රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 20
ලෝකයේ සිටින ලොකුම දුප්පතා
ජනක වෙත්තසිංහ
“කියවන්න මේ වදන් පෙළ හොඳින්. උන්වහන්සේ මෙය පවසන්නේ ශතවර්ෂයකට ආසන්න
වූ වයෝවෘද්ධ වයසක සිටය.ඒවන විටත් උන්වහන්සේ සතු කල්පනා ශක්තිය චින්තන
ශක්තිය සහ ප්‍රඥාවේ මහිමය දෙස බලන්න. එමෙන්ම කිසිවක ඇල්මක් ඇලීමක්
නොමැති පිවිතුරු දිවියක විශේෂ ගුණය දෙස බලන්න. සරල අල්පේච්ඡ, සැහැල්ලු
පැවිදි දිවියක ප්‍රායෝගික යථාර්ථයේ බලය දෙස බලන්න. ධන නිධානයන්ගෙන්
ආඪ්‍යව වත්පොහොසත්කම් භුක්ති විඳිනා කෙනකුට හරියට ප්‍රතිපත්ති පිරීම
අපහසු බව මොනතරම් නම් සත්‍යයක්ද? ඒවා නැතිවුණාම අප බොහෝ දෙනා කරන්නේ
දුක්වීමය. නොලැබීම ගැන පසු තැවීමය.
ඒවා තමා වෙත පැමිණි ආශිර්වාදයක් ලෙස සිතන්නේ නම් ඔහු භෞතික වශයෙන්
දුප්පතකු වුව ද මනසෙන් පොහොසතෙකි. අල්ලා බදාගෙන හිඳිනා විට
අපේක්‍ෂාවෙන්ද වැඩිවී තණ්හාවෙන් ඔද්දල් වී අපව සංසාරයේ තව තවත් ඇද බැඳ
තබනවා නොවේ ද? භෞතික වශයෙන් ආරක්‍ෂා කිරීමට කිසිවක් නොමැති තැන ගෙය හට
නොගනියි. ඒ නිසා උන්වහන්සේ සිටින කුටියේ දොරගුළු දැමීමට අවශ්‍ය නොවේ.
වසර පහළොවකින් දොරගුළු නොදැමුණු කුටියක ගෙනියන්නට සොරකම් කර ගන්නට
කිසිදු දෙයක් නොමැත. කිසිදු ධනයක් නැති හිඟන්නාට පදික වේදිකාවේදී පවා
නිදහසේ නින්දයන්නේ ඒ නිසාය. හිඟන්නාට දැනෙන්නේ ඒ භෞතික පක්‍ෂයේ
ශූන්‍යතාවය ය. එහෙත් ඔහු නැතිකම නිසා තැවෙනවා විය හැක. ඒ නිසා ඔහුගේ
අධ්‍යාත්මය ද දුප්පත් ය.
එහෙත් රේරුකානේ මාහිමියන්ගේ අධ්‍යාත්මය අතිශය පොහොසත්ය. ඒ යථාර්ථය
ප්‍රඥාවෙන් දකින්නට උන්වහන්සේට පුළුවන් වූ නිසාය. උන්වහන්සේ තවත්
අවස්ථාවක මෙවැනි ප්‍රබල අදහසක් ප්‍රකාශ කර සිටියි. මෙම ප්‍රකාශය තුළ
ගැබ්ව ඇත්තේ මහා දර්ශනයකි. ඇත්තෙන්ම එය ථේර ගාථාවක් වැනිය.
උන්වහන්සේගේ තියුණූ මනස පිළිසිඳගත් ඒ උදාන වාක්‍යයට දෙසවන් යොමුකරලමු.
‘මං හිතන්නේ ලෝකයේ ඉන්න ලොකුම පොහොසතාත් දුප්පතාත් මම කියලයි.
දුප්පත්කම යනු සෑහීමකට පත් නොවීමයි. එසේත් නැතිනම් ඇතිවීමක් නැතිකමයි.
මදිකමයි, මම සෑහීමකට පත් වෙලා ඉන්න කෙනෙක්. ලද දෙයින් සතුටුවෙලා
ඉන්නවා. සෙවීම පිළිබඳව උත්සාහයක් නැහැ. ඒක නිසා මං ලෝකයේ ලොකුම පොහොසතා
කියල සිතනවා. දුප්පත්කම කියන්නේ නැති කමයි. හිඟන්නා දුප්පතෙකි.
