Print this Article


ශ්‍රද්ධාවෙන් පිළිගෙන ප්‍රත්‍යක්ෂ කළයුතු දහම

ශ්‍රද්ධාවෙන් පිළිගෙන ප්‍රත්‍යක්ෂ කළයුතු දහම

සිය්හ සේනාධිපති කියන්නේ නිගන්ඨනාථපුත්තගේ ශ්‍රාවකයෙක්. ඔහු ලිච්චවි කුමාරයෙක්. දවසක් මේ සිය්හ සේනාධිපතිට අසන්නට ලැබුණා මේ විශාලා මහනුවර පුරා පැතිරී ගිය බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ. මොහුට සිතුණා බුදුරජාණන් වහන්සේ මුණ ගැසී සාකච්ඡාවක් කළ යුතුයි කියා.

ඉතින් මේ සේනාධිපති තමන්ගේ ශාස්තෘ වූ නිගන්ඨනාථපුත්ත හමුවී මේ පිළිබඳව කියා සිටියා. එවිට නිගන්ඨනාථපුත්ත කියනවා සිය්හ, ඔබ බුදුරජාණන් වහන්සේ ළඟට ගිය කවුරුවත් උන්වහන්සේ සරණ ගොස් නැවත ආවේ නැහැ. උන්වහන්සේට තිබෙනවා ආවර්තනීය මායාවක්. මිනිසුන් පැහැදෙන්නේ ධර්මයට නොවේ. ඔය මායාවට යි. එනිසා ඔබ යන්න එපා කිව්වා. නමුත් සිය්හ දෙවැනි තුන්වැනි වතාවටත් ඇසුවා. පිළිතුරු නැති නිසා ඔහු නො කියාම බුදුන් වහන්සේ මුණ ගැහෙන්නට ගියා. ගොස් ධර්මය සාකච්ඡා කර බුදුරජාණන් වහන්සේට පැහැදුනා.

ඒ කාලයේ සම්ප්‍රදායක් තිබුණා යම් කෙනෙක් යම් ශාස්තෘන් වහන්සේ නමකට පැහැදුනානම් ඒ සතුට ප්‍රකාශ කිරීමට දානයක් පූජා කරනවා. ඉතිං මේ සේනාධිපති කියනවා “ස්වාමිනි ඔබවහන්සේ ඇතුළු භික්ෂු පිරිස මගේ නිවසට දානයකට වඩින සේක්වා’’කියා. එවිට තථාගතයන් වහන්සේ වදාළා සිය්හ, ඔබ නිගන්ඨගේ ශ්‍රාවකයෙක්. එනිසා ඔබ දුන් ඒ දානයන් ඒ ආකාරයට දෙන්නයැයි වදාළා. මේ සේනාධිපති තව තවත් බුදුගුණ කෙරෙහි පැහැදී බුදු සසුනේ උපාසකයෙක් බවට පත්වුණා.

දිනක් මේ සේනාධිපති බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ඇවිත් අහනවා ස්වාමිනි, දානයේ සාන්දෘෂ්ඨික විපාක පෙන්වන්න පුළුවන්ද කියලා. සාන්දෘෂ්ඨික විපාක කියන්නේ මෙලොවදී ලැබෙන විපාක. එවිට තථාගතයන් වහන්සේ වදාළ ඔව්, සාන්දෘෂ්ඨික විපාක පෙන්වන්න පුළුවන්. ඒ යම් දානයක මෙලොවදී ලැබෙන විපාක හතරක් තිබෙනවා.

(1) දන් දෙන කෙනා සමාජයේ පි‍්‍රය මනාප පුද්ගලයෙක් වෙනවා,
(2) දන් දෙන්නාගේ ගුණ මහත් කීර්ති රාවයක් සේ පැතිරී යනවා,
(3) දන් දෙන්නා නිතර සද්්පුරුෂයන්ගේ් ඇසුරට පත්වෙනවා,
(4) දන් දෙන්නා විශාරදයන් වගේ සභාවක ඉදිරියට යනවා.

එසේ කරන්න පුළුවන්කම තිබෙන්නේ දානපතියෝ ලෙස දන් දෙනවානම් පමණ යි. මේ දන් දෙන පුද්ගලයන්ද වර්ග තුනක් ඉන්නවා. ඒ

(1) දාන දාස
(2) දාන සහායක
(3) දානපති යි.

දාන දාස තුළින් අදහස් දෙකක් තිබෙනවා. සමහරු දාසයන්ට දෙන ආකාරයට දන් දෙනවා. ඒ වගේම දාසයන් ලවාත් දන් දෙනවා. දානයකට ආරාධනා කරන්නෙත්, දානය උයන්නෙත් හාමුදුරුවන් වඩමවන්නෙත් හැම දෙයක්ම කරන්නේ සේවකයන් විසින්. මේ දෙ කොටසම දාන දාසයනට අයත්.

