මහා නායක පදවියෙන් පිදුම් ලැබූ
ශ්වේජින් නිකාය
ජනක වෙත්තසිංහ
රේරුකානේ චන්දවිමල මහා නා හිමි නාමයට මහා නායක නම එකතු වන්නේ උන්වහන්සේ
ශ්වේජින් නිකායේ මහානායක වශයෙන් පිදුම් ලැබූ මොහොතේ සිටය.
අත්‍යන්තයෙන්ම මහා නා හිමි යන ගෞරවනීය තත්ත්වය ආභරණයක් වී බැබළුනේ නම්
එසේ වූයේ මෙවැනි උත්තම සංඝ පීතෘවරුන් නිසා ය. ‘ශ්වේජින්’ යනු බුරුම රටේ
ග්‍රාම නාමයකි. එම ග්‍රාමයේ උපත ලද ජාගර නම් භික්‍ෂූන් වහන්සේගේ
මූලිකත්වයෙන් මෙම නිකාය බිහි විය.
මිහිඳු මහ රහතන් වහන්සේ සද්ධර්මයේ සංදේශය රැගෙන ලක්බිමට සපැමිණෙන විට
සෝන සහ උත්තර යන මහරහතන් වහන්සේලා මුම්ම දේශයේ කොටසක් වන ස්වර්ණභූමියට
වැඩම කොට එහි බුදුසසුන පිහිටුවූහ. එම පෙදෙසට රාමඤ්ඤ රට යැයි ද කියනු
ලැබේ. පහත රට බුරුමයේ රාමඤ්ඤ රට පිහිටු වූ බුදුසසුන කාලයත් සමඟ
ක්‍රමයෙන් පිරිහෙන්නට විය. සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර දෙදහස් දෙසීයක්
ගත වන විට එහි උපසම්පදාවක් නැති වී ගිය තරම් පිරිහීම උත්සන්න විය.
ඒ කාලයේ ත්‍රිපිටක ධර්මයේ නිපුණත්වයක් ඇති ශ්‍රද්ධා බුද්ධිසම්පන්න
රජවරයෙක් වූ ‘රාමාධිපති’ රජතුමා රට පාලනය කළේ ය. මෙම රජතුමා ශාසන
පරිහානිය පිළිබඳව දැඩි කම්පාවෙන් නැවත නිර්මල බුද්ධ ශාසනය ඇති කිරීමට
උත්සුක විය. ඒ සඳහා උපසපන් භික්‍ෂූන් වහන්සේ අවශ්‍යය.
මෙයට සුදුසුම රට ශ්‍රී ලංකාව බව දැනගත් රාමාධිපති රජතුමා ශ්‍රී ලංකාව
වෙත එහි භික්‍ෂූන් 48 නමක් නැව් දෙකක නංවා අප මාතෘභූමිය වෙත එවන ලදී.
මේ වකවානුවේ ශ්‍රී ලංකාවේ මහා විහාර පරම්පරාවේ සංඝයා අතර නිර්මල
උපසම්පදාව පැවැතුණු බව රජතුමා දැනගෙන තිබුණි.
එකල ශ්‍රී ජයවර්ධනපුරයේ රජකම් කළේ බුවනෙකබාහු නම් රජ කෙනෙකි. රජතුමාගේ
ද අනුග්‍රහයෙන් කල්‍යාණ නදියේ උදකුක්ඛේප සීමාවකදී මහා විහාර
පරම්පරානුයාත නිර්මල පැවිද්ද හා උපසම්පදාව උන්වහන්සේලා ලබා ගත්හ.
