Print this Article


දරුවන්ගේ හදවතට දිය යුතු දහම

දරුවන්ගේ හදවතට දිය යුතු දහම

දරුවන් සමඟ හැන්දෑවට බුද්ධ වන්දනාව සිදුකරන නිවෙස් මේ රටේ තවමත් තිබීම වාසනාවක්. නිවසේ සියලු දෙනාටම විවේකි  කාලයක් තෝරාගෙන එකටම බුදුන් වැඳීම, පිරිත් කීම සිදු කරනවා. ඒ වගේම විවේකි වෙලාවට ගමේ පන්සලට යනවා.බුදුන් වඳිනවා. පන්සලේ හාමුදුරුවන් ඇසුරු කරනවා. පන්සලේ අඩුපාඩු සොයා බලනවා. මේ ආකාරට යම් රටාවකට සිදුවීම් සිදු වෙනවා. මේ වගේ එදිනෙදා ජීවිතය තුළ යහපැවැත්මක් බෞද්ධ සමාජය තුළ තිබුණා. මේ දේවල් අපෙන් සොරා ගත්තේ නවීන තාක්ෂණය යි.

අප ආදරයෙන් සරණ ගිය තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වෙලා දුකෙන් මිදෙන මඟ වදාළා. උන්වහන්සේ අවබෝධ කරගත් ඒ ගැඹුරු දහම විවිධ අංග ඔස්සේ අපට කියා දුන්නා. ඒ දහම තමාගේ ජීවිතයට ගලපා ගන්නා පුද්ගලයා ප්‍රඥාවන්තයා යි.

අප දන්නවා මේ ලෝකය ශීඝ්‍රයෙන් නවීකරණයට ලක්වෙමින් පවතිනවා. ඒ අතර අපගේ පුංචි රටත් ඒ නවීකරණය නමැති වාණිජ ලෝකයට ගසාගෙන යනවා. එහිදී බොහෝ විට මව්පිය දූ දරු සම්බන්ධතාවය ගිලිහි යමින් තිබෙනවා. අද අපගේ බොහෝ දරුවන් දැනුම අතින් පෝෂණය වුවත් දරුවන්ට අව්‍යශ්‍ය වන මනුස්සකම අතින් පිරිහි යනවා. අපගේ වැඩිහිටියන් කුසට ආහාරක් නැතිව හරියට නින්දක් නැතිව දරුවන්ට ඉතිරි කරනවා. ඔවුන් හිතනවා දරුවන් වෙනුවෙන් යමක් ඉතිරිකර ඔවුන්ට නිසි අධ්‍යාපනයක් ලබා දුන්නාම සියල්ලම හරි කියලා. එහෙම නැහැ. ඒ දරුවන්ගේ මොළයටයි දෑතටයි වගේම හදවතටත් යමක් දියයුතු වෙනවා. මේ දරුවන්ගේ හදවතට දිය යුත්තේ මනුස්සකම යි. ගුණ යහපත්කම යි. එය මිල මුදල් වියදම් කර දෙන්න බැහැ. හදවතට දෙන මනුස්සකම විකුණන්න නැහැ. කුඩා කළ සිටම දරුවාට මනුස්සකම පුරුදු කරන්නේ කොහොමද කියා මව්පියන් දැන ගන්න ඕන. බොහෝ මව්පියන් දෝෂාරෝපණය කරනවා “අපගේ දරුවන් දඩබ්බරයි. නපුරුයි. කියන දේ අහන්නේ නැහැ” කියලා. නමුත් එහි මූලික වරද මව්පියන්ගේ. දරුවන් අකීකරු වූයේ මව්පියන් දරුවන්ට ඕනෑවටත් වඩා කීකරු වූ නිසයි.

