Print this Article


පුරිස දම්ම සාරථි ගුණය හෙළි කරන ආලවක සූත්‍රය

 පුරිස දම්ම සාරථි ගුණය හෙළි කරන ආලවක සූත්‍රය

සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායට අයත්, පිරුවානා පොත් වහන්සේ තුළ අඩංගු සූත්‍ර අතර ආශිර්වාදාත්මක සූත්‍ර දේශනාවකි ආලවක සූත්‍රය. බුදුරදුන්ගේ පුරිසදම්ම සාරථි ගුණය පිළිබිඹුවන මෙම දේශනාව උන්වහන්සේ කෙරෙහි පැවැති ඉවසීම, කරුණාව සහ අන්‍යයන්ට පිහිටවීම ආදී අසමසම ගුණාංග මනාව පසක් කර දෙන්නකි. නායකත්ව ලක්‍ෂණ මැනැවින් පිළිබිඹුවන මෙය බුදුරදුන්ගේ බ්‍රහ්මස්වරයට නිදසුනකි. “යහළුව, මම පිට නොවන්නෙමි. නුඹට පුළුවන් දෙයක් කරව” “ යන්තෙ කරණීයං තං කරොහීති” මෙසේ ආලවක අමතා ප්‍රකාශ කිරීම තුළින්ම ඔහුගේ යම් නම්‍යශීලිත්වයක් ඇතිවේ.

ආලවකගේ නම්‍යශීලීත්වය ප්‍රයෝජනයට ගනිමින්ම ඔහු විසින් විමසන ලද ප්‍රශ්න 13 කට බුදුරදුන් පිළිතුරු ලබා දීම මෙහි සූත්‍ර අන්තර්ගතයයි. ඔහුගේ ප්‍රශ්න සියල්ල බුදුරදුන් උපයෝගී කොට ගන්නේ බුදුදහම කියාදීමටත් සසර කෙටිකරන නිවන් මඟ පැහැදිලි කරදීමටත්ය. එය ගාථා 12 ක් ලෙස සූත්‍රයේ අන්තර්ගත වී ඇත.මුල් අවස්ථා තුනේදීම බුදුරදුන් අලව්යකුට අවනත වුවද එසේ නොවන තැනදී, ප්‍රශ්නකර උන්හන්සේ පැරදවීමට ආලවක යක්ෂයා උත්සාහ කරයි.

බුදුරදුන් අමතන අලව් යකු පවසනුයේ, මා ඔබගෙන් ප්‍රශ්නයක් අසන බවත් එයට නිසි පිළිතුරු නොදෙන්නේ නම් දෙපා වලින් ගෙන ගඟෙන් එගොඩට වීසි කරන බවත්ය. පිළිතුරු ලෙස බුදුරදුන් දේශනා කරනුයේ මේ ලෝකයෙහි කිසිවකුට හෝ තමන් වහන්සේට එසේ කළ නොහැකි බවය. ඕනෑම ප්‍රශ්නයක් අසන්න යැයි පවසා තමන් වහන්සේගේ සර්වඥතාව ප්‍රායෝගිකව පෙන්වූ සේක.

ගාථා කිහිපයකින් ආලවක මෙසේ ප්‍රශ්නකරන අතර එයට පිළිතුරු ලෙස බුදුරදුන් ගාථාවන් තුළින්ම ගැඹුරු ධර්මය සරලව දේශනා කළ සේක. ආලවක මෙසේ ප්‍රශ්න කිරීම ආරම්භ කළේය.

කිංසූධ විත්තං පුරිසස්ස සෙට්ඨං
කිංසූ සුචිණ්ණො සුඛමාවහාති
කිංසූහවේ සාදුතරං රසානං
කථං ජීවිං ජීවිතමාහු සෙට්ඨන්ති

“මෙලොව වසන මිනිසාට උතුම් වස්තුව කුමක්ද? කුමක් පුරුදු කළ විට සැපගෙන දෙයිද? කුමන දෙයක් ඉතා රසවත් වේද? කෙසේ දිවි ගෙවන්නාගේ ජීවිතය උතුම්වේද?”

ඉහත ප්‍රශ්නයට පිළිතුරු ලෙස ගාථාවෙන් උන්වහන්සේ මෙසේ දේශනා කරන සේක.

