Print this Article


තිදොර සංවරය

තිදොර සංවරය

මිහිරි සත්‍ය වචන කතා කළ යුතු බව බුද්ධ භාෂිතයයි. ‘ධම්මීවා කථා අරියොවා තුණ්හීභාවො’ යනුවෙන් දක්වනුයේ දැහැමි කතාවක් හෙවත් දෙලොව යහපත උදාකරන වචන පිට කිරීමට නොහැකි නම් නිශ්ශබ්දතාව ආරක්‍ෂා කිරීම උතුම් වන බවයි. ‘මිතභාණි’ අමෘතය වෑහෙන වචන කතා කළ යුතු බවත් තවත් වරෙක දක්වා තිබේ.

 

නමො තස්ස භගවතො අරහතො
සම්මා සම්බුද්ධස්ස
වාචානුරක්ඛි මනසා සුසංවුතො
කායෙන ච අකුසලං න කයිරා
එතෙ තයො කම්මපථෙ විසොධයෙ
ආරාධයෙ මග්ගං ඉසිප්පවෙදිතං

සැදැහැවත් පින්වතුනි,

බුදුපියාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනාකොට වදාළ ධර්මය දෙලොව හිතසුව පිණිස පවතින්නේය. එම සද්ධර්මය අසන, ප්‍රතිපත්තිගරුකව පිළිපදින කවරකුට වුවත් ශාන්තිය උදා කරගත හැකිය. උතුම් වූ එක ධර්ම පදයක් වුවද අසා දැනගෙන අවබෝධ කරගනියිද ඔහු උතුම් පුද්ගලයකු බව සඳහන් වේ.

‘එකං ධම්මපදං සෙය්‍යා කුසලෙන පිථියති’ යනුවෙන් දක්වනුයේ එයයි. එම නිසා ලොව සියලු රසයන් පරදවා ධර්ම රසය ජයගන්නා බව ධම්මපදයේ එන ‘සබ්බරසං ධම්මරසං ජිනාති’ යන ගාථා පාඨයෙන් ප්‍රකාශවේ. පින්වතුනි, අප ඉහතින් මාතෘකා කළ ගාථාව අඩංගු වන්නේ ධම්මපදය නමින් හඳුන්වන,අපේ බෞද්ධ පින්වතුන් හොඳින්ම දන්නා , බණ පොතේ. එහි මාර්ග වග්ගයේ ඇතුළත් මේ ගාථාවෙන් කියැවෙන්නේ කය, වචනය සහ සිත යන තුන්දොර රැකගත් තැනැත්තා ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙන බවයි.

මෙහි සඳහන් පළමුවන කරුණ නම් කය සංවර කර ගැනීමයි. කයෙන් වන අකුසල් ක්‍රියා නවතා ගැනීමයි. බලන්න, කයෙන් සිදුකරන, තමන්ටත්, අනුන්ටත් අයහපත් ක්‍රියා කොතරම් නම් දකින්න ලැබෙනවාද? සතුන්ගේ ජීවිත විනාශ කිරීම එනම් ප්‍රාණඝාතය ඒ අතර ප්‍රධාන ක්‍රියාවකි.

මෙලොව ජීවත්වන සත්වයෝ තමන්ගේ ජීවිතවලට බොහෝ ආදරය කරති. බුදුරදුන් පෙන්වා දෙන්නේ ‘අත්තානං උපමං කත්වා නහනෙය්‍ය න ඝාතයෙ’ යනුවෙන් තමන් උපමාවට ගනිමින් අනෙක් අය ඝාතනය කිරීමෙන් , දිවි තොර කිරීමෙන් වළකින ලෙසයි.සොරකම ද එලෙසමයි. සොරකම කරන කල තම භාණ්ඩ නැතිවීම නිසා අයිතිකරු දුකට , පීඩාවට, කනගාටුවට පත්වෙයි. එමෙන්ම කාමයෙහි වරදවා හැසිරීම ද කයෙන් සිදුවන අකුසල කර්මයකි. මේ පංචසීලයෙහි ඇති වැළැකිය යුතු යැයි දැක්වෙන කයෙන් සිදුවන අකුසල ක්‍රියාවන්ය.

කය පමණක් නොව වචනය ද සංවරකර ගත යුතු අංගයකි. අප සිදුකරන බොරු කීම්ද කේලම් නමින් හඳුන්වන තවකකු බිඳවන වදන් ද අර්ථයක් නොමැති හිස් වචන ද ඇසීමට අපහසු අමිහිරි පරුෂ වදන්ද පැවසීමෙන් වැළැකීම වචනය සංවර කර ගැනීමයි. වචනය ලොව සොඳුරුබව රැකීමට මෙන්ම අසුන්දර බවටද බලපායි.

