Print this Article


බුදු පුතුන් තනන ඇඹිලිපිටියේ බෝධිරාජ ධර්මායතනය

 බුදු පුතුන් තනන ඇඹිලිපිටියේ බෝධිරාජ ධර්මායතනය

“අප ලොව දෙස බලන්නේ ඇස් දෙකකින් පමණයි. එහෙත් අප දෙස දහස් ගණනක් ඇස් බලා සිටිනවා.”අපේ හැදිච්චිකම, සදාචාරය, විනය ගරුක බව, ප්‍රතිපත්තිගරුක බව, සිල්වත්බව, සංවර බව, අප තුළ තිබෙනවාද කියා ඒ අය අප ගැන විමසිල්ලෙන් බලා සිටිනවා. කවුරුවත් බලා සිටිනා නිසාම නොවෙයි. ඒ සියලු දේ අප තුළ තිබිය යුතුමයි.

එවිට ඒවා විවෘතව ප්‍රදර්ශනය වෙනවා. ඒ තුළින් අප බලා සිටින අයගේ සිත් අප පිළිබඳ පැහැදෙනවා. සද්ධාවක් ඇති කැරැගන්නවා. එය ඔවුන්ගේ නිවන් මඟට හේතු වෙනවා. සසුන ද බැබලෙනවා.

අජපසන්නානංවා පසාදායා
පසන්නා නංවා භිය්‍යෝභාවාය

නොපැහැදුණු අයගේ පැහැදීම පිණිසත්, පැහැදුනු අයගේ පැහැදීම වැඩි දියුණුවනු පිණිසත් භික්‍ෂුව සිය හැසිරීම සකස් කර ගත යුතු බව බුදුරජාණන් වහන්සේ වදාළ.

ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ භික්‍ෂු පුහුණු ආයතනයේ අධිපති ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ සිය පැවිදි ශිෂ්‍යයන්ට මෙසේ අවවාද දෙති.

ඒ අවවාද අනුව පැවිදි ජීවිත ගොඩනා‍ෙගන භික්‍ෂු පුහුණු ආයතනයේ සියලු වැඩසටහන් ක්‍රියාත්මක වේ.

ශ්‍රී බෝධිරාජ ධර්මායතනාධිපති ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන්ගේ මඟ පෙන්වීමෙන් ශ්‍රී බෝධිරාජ ධර්මායතන පිරිවෙන්පති ශාස්ත්‍රපති කොළඹගෙ ආරේ ශාන්ත හිමිපාණන්ගේ සහ නියෝජ්‍ය පිරිවෙන්පති ශාස්ත්‍රපති රන්නේ ඉන්දසාර හිමිපාණන්ගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක මේ වැඩසටහන් දිනපතා අලුයම පහට ඇරැඹේ.

මුළු ආයතනයම අලුයම පහට පිබිදේ. උපසපන්, සාමණේර හිමිවරු 5.15 ට පෙර දත කට මැද මුහුණ සෝදා පිරිසුදු වෙති. පෙරවරු 5.30 ට භාවනාව ඇරඹේ. සියලුම හිමිවරු ඊට සහභාගිවෙති. එය ඉංගී‍්‍රසි භාෂාවෙන් මෙහෙයවනුයේ ද පොඩිහාමුදුරු නමක් විසිනි.

භාවනාව නිසා සන්සුන්වේ. තැන්පත් වේ. ඒ තැන්පත් සිතට ඉන්පසු සෝභිත නා හිමියන්ගෙන් දහම් අවවාද රැසක් ලැබේ. පැවිදි ජීවිතය, උතුම්ම ජීවිතයක් බවට පත් කර ගැනීමට ඒමඟින් මඟ පෑදීමක් ද සිදුවේ.

පෙරවරු 6.10 ටවත් පිළිවෙත් ඇරැඹේ. ආරාම භූමිය කොටස් 45 කට බෙදා තිබේ. එක් කොටසක් එක් හිමිනමක් විසින් අමදිනු ලැබේ. මෙය ද භාවනාවේ යෙදෙන අවස්ථාවකි. මම අමදිමි. ඉදලෙන් කුණු ඉවත් කරමි. ඒ ආකාරයට ඇති සිතේ ඇති කෙලෙස් කුණු ද ඉවත් වේවා! රාගය, ද්වේශය, මෝහය, කෙලෙස් ඒ කෙලෙස් ඇතිවන්තේ ඇලීම නිසා.

