ඉඩ හැරීමෙන් සිදුවන හානිය සුළු පටු නොවේ.

බුදුන් වහන්සේ වැඩ සිටි තැනට පැමිණි නා රජු හඬන්නට විය. එයට හේතු වූයේ කාශ්‍යප බුදුන් වහන්සේගේ ශාසනයේ සිට අප ගෞතම බුදුන් වහන්සේගේ කාලය දක්වාම මිනිසත් භාවයක් නොලද නිසාත් බණ ඇසීමට අවස්ථාවක් නොලැබුණු නිසාත්ය. ලොව්තුරා බුදුන් වහන්සේ නමක් හමුනොවීමත් දුකසේ ජීවිතය ගත කිරීමත් යන කාරණා සිහිපත් කරමින් නාරජු , කඳුළු සලන්නට විය. හොඳින් මහණ දම් පිරූ තැනැත්තෙකු වුවත් ශීලය මුල්කරගෙන සුළු ඇවැතක් ගැන පසුතැවෙන්නට ගොස් සිදු වූ විපතක තරම! ඔබට සිදු වූවානම් ඔබත් මෙසේ පසුතැවිලි වී කඳුළු සලනවා නේද? ඒ අනුව අපට සිතාගත හැකියි අතීත භවයන්හි මොනතරම් දුක්විඳිමින් ගත කරන්නට ඇතිද කියා. දැනුදු තමා මුල් කරගෙන හෝ අනුන් මුල් කරගෙන හෝ මොනතරම් අකුසල සිතිවිලි සිතනවාද? තමා සිතන්නේ අකුසලයන්, පාපයන් රැස්නොකරන බවයි. එහෙත් මුළාව ඔබ කෙතරම් අසරණ කරනවාද? කල්ප ගණන් සතර අපාදී දුකට හෙළනවාද?

චේතනාව විසින් බහුල කරන ලද අකුසල සිතිවිල්ල මොනතරම් ප්‍රබල වනවාද? එබැවින් අකුසල් සිතුවිලි සුළු කොට නොසිතන්න. මේ කාරණය මුල් කොට ගෙන පහත සඳහන් ගාථාවෙන් බුදුපියාණන් වහන්සේ පිරිසට දහම් දේශනා කළ සේක.

කිච්ඡො මනුස්ස පටිලාභො
කිච්ඡං මච්චාන ජීවිතං
කිච්ඡං සද්ධම්ම සවණං
කිච්ඡො බුද්ධානං උප්පාදො

‘මිනිසත් බව ලොව පරම දුර්ලභයි. දිවි රැකීමත් දුෂ්කරයි. සදහම් ඇසීම ද ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ උපත ද දුර්ලභ වන්නේය “

සසර බියකරු බව තේරුම්ගත් පිරිස සදහම් දේශනාව කෙළවර නිවන් සුවය අත්පත් කර ගත්හ. නාරජු තිරිසන් ගත වූ නිසා මාර්ගඵල ප්‍රතිලාභයක් නොවීය.

වරදවා මහණ දම් පිරීම නිමිති කරගෙන අපාගත වීම පිළිබඳ කරුණ නැවත විමර්ශනයට ගනිමු. ඊට උදාහරණයක් මෙසේයි. සැවැත් නුවර අචිරවතී ගඟ මුල් කරගෙන බොහෝ දෙනා මසුන් අල්ලති. දිනක් කවුරුත් මවිත වන අන්දමේ මත්ස්‍යයකු ඔවුන්ගේ දැලට හසුවිය. සිරුර රන්වන් පැහැවිය. දිලිසෙන වරලින් යුක්ත විය. එහෙත් මුඛයෙන් දුර්ගන්ධය හමන්නේය. එම දුර්ගන්ධය බොහෝ දෙනාට ඉවසා ගත නොහැකි විය. එම ආරංචිය දස දිග පැතිරී ගොස් බොහෝ දෙනා මෙම මත්ස්‍යයා බැලීමට පැමිණියහ. මසුන් අල්ලන්නෝ මාළුවාගේ දිවි රැකෙන සේ දිය සහිත ඔරුවක බහා කොසොල් රජතුමා වෙත ගෙන ගියහ. කොසොල් රජතුමාද මෙම මත්ස්‍යයාගේ ස්වභාවය දැක පුදුමයට පත්ව භාග්‍යවතුන් වහන්සේ හමුවට රැගෙන ගියේය. ‘භාග්‍යවතුන් වහන්ස,මේ සත්වයා විසිතුරු වරලින් හා රන්වන් පැහැයෙන් යුතුවීමට හේතුව කුමක්ද? එසේම මුඛය විවර කරන විට දුගඳ හැමීමට හේතුව කවරේදැයි විමසුවේය. එය පෙර කර්ම විපාකයන් බව භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