මෙම උපම්පදාව ලද භික්‍ෂූන් වහන්සේලා බුරුම රටට පෙරළා වැඩියහ. රාමාධිපති
රජතුමා උන්වහන්සේලා ලවා කල්‍යාණි සීමා නමින් සීමාවක් සම්මත කරවා එහිදී
එරට විසූ සියලුම භික්‍ෂූන්ට මහාවිහාර පරම්පරානුයාත නිර්මල උපසම්පදාව
ලබා දුන්හ. එහිදී කලින් පැවැති සෝනුත්තර සංඝ පරම්පරාව කෙළවර වී
මහාවිහාර පරම්පරාව ජනිත විය. පසුව මෙම මහා විහාර පරම්පරාවද ක්‍රමයෙන්
පිරිහෙන්නට පටන් ගත්තේ ය.
මේ නිසා ඉමහත් සංවේගයට පත් එක් භික්‍ෂූන් වහන්සේ නමක් දුශ්ශීල
භික්‍ෂූන්ගෙන් ඈත් වී ශික්‍ෂාකාමී භික්‍ෂු පිරිසක් ඇතිකරගෙන තමාට
සුදුසු වූ ප්‍රත්‍යන්ත ප්‍රදේශයක වැඩ වාසය කිරීමට පිටත් විය. එම
භික්‍ෂූන් වහන්සේ වූයේ අප ඉහතින් සඳහන් කළ ‘ජාගර’ හිමියන් ය.
උන්වහන්සේගේ උපන් ගම ශ්වේජින් වූ නිසා බුරුම රටේ දී ප්‍රසිද්ධ වූයේ
ශ්වේජින් ශයාඩෝ යන නාමයෙනි.
ජාගරාභිධජ සද්ධම්මවංස ධම්මසේනාපති අතුලාධිපති සිරි පවර මහා ධම්ම
රාජාධිරාජගුරු මා හිමිපාණන් වහන්සේ නමින් මේ දිගු ගෞරව නාමය උන්වහන්සේට
ප්‍රදානය කරන ලද්දේ ‘මෙන්ඩුන්’ නමැති රජතුමාගේ යුගයේ දී ය. මෙන්ඩුන්
රජතුමා පස්වන ධර්ම සංඝායනාව කරවා ත්‍රිපිටක ධර්මය සුදුගල් පුවරුවක
කොටවා පුණ්‍යකර්ම රාශියකට අනුග්‍රහය දැක් වූ රජතුමෙකි. මෙන්ඩුන් රජතුමා
කුමර කාලයේ දී පටන් ජාගර හිමියන් හඳුනාගෙන සිටියේ ය.
එතුමා ‘මණ්ඩලේ’ යන නමින් අභිනව නගරයක් කරවා එහි වෙසෙන කාලයේ දී ජාගර
හිමියන් ‘මණ්ඩලේට’ කැඳවා සිය රටේ ශාසන සංශෝධන කිරීමේ අදහසින් ‘මණ්ඩලේ’
පර්වතයට උතුරු දිග් භාගයේ අභිනව සංඝාරම පහක් ඉදිකරවා ඒවා පූජා කොට
අනෙක් භික්‍ෂූන් වහන්සේ ද සමඟ ජාගර හිමියන් එහි නවතා ගන්නා ලදී.
උන්වහන්සේ වගන්ති 20 කින් යුත් ධර්මාවාද ලේඛනයක් පිළියෙළ කර ඒ අනුව ඒ
ආරාම පාලනය කළහ. උන්වහන්සේගේ පාලන කාලයේ විශිෂ්ටත්වය නිසා ඒ ආරාමයන්හි
වෙසෙන භික්‍ෂුහු පර්යප්ති ප්‍රතිපත්ති දෙකින්ම දියුණුවට පත් විය. ජාගර
මා හිමියන්ගේ පිරිසෙහි රාජගුරු නම් පූජනීය තනතුර ලැබූ භික්‍ෂූන් වහන්සේ
විසි එක් නමක් බිහිවීමෙන් ඒ සංඝ සමාජය තුළ වූ සුවිශේෂී තත්ත්වය මොනවට
පැහැදිලි වෙයි.
