Print this Article


දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය - ආදර්ශ ප්‍රශ්නෝත්තර - 2014 බෞද්ධ සංස්කෘතිය - අභ්‍යාසය 7

දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය - ආදර්ශ ප්‍රශ්නෝත්තර - 2014

බෞද්ධ සංස්කෘතිය - අභ්‍යාසය 7

1.අ) සාමණේර භික්ෂුවක් විසින් ආරක්‍ෂා කළ යුතු දස ශීලය ලියා දක්වන්න.

පිළිතුරු :- සාමණේර භික්ෂුවක් විසින් ආරක්‍ෂා කළ යුතු ශීලය සාමණේර දස ශීලය නමින් හඳුන්වා දී ඇත. එනම්

1. ප්‍රාණ ඝාතයෙන් දුරුවීමේ ශික්‍ෂා පදය සමාදන් වෙමි.
2. නොදුන් දෙය,ගැනීමෙන් වෙන්වීමේ ශික්‍ෂා පදය සමාදන් වෙමි
3. අබ්‍රහ්මචරියාවෙන්,වෙන්වීමේ ශික්‍ෂා පදය සමාදන් වෙමි.
4. මුසාවාදයෙන් වෙන්වීමේ ශික්‍ෂා පදය සමාදන් වෙමි
5. මත්පැනින් වෙන් වීමේ ශික්‍ෂා පදය සමාදන් වෙමි
6. අවේලාවේ ආහාර ගැනීම වෙන්වීමේ ශික්‍ෂා පදය සමාදන් වෙමි.
7. නාට්‍ය, ගීත, වාදන හා විසුළු දැකුම්වලින් වෙන් වීමේ ශික්‍ෂා පදය සමාදන් වෙමි.
8. සුවඳ විලවුන් දැරීමෙන් වෙන් වීමේ ශික්‍ෂා පදය සමාදන්වෙමි.
9. උස් ආසන,මහා අසුන් පිළිගැනීමේ වෙන් වීමේ ශික්‍ෂාපදය සමාදන් වෙමි.
10. රන්,රිදී, මසු කහවනු පිළිගැනීමෙන් වෙන් වීමේ ශික්‍ෂා පදය සමාදන් වෙමි. යනු සාමණේර දස ශීලය වේ.

ආ) ආදර්ශවත් භික්‍ෂු නමකගේ දෛනික ජීවිතයට අදාළ චාරිත්‍ර විධි හඳුන්වා දෙන්න.

පිළිතුර:-
භික්‍ෂුව හිරු නැඟෙන්නට පළමුව අවදි විය යුතුය. අනතුරුව සතර ආරක්‍ෂා භාවනාවෙන් එනම්, බුද්ධානුස්සති, භාවනාව, මෛත්‍රි භාවනාව, අසුභ කම්මට්ඨාන භාවනාව, හා මරණානුස්සති භාවනාව යන මින් එකක් වඩමින් ස්වල්ප වේලාවක් භාවනා කළ යුතුය. ඉන් අනතුරුව බෝ මළුව හා විහාර මළුව,චෛත්‍යය මළුව ආදි ස්ථාන අතු පතු ගා පවිත්‍ර කළ යුතුය. ඉන් අනතුරුව දැහැටි වළඳා මුහුණ කට සෝදා මනාව සිවුරු හැඳ පොරවා තෙරුවන් නමදිති. හීල් දානය පන්සලේ පිළියෙළ නොවන්නේ නම් පිණ්ඩපාත කොට ගෙනවිත් වැළඳීම චාරිත්‍රයයි. පිඩුසිඟා වඩින වේලාව වනතුරු සමවත් සුවයෙන් කල් ගෙවති. උදේ කාලය සහ දහවල් පිණ්ඩපාතයත් මේ ආකාරයෙන් ලබා ගත යුතුය.