කාශ්‍යප බුදුන් වහන්සේගේ ශාසනයෙහි සහෝදරයන් දෙදෙනෙක් පැවිදි වූහ. පසු කලෙක එම දෙනමගේ මෑණියෝ සහ නැඟණියත් මෙහෙණි සස්නේ පැවිදි භාවයට පත්වූහ. වැඩිමල් සොහොයුරා සෝධනය. බාල සොහොයුරා කපිලය. මව සාධනීය. සොහොයුරිය තාපනාය. සොධන තෙරනුවෝ සසර කලකරීම ප්‍රකට කොටගෙන පංචස්කන්ධයෙහි ආසාරය, ආදීනවය නුවණින් මෙනෙහි කොට සව්කෙලෙස් නසා රහත්ඵලයට පත්වූහ. කපිල තෙරණුවෝ දහම් හදාරා ග්‍රන්ථ ධූර වූහ. දහම් දෙසීමෙන් දක්‍ෂ වුයේය. පසුකලෙක ප්‍රත්‍ය ලැබ අධික ලෝභයෙන් තර වූයේය. මහණ කමේ ඵලය නොලැබ අකැප දෙයෙහි ගිජු විය. එහිම මත් බවට පැමිණියේය. ලෝභ සිත අධික වූයේය. භික්‍ෂූන් සමඟ අසමඟි වූයේය. බැණ වැදීම් සිදු කළේය. ද්වේෂයද බලවත් විය. නිරතුරුවම එසේම හැසුරුණේය. සාධන සහ තාපනා යන මෙහෙණිවරුද කපිල තෙරුන්ගේ පසට එක වූහ. තිදෙනාම එක්වී දරුණු පරුෂ වචනයෙන් භික්‍ෂූන්ට බැණ වැදුණහ. බොහෝ පව්කම් කර ගත්හ. තිදොර අසංවර කරගනිමින් මහණකමෙන් පිරිහුණහ. ක්‍රෝධ සිතින් වාසය කළහ. කාලයාගේ ඇවෑමෙන් සෝධන තෙරණුවෝ පිරිනිවි සේක. ලෝභාදි ක්ලේශයන්ගෙන් අන්ධ වු බොහෝ පව්කම් කොට තැවුනාවූ කපිල තෙරුන් වහන්සේ මරණින් පසු අපාගත වූහ. අකුසලය සමාදන් වූ තිදොරින්ම දූෂිත කර්ම රැස්කරගත්තා වූ සාධනී, තාපනා යන මෙහෙණිවරුද කලුරිය කොට අපාගත වූහ. බුද්ධාන්තරයක්ම අවීචි මහා නරකයේ පැසීමෙන් ඉක්බිති තිරිසන් ආත්මයේ මත්ස්‍යයකුවී උපන්නේය. පැමිණි පිරිසට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. පෙර කාශ්‍යප ලොව්තුරා බුදු සසුනේ පැවිදිව බුදුගුණ කී පුණ්‍ය මහිමයෙන් රන්වන් කයක් ලැබුවේය. ආක්‍රෝෂ පරිභව නින්දා කළ පවින් මුවින් දුගඳ හමන්නට විය.