සද්ධී’ධ විත්තං පුරිසස්ස සෙට්ඨං
ධම්මො සුචිණ්ණො සුඛමාවහාති
සච්චං හවේ සාදුතරං රසානං
පඤ්ඤා ජීවිං ජීවිතමාහු සෙට්ඨන්ති

“මෙලොව වසන මිනිසාට ඇති උතුම්ම වස්තුව ශ්‍රද්ධාවයි. කුසල් දහම් පුරුදු කළ විට සැපගෙන දෙයි. සත්‍ය වචනය ඉතා රසවත්ය. නුවණින් ජීවත්වීම උතුම් ජීවිතයයි “

බුදුදහමෙහි දක්වන විමුක්ති මාර්ගයේ ආරම්භය ශ්‍රද්ධාවයි.අවබෝධය සහිතව ලබන ශ්‍රද්ධාව යහපත්ය. නිවන සඳහා සද්ධානුසාරී වීම එක් මගක් ලෙස ධර්මයෙහි විස්තර වේ. මේ අවශ්‍යතාව එක් වැකියකින් ආලවකට බුදුරදුන් අවබෝධ කරදීම ඉතා සාධනීය වේ. යථාවාදී තථාකාරී ගුණය වැදගත්ය. බොරු කීම,නොකළ යුතුය. කුසල් වඩමින් ප්‍රඥාවෙන් යුතුව වරද නිවරද තේරුම් ගෙන ජීවත් වීම සැපගෙන දෙනවා පමණක් නොව එසේ ගෙවන දිවිය තරම් උතුම් ජීවිතයක් නොමැති බව බුදුහිමියෝ ආලවකට අවධාරණය කළහ.

පිළිවෙළින් අසන ලද ප්‍රශ්න හා ලබාදුන් පිළිතුරු එකින් එක මෙසේ පෙළ ගැස්වීමෙන් සූත්‍රයේ වටිනාකම බොහෝ සෙයින් ඉහළ යයි. ඒ මන්දයත් සමස්ත දර්ශනයම සාරාංශයක් වශයෙන් මෙහි ගැබ්ව ඇති බැවිනි. ආලවක විමසන ලද සෙසු ප්‍රශ්න මෙසේය.

* සැඬ පහරින් එතෙර වන්නේ කෙසේද?
* සාගරය තරණය කරන්නේ කෙසේද?
* දුක නැති කරන්නේ කෙසේද?
* ප්‍රඥාව ලබන්නේ කෙසේද?
* කීර්තියට පැමිණෙන්නේ කෙසේද?
* මිතුරන් දිනාගන්නේ කෙසේද?
මශෝකයෙන් තොරව මෙලොවින්
පරලොව යා හැක්කේ කෙසේද?
* පිරිසුදු වන්නේ කෙසේද?
* ධනය ලබන්නේ කෙසේද?

මෙම සියලු පැන විසඳමින් බුදුරජාණන් වහන්සේ අලව්යකු අමතා නියම මාර්ගය මෙසේ පැහැදිලි කර දුන් සේක. සසර මහා සැඩ පහරකි.ඒ මහත් දුකකි. එයින් එතෙරවීමට ශ්‍රද්ධාව අවශ්‍යය. ධර්මය පිළිබඳව මනා අවබෝධයක් සහිතව බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය කෙරෙහි පැහැදීම අත්‍යවශ්‍යය. සසර සාගරය මහා ගැඹුරුය. එයින් එතෙර වීමට නම් කුසල් දහම්හි පමා නොවිය යුතුය. පමා වූවන් මළවුන් වැනිය, යනුවෙන් ධම්මපදයේද ඉහත කාරණය විස්තර කර ඇත. වීර්යය නිවනට අත්‍යවශ්‍ය සාධකයකි. කම්මැලියකුට කුසීතයකුට මෙලොව හෝ පරලොව ජයගත නොහැකිය. දස පාරමිතාවන්හි වීර්ය එක් පාරමිතාවක් ලෙස දක්වන්නේද එහෙයිනි. සසර දුක නැතිකර නිවන් ලැබීමට වීර්ය අවශ්‍ය බව උන්වහන්සේ පිළිතුරු ලෙස දේශනා කළ සේක. තම තමන්ගේ පිරිසුදු බව තීරණය වනුයේ තම ක්‍රියාකාරකම තුළිනි. බුද්ධිය මූලික කොටගත් හොඳ ක්‍රියා කුසල්ය. එම ක්‍රියා තුළ පුද්ගලයා දෙලොවම පාරිශුද්ධ වේ. ඒ සඳහා ප්‍රඥාව හෙවත් පව්, පින්, කුසල්, අකුසල් තේරාගැනීමේ ඥානයක් අවශ්‍යය. ඒ තුළ පිරිසුදුකම ඇතිවේ.