මිහිරි සත්‍ය වචන කතා කළ යුතු බව බුද්ධ භාෂිතයයි. ‘ධම්මීවා කථා අරියොවා තුණ්හීභාවො යනුවෙන් දක්වනුයේ දැහැමි කතාවක් හෙවත් දෙලොව යහපත උදාකරන වචන පිට කිරීමට නොහැකි නම් නිශ්ශබ්දතාව ආරක්‍ෂා කිරීම උතුම් වන බවයි. ‘මිතභාණි’ අමෘතය වෑහෙන වචන කතා කළ යුතු බවත් තවත් වරෙක දක්වා තිබේ. කය, වචනය සංවර කරගත්තද වඩාත් අපහසුම කරුණ නම් සිත සංවර කරගැනීමය. එය එතරම්ම දුෂ්කර කාර්යයකි. බුදුරදුන්ගේ සමස්ත දේශනාවෙන්ම කියැවෙන්නේ අකුසල ධර්මයන්ට ඉඩ නොදී කුසල සිතුවිලි වර්ධනය කරගන්නා ආකාරයයි.

පින්වතුනි, අපේ සිතට ගලා එන ලෝභය, ද්වේෂය ,මෝහය ආදි වු අප්‍රමාණ අකුසල සිතිවිලිවලින් සිත ආරක්ෂා කරගැනීම සිදුකළ යුතුයි. එලෙසින් යමකු සිත සංවර කරගන්නේ නම් ඔහු මාරයාගේ බැම්මෙන් නිදහස් වන බව ‘යෙ චිත්තං සඤ්ඤමෙස්සන්ති මාරධ්‍යෙයං පහාතවේ.’ යන ධම්මපදයේ එන ගාථා පාඨයෙන් ප්‍රකාශ වේ. මේ අනුව, බුදුරදුන් පෙන්වා දුන් ආකාරයට කය, වචනය හා සිත සංවර කරගැනීම යහපත පිණිස පවතියි.

එනම් බුදු, පසේබුදු, මහරහතන් වහන්සේ නිවී සැනසුනා වු ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් සැනසීම ලබන බවයි.

මේ අනුව බුද්ධ භාෂිතයක් වන,

කායෙන සංවරො සාධු
සාධු වාචාය සංවරො
මනසාය සංවරො සාධු
සාධු සබ්බත්ත සංවරො

යනාදී වශයෙන් වන ගාථාවෙන් ප්‍රකාශ වන කයෙන් සංවර වීම, වචනයෙන් සංවර වීම, හා මනැසින් සංවරවීම ආදි ලෙස සියලු තැන්හිම සංවර වීම, හීලෑ ස්වභාවයට පත්වීම යහපත් වන්නේය.

පින්වතුනි, ඉහත මුලින් සඳහන් කළ මේ ගාථාව බුදුපියාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණේ රජගහ නුවර ගිජිකුළු පර්වතයේ සිට ලක්ඛණ මහරහතන් වහන්සේ සමග මොග්ගල්ලාන මහරහතන් වහන්සේ වඩින විට දකින්නට ලැබුණු සූකර පේ‍්‍රතයාගේ කතා වස්තුව පැහැදිලි කිරීම සඳහාය. මොහු ගවුතුනක් පමණ උස ඇති, ඌරු හිසක් සහිත, මිනිස් සිරුරක් ඇති පේ‍්‍රතයෙකි. බුදුරදුන් මොහුගේ අතීත කතා පුවත විස්තර කරනුයේ මෙසේය.

මේ පේ‍්‍රතයා කස්සප බුදුන් සමයේ භික්ෂුවක් වී වියත් ධර්ම දේශකයෙක් වශයෙන් විසීය. එක්තරා පන්සලකට ගියවිට එහි වැඩසිටි තෙරවරුන් දෙදෙනා ආගන්තුක වත් පිළිවෙත් සිදුකොට උපස්ථාන කළහ. දායක පිරිසට ද හඳුන්වා දී පහසුකම් සැලසූහ.මේ ආගන්තුක තෙරුන් එයට ලෝභ සිත් ඇතිකරගෙන මෙම විහාරයේ වාසය කරන තෙරුන් වහන්සේ දෙනම බිඳවීමට කේලම් බස් කීයේය. දායකයන්ටද විවිධ බොරු වැරැදි ප්‍රකාශ කොට දෙනම විහාරයෙන් පිටමන් කෙරිණි. එහි ප්‍රතිවිපාක වශයෙන් සූකර පේ‍්‍රතව උපත ලද බව දේශනා කරන ලදී. එම නිසා සිත, කය, වචනය සංවර කරගත යුතු බවත් එවිට නිවන් මඟ පෑදෙන බවත් දේශනා කරන ලදී.

එබැවින් අප සියලු දෙනාම සිත,කය, වචනය සංවර කර ගැනීමට උත්සාහවත් විය යුතුයි. එමඟින් අරිඅටඟි මඟට පිළිපන් බොදුනුවකු ලෙසින් ශාන්ත වූ නිවන් සුව සාධනයට මඟ උදාවෙයි.ඒ සඳහා අපි සියලු දෙනාම අප්‍රමාදීව කටයුතු කරන්නට අදිටන් කරගනිමු.

තෙරුවන් සරණයි !