Print this Article


අවබෝධයෙන් සිල් ගුණ රැකීම

අවබෝධයෙන් සිල් ගුණ රැකීම

වත්මන් සමාජයේ බොහෝ දෙනෙක් පංච ශීලය සමාදන් වනවා. එය ඉතා හොඳයි. පොහොය දිනවල තවදුරටත් උපෝසථ ශීලය සමාදන් වෙනවා. එහෙත් ශීලය පිළිබඳ නිවැරැදි අවබෝධය නැතිකමෙන් අකුසලය වැඩෙන්නේ නම් එයින් ඵලයක් අත්වන්නේ නැහැ. සසර දුකින් මිදෙන්නේ් නැහැ. අවබෝධයෙන් තොරව රකින ශීලය තුළින් ලෝභය වැඩෙන්නේ නම් එයින් ප්‍රතිඵලයක් වේද? ශීලය තුළින් ද්වේශය වැඩෙන්නේ නම්,මෝහය වැඩෙන්නේ නම් එයින් කවර ඵලයක් වේද?

ලෝභ,ද්වේශ ,මෝහ ගිනි වැඩියෙන් සන්තානය තුළ පෝෂණය කරගත් විට එහි විපාක වශයෙන් සතර අපායට වැටීම නියත වශයෙන් සිදුවනවා. මේ තරම් බලවත් වූ ප්‍රපාතයක් තවත් නැහැ. ඒ ඒ සත්වයන්ගේ චිත්ත සන්තානය තුළ ඇතිකරගත්තා වු අපිරිසුදු වීම් අනුව එහි විපාක විඳීමට සිදුවනවා. දුක පිළිබඳ මනා වැටහීමක් නොවීම මේ සියලු තැවීම්වලට හේතුවෙනවා.

එම නිසයි ලොව්තුරා බුදුන්වහන්සේ මේ සිත ඉතා නුවණින් (යෝනිසෝමනසිකාරයෙන්) යුතුව සලකා බලා තුන් දොර සංවරයට පත් කරගන්නට කටයුතු නිරන්තරයෙන් සිදු කර ගැනීමට ප්‍රත්‍යවේක්‍ෂාව පුරුදු කළ යුතු බව දේශනා කොට වදාළේ. මේ තුළින් සිතේ කෙලෙස් නිවාරණය කර ගැනීමට හැකියාව සැලසෙනවා. තවත් ක්‍රමයකට විස්තර කරන්නේ නම් ,අත්හැරීම පුරුදු වෙනවා. එම සිත තුළයි ආර්ය ශීලය,ආර්ය සමාධිය, ආර්ය ප්‍රඥාව දියුණු වන්නේ. එවිටයි බුදුසසුනේ ලැබිය හැකි විවේක සුවය සහ නිදහස ඔබට අත්පත් කරගැනීමට භාග්‍ය සැලසෙන්නේ.

ලොව්තුරා බුදුන් වහන්සේ ලොව පහළ වීමටත් කලින් විවිධ ශීල ව්‍රත තිබුණා. ඒ හැම ව්‍රතයකම මිථ්‍යා දෘෂ්ඨිය මුල්බැසගෙන තිබුණා. එයින් ආර්ය ශීලයක්, ආර්ය සමාධියක්, ආර්ය ප්‍රඥාවක් ඇතිවූයේ නැහැ. හේතුඵල දහමට අනුව කරුණු කාරණා විභාග කර තෘෂ්ණාව ප්‍රහීණ කිරීමක් එම සීල සමාදානයන් තුළින් සිදුවූයේ නැහැ. ඇතැම් අය සමාදන් වූ ශීලය තුළ අකුසලය වැඩෙන බව ඔවුන් දැන සිටියේ නැහැ. අකුසල සමාධියත් අකුසල සමාපත්තියත් වැඩුණා. ඒ බවට වැටහීමක් ඔවුන් සතුව තිබුණේ නැහැ. ඒ හැම අවස්ථාවකම මිථ්‍යා දෘෂ්ඨිය තදින්ම සන්තානගතව පෝෂණය වුණා.