පංචස්කන්ධ පිළිබඳ ඇලීමෙන් තොරවෙමි. පංචස්කන්ධය අනිත්‍යයයි, දුකයි, අනාත්මයි. ඉතින් අනිත්‍ය වූ, දුක් වූ, අනාත්ම වූ පංචස්කන්ධයට ඇලෙන්නේ ඇයි. මේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වූ සියලු දෙය මම අත හරිමි. අත හරිමි. අත හරිමි. මේ කුණු සියල්ල ඉවත් කරන්නා සේ මම මේ ඇලීම් අත්හරිමි.

මෙසේ ත්‍රිලක්‍ෂණ මෙනෙහි කරන භාවනාවක යෙදෙමින් මිනිත්තු පහළොවක් පමණ ගත කරන විට මුළු ආරාම භූමියම පිරිසුදු වී ඉවරය. ආරාම භූමිය පිරිසුදු වුණා වගේ දැන් මගේ සිතත් පිරිසුදුයි. පිරිසුදුයි...පිරිසුදුයි....

පෙරවරු 6.30 වන විට හිමිවරු සිය කුටිවලට ගොස් පාත්‍ර ද ගෙන හීල් දානය සඳහා දාන ශාලාවට වැඩම කිරීමට පෙළ ගැසෙති. නා හිමියෝ ඉදිරියෙන්ම වඩිති. ඉන් පසු අනෙක් හිමිවරු පෙළට වඩිති.

දානය පිළිගැන්වීම සඳහා පැමිණි සැදැහැවත් උපාසක උපාසිකාවෝ දානශාලාව අසල රැස් වී නළල මත දෑත් තබාගෙන සාධු සාධු කියති. මේ ඇත්තෝ භාවනාවේ යෙදෙන හිමිවරු අමදින ආකාරය ද, බිමට යොමු කළ දෑසින් යුතුව, පාත්‍රය දරාගෙන හිමිවරු දාන ශාලාවට වඩින ආකාරය ද බලා සිටිති. මේ දර්ශන ඔවුන් තුළ පෙර නොවූ ශ්‍රද්ධාවක් උපදවයි. පවතින ශ්‍රද්ධාව වැඩිදියුණු කරයි.

දාන ශාලාවේ පැන වූ අසුන් මත මේ හිමිවරු වැඩ සිටිති. සැදැහැවත් හු දානය පිළිගන්වති.තමා දුකසේ පිළියෙල කළ දානය ඔවුන්ගේ අත්වලින්ම පුදන මේ අවස්ථාව සැදැහැති සිත පිනෙන් පුරවයි. ශාන්තව, නිසලව, මහා කරුණාවෙන් මෛත්‍රියෙන් යුතුව හිමිවරු දානය පිළිගනිති. දානය වළඳති. ගිහියෝ බලා සිටිති. තමා අතින් සුළු වරදක් හෝ නොවන ලෙස කිරි බඳුනක හැන්දක් ගැටීමේ සුළු හඬක් පවා මතු නොවන සේ දානය වැළඳිය යුතු වේ.මේ අවස්ථාවේ යම් හිමි නමකගෙන් සුළුවරදක් හෝ සිදු වී නම්, සංවර බව බිඳී ගියේ නම් නාහිමියන්ගේ හෝ වැඩිහිටි අන් හිමි නමකගෙන් හෝ ඒ හිමියනට අවවාද ලැබේ.

පෙරවරු 7.10 වන විට දානය අවසන් වේ. හිමිවරු දායකයනට සෙත් පතා නැගිට කුටිවලට වඩිති. එක් හිමිනමක් නතර වී පුන්‍යානුමෝදනාව කරති.

පෙරවරු 7.30 ට උන්වහන්සේලා පිරිවෙනට වඩිති. 11.10 වන තුරු පිරිවෙන් අධ්‍යාපන කටයුතුවල යෙදෙති. ඉන්පසු 11.15 ට බුද්ධ පූජාව පවත්වති. දහවල දානය පිළියෙල කරන උපාසක උපාසිකාවන් සහභාගිවන බුද්ධ පුජාව සකස් කිරීමට හිමිවරු උදව්වෙති. 11.30 ට දානය සඳහා හිමිවරු පෙළට වැඩම කරති. දානයෙන් පසු යළි පිරිවෙනට වඩින හිමිවරු පස්වරු 2 දක්වා අධ්‍යාපන කටයුතුවල යෙදෙති. ලෝක විෂය, ධර්ම විෂය යන දෙ අංශයෙන්ම දැනුම ලබති. ලෝක විෂය යනු භාෂා, ඉතිහාසය, ගණිතය ආදී යයි. ධර්ම විෂය යනු ත්‍රිපිටකයයි.

