මන වඩන සොබා සොඳුරු පරිසරය
වළවේ ශ්‍රී දේවරක්ඛිතාරාම පුරාණ රජ මහා විහාරවාසී,
ශාස්ත්‍රපති වැලිපත
පඤ්ඤානන්ද හිමි
බුදුදහම ඔස්සේ පරිසරයේ
අගය පිළිබඳ මිනිස් සන්තානය තුළ යහ ආකල්ප ගොඩනැඟීමට නිරතුරුව කටයුතු කර
ඇත.
මිනිසාගේ මනා පැවැත්මට, දිගාසිරි ලැබීමට
පරිසරය එකඑල්ලේ බලපායි. පරිසර දූෂණය වන විට
රටවැසියා රෝගී වෙයි.
රටවැසියන් බහුල වශයෙන් රෝගීන් බවට පත්වන විට රටේ දියුණුවට බාධා වෙයි.
නොයෙක් සත්ව විශේෂ, වෘක්ෂලතා සහ ජලලෝකය පරිසරය ලෙස නම් කළ හැකිය.
බුදුරජාණන් වහන්සේ මේ හැම අංශයක් කෙරෙහිම අවධානය යොමු කර ඇති අයුරු
ත්‍රිපිටකගත තොරතුරුවලින් පැහැදිලි වේ. මිනිසා ලබාගෙන ඇති උතුම්ම
දායාදයක් වන්නේද පරිසරයයි.
එහෙයින් බුදුරදුන් පරිසරය පිළිබඳවත් එහි වටිනාකමත්, එය ආරක්‍ෂා කළ යුතු
ආකාරයත් පැහැදිලි කර ඇත. උන්වහන්සේගේ ජීවිතයේ වැදගත් අවස්ථා සනිටුහන්
වන්නේ මහල්මන්දිරවල නොව සොබාව සෞන්දර්යයෙන් අනූන ස්ථානවලය. සිදුහත් උපත
සිදුවූයේ ශාක්‍ය -කෝලිය දෙනුවර අතර සුන්දරත්වයේ විසිතුරු බව රැගත්
ලුම්බිණි සල් උයනේදීය. සම්බුද්ධත්වය ලබනු සඳහා වැඩහිඳීමට තෝරා ගත්තේ
නේරංජනා ගඟ අසබඩ සුවිසල් ඇසතු බෝරුක් සෙවණකි.
සම්බුද්ධත්වයෙන් පසු සත්සතිය ගත කළ බුදුරජාණන් වහන්සේ පළමුවැනි
,දෙවැනි, තෙවැනි හා සිව්වැනි සති ශ්‍රී මහා බෝධින් වහන්සේ ඇසුරු කර ඒ ඒ
ස්ථානවල වැඩ සිටි අතර අජපාල, කිරිපලු, මිදෙල්ල වැනි රුක්ද සෙවණක් කොට
ගත්හ. බරණැස ඉසිපතනේ මිගදායේ ,තුරුලතා සෙවණේදී ප්‍රථම ධර්ම දේශනාව
සිදුකිරීමෙන් පසු බුද්ධ ජීවිතයේ වර්ෂ 45 ක් තිස්සේ බුදුදහම දේශනා
කිරීමට පරිසරයේ විවිධ වස්තූ®න් උපමා කරගෙන ඇත. මහ රහතුන් පිරිවරා මහ
වනයේ බුදුරදුන් සමාධී සුවයෙන් වැඩසිටින අයුරු දුටු අජාසත් නිරිඳා ඒ
දර්ශනයෙන්ම නෙත් සිත් පහදවාගත් අයුරු දීඝනිකායේ සාමඤ්ඤඵල සූත්‍රයේ
විස්තර කෙරෙයි.