වත්මන් සමාජයේ බොහෝ දෙනෙක් පංච ශීලය සමාදන් වනවා. එය ඉතා හොඳයි. පොහොය දිනවල තවදුරටත් උපෝසථ ශීලය සමාදන්වෙනවා. එහෙත් ශීලය පිළිබඳ නිවැරැදි අවබෝධය නැතිකමෙන් අකුසලය වැඩෙන්නේ නම් එයින් ඵලයක් අත්වන්නේ නැහැ. ලෝකය තුළම කැරකෙනවා. සංඛත තත්ත්වයෙන්ම පවතිනවා. සසර දුකින් මිදෙන්නේ නැහැ. අවබෝධයෙන් තොරව රකින ශීලය තුළින් ලෝභය වැඩෙන්නේ නම් එයින් ප්‍රතිඵලයක් වේද? ශීලය තුළින් ද්වේශය වැඩෙන්නේ නම්,මෝහය වැඩෙන්නේ නම් එයින් කවර ඵලයක් වේද? අඩුම වශයෙන් ලෝභ, ද්වේශ මෝහ ගිනි තරමක් හෝ අවම විය යුතු නොවේද?

නිරන්තරයෙන්ම සත්ව ඝාතනය කරන පිරිසක් සිටිනවා. ඒ අය වනයට වැදී අහිංසක සතුන් දඩයම් කරනවා. ඒ සඳහා දුනුවායන් යොදවනවා. උගුල් අටවනවා. සුනඛයන් යොදවා සතුන් අල්ලා ගන්නවා. එම මස් විකුණනවා. ඒවා මිලදී ගනු ලබන අයත් සිටිනවා. ටික කලක් යන විට මිලගණන් වැඩිවෙනවා. මෙසේ මිලගණන් වැඩිවන විට, සත්ව ඝාතනයෙන් වැළැකී සිටින කෙනෙකුට මෙහෙම සිතක් එන්නට පුළුවනි. ‘මස් මාංශවල මිල ගණන් වැඩිවෙනවා. ශරීරයට මස් මාංශ අවශ්‍යයි. එම නිසා නොකෑවොත් ශරීරය කෙසඟවන්න පුළුවන්, දුර්වලවන්න පුළුවන්, කායික බලය ශක්තිය හීනවෙන්න පුළුවන්. එම නිසා වැඩිමිලක් දීලා මස් මාංශ අනුභවයට වඩා මමත් වනයට වැදී සතෙක් මරා ගන්න ඕනෙ. එවිට මෙම ප්‍රශ්නය විසඳගන්න පුළුවන්. පංච ශීලයම නැති වැද්දන් අතර මම සිල්පද සතරක් රකිනවා. එම නිසා මම ඒ අයට වඩා ශීලයෙන් උසස්. එමෙන්ම සමාජයේ ගරුබුහුමන් ලබන කෙනෙක්. එක ශික්‍ෂාපදයක් කඩකළාට කමක් නැහැ.’ මෙසේ සිතා තමාගේ ගෙදර සුනඛයන් උසිගන්වා වනයට වැදී උන් ලවා සතුන් දඩයම් කර ගන්නවා. ‘දිනපතාම සතුන්ටත් මස් කන්න පුළුවන්. මටත් ගෙදර පිරිසටත් සැමදාම මස් ලැබෙනවා. මුදල් නොගෙවා මස් කන්න පුළුවන් වැඩිපුර හරිය වියළා තබාගන්නවා මතුවට ගන්න. ගෙදර දැන් නිතරම මස් මාංශ තිබෙනවා.’ මෙසේ ඔහු කල්පනා කරනවා.

දැන් බලන්න, සිතේ ස්වභාව, නොදැනීම ලෝභ, ද්වේශ මෝහ ඇතිවෙලා. එක පැත්තකින් මස් වැද්දන්ට වඩා මම සිල්වත් කියා මානයක් ඇතිකරගෙන. ශීලය මුල් කරගෙන අකුසලය පැමිණ තිබෙන හැටි! නිතර තමාගේ සිත තුළ අකුසල චේතනා පහළ වෙලා. බහුල වෙලා. සුළුවෙන් පටන් ගත් සත්ව ඝාතනය දිනෙන් දින වර්ධනය වෙලා. කෑදරකම වැඩිවෙලා, සිතෙහි විවිධාකාරයෙන් අකුසලය වැඩිවෙලා. එහෙත් ඔහුට ඒ ගැන වැටහීමක් නැහැ. රසයට ගිජුවෙලා. පංච කාමයටම ගිජුවෙලා, එහෙත් ඔහු සිතන්නේ තමා සිල්වත්, ගුණවත්, කියායි. සිල්පද සතරක් රකිනවානේ කියා ඔහු මානයෙන් උඩගු වෙලා. දැන් ඔහු සිල් රකිනවා වෙනුවට කුමක්ද රැස් කර තිබෙන්නේ? දිනපතාම අකුසලය බහුල කරලා. සතර අපායට යන චේතනා බහුල කරලා. ලෝභය වඩලා, ද්වේශ වඩලා, මෝහය වඩලා. ආර්ය ශීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් බැහැරවෙලා. මෙවැනි අය මරණින් පසු දුගතියට ම පැමිණෙනවා. මුළාව නිසා වැටෙන ප්‍රපාතය කෙතරම් බියකරුද කියා සිතා බලන්න.