මෙම තත්ත්වය, වටා පිටාව තුළ ජාගර හිමියන් උසස් සංඝපීතෘන් වහන්සේ නමක්
වශයෙන් කීර්තියට පත් වූහ. එසේම වෙනත් විහාරස්ථානයන් හි විසූ භික්‍ෂූන්
වහන්සේ ජාගර හිමියන්ගේ සංඝ සමාජය සමඟ එකතු වූහ. ටික කලෙකින් ජාගර
හිමියන්ගේ සංඝ සමාජය දහසකගෙන් පමණ ක්‍රමයෙන් ව්‍යාප්ත වන්නට පටන් ගත්තේ
ය.
අලුත් නිකායක් ඇති කිරීමේ අදහසක් රජතුමාගේ මෙන්ම ජාගර හිමියන්ගේ හිත
තුළ නො පැවතුණි. එහෙත් කාය. වාග් සංවරය හා ශික්‍ෂා ගරුත්වය නිසා ජාගර
හිමියන් මෙන්ම එම සංඝ සමාජය රටේ කැපී පෙනෙන ගෞරවනීය පිරිසක් බවට පත්
විය. ඒ නිසා රට වැසියෝ නිරායාසයෙන් එම භික්‍ෂූ පිරිස ශ්වේජින් ශයාඩෝ යන
ජාගර හිමියන්ගේ නාමය ද පෙරටුකර ගනිමින් නිකායක් වශයෙන් හැඳින්වීමට
පුරුදු විය.
එම නිකායේ ‘ශ්වේජින් නිකාය’ වශයෙන් එසේ නම් වූයේ නිරුත්සාහයෙනි. මෙම
ශ්වේජින් නිකායට රජතුමා විසින් හෝ සංඝ සමාජය විසින් නායකයකු ද පත් කර
නො තිබිණි. එහෙත් රජතුමා ද සංඝයා වහන්සේ මෙන්ම සෙසු අය ද මෙහි නායකයා
වශයෙන් ජාගර හිමියන් පිළිගෙන තිබුණි.
නිල වශයෙන් එසේ තනතුරු නොදුන්නාට ජන හදවත් මතින් මෙසේ නිරුත්සාහයෙන්
ගොඩනැගුණු ශ්වේජින් නිකායත් එහි මහා නා හිමි පදවියත් ඉතා සුවිශේෂී
වන්නේ ය. එය එසේ වන්නේ කුදු මහත් මිනිසුන්ගේ ආත්මීය බැඳීමෙන් මෙම
නිකායේ තනතුරු ප්‍රදානයක් සිදුවීමය.
ජාගර හිමියන් අපවත් වීමෙන් පසුව නාම මාත්‍ර වූ ශ්වේජින් නිකාය
ඉදිරියටත් පවත්වාගෙන යා යුතු බැවින් සංඝයා වහන්සේ විසින් නිකායේ මහා
නායක ධූරයට විසුද්ධාචාර ධජාධිපති පවරමහාධම්ම රාජාධිරාජගුරු මහා
ස්ථවිරයාණන් වහන්සේ පත්කර ගන්නා ලදී. උන්වහන්සේ ත්‍රිපිටක ධර්මය පිළිබඳ
උසස් දැනුමක් ලද මහා පඬිරුවනකි. ග්‍රන්ථ සම්පාදකවරයෙකි. ඉංගී‍්‍රසි
ආණ්ඩුවෙන් මහා නා හිමියන් වෙත අග්ගමහා පණ්ඩිත තනතුර ද ප්‍රදානය කරන
ලදී.
පෙරදා පැවැති ජාගර හිමියන්ගේ ධර්මාවවාද ලිපියෙන් නිකාය පාලනය කිරීමට
හැකි වුවද , මෙය තවත් ක්‍රමානුකූලව පවත්වාගෙන යාමේ අරමුණින් මහා නා
හිමි ඇතුළු අනෙකුත් භික්‍ෂූන් වහන්සේගේ අනුමැතියෙන් වගන්ති තිහකින්
සමන්විත නීති මාලාවක් හෙවත් කතිකාවතක් පිළියෙළ කරන ලදහ. දැනට ශ්වේජින්
නිකායේ පාලනය සිදු කෙරෙන්නේ එම කතිකාවතට අනුකූලවය. මෙසේ ශ්වේජින්
නිකාගේ දියුණුව පැතිර ගියේ විශුද්ධාචාර මහා නා හිමියන්ගේ කාලයේ ය.
