ජීවිතයේ නිදහස හා සතුට
නීතිඥ වසන්ත අල්ගම
සරල ජීවිතයේ සිට සංකීරණ ජීවිතය කරා ගමන් කිරීමේදී බොරුව යන්න සෑම
ආශාවක්
පිටුපස ම පවතින බව අමතක නොකළ යුතුය. ඉන් කිසිදාක ජීවිතයේ
තෘප්තිය සතුට අත්විඳිය නොහැකිය. පූර්ණ සතුටක් හා ජීවිතයේ වාසනාව
අත්විඳිය හැක්කේ
මෛත්‍රී වැඩීමෙන් බව කරණීයමෙත්ත සූත්‍රය පෙන්වා දෙනු ලැබේ.
කරුණාව වූ කලි පුද්ගලයකු තුළ පැවතිය යුතු ශ්‍රේෂ්ඨ ගුණාංගයකි.
කරුණාවන්ත පුද්ගලයා මුළු ජීවිත කාලය තුළම සුවසේ වෙසෙයි. බොහෝ මිනිසුන්
සිතන්නේ ජීවිතයේ සුවය ලැබීමට ධන ධාන්‍ය ආදිය ලැබිය යුතු බවයි. මීට මුලා
වූ ජනයා අතොරක් නැති ආශාවන් කරා ලුහුබඳිති. ඉතා පහසුවෙන් වාණිජ
ව්‍යාපාරවලට ගොදුරු වෙති. මෙසේ අවිවේකී ජීවිත ගමනින් විඩාවට පත් ඔවුහු
පහසුවෙන් විවිධ රෝගවලට ගොදුරු වෙති. තම විවාහ ජීවිත පවා කඩාකප්පල් කර
ගනිති. ‘අත්තනා මරණ ධම්මෝ සමානො මරණ ධම්මඤ්‍ඤ්‍ච පරිසේවති (මජ්ඣිම
නිකාය) මේ සියලු දෙනා සොයන්නේ තමන්ගේම මරණයට හේතුවන දේවල්ය.
ලෝකයේ බොහෝ ධනවත් ජනයා වෙසෙති. ඔවුනොවුන් අත්විඳින ජීවිතය හා පරිහරණය
කරන භාණ්ඩ සුඛෝපභෝගි බවට අප අතර විශ්වාසයක් පැවතුනද බුදුදහමට අනුව එහි
සත්‍යතාවක් නොමැත. බහුතරයක් ජනතාව තුළ බෞද්ධ ඉගැන්වීම්වලින් පරිබාහිර
මෙවැනි සිතුම්පැතුම් පවතී. එහි ප්‍රතිඵලයක් ලෙස තරගකාරි සමාජය තුළ
අවතැන්වන මිනිසා අතින් දෛනිකව සිදුවන අකටයුතු නිතර වාර්තා වේ.
ඕනෑම මිනිසකු කොපමණ ධනය ඉපයීම් කළත් සමාජයේ ඉහළ තානාන්තර ඉසුලුවත් සෑම
දෙනාගේම මූලික අවශ්‍යතා වෙනස් නොවේ. ලොව වසන සෑම මිනිසෙකු කුමන
ජනවර්ගයකට අයත් වුවද කුමන තානාන්තරයක් අත්කරගෙන සිටියද ඔහු කරන්නේ ආහාර
ගැනීම, පිපාසයට වතුර පානය කිරීම, හුස්ම ගැනීම වේ. මිනිසාගේ ජීවිතය රඳා
පවතින්නේ ඔහුගේ තරාතිරම හා බලය තුළ නොව ඔහු ගන්නා ආහාර පාන හා හුස්ම
ටික මතය. එය යථාර්ථයකි. මරණයද සෑම දෙයකටම පොදු වූ ධර්මතාවයකි. මේ නිසා
අන්‍යයන්ගේ ධනයට නිලයට ඊර්ෂ්‍යා කිරීම හෝ ආශාවන් පසුපස හඹා යාම ජීවිතයේ
සුවදායක බව අත්විඳීමට මගක් නොවේ.
