Print this Article


සිය වස සපිරෙන බෙල්ලන ශ්‍රී ධර්මපාල පිරිවෙන

සිය වස සපිරෙන බෙල්ලන ශ්‍රී ධර්මපාල පිරිවෙන

සියවස් සැමරුම් උත්සවය

බෙල්ලන ශ්‍රී ධර්මපාල පිරිවෙන පිහිටුවා වසර සියයක් සම්පූර්ණවීම නිමිත්තෙන් පැවැත්වෙන සැමරුම් උත්සවය කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහා නායක අග්ගමහා පණ්ඩිත බෙල්ලන ශ්‍රී ඤාණවිමල මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන් මෙම මස 17 වෙනි දා පස්වරු 4 ට පැවැත්වීමට නියමිතය.


මහා මහේන්ද්‍ර මහරහතන් වහන්සේ සම්බුදුදහම ලක්දිවට හඳුන්වා දුන් පසු ධර්මය ප්‍රචලිත කිරීම, ව්‍යාප්ත කිරීම හා මැනවින් හදාරමින් ආරක්‍ෂා කර ගැනීමේ භාරදූර වගකීම පැවරුණේ ලාංකික බෞද්ධ භික්‍ෂූන් වහන්සේලාට ය. එනිසාම මහාවිහාරය කේන්ද්‍රකරගත් විධිමත් භික්‍ෂු අධ්‍යාපනයක් ආරම්භ විය.

අනුරාධපුර, පොළොන්නරු, කෝට්ටේ යුගවලදී ඉතා දියුණුව පැවැති භික්‍ෂු අධ්‍යාපනය මහනුවර යුගය වන විට යම් පරිහානී තත්ත්වයට පත් වූයෙන් එය නැවත පණගන්වන ලද්දේ පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර සංඝරාජ මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ විසිනි. උන්වහන්සේ ඇති කළ දහම් ආලෝකයේ සුවිශේෂී ප්‍රතිඵලයක් ලෙස විද්‍යෝදය හා විද්‍යාලංකාර මහ පිරිවෙන් ආරම්භ වූ අතර එහි ශාඛා, ප්‍රශාඛා ලක්දිව විවිධ ප්‍රදේශවල ව්‍යාප්ත වූයෙන් භික්‍ෂු අධ්‍යාපනයට පුනර් ජීවයක් ලැබුණි. බෙල්ලන ශ්‍රී ධර්මපාල මහ පිරිවෙන ද ඒ අතරට ගැනෙන ප්‍රකට අධ්‍යාපන ආයතනයකි.

අති ගෞරවාස්පද රන්තොටුවිල ශ්‍රී සෝභිත මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ 1914 ජනවාරි මස 01 වන දින පැවිදි සිසුන් හතර දෙනෙකුගෙන් බෙල්ලන පිරිවෙන ආරම්භ කළහ. එවකට පැවැති සීමිත පහසුකම් හා සමාජ තත්ත්වය අනුව පිරිවෙණ පවත්වාගෙන යෑම සඳහා අප්‍රමාණ කැපකිරීම් කිරීමට උන්වහන්සේට සිදු වීය. රටේ පැවැති කැරැලි කෝළාහල හමුවේ පවා ශිෂ්‍යයන් පැවිදිකරමින් පිරිවෙන පවත්වාගෙන යාමට තරම් උන්වහන්සේ ධෛර්යමත් වූහ.

බෙල්ලන පිරිවෙන දෙස් විදෙස්හි පතළ කීර්තිය ඇති ප්‍රකට විද්‍යස්ථානයක් බවට පත්වන්නේ 1951 වර්ෂයෙන් පසුවය. ඒ වර්තමානයේ කෝට්ටේ ශ්‍රී කලාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක, අග්ගමහා පණ්ඩිත, රාජකීය, පණ්ඩිත, ආචාර්ය අතිගෞරවාස්පද බෙල්ලන ශ්‍රී ඤාණවිමල මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ පරිවෙණාධිපති ධුරයට පත් වීමෙන් අනතුරුවය. උන්වහන්සේ සතු උපායශීලීත්වයත්, දක්‍ෂ පරිපාලන ක්‍රමෝපායනුත්, භාෂා විශාරදත්වයත් ඒ සඳහා හේතු වන්නට ඇතැයි සිතමි. පැවිදි සහෝදර පිරිස අතර පැවැති අන්‍යෝන්‍ය බැඳීම, සුහදත්වය හා අවබෝධය පිරිවෙනේ දියුණුවට තදින් බලපෑ බව සත්‍යයකි. විහාරාධිපති ලෙස කටයුතු කළ අතිගරු ගිගුම්මඩුවේ පුඤ්ඤානන්ද මාහිමිපාණන් වහන්සේත්, කෘත්‍යාධිකාරී ආභිධම්මිකාචාර්ය අතිගරු ඕමත්තේ සිරිරතන මාහිමිපාණන් වහන්සේත් ආගමික අංශය භාරව ක්‍රියා කළ අතිගරු කිතුල්ගොඩ වජිරඥාන නාහිමිපාණන් වහන්සේත් පිරිවෙනේ දියුණුව වෙනුවෙන් බොහෝ කැපකිරීම් කළහ.