ශීලය වැරැදි ආකාරයෙන් ගැනීම නිසා අකුසලය තමා තුළ වැඩෙන බව නොදැන එහි සිත නැවැත නැවැත පෝෂණය වීමෙන් මරු වසඟයට යන බව නිරතුරුව කල්පනාවට ගත යුතුය. ඉහත තිදෙනා මුල්කරගෙන භාග්‍යවතුන් වහන්සේ සසර බියකරු භාවය වටහා දෙමින් පිරිසට දහම් දේශනා කළසේක. අවසානයේ මත්ස්‍යයා අල්ලාගෙන පැමිණි පන්සියයක් දෙනා මහණව පිළිවෙත් පුරා හේතුඵල දහම නුවණින් විමසා, විදසුන් වඩා සව් කෙලෙස් නසා රහත් ඵලයට පත්වූහ. තථාගතයන් වහන්සේ වෙත පැමිණීමෙන් වූ ශාන්තිය බලන්න. කොපමණ මසුන් අල්ලා මුදල් ඉපැයුවත් එය ධාර්මික දිවි පැවැත්මක් නොවේ. එය අකුසලයකි. සසර බොහෝ දුක්පීඩාවලට ලක්වීමට එයම හේතුවෙයි.

මනුජස්ස පමත්ත චාරිනො
තණ්හා වඩ්ඪති මාලුවා විය
සො පලවති හුරා හුරං
ඵල මිච්ඡං ව වනස්මිං වානරො

‘පමාවී හැසිරෙන, යහපත් කටයුතු සඳහා නුවණින් තොරව සිතන මිනිසාට තණ්හාව මාලුවා වැලමෙන් වැඩේ. (මාලුවා වැල ගසක් මුල්කරගෙන ඉහළට වැඩෙයි . වැලේ කොළ ගොටුවක් මෙන් උඩුකුරුව පවතී. වැසි ලැබුණුවිට එම පත් ගොටුවල වතුර පිරේ. එම වැල නිසාම බරට රුකද බිඳ වැටෙයි. විනාශයට පත්වෙයි) තණ්හාවෙහි වසඟ වූ තැනැත්තා වනයෙහි ඵල කැමැතිව ගසින් ගසට පැන යන වඳුරකු මෙන් භවයෙන් භවයටම යමින් සසර සැරිසරන්නේය.”

සීලය සංවරය සඳහාම උපකාරි කරගත යුතුය. එය කල්‍යාණ දහමකි. බාහිර රූප, ශබ්ද , ගන්ධ, රස, පහස, ධම්ම යන අරමුණු කෙරෙහි ලාමකව සිත හැසිරෙන විට එයින් මත් නොවී, ප්‍රමාද නොවී සිත රැකවල් කරගැනීමට උත්සාහවත් විය යුතුය. එසේ නොවී සිතේ වසඟයට ඉඩ හැරීමෙන් මාලුවා වැලමෙන් තණ්හාව වැඩෙන්නේය. අශ්‍රැවත් පුද්ගලයා ඒ බව නොදැන ආස්වාදය පතා එහිම අසීමිතව ගැලී නැවැත නැවැත වින්දනය සොයන්නේය. එයින් සෑහීමකට පත්නොවන්නේය. කාමයන් ඇරැබ තෘප්තිමත් නොවන්නේය. පසුතැවිල්ලටම පත්වන්නේය. ශෝක, පරිදේව සහිතව වාසය කරන්නේය. අකුසලයම වඩන්නේය. එහෙත් ඔහු ඒ බව නොසිතා කාම පිපාසයෙන්ම කල් ගත කරන්නේය.අතෘප්තිමත්ව කලුරිය කරන්නේය. සතර අපාදි දුකටම නැවැත නැවත වැටෙන්නේය. එබැවින් මෙහි ආදීනව තේරුම් ගෙන නිස්සරණය සඳහා වීර්යය කළ යුතුය.