වනවදුල , ගිරිශිඛර, ඇද හැලෙන දියඇලි ,ගලන ගංගා, ගල්තලා සහ සුදුවැලිතලා
ආදි තැන් බුද්ධ ශ්‍රාවකයන් බවුන් වැඩීමට තෝරාගත්තේ බුදුරදුන්ගේ
අවසරයෙනි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවේද කුසිනාරානුවර මල්ල
රජදරුවන්ගේ උපවත්තන සල්වනයේ සුපිපි සල්මල්වලින් අලංකාර වූ සල්ගස් දෙකක්
අතරය. රුක්සෙවණක ඉපිද රුක් සෙවණකදී සම්බුද්ධත්වයට පත්වී, තුරු සෙවණකදීම
පිරිනිවන් පා වදාළ බුදුරජාණන් වහන්සේ ගේ අසිරිමත් තෙමඟුල දෙස බලන කල
උන්වහන්සේගේ ජීවිතය පරිසරය සමඟ කෙතරම් සමීපව තිබිණිද යන්න වටහාගත
හැකිය.
වෘක්‍ෂලතා රැක ගැනීමට සහ රෝපණයට බුදුදහමින් අනූපම මඟපෙන්වීමක් සිදුකර
ඇත.රුක් රෝපණය පිළිබඳ සංකල්පය සංයුක්ත නිකායේ රුක්ඛ සූත්‍රයේද ජාතකට්ඨ
කථාවේ ආනන්ද බෝධි ජාතකයේද දක්වා ඇත.
සතර දෙසින් පැමිණෙන ජනතාවට වන්දනා කිරීමට ජේතවනාරාම භූමියෙහි බෝධියක්
රෝපණය කළේ බුදුරජාණන් වහන්සේගේ උපදෙස් පරිදිය. ගස් කොළන් වවන අයට
දෙව්ලොව ඉපදීමට තරම් පිනක් ලැබෙන බව රුක්ඛ සූත්‍රයේ දැක්වෙයි.
ආරාම රොපා වන රොපා
යෙජනා සෙතු කාරකා
පපං ච උදපානං ච
යෙ දදන්ති උපස්සයං
තෙසං දිවා ච රත්තො ච
සදා පුඤ්ඤං පවඩ්ඪති
තුරුලිය සහිත උද්‍යාන ඇති කිරීම,වනාන්තර පිණිස ගස් සිටුවීම,පැන්තාලි
තැනීම, ළිං පොකුණු තැනීම,ඒදඬු පාලම් දැමීම සහ ආවාස ඝර තැනීම දිවා රෑ
පින් වැඩෙන පුණ්‍ය ක්‍රියා බව ඉහත ගාථාවෙන් පෙන්වා දෙයි.
තුරුලතාවෝ නිරන්තරයෙන් මිනිසා ඇතුළු සත්ව ප්‍රජාව ආරක්‍ෂා කරති.
එහෙයින් මිනිසාගේ වගකීම වන්නේ වායු දූෂණය, ජල දූෂණය, නොකර පරිසරය රැක
ගැනීමයි. වවිධ ආගමික ශාස්තෘවරුන් පරසරය පිළිබඳ කථාකළද බුදුරජාණන්
වහන්සේ විසින් ස්වභාවිකත්වය රැක ගැනීමට වඩාත් ඵලදායි උපදෙස් දෙනු ලැබ
ඇත. පරිසරය සමඟ සහජීවනයෙන් ජීවත්විය හැක්කේ වෘක්‍ෂලතා විෂයෙහි සුහද
ආකල්පයක් දැක්වීමෙනි. ගස්වැල්, වාතය, පොළොව ,වැස්ස සූර්යාලෝකය සහ
චන්ද්‍රාලෝකය ආදි පාරිසරික සාධක ජාලයක් ලෙස එකිනෙකට අන්‍යෝන්‍ය
සම්බන්ධතා දක්වමින් උපකාරීව පවතී.