එය දැනට සියම සහ ශ්‍රී ලංකාව යන දෙරට තුළට පැමිණ ඇත්තේ ය. මේ අනුව
ශ්වේජින් නිකායේ භික්‍ෂු සමාජය බුරුමයේ පහළොස් දහසක පමණ පිරිසකගෙන්
සමන්විතය. විහාරස්ථාන දෙදහසක් පමණ ඇත්තේ ය. එසේ ව්‍යාප්ත වූ ශවේජින්
නිකායේ උපාධිධාරී බොහෝ පණ්ඩිත භික්‍ෂූහු ඇත්තාහ.
බොහෝ ග්‍රන්ථ කර්තෘවරුන් කර්මස්ථානාචාර්යවරුන් යෝගීන්, ආරණ්‍යකයන්
ධුතංගධාරීන් මෙම නිකාය වර්ණවත් කර තිබෙයි. එසේම භාවනා ක්‍රම පිළිබඳව
ග්‍රන්ථ රාශියක් සම්පාදනය කළා වූ සතිපට්ඨාන භාවනාව දියත පුරා ව්‍යාප්ත
කළා වූ මහා කර්මස්ථානාචාර්ය අග්ගමහා පණ්ඩිත මහා සී සයාඩෝ භදන්ත සෝභන
මහා ස්වාමීන් වහන්සේ ද ශ්වේජින් නිකායේ මහා තෙර නමකි. ශ්වේජින් නිකායේ
මූලාරම්භක මහා නාහිමියන් වහන්සේ වූ ජාගර මහා නා හිමි 1872 වසරේ දී
සිද්ධස්ථාන වන්දනාමාන කරගැනීම සඳහා ලංකාවට වැඩියහ.
ඒ කාලයේ අමරපුර නිකායේ කොටස් තුනක්ව පැවැති බැවින් බලපිටියේ මහා කප්පින
වලව්වේ රාජපක්‍ෂ මුදලිතුමා ජාගර මහනා හිමියන්ට ආරාධනා කොට එය නැවත එකතු
කිරීමට අපේක්‍ෂා කළේ ය. ජාගර හිමියන් මහා කප්පින වලව්වේ වැඩ වසමින්
භික්‍ෂූන් වහන්සේට මෙන්ම දායක පින්වතුන්ට බොහෝ ධර්ම දේශනා කළහ.
අනුශාසනා කළහ.
එසේ සංඝයාගේ සමඟිය සඳහා අමරපුර නිකායේ මහා සංඝයාගේ අනුමැතියද ඇතිව
අවිවාදයෙන් කාටත් පිළිගත හැකි පරිදි උදකුෙක්‍ඛප සීමාවක් මාදු ගඟෙහි කර
වන ලදහ. ජාගර හිමියන්ට ගෞරවයක් වශයෙන් ඒ සීමාවට ‘ශ්වේජින් සීමා’ යන නම
තබන ලද්දේ ය. අදත් අමරපුර සිරි සද්ධම්මවංශ නිකායේ වාර්ෂික උපසම්පදා
උත්සවය පවත්වන්නේ එහි දී වීම විශේෂයක් වන්නේ ය. 1872 වසරේ දී එය සිදු
වූයේ ජාගර මහා නා හිමියන්ගේ මූලිකත්වයෙනි. එසේම ජාගර හිමියන්ගේ
ප්‍රමුඛත්වයෙන් කුල දරුවන් 28 දෙනෙකු පැවිදි බිමට ද ඇතුළත් වූහ.
මෙසේ ජාගර මහා නා හිමියන් ලංකාවෙහි මාස හතක් පමණ නැවතී සිටියහ.