භික්‍ෂුවක් තම කෙස් හා නිය පමණට වඩා දික් වීමට ඉඩ නොදිය යුතුය .විනයට අනුව දෑගුලක් හිස කෙස් දික් වීමට පෙර බෑම කළ යුතුය.කලට වේලාවට ස්නානය කොට සිවුරු හරි හැටි මසා සෝදා පිරිසුදුව තබා ගත යුතුය. තමාගේ ලැගුම් ගෙයද පවිත්‍ර කොට පිළිවෙළකට තබා ගැනීම හොඳ චාරිත්‍රයකි.

දවල් දානයෙන් පසුව පස්වරු කාලයේ ධර්ම ශාස්ත්‍රීය කටයුතු වල නිරතවිය යුතුය. දිවා විවේකයෙන් පසුව මළුව ඇමදීම ආදිය සිදු කොට තෙරුවන් වැඳ, පිරිත් ආදිය සජ්ක්‍ධායනා කළ යුතුය. ධර්ම දේශනා පැවැත්වීමට විශේෂ පුහුණුවක් ලැබිය යුතුය. දවසේ වැඩ කටයුතු අවසාන වී ආචාර්යවරයන් හා වැඩිමහල් භික්‍ෂූන් වැඳ සමා කර ගැනීමද භික්‍ෂුවකගේ වැදගත් චාරිත්‍රයකි.

ඉ) සිවුපසය නම් කොට ඒවා පිළිබඳව පොදු සිරිත් මොනවාදැයි ලියා දක්වන්න

පිළිතුරු :-
භික්‍ෂූන් වහන්සේ සඳහා බුදුරදුන් අනුදැන වදාළ සිවුපසය නම්,

1. චීවර (සිවුරු)
2. පිණ්ඩපාත (ආහාර)
3. සේනාසන (ගෙවල් දොරවල්)
4. ගිලානප්‍රත්‍ය (බෙහෙත් හේත්)

භික්‍ෂූන් වහන්සේලා එම සිවුපසය පරිභෝජනය කළ යුතු වන්නේ ප්‍රත්‍යවේක්‍ෂා කිරීමෙන් ය. එනම්, “මාමේ සිවුරු පරිභෝග කරන්නේ සීතල වැළකීමට හා උෂ්ණය වළක්වා ගැනීමට ය. මැසි, මදුරු ආදීන්ගෙන් ඇති වන පීඩා වළක්වා ගැනීමටය. විලි වසා ගනු පිණිසය. යනුවෙන් චීවර පරිභෝජනයේදී මෙනෙහි කළ යුතුය.

එමෙන්ම දන් වැළදීමේදී මා මේ ආහාරය වළඳන්නේ විනෝදය පිණිස නොව,ලස්සන වීම පිණිස නොව, මා මේ ආහාරය වළඳන්නේ සාගිනි දුරු කර ජීවිතය පවත්වා ගැනීම සඳහාය. යනුවෙන් සිහි කළ යුතුය.

එසේම සෙනසුන පරිභෝග කරන්නේ අව් වැසි සුළංවලින් බේරීම සඳහාය. මැසි, මදුරු හා සර්පයන්ගෙන් බේරීම සඳහාය. සිත එක් අරමුණක තබාගෙන වාසය කිරීමට පහසුවීම සඳහාය යනුවෙන් සිහි කළ යුතුය.

ගිලන්පස වැළඳීමේදී ද මෙම ගිලන්පස මා වළඳන්නේ මාගේ ශරීරයේ ඇති රෝගයන් හා වේදනාවන් දුරු කර ගැනීම සඳහාය. යනුවෙන් මෙනෙහිකොට වැළඳීම කළ යුතුය.

මේ අයුරින් ප්‍රත්‍යවේක්‍ෂා කර සිව් පසය පිළිගැනීම හා වැළඳීම භික්‍ෂුවකගේ සිරිත වේ.

2 අ) භික්‍ෂූන්ට සිවුරු හැඳීම සහ පෙරවීම පිළිබඳව බුදුරදුන් විසින් දේශනා කර ඇත්තේ කුමනාකාරයෙන්දැයි පැහැදිලි කරන්න.