පස්වරු දෙකට සියලු දෙනා එක්ව ‘සබ්බපාස්ස අකරණං’ ගාථාව සජ්ඣායනා කොට කුටිවලට වැඩම කරති.ඉන්පසු කුටි පිරිසුදු කිරීම ඇරැඹේ. වැසිකිළි, කැසිකිළි පවිත්‍ර කිරීම කණ්ඩායම් වශයෙන් සිදුවේ.එය වච්ඡකුටිවත නම් වේ.

සාමණේර හිමිවරු පස්වරු 3.30 ට ගුරු හිමිවරුන් සමීපයේ හිඳගෙන පොත් කටපාඩම් දෙති. ධම්මපදය, පිරිත්, බුද්ධගජ්ජය, සකස්කඩ ඇතුළු පොත් කීපයක්, දවසට එක පොතක් බැගින් කටපාඩම් දීම සිදුවේ. පස්වරු 4 සිට 5 දක්වා නෑමය. 5 සිට 6 දක්වා විහාර භූමිය ඇමදීමය. 6.30 ට බුද්ධ පූජාව ඇරැඹේ. විශාල දායක පිරිසක් බුද්ධ පූජාවට සහභාගි වෙති. නා හිමි ඇතුළු සියලු භික්‍ෂූහු ධර්ම ශාලාව ඉදිරිපිටට වඩිති. පීරිසි තට්ටුවක තැබූ පහන් සහිතව හිමිවරු භාවනානුයෝගීව විහාර මන්දිරයට වඩිති. ගාථා සජ්ඣායනා කරමින් බෝධින් වහන්සේ් වටා පහන් තබති. චෛත්‍යයට සහ බෝධියට ගිලන්පස පුදති.

පහන් තැබීම පොඩිහාමුදුරුනමක් අතින් සිදුවේ. දිනපතාම පූජාව පැවැත්වීමේ දී ගාථා සජ්ඣායනය ද පූජාව මෙහෙයවීම සහ පුන්‍යානුමෝදනාව ද පොඩිහාමුදුරු නමක අතින් සිදු වේ. දිනපතා සිදුවන මේ කටයුතු උන්වහන්සේලාට ඒ පිළිබඳ පුහුණුවක් ලබා දේ.

පස්වරු 7.30 ට බුද්ධ පූජාව අවසන් වේ. ඉන්පසු හිමිවරු, දාන ශාලාවට වැඩම කොට අතීත ප්‍රත්‍යාවේක්‍ෂාවේ යෙදෙති. දවස පුරාම සිදු වූ සියලු කටයුතු සිහියට නැගෙන මේ අවස්ථාවේදී සිදුවූ වැරදි ද සිහියට නැගේ. ඒ වැරදි යළි සිදු නොවන අයුරින් සිත හදාගැනීමක් මේ ප්‍රත්‍යාවේක්‍ෂාවෙන් සිදුවේ. ඉන්පසු ගිලන් පස වළඳා කුටියට වැඩම කොට පොත් කියවීමේ පාඩම් කිරීමේ යෙදෙන හිමිවරු රාත්‍රි 10 ට මුහුණකට සෝදාගෙන, මෛත්‍රි භාවනාවේ යෙදී පසුදා අලුයම 5 වනතුරු සැතැපෙති.

මේ කටයුතු නිසි අයුරින් සිදුවේදැයි පරීක්‍ෂා කිරීම සඳහා ගුරු හිමිවරු පස් නමක් සිටිති.

අලුයම 5 සිට රාත්‍රි 10 දක්වා සතිය වැඩෙන පරිදි සියලු කටයුතු සිදුකළ යුතු වේ. තමා සිතන සිතිවිල්ලත්, කටින් පිටවන වචනත්, කරන කටයුත්තත් සමඟ සතිය යෙදිය යුතු ය. සිහියෙන් තොරව කිසිවක් සිදු නොවන පරිදි, සිහිය පිහිටුවාගෙන දවස ගෙවීමට පුහුණුව ලැබේ. මේ පුහුණුව ලැබූ අයකුට ආර්ය මාර්ගය ගමන් කිරීම පහසු ය.