අනෙක් කොටස දාන සහායක. යාලුවන්ට කෑම දෙන ආකාරයට දන් දෙන අයට කියන්නේ දාන සහයක. ඒ වගේම තමන්ට දානයක් දීමට ශක්තියක් නැහැ. අනෙක් අය දෙන දානයට උදව් උපකාර කරනවා. දාන සහයක මේ දෙකොටසම අයත්.

ඒ වගේම දානපති කියන්නේ තමන් කනවටත් වඩා හොඳින් දන් දෙනවා. අපේ රටේ බොහෝ අය දන් දෙන්නේ මේ දානපතින් ලෙසින්. තමන් කනවට වඩා වඩාත් හොඳින් සකසා මහන්සියෙන් සියතින්ම දානය පූජා කර ගන්නවා. ඒ වගේම ක්‍රමානුකූ®ලව පිළිවෙලට දානය සකසනවා. දානයේ වටිනාකම දැනගෙන ශ්‍රද්ධාවෙන් දන් දෙනවා. එයා තමා දානපතියා. මේ ආකාරයට යමෙකුට දන් දෙන්න පුළුවන්නම් ඉහත කී මෙලොව දීම ලැබෙන විපාක හතරම එයාට ලැබෙනවා.

ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාළා පරලොව දී ලැබෙන එක් විපාකයක් තිබෙන බව. ඒ තමා දන් දුන් අය මියගිය පසු සුගතියේ ඉපදෙනවා කියා. එවිට සිය්හ සේනාධිපතියා බොහෝ වැදගත් ප්‍රකාශයක් කරනවා. ‘ස්වාමිනි ඔබවහන්සේ වදාළ මෙලොවදී ලැබෙන විපාක හතර මම ශ්‍රද්ධාවක් නැතුවම පිළි ගන්නවා. නමුත් අන්තිම එක මම පිළිගන්නේ ශ්‍රද්ධාවෙන්’ කියා කිව්වා.

එයට හේතුවක් තිබෙනවා. මේ සේනාධිපති පෙර සිට හොඳින් දන් දෙන කෙනෙක්. මුලින් කී කාරණා හතරම මෙලොවදීම ලැබෙනවා. ඔහු දන් දෙන කෙනෙක් නිසා ඔහුට මේ කී කාරණා මෙලොවදීම ලැබෙනවා. සිය්හ බුදුරජාණන් වහන්සේ වදාළා නිසා මේ කරුණු ශ්‍රද්ධාවෙන් පිළිගත්තා නොවේ. ප්‍රත්‍යක්ෂ අත්දැකීම් ඒ කරුණු සම්බන්ධව ඔහුට තිබෙනවා. මෙලොවදීම දන් දෙන කෙනෙක් නිසා මෙලොවදී දන් දීමේ ප්‍රතිවිපාක ඔහු අත් විඳිනවා. එය ප්‍රත්‍යක්ෂ යි. නමුත් මරණින් මතු සුගතියේ යන බව දන්නේ නැහැ. ඔහු ඒක පිළිගන්නේ ශ්‍රද්ධාවෙන්. එතැනදී ප්‍රත්‍යක්ෂය යි ශ්‍රද්ධාව යි අපි හොඳින් වටහා ගන්න ඕන.

දැන් නිවන් මගේ ගමන් කරන කෙනාට මේ ශ්‍රද්ධාවයි ප්‍රත්‍යක්ෂයයි දෙකම අවශ්‍ය යි. අප නිවන් මඟට ප්‍රවිෂ්ඨ වන්නේ ශ්‍රද්ධාවේ පිහිටල යි. ශ්‍රද්ධාව නිසා ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය කරන්න පෙළෙඹෙනවා. මේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය පාර කියන්නේ නිවනට යි. අපේ ශාස්තෘන් වහන්සේ නිවනට පාර මේකයි කියා වදාළා. අප උන්වහන්සේගේ නව අරහාදි බුදුගුණ දැනගෙන පෙන්වා වදාළ මේ නිවන් මාර්ගය මෙයයි කියා ශ්‍රද්ධාවෙන් පිළිගන්නවා. ඒ නිවන පිළිබඳව අපට අත්දැකීම් නැති නිසා, ප්‍රත්‍යක්ෂ නැති නිසා, ප්‍රත්‍යක්ෂ නො වන නිවන පිළිබඳ හෝ ප්‍රත්‍යක්ෂ නොවූ නිවන් මඟ පිළිබඳව හෝ අපට පිළිගන්නට වන්නේ ශ්‍රද්ධාවෙන්.