පිළිතුර :-
භික්‍ෂූන් වහන්සේ සිවුර හැඳීම සහ පෙරවීම පිළිබඳව සේඛියා නමින් ශික්‍ෂා පද හතරක් පනවා ඇත. එනම්,

1.පරිමණ්ඩලාකාරව සිවුරු අඳනය ඇඳිය යුතුය. තැන්තැන්වලින් උස්,පහත්ව නොසිටිනා ලෙස එක මට්ටමකට අඳනය හැඳීම දණ හිසින් අඟල් අටක්වත් අඳනයෙන් වැසීම අවශ්‍ය වේ.

2.පොරවන සිවුරද පරිමණ්ඩලාකාරව පෙරවිය යුතුය. සිවුරේ යටි පැත්තේ වාටිය සෑම තැනකින්ම ඒ කොන්වල මට්ටමට සිටින පරිදි පෙරවිය යුතුය.

3.විහාරයෙන් පිටට යන විට දෙපොට සිවුරෙන් කය වසා ගෙන යා යුතුය. මෙසේ මනා කොට සිවුර පෙරවීමට ශරීරයෙන් විවෘතව තිබෙන්නේ බෙල්ලෙන්, ඉහළ හිසත්, වළලුකර පටන් දෑතත් කෙණ්ඩයෙන් පහළ නෑයකුත් පමණි.

4.හතර වන ශික්‍ෂා පදයෙහි අදහස මනාකොට සිවුරෙන් කය වසාගෙන ගමෙහි හිඳීය යුතුයැ’යි යන්නය. සිවුරු හැඳීම පෙරවීම පිළිබඳව කොතරම් දුරට සැලකිල්ලක් දක්වා තිබේදැ’යි මෙම කරුණු වලින් පැහැදිලි වේ.

ආ) භික්‍ෂුවකගේ තුන් සිවුර නම් කරන්න

පිළිතුර :-
1. අන්තරාවාසක – අඳනය
2. උත්තරා සංඝ – තනිපට සිවුර
3.සංඝාටිය - දෙපට සිවුර

ඉ) බෞද්ධ ගිහියන්ගේ ඇඳුම් භාවිතය පිළිබඳව සිරිත් විරිත් මොනවාද?
පිළිතුර :–

බෞද්ධ ගිහි අය ඇඳුම් භාවිතයේදි පැවිදි පාර්ශ්වයේ ආදර්ශ ලබා ගත යුතුය. විශේෂයෙන් විනීත චාම් ඇඳුම් ඇඳිය යුතුය. ගැහැනු, පිරිමි, කවුරුත් උතුරු සළුවකින් සැරසී බැහැරව යා යුතුය. කාන්තාවෝ විනීත බව රැකෙන අන්දමින් ඇඳුම් ඇඳීම කළ යුතු යැයි කාව්‍යශේඛරයේ පියෙකු දියණියකට දෙන අවවාදයෙහි සඳහන් වේ.

පෙකෙණිය නො දක්වා
සළු ඇඳ බොලට දක්වා
නොපව තන සක්වා
සිනා නොමසෙන් දසන් දක්වා

යනුවෙන් දක්වා තිබෙන අතර බෞද්ධයෝ උත්සවවලදී ලා පාට ඇඳුම් අඳිති. ගෙදරදී ඇඳීමට ඇඳුම් කට්ටල දෙකකුත් රැකියාවට ඇඳීමට ඇඳුම් කට්ටල දෙකකුත්, විශේෂ උත්සව සඳහා ඇඳුම් කට්ටල එකකුත් ඇඳුම් කට්ටල පහක් පමණ තබා ගැනීම ඉතා සුදුසුය.ඇඳුමක සාමාන්‍යයෙන් චාම් බව,ක්‍රමවත් බව, විනීත බව,ලස්සන බව යන ලක්ෂණ තිබිය යුතුය. නිතර පවිත්‍ර ඇඳුම් ඇඳිය යුතුය. ගමනක් ගොස් ආ විට එම ඇඳුම අව්වේ දමා වේලා ගත යුතුය. මෙසේ ගිහියන් තම ඇඳුම් පැළඳුම් පිළිබඳ චාරිත්‍ර අනුගමනය කළ යුතුය.