සාමණේර හිමිවරුන්ගේ දේශනා හැකියාව වර්ධනය සඳහා විශේෂ වැඩපිළිවෙළක් මේ ආයතනයේ තිබේ. ඒ සඳහා රැස්වීම් පැවැත්වේ. රැස්වීම් ඇරැඹෙන්නේ සාමණේර දශ සීලය සමාදන් වීමෙනි. ධර්මදේශනා, සිංහල, පාලි, සංස්කෘත, ඉංගී‍්‍රසි භාෂාවලින් දේශනා, සූත්‍ර පරිවර්තන, ග්‍රන්ථ විචාර, සිරිත් කතා, ඉංගී‍්‍රසි වචන තරග, ගාථාවල අරුත් කීවේ තරග, සහ ප්‍රශ්න විචාරාත්මක තරග, මේ රැස්වීම්වල න්‍යායපත්‍රවලට ඇතුළත් ය.

ඉතා හොඳින් පුහුණු වී මේ වැඩසටහන් ඉදිරිපත් කරන අතර වැඩසටහන්වලට පසු ගුණදොස් විවේචනය ද සිදුවේ. කිසිවකුට මේ වැඩසටහන් වලට සහභාගි නොවී සිටිය නොහැකි ය. මුලදී සබකෝලයෙන්, වෙවුලමින් සබයට එන්නෝ කලකට පසු දක්‍ෂ කථිකයෝ දේශකයෝ වෙති. නාහිමියෝ ද මේ රැස්වීම්වලට සහභාගි වෙති.

මේ ආරාමයේ භාවනා මන්දිරයක් වෙයි. ආනාපාන සති භාවනාවේ සහ මෛත්‍රී භාවනාවේ යෙදවීමෙන් ජීවිතයට සමාධිය හුරු කැරැ ගැනීමට ද මේ සාමණේරයන් වහන්සේලා වෙහෙසෙති. මේ භාවනා මන්දිරය ඒ සඳහා සුදුසු පරිසරයක් සකස්කොට තිබේ. සෑම භික්‍ෂුවක්ම දුඹුරු කහපාට සිවුරු ම ඇඳිය යුතු ය. සිවුරු සමාන විය යුතු ය. විහාරස්ථානයේ තනිඋරයක් පමණක් වසා සිටිය ද පිටතට වැඩම කරන විට දෙඋරම වසා සිවුරු ඇඳිය යුතු ය. අමාවක පොහොය දා ද පුර පසළොස්වක පොහොයට පෙරදා ද හිස කෙස් බෑම සිදුවේ.

මෙම ආයතනයේ භික්‍ෂුහු අවමඟුල් උළෙල ද හුදු භවනාවට යොදා ගනිති. මතක වස්ත්‍ර පූජාවෙන් පසු ගිහියන් සමඟ එක්ව මරණ සති භාවනාවේ යෙෙති. ජීවිතයේ අනිත්‍යය, මරණයේ නිත්‍යය, ඉපදීම නතර කිරීමත් සමඟ මරණය ද නතර වන හැටි, සසර ගමන නතර වන හැටි, උතුම් නිවනට පත්වන හැටි ගිහි ජනයාට අවබෝධයක් ලැබෙන අයුරින් ඒ අවමංගල අවස්ථාව යොදා ගැනේ.

සාමණේරයන් වහන්සේලා ජනතාව අතරට ගෙනයාමට බහුජන හිත පිණිස බහු ජන සුඛ පිණිස සේවයට හුරු කිරීමට බෝධිරාජ ධර්මායතනය විශාල වැඩ පිළිවෙළක් සකස්කොට තිබේ. එය ධර්ම චාරිකා වැඩසටහන නම් වේ. මසකට වරක් දුෂ්කර ගම්මානයක් තෝරාගෙන ඒ ගමේ ජනතාවට තෙරුවන පිළිබඳ ශ්‍රද්ධාවත්, ධර්මාවබෝධයත් ලැබෙන පරිදි සංවිධානාත්මක වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වේ. තෝරාගනු ලබන ගම්මානයේ තරුණයන් පිරිසක් හෝ ගමේ යම් සංවිධානයක් හෝ තෝරාගෙන ඒ මගින් මුළු ගමම ගෙවල් දහයේ කණ්ඩායම්වලට බෙදේ. ඒ ගෙවල් දහයේ අය සිය ගෙවිල් පවිත්‍ර කොට, පාරවල් ද පවිත්‍ර කොට, පරිසරය සිත්කලු අයුරින් මුලින්ම සකස් කරති.