ආර්යයන් වහන්සේගෙන් සැබෑ ධර්මය ශ්‍රවණය කිරීම, නුවණැත්තන්ගේ බසට කන්දීම, අප්‍රමාදී වීම හා නුවණින් කටයුතු කිරීම ප්‍රඥාව ලැබීමේ උපායන්ය. වීමංසනශීලිත්වයත්, තමන් අංග සම්පූර්ණ නොවන බව වටහා ගැනීමත්, දැනගත යුතුදේ තව බොහෝ ඇතැයි සිතීමත් වැදගත්ය. බාලයන්ගේ බස ඉවත දමා නුවණැතියන්ගේ වදන්වලට කන් යොමු කිරීම උචිතය.එසේම එය සුබ මංගල කරුණකි. මේ තත්ත්වය සංක්ෂිප්තව අලව්යකු අමතා බුදුරදුන් දේශනා කළේ එක් ගාථා පාඨයකිනි.

සද්දහානො අරහතං
ධම්මං නිබ්බාන පත්තියා
සූස්සූසා ලභතෙ පඤ්ඤං
අප්පමත්තො විචක්ඛණො

පරිත්‍යාගය තුළ මිතුරන්ද පරිවාර සම්පත්තියද දිනාගත හැකිය. පසුනොබසින ,ආරම්භක වීර්යය ඇත්තන් ධනය ලබයි. ඒ සඳහා ධෛර්ය අත්‍යවශ්‍යය. සත්‍යවාදීවීම තුළින් කීර්තිය ලද හැකිය. ක්ෂණික ලාභාපේක්‍ෂාවන් නිසා මුසා බස් කියන්නන් අවසාන වශයෙන් බොහෝ අපකීර්තියට පත්වන බවට උදාහරණ වර්තමාන සමාජයෙන් පවා සුලබව සොයාගත හැකිය.

සත්‍යවාදී බවත් ඉඳුරන් දමනය, ධෛර්යය හා පරිත්‍යාගය යන ගුණ ධර්මත් සහිත ශ්‍රද්ධාවන්ත ගිහියා ශෝකයෙන් තොරව මෙලොවින් පරලොව යයි. එවන් පිරිස් දෙලොවම සතුටු සිත් ඇත්තන් බවට පත්වන්නේ යැයි බුදුහිමියෝ නිරන්තරවම අවධාරණය කළහ. ගිහි, පැවිදි භේදයකින් තොරව සියල්ලන්ටම සසර සුගතිගාමී වීමට හේතුවන ඉගැන්වීම් සමූහයක් ආලවක අමතා සරලව දේශනා කරන බුදුරජාණන් වහන්සේ මේ ධර්මය ගැන සැකයක් පවතීදැයි විමසන සේක. එසේ චකිතයක් ඇත්තේ නම් වෙනත් මහණ බමුණන්ගෙන් අසා දැනගනුව‘යි ආලවක අමතා පවසන සේක.

ඉඩ්ඝ අඤ්ඤෙපි පුච්ඡස්සු
පුථුසමණ බ්‍රාහ්මණෙ
යදි සච්චා දමා චාගා
ඛන්ත්‍යා භිය්‍යො න විජ්ජති

බුදුරදුන් අමතන අලව් යකු පවසනුයේ එසේ වෙනත් කෙනෙකුගෙන් ඇසීමට යමක් නැති බවය. “ සියල්ල ඔබ වහන්සේගෙන් මනාකොට දැන ගතිමි. ඔබ වහන්සේ මාගේ යහපත උදෙසාම අලව් නුවරට වැඩි සේක. මෙතැන් පටන් මම ඔබ වහන්සේ සරණ යමි. එමෙන්ම දුන් දෙයෙහි විපාක ඇති බව දනිමි. ඔබවහන්සේ වදාළ දහමෙහි යහගුණයන් පළ කරමින් මම ගම් දනව් සැරිසරමි “

ඉතා චණ්ඩ රෞද්‍ර කෙනකු වූ අලව්යකු ඉතාම සුවච කීකරු බවට පත්වූයේ සත්‍ය වූ දේශනාව පදනම් කොටගෙනය. එපමණක් නොව මුලදී උන්වහන්සේ ගේ දැකීම පවා ද්වේශයෙන් සැලකූ අලව් යකු ධර්ම දේශනාව අවසානයේ එහි මනහර අර්ථ පූර්ණ බව මෙසේ අගැයීමට ලක් කළේය. “ ඔබ වහන්සේගේ ධර්ම දේශනය ඉතා මනහරය. මංමුළාවූවකුට මඟ පෙන්වා දෙන්නාසේ නොයෙක් අයුරින් දහම් දෙසන ලදී.අද පටන් මා දිවි හිමියෙන් උපාසකයකු ලෙස පිළිගනු මැනැවි “