ඒ මගින් අත්වන්නේ සුවයක් නොව දුකකි. තවද ඒ කුණාටුවට ගොදුරුවන පුද්ගලයා
සතුව පැවැති උසස් ගුණධර්ම ද පිරිහී යයි. එවිට සැපත සොයා යන මිනිසුන්
අත්විඳින්නේ දුකයි. බුදුදහමට අනුව ආශාව යනු කාමසුඛයෙහි ඇලීම පදනම් කොට
ගත් පුද්ගලයා තුළ ඇතිවන මානසික ස්වභාවය වේ. තවත් ලෙසකින් හඳුන්වනවා
නම්, චක්ඛූ, සෝත, ඝාණ, ජිව්හා, කාය, මන, යන ඉන්ද්‍රියයන් පිනවීමට දක්වන
කැමැත්තවේ. ප්‍රඥාවන්තයන් හැර සමස්ත සමාජයම මේ ප්‍රවාහයට හසුවීම නිසා
මිනිසා රැවටීමත් , විවිධ අනතුරුවලට ලක්වීමටත් හේතුවන ඒ ආශාවන් පසුපස
ගමනකෙරේ. මේ සමාජ ප්‍රවාහයෙන් ඉවත් වී ජීවිතයේ සංතෘප්තිය ලැබීමට නම්
කරුණාව අවශ්‍ය වේ. කරුණාවන්ත පුද්ගලයකු වීමට නම් ඔහු තුළ මෛත්‍රී
ප්‍රගුණ කළ යුතුය. මෛත්‍රී සහගත සිතිවිලිවල ක්‍රියාකාරි බව කරුණාව වේ.
‘පර දුක්ඛෙ සති හදය ඛෙදං ජනෙතීති කරුණා’ අනුන්ගේ දුකෙහිදි සිතේ උපදනා
අනුකම්පා ස්වභාවය කරුණාව වේ.’පර දුක්ඛෙ සති සාධුනං හදය කම්පනං කරෝතීති
කරුණා ‘ අනුන්ගේ දුකක් දුටු කල්හි සත්පුරුෂයන් හට හෘදය ඛේදය උපදවනුයි
කරුණා නම් වේ. ‘කිණාති පරදුක් ඛං හිංසතීති විනාසෙතීති කරුණා ‘
අන්‍යයන්ගේ දුක බැහැර කරයි ද ඒ කරුණා නම් වේ. ‘කිරියතීවා දුක්ඛතේසු
එරණවසේන පසාරීයතීති කරුණා “ උපන් අවස්ථාවේ සිට මරණය දක්වා කාල පරාසය
තුළ සත්වයකුගේ ජීවිතය ඒකාකාරව නොපවතී. සමහර සත්හු දුකට පත්වෙති. දුකට
පත් වූ විට ඔවුනට පිළිසරණ අවශ්‍ය වෙති. එසේ දුකට පත් සත්වයන් කෙරෙහි
හිත සුව පතුරුවා නූයි කරුණාව බව ඉහත ගාථා ඛණ්ඩයෙන් අදහස් වේ. කරුණාවන්ත
පුද්ගලයා ඔවුනට පිළිසරණ වෙති. ඒ දුකින් එම පුද්ගලයා නිදහස් කර වීමට ඔහු
ක්‍රියාකාරිවේ. ‘දුක්ඛාපනයනා කාරප්පවත්ති ලක්ඛණා, කරුණා, පර දුක්ඛා
සහතරසා අවිහිංසා පච්චුපට්ඨානා දුක්ඛාභිතානං අනාථභාවදස්සන පදට්ඨානා’මේ
අන්ථසාලිනි හි දැක්වෙන පාඨයකි. මෙයින් අදහස් වෙන්නේ කරුණාව යනු සිත
ඇතුළේ රැඳී පවතින දෙයක් නොවේ. කිසියම් පුද්ගලයෙක් හෝ සත්වයකු දුකට පත්ව
ඇත්නම් ඔහු දුකින් නිදහස් කර ගැනීමට ක්‍රියා කිරීම මෙයින් අදහස් වේ.
අන්‍යයන්ගේ දුක් ඉවසීම එහි රසයයි. එනම් කෘත්‍යයයි. අවිහිංසාව අවබෝධ
වීම, වැටහීම කාරණයයි. එනම් පච්චුපට්ඨානයි. මෙය කළ හැක්කේ මෛත්‍රී සහගත
චිත්තයෙනි.
අභිධම්මත්ථ විභාවිනි ටීකාවේ මේ සම්බන්ධයෙන් ඉතා වැදගත් පාඨයක් ඇත.
‘උත්තම විහාර භාවතො උත්තමානං වා විහාර භාවතෝ බ්‍රහ්ම විහාරෝ “ උතුම්
විහරණ යනුවෙන් හැඳින්වෙන්නේ බුදුරජාණන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලා
අනුගමනය කරන විහරණ වේ. ඒවා නම් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන
බ්‍රහ්ම විහරණයෝ වෙති. විහාර යනු වාසය කරන අර්ථයයි. බ්‍රහ්ම යනු උත්තම
ශ්‍රේෂ්ඨ යන අර්ථ යයි. ඒ අනුව මෙම ධර්ම සතරට ශ්‍රේෂ්ඨත්වය උත්තම වාසය
යන අර්ථයෙන් බ්‍රහ්ම විහාර යන නාමය භාවිතා වේ.
