යොවුන් සිත සහ
අපේ සංස්කෘතිය
අස්ගිරි මහා විහාරීය කාරක සංඝ සභික
මැදගම ධම්මානන්ද හිමි
බුදුරදුන් වැඩ සිටි සමයෙහි රජගහ නුවර ගිරි මුදුනක සැණකෙළියක්
පැවැත්වුණි. එය හැඳින්වුණේ ‘ගිරග්ග සමජ්ජ’ යනුවෙනි. කෝලිත සහ උපතිස්ස
යන තරුණයෝ දෙදිනක් එහි ගොස් විනෝද වූහ. මේ අයුරින් සැණකෙළි සිරි
විඳිමින් කාලය ගතකරනවාට වඩා ජීවිතයට සැනසීම ගෙන දෙන වැඩදායක දෙයකට
යොමුවීම වඩා සුදුසු යැයි තුන්වන දිනයෙහි ඔවුහු කල්පනා කළහ.ඒ අනුව
ජීවිතයේ සැබෑ සතුටක් සොයන්නට ඔවුහු තීරණය කළහ.
එක් දිනක් සංසුන්ව වඩින පැවිද්දකු උපතිස්ස තරුණයාට දකින්නට ලැබුණි.
එනම්, අස්සජි මහ තෙරණුවෝය. උන්වහන්සේ අසලට ගිය උපතිස්ස, සංසුන් ඉඳුරන්
ඇති ඔබගේ ගුරුවරයා කවුද? එතුමා දෙසන දහම කුමක් දැයි විමසූහ. මගේ
ගුරුවරයා වන්නේ භාග්‍යවතුන් වහන්සේයි. උන්වහන්සේ දෙසන දහම නම් යම්
දෙයක් හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගනියිද? එය හටගැනීම සඳහා වන හේතු
උන්වහන්සේ දේශනා කරති. ඒ හේතු නැතිකර දැමීමෙන් ජීවිතයේ සැනසීම ලබන
අයුරු පෙන්වා දෙති. (යේ ධම්මා හේතුප්පභවා තේසං හේතු තථාගතෝ ආහ තේසං ච
යෝ නිරෝධෝ ඒවං වාදි මහාසමණෝ) අස්සජි තෙරුණුවන් සැකෙවින් පැහැදිලි කළ එම
පටිච්ච සමුප්පාද ධර්මය ඇසීමෙන් පසු කෝලිත හා උපතිස්ස තරුණයෝ දෙදෙනා
සත්‍යාවබෝධය ලබා අර්හත්වයට පත්වූහ. සාරවත් නොවන දෙය, නිසරු දෙයක්
ලෙසත්, සාරවත් දෙය හරවත් දෙයක් ලෙසත් (සාරං ච සාරතෝ ඤත්වා , අසාරං ච
අසාරතෝ) තේරුම් ගත්හ. සැණකෙළි බිමේ විනෝද වෙමින් ගෙවූ නිසරු දිවි
පෙවෙතෙන් වෙන්ව සාරවත් මගකට යොමුවුණ ඒ තරුණයන් දෙදෙනා ඉන්පසු
හැඳින්වුණේ සැරියුත් හා මුගලන් අගසව් මහතෙරවරුන් වශයෙනි. කෝලිත හා
උපතිස්ස යන තරුණයන්ගේ සිතුම් පැතුම්වලට සම කළ හැකි චින්තන ශක්තියක්,
බුද්ධියක් අපේ සමාජයේ ජීවත්වන තරුණ තරුණියන් තුළින් බලාපොරොත්තු වීමට
නොහැකිය. තරුණ සිත් සතන් හැඩගැසීම සඳහා උචිත වාතාවරණය අපේ සමාජ
පරිසරයෙන් ක්‍රමයෙන් ඈත්වීම ද සමාජ ඛේදවාචකයකි. සමාජය තුළ ක්‍රියාත්මක
වෙමින් පවතින්නේ යෞවනයන්ගේ සිත් සතන් මුසපත් කරවන බලවේගයන්ය. ඒ පිළිබඳව
අවධානය යොමුකොට ඔවුන් යායුතු නිවැරැදි ගමන් මග තෝරාදීම ගිහිපැවිදි
සැමගේ වගකීමකි. යුරෝපයේ බොහෝ රටවල ජනයා පෙබරවාරි 14 වන දිනය වැලන්ටයින්
හෙවත් ආදරවන්තයන්ගේ දිනය ලෙස සමරති. වැලැන්ටයින් නමැති පූජකයකු
අනුස්මරණය කරමින් ඔවුහු සැණකෙළි පවත්වති.