අතිගරු බෙල්ලන ශ්‍රී ඤාණවිමල මහනාහිමිපාණන් වහන්සේ විශ්‍රාම ගැනීමෙන් අනතුරුව පරිවෙණාධිපති ධුරයට පත් අතිගරු මාලේවන පුඤ්ඤරතන නාහිමිපාණන් වහන්සේ නව ලොවට ගැළපෙන අයුරින් සම්ප්‍රදායට හානියක් නොවනසේ නවාංග එකතුකරමින් වර්තමාන දියුණුව කරා පැමිණවූහ. වර්තමානයේ කෘත්‍යාධිකාරී ධුරය දරමින් පිරවෙනේ අභිවෘද්ධිය වෙනුවෙන් අප්‍රතිහත ධෛර්යයෙන් ක්‍රියා කරති.

බෙල්ලන පිරිවෙනට ඇතුළුවන කුඩා සාමණේරයන් වහන්සේ වර්ෂ 09 ක් තුළ පළමු වසරේ සිට ප්‍රාචීන පණ්ඩිත උපාධිය දක්වා අධ්‍යාපනය ලබති. ලිවීම්, කියවීම බණදහම් ඉගෙනීම් පමණක් නොව භික්‍ෂුවකට අදාළ විනයත්, ශික්‍ෂණයත්, ආචාරශීලී බවත් කෙරෙහි වැඩි අවධානයක් මේ කාලය තුළ යොමු වේ. උදෑසන අවදිවීමේ සිට රාත්‍රි නින්දට යනතුරු මළුපෙත් මං ඇමදීම්, වත පිරිත දේශනා කිරීම, කටපාඩම් දීම්, කටපාඩම් කිරීම, බණ පිරිත් පුහුණුවීම ආදී කටයුතුවල නිරත කරවමින් මනා පෞරුෂයක් හා හැකියාවක් ඇති භික්‍ෂුවක් ලෙස සමාජ මෙහෙවරට සුදුසු තත්ත්වයට ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා නිර්මාණය කරති. ‘සුපේශල භික්‍ෂුව සුපරිශුද්ධ පූජ්‍ය වස්තුවකි’ යන පිරිවෙනේ තේමා පාඨය සඵල කරගනු වස් කෘත්‍යාධිකාරී නාහිමිපාණන් වහන්සේ සමඟ ආචාර්ය මණ්ඩලය දිවා රාත්‍රි කැප වෙති. වෙහෙසෙති.

එදා මෙදාතුර පරිවෙණාධිපතීන් වහන්සේලා ලෙස සිව්නමක් කටයුතු කළහ.


බෙල්ලන
ශ්‍රී ඤාණවිමල මහා නා හිමි

1. අතිගරු රත්තොටුවිල ශ්‍රී සෝභිත මහාස්වාමීන්ද්‍රයාණන් වහන්සේ,

2. අතිගරු ඕමත්තේ විමලවංස මාහිමිපාණන් වහන්සේ,

3. අග්ගමහා පණ්ඩිත අතිගරු බෙල්ලන ශ්‍රී ඤාණවිමල මහානාහිමිපාණන් වහන්සේ,

4. අතිගරු මාලේවන පුඤ්ඤරතන නාහිමිපාණන් වහන්සේ වර්තමාන පරිවෙණාධිපති ලෙස රාජකීය පණ්ඩිත බෝපිටියේ ධම්මවංස හිමියෝ කටයුතු කරති.