කුඩා කාලයේ පටන් දරුවන් දවසේ වැඩි හරියක් සිටින්නේ මව්පිය සෙනෙහස මැදයි. එනිසා මවුපියන් තම දරුවන්ගේ හැසිරීම් රටාව කතාබහ පිළිබඳව යාළු මිත්‍රයන් පිළිබඳව දැඩි අධීක්ෂණයකින් නිරීක්ෂණය කළයුතු වෙනවා. වගකීමක් ඒ වෙනුවෙන් දැරිය යුතු වෙනවා. දෙයක් වුණාට පස්සේ හඬා වැටෙනවාට වඩා ඒ දෙයින් මුලින්ම දරුවා බේරා ගැනීම යි අපගේ යුතුකම වන්නේ. තම දරුවාගේ පුංචි වෙනස වුවත් සැබෑ අම්මට තාත්තාට වටහාගන්න පුළුවන්. නමුත් දරුවන් කෙරෙහි මාපියන්ගේ සංවේදීබව මදි නිසා වර්තමානයේ දී දරුවන් නො මඟට යොමුවීම වැඩිවෙලා. දරුවන් නොයෙක් විෂමකාරි දේවල්වලට යොමුවෙලා. ඔවුන්ගේ පවට භය හා ලජ්ජාව නැතිවෙලා. අනවශ්‍ය පින්තූර අනවශ්‍ය වීඩියෝ පට නොයෙක් තාක්ෂණය මුසු වූ විද්‍යුත් උපකරණ ආදි දේ දරුවන්ගේ මානසිකත්වය දුර්වල කරනවා. නමුත් මවුපියන්ගේ දැඩි අධීක්ෂණය දරුවාට තිබුණා නම් වැරැදි දේ කරන්න ඔවුන් භය වෙනවා.

අප දන්නවා සමහර නිවෙස් දරුවන්ගේ මානසික වර්ධනයට බාධාවක්. මව්පියන් නිතරම රණ්ඩු දබර ඇතිකර ගන්නවා. ඇතැම් වැඩිහිටියන්ගෙන් දරුවන්ට ආදර්ශවත් දෙයක් ලබාගන්න නැත්තටම නැති තරම්. ආගමානුකූල පරිසරයක් නිවස තුළ නැත්නම් දරුවාගේ මානසික පෝෂණයක් බලාපොරොත්තු වන්න බැහැ. අම්මයි තාත්තයි පොඩි දෙයටත් විරසක නම් ඒ නිවස තුළ ජීවත්වීම ඉතාමත් පීඩාකාරීයි. අම්මා කියන දේට තාත්තා විරුද්ධ වෙනවා. තාත්තා කියන දේට අම්මා නිතරම විරුද්ධ වෙනවා. ඒ මැද ඉන්න දරුවෝ ඉතාමත් චිත්ත පීඩාවට පත්වෙනවා. දරුවන්ට මව්පියන් එපා වෙනවා. පුංචි හිත් වෛරයෙන් ගිනි ගන්නවා. භය සංතාපය ඔවුන්ගේ සිත් තුළ මුල් බැස ගන්නවා. ඔවුන් වැඩිහිටියන් වී සමාජයට පිවිසෙන්නේ තෙතමනයක් නැති අනුන්ගේ දුකට පිිහිටක් නො වෙන මෛත්‍රී කරුණාවක් නැති වැඩිහිටියන්ට කීකරුබවක් නැති දරුවන් ලෙස යි. මේ තත්ත්වයට මූලික පරිසරය ගොඩ නැගුනේ ඔහුගේම නිවස තුළින්.