පෙම්වතුන් හා පෙම්වතියන් අතර රෝස මල් හුවමාරු කරගැනීම, සුබපැතුම්, පත්
යැවීම, තෑගිබෝග පිරිනැමීම වැනි ක්‍රියාකාරකම් වැලැන්ටයින් දිනයේ
සිදුවෙයි. විවිධ ආගමික හා ජාතික උත්සව මුල් කරගෙන සමාජ සම්බන්ධතා
තහවුරු කරගැනීම යහපත් දෙයකි. මිනිසුන් අතර සමගිය හා සහජීවනය ඇතිකර
ගැනීමට එවැනි දේවල් ප්‍රයෝජනවත්ය. නමුත් වැලැන්ටයින් හෙවත්
ආදරවන්තයන්ගේ දිනය සමාජය කෙලෙසන පුද්ගලයන්ට ඒ සඳහා අවස්ථාව සලසන දිනයක්
ලෙසට පරිවර්තනය වී ඇත.
ගෝලීයකරණය නමින් සිදුවන්නේ බටහිර ලෝකයේ බලවත් රටවල පවතින හොඳ, නරක හැම
දෙයක්ම ලොව පුරා පැතිරවීමයි. හෙවත් බටහිර ලෝකයේ තිබෙන සියල්ලම සෙසු
රටවල පාරම්පරික සමාජයන්ට මිශ්‍ර කිරීමයි. එය ආගමික, සාමාජික හා
සංස්කෘතික සංහාරයකි. ආදරවන්තයන්ගේ දිනය ලොව පුරා පැතිරවීමද එයට සමගාමී
ක්‍රියාවකි. එවැනි ව්‍යාපෘතිවල ප්‍රතිඵලය වන්නේ කාමෝන්මාදයෙන් හැසිරෙන
පිරිසක් බිහිවීමයි. භද්‍ර යෞවනය යනු අනුරාගය පිබිදෙන ජීව විද්‍යාත්මක
හා ස්වභාවික සංසිද්ධියකි. හිරිමල් වියේ දරුදැරියන් කාමයෙන් මුසපත්
කරන්නට වෙර දරන පිරිසක් සිටිති. මලක් පිබිදෙන්නට පෙර එය බලයෙන් විකසිත
කරවීමක් වැනි දෙයකි. ආදරවන්තයන්ගේ දිනයේ තරුණ පරපුරට වින කරන එක්
බලවේගයක් නම් සංගීත සැණකෙළි පැවැත්වීමයි. සංගීතයෙන් ආශ්වාදයක් ලබාදීමේ
අරමුණින් නොව තම වෙළෙඳ ව්‍යාපාර දියුණු කරගැනීමේ උපායක් වශයෙන් විවිධ
දිනයන් මුල් කරගෙන ව්‍යාපාරිකයෝ සංගීත සැණකෙළි පවත්වති. යෞවනයන්ට සතුට
විනෝදය වුවමනා බව ඇත්තකි. සීමාවන් හඳුනාගෙන, ඒ සඳහා යොමුවීම වරදක්
නොවේ. නමුත් බොදු තරුණ පරපුර වැනසීමේ සංවිධානාත්මක සැලසුම්වලට ඔවුන්
ගොදුරු විය යුතු නොවේ.
සංගීත සැණකෙළියේ අසිරියෙන් යෞවනයෝ මුසපත් වෙති. ඒ අතරතුරේ තැනින් තැන
තරුණයන් මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි කරවන සැලැසුම් දියත් වෙයි. සැණකෙළි
භුමිවල රඟ දෙන යෞවනයන් මත්ද්‍රව්‍යවලින් මුසපත්ව සිටින බව කාටත් වැටහෙන
කරුණකි. ඇතැම් සංගීත සැණකෙළි පසුබිමේ බොහෝ කාන්තාවන්ගේ ජීවිත අනතුරට
ලක්වෙති. ගිහියන්ගේ කාමභෝග ජීවිතය බුදුදහමෙන් හෙළා දකින්නේ නැත.
ගිහියන් කම්සැප විඳිය යුතු පිළිවෙළක් බුදුරදුන් පෙන්වා දී ඇත.
ගිහියන්ගේ ඉන්ද්‍රිය සංවරය ගොඩ නැඟෙන්නේ පැවිද්දකුට වඩා ලිහිල් සීමාවන්
යටතේය. ඉඳුරන් පිනවන දේවල් තුළ ඇලී ගැලීමෙන් තොරව සදාචාරාත්මක සමාජ
පිළිගැනීම්වලට ගරුකරමින් ගිහියකු විසින් කම්සැප විඳිය යුතුය. එහි
අන්තයට යාම නැතිනම් ඇබ්බැහි වීම හොඳ නැත. තම් ක්‍රියාවන්හි සංවරශීලි
භාවය බෞද්ධ සමාජයේ ලක්ෂණයකි.
බටහිර සංස්කෘතියට හැඩගැසුණ රටවල විවාහ ජීවිතය ඉතා අවුල්ය. පෙරදිග රටවල
දෙමව්පියන් හා දරුවන් අතර පවතින බැඳීම හා ගෞරවය ඒ රටවල නොමැත. දික්කසාද
බහුලය. විවාහයෙන් නොබැඳී ගැහැනුන් පිරිමින් එකට ජීවත්වීම බටහිර රටවල
සිරිතයි. දරුවන් පිළිබඳ වගකීම ඉතා අඩුය.
අපේ රට තුළද එවැනි සමාජයක් බිහිවීම අනුමත කරන ඇතැම් පිරිසක් සිටිති.