සමාජයේ ඇතැම් පිරිස්වලට පන්සිල් පද හෝ ඉන් එකක්වත් රැකිය නොහැකි බව
කියයි. මෙයට ප්‍රධාන හේතුව වන්නේ ධර්මයට වඩා අධර්මයට ඇබ්බැහි වී
සිටීමයි. බොරු කියන්නට පටන් ගත්තොත් එය පුරුද්දක් බවට පත්වෙයි. පරුෂ
වචනයට පුරුදු වූ කෙනාහට නිතැතින්ම ඔහුගෙ මුවට පරුෂ වචන ගලා එයි.
එදිනෙදා ජීවිතයේ කිසියම් අපහසුතාවයක දී සුළු අනතුරකදී ඔහුට කියවෙන්නෙ
පරුෂ වචන වේ. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ට එය නැතිවම බැරිය.මේ ආදි
වශයෙන් යම් ක්‍රියාවක් කීප සැරයක් සිදු කිරීමේදී දී එය පුරුද්දක් බවට
පත්වේ. එම පුරුදු හොඳ පැත්තට යොදා ගැනීම පන්සිල් ආරක්‍ෂා කිරීම වේ.
සතර බ්‍රහ්ම විහරණ පුරුදු පුහුණු කරන විට පන්සිල් පද ආරක්‍ෂා කළ හැකිය.
සතර බ්‍රහ්ම විහරණ සඳහා ප්‍රධාන වශයෙන් පාදක වන්නේ මෛත්‍රිය වැඩීමය.
මෛත්‍රිය වැඩීම මනසින් සිදුකරන්නක් වන අතර එහි ක්‍රියාකාරි බව කරුණා
මුදිතාව හා උපේක්‍ඛාව වේ. මෛති‍්‍රය වඩන්නා සතුන් මැරීමෙන් දුරස් වේ.
සතුන් මැරීම ද පුරුද්දකට පත්වන බව බොහෝ දෙනෙකු අවබෝධ කර නොගනිති.
එපරිද්දෙන් සොරකම් කිරීම, කාමයෙහි වරදවා හැසිරීම ද පුරුද්දක් බවට
පත්වීම නිසා තම මිනිසත් භවයේ වටිනාකම අහිමි කරගනිති. දුම්පානය , බීමට
ඇබ්බැහි වීම යනුවෙන් අදහස් කරන්නේ ද මේ පුරුද්දක් බවට පත්වීමය.මෙහි
සිදුවනුයේ මොළයේ සෛල ඒ සඳහා යොමු වීමය. සතුන් මැරීම,සොරකම් කිරීම,
කාමයෙහි වරදවා හැසිරීම, සුරාපානය. බහුතරයක් විසින් සිදු නොවේ. බහුතරයක්
අතින් සිදුවන වරදනම් බොරු කීම හෙවත් මුසාවාදයයි.
බොරු කීමට හේතුවන කරුණු රාශියක් කරණීය මෙත්ත සූත්‍රයේ දැක්වේ. එහි
සඳහන් වන උජූච සූජූච යන්නෙහි උජු යනුවෙන් හඳුන්වන්නේ කය වචන දෙකෙහි වංක
නැතිවීම නොහොත් ඒ දෙකෙන් සිදුකෙරෙන පව්වලින් වැළකීමය. සිතින් කෙරෙන
පව්වලින් වැළකීම ‘සුජූ’ වේ. වචනයෙන් සිදුවන ප්‍රධාන අකුසලය නම් බොරු
කීම වේ.
සමාජය තුළ බොහෝ දෙනෙකු තමන්ට ලැබෙන ප්‍රමාණයෙන් සතුටට පත්නොවේ. සමාජය
සංකීරණ වී ඇත්තේ මිනිසා අතොරක් නොමැති ආශාවන් පිටුපස හඹා යාම නිසාය.