අප හොඳින් සිතා බැලුවොත් වර්තමානයේ හතර දෙනෙක් ඉන්න පවුලක ඒ හතර දෙනාගේ සිතුම් පැතුම් හතර විදිහක්. ක්‍රියාව හතර විදිහක්. රාමු හතරකට කොටුවෙලා. සවසට නිවසට එකතු වන සාමාජිකයන් තම තමන්ගේ කාමර වලට වෙලා වෙන් වෙන් වශයෙන් කටයුතු කරනවා. මව්පියන් රූපවාහිනියට කොටුවෙනවා. දරුවෝ පරිගණකයට, ජංගම දුරකථනයට කොටු වෙනවා. ඒ ඒ අයගේ ලෝකවල තනි තනිවම ජීවත් වෙනවා. මේ නිසා දරුවන්ගේ පෝෂණය විය යුතු කරුණාව, මෙත්තාව, මුදිතාව පමණක් නොව අධ්‍යාපනය, ක්‍රීඩාව සහයෝගයෙන් ජීවත්වීම, අනෙකාගේ දුකට පිහිටවීම ආදි සියලු දේ ගිලිහි යනවා. මේ ජීවිත නීරස යි. ඒකාකාරි යි. එක පවුලේ සාමාජිකයෝ වුවත් ඔවුන් තුළ අන්‍යෝනය සම්බන්ධතාවයක් නැහැ. දවසකට මාපියන් දරුවන් වචන තුන හතරකට වඩා කතා කරන්නේ නැහැ. මවුපියන්ගේ මේ අනවශ්‍ය කාර්ය බහුලත්වය දරුවන්ගේ මානසිකත්වය බිඳ දමනවා. මේ නිසා අපේ දරුවන් දැඩි ආත්මාර්තකාමි බවට පත්වෙනවා. තමන් ගැන පමණක් සිතීමට පුරුදු වෙනවා. වැඩිහිටියන් වී සමාජයට යන්නේ එවැනි ආත්මාර්ථකාමි පුද්ගලයන්. සංවේදී බව දරුවන්ට නැති වෙනවා. සංවේදීබව කියන්නේ අනුකම්පාව, කරුණාව කියන දේයි. මේ කරුණු දෙක නැති වූ තැන සංවේදී බවක් නැහැ. අනුකම්පාව කියන්නේ තවත් කෙනෙකුගේ වේදනාවක් දුකක් දැනෙන මනුස්සයෙක් බිහි කර ගැනීම යි. ඒ තත්ත්වයට දරුවා පත්කර ගැනීම අප සියලු දෙනාගේ යුතුකමක් මෙන්ම වගකීමක් වෙනවා. ඒ මානසික මට්ටම අපේ දරුවාට ඇතිකළේ නැත්නම් දැඩි ආත්මාර්ථකාමි ලෝකයක දුක් විඳින මිනිසුන් ලෙස අපට පත්වීමට සිදුවෙනවා. ඒ නිසා විශේෂයෙන්ම ආගමික වශයෙන් දෙන්න පුළුවන් හැදියාව අප දියයුතු වෙනවා. ඒ හැදියාව තවත් කෙනෙක් කෙරෙහි හිතන්න පුදුරු කිරීම. මෙත් කරුණා ගුණ කියන්නේ එයට යි. අපේ මවුපියෝ වැඩිහිටියෝ සියලු දෙනාම ආගමික පැත්තට තැනක් නොදී වැඩ කටයුතු කරන තුරු අපට කටුක ප්‍රතිඵලයි ලැබෙන්නේ. හොඳ පුරවැසියෙක් ගොඩ නැඟුවේ නැත්නම් අප මොනවා කළත් එහි විපාක අප සියලුම දෙනාට මතු දවසක භුක්ති විඳින්නට සිදුවෙනවා. මුරණ්ඩු ආත්මාර්ථකාමි දරුවන් සමාජයට පිවිසීම නිසා ම මේ සමාජයේ ගැටුම් වැඩි යි. එය වළක්වන්න බැහැ. දරුවන් නො මග ගියාම අම්මා, තාත්තාටත් තාත්තා අම්මාටත් දොස් කියනවා. එවිට සියලුම දෙනා ප්‍රමාද යි.

නමුත් මෙයින් මිදුන පවුල් අප අතර ඉන්නවා. විවිධ රාජකාරි සඳහා උදේට නිවසින් පිට වන සාමාජිකයෝ රාත්‍රියේදී නැවත මුණ ගැහෙනවා. ඔවුන් රාත්‍රී කෑම මේසය දවසේ සිදුවීම් කියන්න කථාබහ කරන්න වෙන් කර ගන්නවා. අම්මා තාත්තා වගේම දරුවොත් එදා දවසේ සිදු වූ බොහෝ දේ විවෘතව කථා කරනවා. දරුවන්ට මවුපියන් දරුවන්ට ඔවදන් දෙනවා.තමාගේ නිවස පි‍්‍රය උපදවන ස්ථානයක් බවට පත් කරන්න මවුපියන් වෙහෙසෙනවා. එවිට දරුවාගේ මනස නිරෝගි වෙනවා. ඔවුන් ගුණ යහපත්ව කීකරුව හොඳින් අධ්‍යාපන කටයුතුත් කරනවා. ඒ වගේම දරුවන් සමඟ හැන්දෑවට බුද්ධ වන්දනාව සිදුකරන නිවෙස් මේ රටේ තවමත් තිබීම වාසනාවක්. නිවසේ සියලු දෙනාටම විවේකි කාලයක් තෝරාගෙන එකටම බුදුන් වැඳීම, පිරිත් කීම සිදුකරනවා. ඒ වගේම විවේකි වෙලාවට ගමේ පන්සලට යනවා. බුදුන් වඳිනවා. පන්සලේ හාමුදුරුවන් ඇසුරු කරනවා. පන්සලේ අඩුපාඩු සොයා බලනවා. මේ ආකාරට යම් රටාවකට සිදුවීම් සිදු වෙනවා. මේ වගේ් එදිනෙදා ජීවිතය තුළ යහපැවැත්මක් බෞද්ධ සමාජය තුළ තිබුණා. මේ දේවල් අපෙන් සොරා ගත්තේ නවීන තාක්ෂණය යි.

නයනා නිල්මිණි