උන්වහන්සේ බුරුමයට වැඩම කළ පසුත් ශ්‍රී ලංකාවේ අමරපුර නිකායේ සංඝයා
වහන්සේගේ යහපත වෙනුවෙන් ලංකා ශාසන විසුද්ධිකතා යන ශිර්ෂයෙන් දීර්ඝ
ලිපියක් ද සකස් කර එවන ලදී. මෙසේ ජාගර මහා නා හිමිපාණන්ගේ පැමිණීම නිසා
ලංකාවට ශ්වේජින් නිකායේ ආභාෂය ලැබිණ.
ශ්වේජින් නිකායේ යූ. විනයාලංකාර බුරුම නා හිමියෝ ලංකාවට වැඩියේ ද මෙහි
සිද්ධස්ථාන වන්දනාමාන කිරීම සඳහා ය. ඒ ආගමනය අවසන් වූයේ උන්වහන්සේ
ලංකාවේම නවතා ගැනීමට මෙහි ප්‍රසාදයට පත් ජනතාව තීරණය කිරීම නිසා ය.
ඒ වෙනුවෙන් උන්වහන්සේට පූජා කළ භූමියෙහි විහාරස්ථානයක් ගොඩනැෙගන්නේ
පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාරාමය වශයෙනි. එය ලංකාවේ ඇති වූ ප්‍රථම
ශ්වේජින් නිකායික සංඝාරාමය වශයෙන් ඉතිහාසයට එක් වී ඇත. මෙම විහාරස්ථානය
බුරුම නා හිමියන් ප්‍රධාන මහා සංඝරත්නය උදෙසා පූජා කෙරෙන්නේ 1907 වසරේ
ජනවාරි මස 20 වැනි දිනයේදීය.
මෙසේ ලංකාවේ මුල් බැසගත් ශ්වේජින් නිකාය අමරපුර නිකායෙන් භින්න නොවූ
එහෙත් අමරපුර මහා සංඝ සභාවට එක් වූ කුඩා නිකායකි. මෙම නිකායට
විහාරස්ථාන 70ක් පමණ හා තුන්සියයක පමණ භික්‍ෂූන්වහන්සේ අයත්ව සිටිති.
1906 වසරේ ජනවාරි 8 වැනි දින පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාමයේ දී කුල
දරුවන් 27 දෙනෙකු පැවිදි දිවියට ඇතුළත් කිරීමෙන් ලංකාවේ ශ්වේජින්
නිකායේ භික්‍ෂු පරපුර ජනිත විය. එදින පැවිදිවූ එක් භික්‍ෂූන් වහන්සේ
නමක් වූයේ රේරුකානේ චන්දවිමල මහා නා හිමිපාණන් වහන්සේ ය.
මෙසේ ලක්බිමෙහි ශ්වේජින් නිකාය ආරම්භ වී ගෙවී ගිය කාල පරිච්ඡේදය තුළ
මෙම නිකායේ මහා නායක ධුර හොබවා ඇත්තේ උඩුවේ විමලරංසි මහා නා හිමි
ආචාර්ය දෙවිනුවර ඤාණාවාස මහා නා හිමි මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහා
නා හිමි, හේනේගම කල්‍යාණසිරි මහා නා හිමි, සහ වත්මන් මහානායක ධුරය දරන
ඉඟුරුවත්තේ පියනන්ද මහා නා හිමි යන සංඝ පීතෘන් වහන්සේලා ය.
මෙසේ ශ්වේජින් නිකාය පිළිබඳ හැඳින්වීමක් කළේ රේරුකානේ චන්දවිමල මහා නා
හිමියන් ශ්වේජින් නිකායේ මහා නායක තනතුරෙන් පිදුම් ලැබූ බැවින්
ශ්වේජින් නිකාය යනු කුමක්දැයි පාඨක ජනතාවට යම් අවබෝධයක් ලබා ගැනීමටය.
|