‘සන්තුස්සකෝච’ යනුවෙන් දැක්වෙන්නේ ලද පමණින් සතුටු වීමයි. ලැබෙන
ප්‍රමාණයෙන් සතුටු නොවීම නිසා තමා පහසුවෙන් පෝෂණය කළ නොහැකිය. තවද බොහෝ
පුද්ගලයන් ගෙන් ලැබෙන තවත් ප්‍රතිචාරයක් නම් අවිවේකී බව ප්‍රකාශ
කිරීමය. ඊට හේතුව අධික වැඩ කටයුතවල නිරත වීමය. බුදුරජාණන් වහන්සේගේ
දේශනාවේ සඳහන් වන්නේ ‘අප්පකිච්චෝච’ එනම අධික වැඩ කටයුතු ඇත්තකු නොවිය
යුතු බව ය. අධික වැඩ නිසා ආතතියට පත්වේ. අධික ලෙස සිත පීඩනයට පත්වේ. බණ
භාවනා වැඩීමට සිත එකඟ කිරීමට නොහැක. සිතේ කලබලකාරී බව වැඩිය. ඊළඟ කරුණ
නම් බහු භාණ්ඩ ලබා ගැනීමට දක්වන කැමැත්ත වේ. මේනිසා ජීවිතයේ සරල බව
නැතිවේ. ‘සල්ල හුක වුක්ති’ සැහැල්ලු ගති පැවතුම් ඇත්තෙකු නොවීම නිසා
ඇස් , කන්, ආදි පසිඳුරන්ගේ මනා සංවරය නැතිවේ. ‘සන්තින්ද්‍රියෝ ‘ එනම්
ඉන්ද්‍රියයන්ගේ සංවර බව අවශ්‍ය ය. ඉන්ද්‍රියක් සංවර නොවන බව ඉහත කී
සියල්ලටම බලපානු ලැබේ. ඉන්ද්‍රිය සංවර කර ගැනීමට හොඳ නුවණක් තිබිය
යුතය. ‘නිපකෝච’ යනුවෙන් අදහස් කරන්නේ එයයි. එවිට සිත, කය, වචනය සංවර කර
ගත හැකිය. එවිට පන්සිල් පද රැකගත හැකිය. කරණීයමෙත්ත සූත්‍රයෙහි දැක්වෙන
ඉහත අංග සපුරාලන අයට බොරු කීමට අවශ්‍ය නොවේ. සරල ජීවිතයේ සිට සංකීරණ
ජීවිතය කරා ගමන් කිරීමේදී බොරුව යන්න සෑම ආශාවක් පිටුපස ම පවතින බව
අමතක නොකළ යුතුය. ඉන් කිසිදාක ජීවිතයේ තෘප්තිය සතුට අත්විඳිය නොහැකිය.
පූර්ණ සතුටක් හා ජීවිතයේ වාසනාව අත්විඳිය හැක්කේ මෛත්‍රී වැඩීමෙන් බව
කරණීයමෙත්ත සූත්‍රය පෙන්වා දෙනු ලැබේ.
භාණ්ඩ රැස් කිරීමේදී ඒ කෙරෙහි ඇලීම නිසා ලද පමණින් සතුටු නොවුණු හොත්
තෘෂ්ණාවට අපගේ සමස්ත ජීවිතයම ගොදුරු වන බව සිහියට ගත යුතුය. ලෝකයේ
රන්,රිදී, මුතු, මැණික්, මිල, මුදල් යාන වාහන ආදිය පිළිබඳ මිනිසුන්
සිතන්නේ එවැනි දෑ සතු මිනිසා උතුම් හා වටිනා බවය. ගැවසෙන්නට කැමැත්තේ ද
ඔවුන් අසලය. නමුත් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්‍ඛා, ගුණයෙන් වැඩෙන
තැනැත්තා ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් වේ. හෙතෙම කෙලෙස් මල බොහෝ දුරට දුරුකර
ගත්තෙක් වේ. හැම සතුන් කෙරෙහි පැතිරුණු තමා මෙන් අන්‍යයන්ද සුවපත් වේවා
යන මානසික හැඟීම ද මෛත්‍රිය නමින් ද අන්‍යයන්ගේ දුක් දුරු කිරීමට
කැමතිවන සිත කරුණාව, නමින්ද අන්‍යයන්ගේ සම්පත් දැක සිත ප්‍රමුදිත වීම
එනම් ඊර්ෂ්‍යාවක් ඇති නොකරගෙන ඒ කෙරෙහි සතුටට පත්වීම මුදිතාව ලෙසත්,
සැප හා බලය ලැබීමෙන් උඩඟු බවට ආඩම්බර බවට පත් නොවී සිටීමත්, දුක්
ඇතිවීමේ දී පසුතැවිලි නොවී කම්පා නොවී සිතෙහි මැදහත් බව උපදවා ගැනීම
උපේක්ඛා යනුවෙන් දැක්විය හැකිය.
මේ කරුණු පිළිබඳ සුළු අවබෝධයක් ලැබූ පමණින් , ප්‍රමාද නොවී ක්‍රියාත්මක
විය යුතුය. “ අප්පමාදෝ අමතපදං’ යනුවෙන් හඳුන්වන්නේ එයයි.අප දියුණු විය
යුතුය. නමුත් පංච ඉන්ද්‍රියයන් වන ඇස, කන, නාසය, දිව, ශරීරය යන්නට විෂය
වන භෞතික ලෝකය කෙරෙහි නොඇලිය යුතු ය. ඇලීමෙන් දුක් වේදනාවත්, නොඇලීමෙන්
ජීවිතයේ නිදහස හා සතුට අත්විඳීය හැකි බව බුදුරජාණන් වහන්සේගේ දේශනාවයි. |