බෙල්ලන පිරිවෙන් සියලු පරිපාලන කටයුතු සිදුකෙරෙන්නේ භාරකාර මණ්ඩලයක් වෙතිනි. එහි සාමාජික සංඛ්‍යාව සිව් දෙනෙකි.

01. ගරු සභාපති,
අග්ගමහා පණ්ඩිත
අතිගරු බෙල්ලන ශ්‍රී ඤාණවිමල මහ නා හිමි.

02. ගරු ලේකම්
අතිගරු මාලේවන පුඤ්ඤරතන නා හිමි

03. අතිගරු කඹුරාවල රතනපාල නා හිමි

04. ගරු භාණ්ඩාගාරික
පී.කේ. කරුණාරත්න මහතා

වසර සියයක් තුළ පිරිවෙනෙන් අධ්‍යාපනය ලබා සමාජයේ විවිධ තනතුරු දරමින් ලෝකාර්ථචර්යාවේ යෙදෙන ගිහි, පැවිදි පිරිස බොහෝ වෙති. ඒ අතර චරිත කිහිපයක් මෙහිලා සඳහන් කරමි.

1. අග්ගමහා පණ්ඩිත, රාජකීය පණ්ඩිත, සාහිත්‍යශූරී ආචාර්ය බෙල්ලන ශ්‍රී ඤාණවිමල මහ නා හිමි.

2. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කිවුලේගෙදර නාරද මා හිමි

3. මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක, ස්කොට්ලන්ත බෞද්ධ විහාරාධිපති, රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති කඹුරාවල සිරි රේවත නා හිමි.

4. ජනාධිපති රාජ්‍ය සාහිත්‍ය සම්මානලාභි බටුවන්ගල රාහුල හිමි.

වසර සියයක් තුළ පැමිණි ගමන් මගේදී ලද ජයග්‍රහණ ද බොහෝ ය. ලොවට අවැසි ගුණ නුවණින් පිරි සද්පුරුෂ බුද්ධිමත් පිරිසක් බිහි කිරීම ඉන් පළමුවැන්නයි. ඊට අමතරව අන්තර් පාරිවේණික භාෂා හා සාහිත්‍ය සමස්ත ලංකා තරගාවලියේ සුවිශේෂී ස්ථානයක් සනිටුහන් කිරීම මෙන්ම ප්‍රාචීන විභාගවලින් ඉහළ ප්‍රතිඵල ලබා ගැනීම වැඩි ශිෂ්‍ය සංඛ්‍යාවක් විශ්වවිද්‍යාලයට තේරී පත්වීම සෑම වසරකම කැපී පෙනෙන්නකි. බෝධි පූජා, බණ, පිරිත් ආදී දේශන කුසලතාවන්ගෙන් පරිපූර්ණ විශාල පිරිසක් බිහිවීම ද සොම්නසට කරුණකි.

පැවිදි අධ්‍යාපනය මෙන්ම ගිහි අධ්‍යාපනය කෙරෙහි ද වැඩි අවධානයක් යොමු වේ. 06 වසරේ සිට අ.පො.ස උසස් පෙළ දක්වා පන්ති පැවැත්වෙන අතර කලා, වාණිජ දෙඅංශයෙන්ම අ.පො.ස. උසස් පෙළ පන්ති පැවැත්වේ. ඒ වෙනුවෙන් ගිහි ආචාර්ය මණ්ඩලය ද කැපවීමෙන් කටයුතු කරති.

වසර සියයක් පුරා ප්‍රත්‍ය පහසුකම් සපයමින් ඇප කැපවී ක්‍රියා කරන දායක පිරිස ද කෘතවේදීව සිහිපත් කළ යුතු ය. ඔවුහු මහා පුණ්‍යවන්තයෝ ය. ගුණවන්තයෝ ය. සැබවින්ම සද්පුරුෂයෝ ය.

බෙල්ලන පිරිවෙන තවත් බොහෝ කලක් බෞද්ධ අධ්‍යාපනය වෙනුවෙන් මාහැඟි මෙහෙවරක් ඉටු කරනු දැකීම අපගේ ඒකායන අපේක්‍ෂාවයි. ප්‍රාර්ථනයයි.

“චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මා සම්බුද්ධ සාසනං”

(බුදුසසුන බොහෝකල් පවතීවා)