ගස්වල අතුකැඩීම, නරක සිරිතකි. බිම්බිසාර රජුගේ වනයක වූ අඹගස්වල ඵල
කැමැති විටෙක අනුභවයට භික්‍ෂූන් වහන්සේට අවසර දී තිබුණි. එක් අඹ
වාරයකදී ළපටි ගෙඩි ඇතුළු සියලු අඹ භික්‍ෂූන් අතින් විනාශ විය. මේ බව
සැලවු විට බුදුරජාණන් වහන්සේ විනය ප්‍රඥප්තියක් පැන වූ බව
චුල්ලවග්ගපාලියේ දැක්වෙයි. ගස්කැපීම තහනම් කරමින් ශික්‍ෂාපද පනවා ඇත.
භික්‍ෂූන් වහන්සේට දත් මැදීම සඳහා දැහැටිකූරු අනුමත කිරීමේදි එහි දිග
පිළිබඳ නිර්දේශයක් මුලදී නොවීය. ඒ නිසා ඇතැම් දඟකාර භික්ෂූහු දිග
දැහැටි පාවිච්චියට ගෙන ඒවායින් වයසින් අඩු භික්‍ෂූන්ට හිංසා පීඩා
කිරීමට උත්සුක වූහ. මේ බව දැනගත් බුදුරජාණන් වහන්සේ දැහැටිකූරක උපරිම
දිග අතේ ඇඟිලි සතරේ පළලට සමාන විය යුතු බවත්, ඊට වැඩි දිගකින් දැහැටි
සැදීම ඇවතක් බවත් පනවා වදාළ සේක. (දීඝනිකායේ සීලක්ඛන්ධවග්ගය) ගස්
කොළන්වල ඇති අගය ශ්‍රාවකයාට පහදා දුන්නේ ඵලදායි ආකල්ප තුළින් වනයේ
ආරක්‍ෂාව ඇතිකර ගැනීමටය. “රුක්ඛො උපගත මනුපවිට්ඨානං ජනානං ඡායා දෙති”
ගස තමාවෙත පැමිණෙන අයට සෙවණ ලබා දෙයි. එහි සේවය කාහටත් එක සමානය.
තුරුලතා ආරාමයක අත්‍යවශ්‍ය අංගයකි.විවිධ ජාතක කථාවලදී සත්වයන් හා තෘණ
පැළෑටි වර්ග පිළිබඳත් ඒවා ආරක්‍ෂා කිරීම ගැනත් උපදෙස් ලබාදෙයි. තණතිල්ල
අපිරිසුදු කිරීම පචිති ඇවතක් වන අතර තණපතක් කැඩීම උපසපන් භික්‍ෂුවකට
අකැපය. නිල්වන් තණකොළ මත කුණුරොඩු දැමීම, මළමුත්‍ර කිරීම, ඉඳුල් දැමීම,
නොකළ යුතු බවට අනුශාසනා කළේ පරිසරයේ පවිත්‍ර බව රැක ගැනීම සඳහා සහ
පරිසර දූෂණය වළක්වා ගැනීම පිණිසය. කසීභාරද්වාජ බමුණා, විසින් තමන්
වහන්සේට පූජා කරන්නට යෙදුණූ කිරිබත් පිළිනොගෙන එය සප්‍රාණික වූ
නිල්තණකොළ නැති ස්ථානයක හෝ ප්‍රාණීන්ගෙන් තොර ජලයෙහි හෝ දමන්න යැයි
අවවාද දුන් සේක. වැසි සමයත් සමඟ පොළොවෙන් මතුවන කුඩා තෘණ පැළෑටි හා
කෘමි සතුන් පෑගීම වැළැක්වීමට උපසපන් භික්‍ෂූන්ට වස්වසා වැඩසිටින ලෙස
අවවාද කළ සේක.
ජලසම්පත, සම්පතක් කර ගැනීමටත් එය දූෂණයෙන් තොරව පවිත්‍රව රැක ගැනීමටත්,
අවශ්‍ය ප්‍රඥප්ති විනය පිටකයේ එයි. දන්වළඳා ඉතිරි වූ ඉඳුල් ජලයට දැමීම
සහ ජලයට කෙළ ගැසීම තහනම් කර ඇත. පෙරහන්කඩය , අටපිරිකරට ඇතුළත් කරනු ලැබ
ඇත. පානීය ජලයේ පවිත්‍රත්වය රැකගැනීමට එය අනුමත කළ සේක.