ඇතැමෙක් මෙසේත් සිතන්න පුළුවන්. ‘මම ඉතාමත් සිල්වත්, කාටත් මගෙන් කරදරයක් නැහැ. මම යහපත්ව ජීවත්වෙනවා.’ එහෙත් ඔහුට සමාජයේ වෙන කෙනකුගෙන් කරදරයක් පැමිණිලා තිබෙනවා. ඒ ගැන ඔහු නිතරම කනස්සල්ලෙන් පසුවෙනවා. තමා සිල්වත්, එහෙත් කෙනෙකු ගෙන් කරදරයක් පැමිණිලා. කුමක්ද මේ කරදරේ? අසල්වැසියෙක් සිටිනවා. ඔහුගේ කායික සංවරය නැහැ. වාචසික සංවරය නම් තිබෙනවා. කයෙන් සත්ව ඝාතනය සිදුකරනවා. අදත් තාදානය කරනවා. වැරැදි කාමසේවනයේ යෙදෙනවා. එහෙත් මේ තැනැත්තාගේ වාචසික සංවරය හොඳයි. එහෙත් කායික, වාචසික, මානසික සංවරය ඇති තැනැත්තා තමා සිල්වත් බව සිතා අර තැනැත්තාගේ කායික අසංවරය ගැනම සිතනවා. ඒ ගැන කලකිරීමට පත්වෙනවා. ඒ තැනැත්තා දකින විටත් සිල්වතාට කේන්ති යනවා. අසල්වැසියාගේ කායික අසංවරය ගැන සිතා අන් අයටද අගුණ ප්‍රකාශ කරනවා. වචනයේ හොඳකම ගැන නොසිතා කායික අසංවරය ගැනම අගුණ කියනවා. දැන් සිල්වතා දන්නේ නැහැ තමාගේ සිතේ අකුසලය හටගන්නා බව. තමාගේ සිත අපිරිසුදු වෙලා නොසන්සුන්වෙලා. නැවැත නැවත අකුසල චේතනා පහළ කරමින් ද්වේශය මෝහය ඇතිවෙලා, බහුලවෙලා. මෝහය නිසාම තමාගේ සතුට, සැනසිල්ල,විවේකය, නිිදහස අහිමිවෙලා. දුකට පත්වෙලා. අසහනයට පත්වෙලා. තමාම පීඩා විඳිනවා. නැති කරදරයක් තමාගේ සිතට බලෙන් දාගෙන.

එහෙත් ඔහු සිතන්නේ තමන් සිල්වත් බවයි. එහෙත් ඔහුට නුවණක් පහළ වී නැහැ, තමාගේ සිත පිරිහිලා අකුසලය පෝෂණය වෙලා, කුසලයෙන් දුරස්ථ වෙලා දිනෙන් දිනම ද්වේශ වර්ධනය වෙලා තිබෙන බව දැන ගැනීමට .මෙසේ ශීලය කරණකොට අවබෝධ නොමැතිකමෙන් පුද්ගලයා තුළ සියුම් ආකාරයට අකුසලය වැඩෙනවා. තමා ආඝාත පටිවිනය කිරීමට දක්‍ෂ වී නැහැ. (තමා තුළ හටගත් ද්වේශ ප්‍රහාණය කිරීමට සමර්ථ වී නැහැ) ඒ තාක් සන්තානය තුළ දුක, ශෝකය, පීඩාව, අපහසු විහරණය මතුව තිබෙනවා. සමාජය තුළ බහුල වශයෙන් මෙවැනි පුද්ගලයන් ශීලය කරණකොට ගෙන පීඩාවට පත්වනවා. මෙය ආර්ය විනයේ ශීලයවත් ,සමාධියවත් ප්‍රඥාවවත් විමුක්තියවත් නොවේ.