ඒ ගෙවල්වල සියලු දෙනා බාල තරුණ මහලු සියලු දෙනා ඒ පින්කම සිදුවන දවසේ නිවසේ සිටිය යුතු ය. ගේ ඉදිරිපිට ද පාරේද කොඩි ප්‍රදර්ශනය කැරේ. භික්‍ෂූන් වැඩම කරනවිට පිළිගැනීමට පා සේදීමට, වැඩ හිඳුවීමට පුද්ගලයන් නම් කැරේ.

ගෙවල් දහයට හිමිවරු දෙනමක් වඩිති. පන්සිල් දීම, සෙත් පිරිත් කීම, බුදුරුවට මල් පහන් පිදීම, පිරිත් නූල් බැඳීම, පිරිත් පැන් දීම, අනුශාසනා කිරීම, පවුලේ අය සමඟ සුහද සාකාච්ඡා යෙදීම මේ භික්‍ෂූන්ගෙන් සිදුවේ.ගෙවල් දහයෙන් තෝරාගත් එක ගෙයක හිමිවරු දෙනමට දානය පිළිගැන්වේ.

මේ අයුරින් ගමේ සෑම පවුලක්ම මේ පින්කමට සම්බන්ධ වේ. ගමම පින්කම් පොළක් වේ. කුසල් සිත් වලින් මුළු ගමම පිරේ. දානයෙන් පසු හිමිවරු දායකයන් සමග ප්‍රජා ශාලාවට වැඩම කරති. පින්කම පිළිබඳ සමාලෝචනයන් ප්‍රජා ශාලාවේ දී සිදුවේ. අවසානයේ දී පුන්‍යානුමෝදනාවය. ලැබුණු සියලු පිරිකර ගමේ පන්සලට ලබා දෙයි. ශිෂ්‍යයන්ට වැදගත් යමක් ලැබී ඇත් නම් ගමේ පාසලට ලබාදෙයි. ලැබුණු පිරිකර, තුටු පඬුරු කිසිවක් බෝධිරාජ ධර්මයතනයට ගෙන එන්නේ නැත.

මේ ධර්මචාරිකා බෝධිරාජ තරුණ සංවිධානය සහිත ධර්මායතන සංවිධාන විසින් මෙහෙයවනු ලැබේ. මේ ධර්ම චාරිකා නිසා මෙහි වැඩ සිටින භික්‍ෂූන් වහන්සේලාට අත්දැකීම් රැසක් ලැබේ.

සාම්ප්‍රදායික පිරිත් සජ්ඣායනා ක්‍රම සාමණේරයන් වහන්සේලාට පුහුණු කිරීම සඳහා විශේෂ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වේ. ධර්මදේශනා හුරු කිරීම සඳහා වැඩමුළු පැවැත්වේ.

පසළොස්වක පෝය දිනය මේ භික්‍ෂුන්ට ලැබුණු අභාසය ප්‍රායෝගික වශයෙන් අත්හදා බැලීමට අවස්ථාව ලබාදෙයි. ගිහියන්ට සිල් දීමට භාවනාවෙහි යෙදවීමට, ජාතක කතා කීමට, බණ කීමට, සෙත්පිරිත් කීමට, මල් පහන් පූජා බුද්ධ පූජා සංවිධානය කිරීමට පොඩි හාමුදුරුවරු පොහොය දිනවල කැපවෙති. මේ සියලු කටයුතු විහාරාධිපති හිමියන්ගේ පිරිවෙන්පති හිමියන්ගේ සහ නියෝජ්‍ය පිරිවෙන්පති හිමියන්ගේ ද අවධානයට යොමු වේ.

මේ උතුම් මෙහෙය නිසා බෝධිරාජ ධර්මායතන පිරිවෙනට 2012, 2013 දෙවසරේ ම රත්නපුර දිසාවේ උසස්ම පිරිවෙන වශයෙන් ස්වර්ණ සම්මාන ලැබිණ.

සේයාරූ - රංජිත් අසංක