ඒ වගේම අප දැන් නිවන් මඟට ප්‍රවේශවෙලා ගමන් කරනවා. සම්මා දිට්ඨිය පදනම කරගෙන අප ඒ නිවන් මඟ ගමන් කරනවා. නිවන් මඟින් ගමන් කරද්දී අප දන්නවා හොඳ සිතිවිලි අවශ්‍ය යි. ඒ සිතිවිලි වලින් කියන කථා සම්මා වාචා. ඒ සිතිවිලි වලින් කරන ක්‍රියා සම්මා කම්මන්ත. හොඳ සිතිවිලි වලින් කරන ඇවතුම් සම්මා ආජීව. ඒවා අපට අත්දකින්න පුළුවන්. මගේ් හිත හොඳ වන තරමට මගේ කටින් පිටවන වචනය හොඳයි කියන දේ අපට ප්‍රත්‍යක්ෂ යි. නිවන් මග යනකොට ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ තිබෙන ගුණ ටික ටික ප්‍රත්‍යක්ෂ වෙනවා. පූර්ණ අවබෝධයක් නොවේ. නමුත් ටික ටික ප්‍රත්‍යක්ෂ වෙනවා. එසේ සම්මා සමාධිය දක්වාම දියුණු කර සම්මා විමුක්ති සම්මා විමුක්ති ඤාණ දර්ශන දක්වාම නුවණ ඇතිකර ගත්තාම නිවන් සුව සාක්ෂාත් කර ගන්න පුළුවන්. නිවන් සුව සාක්ෂාත් කරගත් පුද්ගලයාට නිවන් සුව ප්‍රත්‍යක්ෂ යි. එවිට ශ්‍රද්ධාව නැවත වුවමනා වන්නේ නැහැ. ශ්‍රද්ධාවෙන් කළයුතු දේ ඉෂ්ඨ කරගෙන අවසානයි.

මේ ධර්මය අප ශ්‍රද්ධාවෙන් පිළිගන්න ඕන. එසේ පිළිගත යුත්තේ මේ සංසාරය කියන ගඟ තරණය කරන්න යි. ඒ ගඟ තරණය කළාම එතැන තිබෙන්නේ නිවන යි. ඒ සංසාර ගඟ තරණය කරන්නා උපයෝගි කර ගන්නා පහුර තමා ධර්මය. ඒ ධර්මය උපයෝගි කරගෙන ගඟ තරණය කළ පසු ඒ පහුර කර තියාගෙන යන්නේ නැහැ වගේ නිවන් මඟ ගමන් කිරීමට අපට ශ්‍රද්ධාව අවශ්‍ය යි. ප්‍රත්‍යක්ෂය තුළින් ඇතිවන අවබෝධය වෙනස් වන්නේ නැහැ. ශ්‍රද්ධාව මත ඇතිවන දැනුම ඊට වඩා වෙනස්. වෙනත් ශ්‍රද්ධාවක් ඇතිවුණොත් අපේ ශ්‍රද්ධාව වෙනස් වෙන්න පුළුවන්. අපේ රටේ බොහෝ බෞද්ධයන් නිවන් මඟේ යන්නේ ප්‍රත්‍යක්ෂයෙන් නොවේ. දැනුමත් සමඟ යි. ප්‍රත්‍යක්ෂයත් සමඟ ගමන් කරන පුද්ගලයා තමා සිටින තැන දන්නවා. නමුත් ඔබෙන් ඇසුවොත් නිවන් මගේ ඔබ සිටින්නේ කොහිද? කියා එය බොහෝ අයට පිළිතුරක් දීමට නොහැකි යි. එයට හේතුව ප්‍රත්‍යක්ෂ වූ අවබෝධයක් නැති නිස යි.

උදාහරණයක් ලෙස යම් කෙනෙකු තව අයෙකුගෙන් නුවර යන්න පාර අහනවා. ඔහු කියා දෙනවා කිරිබත්ගොඩට යන්න, එතැනින් කඩවතට යන්න, කෑගල්ලට යන්න ආදි වශයෙන්. ඒ පාර කියා දුන් කෙනා කෙරෙහි විශ්වාසය ඇතුව අප පාරට ප්‍රවේශ වෙනවා. ප්‍රවේශ වෙලා ටික දුරක් යනවිට අප දකිනවා කිරිබත්ගොඩ බෝඩ්එක. ඒක දුටු ගමන් අර විශ්වාසය ප්‍රත්‍යක්ෂ වෙනවා. මම ඉන්නේ හරි පාරේ කියලා දැනුවත් වෙනවා. ඒ පාරේ යන්නේ සැක රහිතව යි. ටික දුරක් යනවිට කඩවත නගරය හමුවෙනවා. එය දැන් පාර කෙරෙහි අවධානයෙන් ප්‍රත්‍යක්ෂ දැනුමෙන් යන්නේ. ඒ නිසා ඔහු ඉන්න නගරය පැහැදිලිව දන්නවා. ඒ වගේ ප්‍රත්‍යක්ෂයත් සමග නිවන් මාර්ගයේ ගමන් කරන පුද්ගලයා සිටින තැන දන්නවා. ඔබ දැනුමත් සමඟ යනකොට තමා ඉන්න තැන ගැන අවබෝධයක් ඇතිවෙනවා. ප්‍රත්‍යක්ෂය ඇතිකර ගත යුත්තේ ශ්‍රද්ධාව පදනම් කරගෙනයි.

එ නිසා අප තේරුම් ගත යුතුයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපට හැම මොහොතේකම ප්‍රත්‍යක්ෂ කර ගන්න පුළුවන් දහමක් බව එයින් ප්‍රයෝජන ගැනීම ඔබ සතු වගකීමක් වෙනවා.

නයනා නිල්මිණි