එයින් සිදුවන්නේ අපේ සමාජයේ පැවැත්ම දෙදරා යාමයි. වැලන්ටයින් දිනය ගැන
පුන පුනා කියමින් තරුණ මනසට එය කාවැද්දීමෙන් අපේක්ෂා කරන්නේ බටහිර
සංස්කෘතියට අපේ බොදු සිරිත් විරිත් හා ජීවන රටාව යටකර දැමීමයි. එය
බුදුදහමට හා බෞද්ධ සංස්කෘතියට එරෙහි සැලැස්මකි. ජනමාධ්‍ය විසින් දැඩි
ලෙස උළුප්පනු ලබන ආදරවන්තයන්ගේ දිනයේදී තම තරුණ දියණිවරුන්
පෙම්වතුන්ගෙන් රැක ගැනීම දෙමව්පියන්ට අභියෝගයකි.
ස්ත්‍රීපුරුෂ දෙදෙනෙකු අතර ඇතිවන පේ‍්‍රමයට බුදුදහම අකුල් හෙළීමක් හෝ
වැටකඩොලු බැඳීමක් සිදුකර නොමැත. ජීවිතයේ දුක් දොම්නස් දුරුකරගන්නට
නිරතුරුව මඟ පෙන්වන බුදුදහම පේ‍්‍රමය නිසා දුක්ඛවේදනා විඳින්නට සිදුවන
බවට අනතුරුව හඟවයි. (පේමතෝ ජායතී සෝකෝ) බටහිර පන්නයට හැඩ ගැසුණ අපේ
රටේ නාගරික සමාජයේ ඇතැම් තරුණ තරුණියන් අතර ‘වැලන්ටයින් දිනය’
ප්‍රචලිත වුණත්, ගැමි සමාජය තුළ එය තවමත් පැතිරී නොමැත.
ඇතැම් මාධ්‍ය ආයතන එය ගම්බද තරුණ පිරිසට හුරු කරවන්නට දැඩි උත්සාහයක
යෙදෙයි. එසේ කරන්නේ ‘ඒ ඔස්සේ වෙළෙඳ රැල්ලක් නිර්මාණය කරගැනීමේ හා
සංස්කෘතික හර පද්ධතීන් වැනසීමේ අදහසිනි. සාමාන්‍ය විග්‍රහයට අනුව
ආදරය,පේ‍්‍රමය යනුවෙන් අදහස් කරන්නේ ගැහැනු හා පිරිමි දෙපිරිස යොවුන්
වියට පිවිසීමත් සමඟ එකනෙකා කෙරෙහි ඇතිකර ගන්නා බැඳීමයි. එය නොයෙක්
ස්වරූපයෙන් ඉස්මතු වෙයි.ලෞකික ජීවිතය හා බැඳුන පේ‍්‍රමය හෙළාදැකිය යුතු
දෙයක් නොවේ.
එසේ වුවද ශිෂ්ට යැ’යි සැලකෙන සමාජයන් විසින් පැනවුණ සම්මුතීන් විසින්
ප්‍රේමය පාලනය කරනු ලබයි. රටවල් අනුව එම සම්මුතීන්ගේ විවිධත්වයක් ද
පවතියි. මිනිසාගේ ශිෂ්ටත්වයේ ලකුණු ලෙස සැලකෙන කරුණු අතර ප්‍රධාන වන්නේ
ලිංගික සංයමය, විවාහය, ඇඳුම් ඇදීම, අන්‍යෝන්‍ය ගෞරවයෙන් මානව සබඳතා
පවත්වගෙන යාම ආදියයි. එහෙත් ඒ සියල්ල වෙනස් කොට ශිෂ්ටත්වයට පිටුපා
කටයුතු කරන්නට වෑයම් කරන පිරිසක් ලෝකයේ සිටිති.
ඔවුහු සමාජ සම්මතයන්ට පිටුපා නිදහස් පෙම් රැඟුම් හැසිරීම්,
සමූහ,පේ‍්‍රමය, වැනි හැසිරීම් රටාවන් වැලැන්ටයින් දිනයේ සමාජ ගත කරන්නට
උත්සාහ කරති. ශිෂ්ට ලෝකය එවැනි දේවල් අනුමත කරන්නේ නැත. ආසියාවට ආවේණික
සංස්කෘතික සම්ප්‍රදායක් ඇත. ශිෂ්ට යැයි පිළිගත් සිරිත් විරිත් සමුදායක්
ඇත. එය බිහිවුණේ අතීතයේ පෙරදිග බොහෝ රටවල පැතිර පැවතුණ බුදුදහම
ඇසුරෙනි. පෙරදිග වැසියන් වන ලාංකිකයන්ට ඒ පිළිබඳ විශාල උරුමයක් ඇත.
ඒ නිසා ලක්වැසියන් නිතරම ඒ ගැන අවබෝධයකින් හා අවධානයකින් යුතුව බෞද්ධ
චාරිත්‍ර ධර්ම ආරක්ෂාව සඳහා කටයුතු කළ යුතුය. |