පෙරහන්කඩය නොමැති විට ජලය පෙරා ගැනීම සඳහා තම සිවුරු කොන හෝ භාවිත කළ
යුතුය. පිරිසුදු ජලය පානය කිරීම සෞඛ්‍ය රැක ගැනීමට ඉවහල් වේ.
ජල දූෂණය පිළිබඳ කියැවෙන ජාතක කථාවක් තුළින් බෝසතාණන් වහන්සේ කුරුලු
ආත්මයක ඉපිද කළ ක්‍රියාවක් විස්තර වෙයි. එක් වැවක් අසල අතු පතර විහිදි
ගිය ගසක කුරුල්ලෝ නිරන්තරයෙන් වාසය කරති. එහි උපන් බෝසත් කුරුලු තෙමේ
නිසි කාලයේදී කුරුලු නායකයා බවට පත්විය. කුරුල්ලෝ රාතී‍්‍ර කාලයේ මෙම
ගසේ අතුවල ලැගුම්ගත් අතර දිවාකාලයේ කෑම සොයා පියඹා යති.
ගසේ අතු වැව දෙසට විහිදි ඇති බැවින් උන්දමන වසුරු වැටෙන්නේ වැවටය.
කාලයක් තිස්සේ මෙම අපවිත්‍ර දේ වැවට වැටෙන හෙයින් ජලය අපවිත්‍ර විය.
කලක සිට මෙය ඉවසා සිටි වැවට අරක් ගත් දේවතාවා කුරුල්ලන්ට පාඩමක්
උගන්වන්නට කල්පනා කළේය. වැවට වසුරු වැටෙමින් තිබෙන අවස්ථාවක මුළු වැවම
රත්කිරීමට දේවතාවා කල්පනා කළේය. නොබෝ වේලාවකින් වැව් ජලය රත්ව
ගිනිගත්තේය. මේ සියල්ල බලා සිටි බෝසත් කුරුල්ලා සෙසු කුරුල්ලන් අමතා
මෙසේ කියයි.
‘ගින්දර නිවන ජලය අද තෙමේම ගිනිබවට පත්ව ඇත. එම නිසා මෙහි වාසය සුදුසු
නැත. සුදුසු තැනකට යමු ‘
යෝජනාවට එකඟවන කුරුල්ලෝ ගස අතහැර යති. මෙම කථාවෙන් වටිනා උපදේශයක්
සමාජයට ලබාදෙයි. පරිසරයේ ප්‍රබල සාධකයක් වන ජලය දූෂණය නොකර සුරැකීම
බෞද්ධ සාරධර්මයකි.
බුදු දහම ඔස්සේ පරිසරයේ අගය පිළිබඳ මිනිස් සන්තානය තුළ යහ ආකල්ප
ගොඩනැඟීමට නිරතුරුව කටයුතු කර ඇත. මිනිසාගේ මනා පැවැත්මට, දිගාසිරි
ලැබීමට පරිසරය එකඑල්ලේ බලපායි. පරිසර දූෂණය වන විට රටවැසියා රෝගී වෙයි.
රටවැසියන් බහුල වශයෙන් රෝගීන් බවට පත්වන විට රටේ දියුණුවට බාධාවෙයි.
එහෙයින් පුද්ගල කායික, මානසික අභිවෘද්ධියට යහපත් පරිසර සාධක බලපායි.
වායු දූෂණය, ජල දූෂණය, ශබ්ද දූෂණය හරහා ඇතිකරවන විපර්යාසයන් නැතිකර
පරිසර සංරක්‍ෂණයෙන් කායික, මානසික සැනසිල්ල උදාවන ආකාරය බුදුදහමින්
පැහැදිලි කෙරේ. |