හිඟන්නාට තියෙන පොල් කටුව හැරමිටිය උනත් මගේය කියලා හිතෙන් අල්ලාගෙනයි
ඉන්නේ. ඒක නිසා ඔහු යමක් ඇති කෙනෙක්, මට මොනවා තිබුණත් ඒ කිසිවක්
හිතින් අල්ලාගෙන නැති නිසා කිසිවෙක් නැති කෙනෙකු හා සමානයි. ඒක නිසා
තමයි ලෝකයේ ඉන්න දුප්පත්ම පුද්ගලයාත් මමයි කීවේ.”
රේරුකානේ මහා නා හිමියන් බොහෝ වෙදපොත් කියවා තිබුන නිසා වෙදකම් පිළිබඳව
පැවතියේ හොඳ අවබෝධයකි. ඒ වාගේම නක්‍ෂාස්ත්‍රය පිළිබඳ දැනුම ද එසේම විය.
මා හිමියන්ට සාමාන්‍ය අසනීපයක් සෑදුන අවස්ථාවන්හිදී ඊට අවශ්‍ය
ප්‍රතිකාර තමා විසින්ම සලසා ගත්තේ වෙදකම පිළිබඳ තිබූ ඒ අවබෝධය නිසා ය.
මහා නා හිමියන් සිවුරු මැසීමට ද බොහෝ දක්‍ෂය. එසේම පොත් බැඳීමේ කලාව
මෙන්ම තම පරිහරණයට අවශ්‍ය මේස පුටු ආදිය අවශ්‍යතාවයට සරිලන සේ සරලව
සැලසුම් කිරීම ද උන්වහන්සේට හැකියාව තිබුණි. එසේම මේසන්, වඩු ශිල්පීන්
වෙත උපදෙස් දෙමින් විහාර කර්මාන්තාදියේ දී සැළසුම් සකස් කරමින්
ඉංජිනේරුවරකු සේ තාක්‍ෂණ ඥානය මඟ පෙන්වීම ලබාදීමට තරම් වූ බුද්ධියක්
මහා නා හිමියන් තුළ පැවතීම විශේෂ කුසලතාවයකි. නමුත් මේ කිසිවක් වෘතියක්
වශයෙන් කිරීමට කිසිවිටෙකවත් චන්දවිමල මා හිමියන් පෙළඹුණේ නැත. ඊට හේතුව
එවැනි දේ පිවිතුරු භික්‍ෂූත්වයට අකැප බැවිනි.
දුතියම්පි භද්‍රමධනස්ස අනාගාරස්ස භික්ඛුනො
අනවජ්ජපිණ්ඩො හොත්තබ්බො නච කොචු පරොධති
රේරුකානේ මහා නා හිමියන් ලියූ ශාසනාවතරණය පොතේ හැඳින්වීමේ එක් තැනක ඉහත
ගාථාව සටහන්ව තිබේ. ‘අරින්දම’ නම් වූ බරණැස් රජතුමා ඔහුගේ උයනෙහි
වැඩසිටි පසේබුදුවරයකු වෙත පැමිණ කළ සංවාදයකදී එම පසේ බුදුන් වහන්සේ
වදාළ ධර්මදේශනයේ එක් ගාථාවකි එසේ ඉහත සටහන් කර ඇත්තේ.
එහි අරුත නම් පැවිද්දා විසින් වෙදකම් කිරීම, කේන්ද්‍ර බැලීම, යන්ත්‍ර
මන්ත්‍ර කිරීම්, කුහකකම් කිරීම ආදී නොදැහැමි ක්‍රමවලින් ප්‍රත්‍යය නො
සොයා දැහැමින් ලද ආහාරය වැළඳිය යුතු ය. එසේ නිවැරදි ආහාරයක් වළඳන්නා වූ
පැවිද්දා හට ලෝභාදී ක්ලේශයන්ගෙන් කවරක් හෝ ඉපිද පීඩා නොකරන්නේ ය.
එබැවින් ගෙයක් නැත්තා වූ ධනය නැත්තා වූ පැවිද්දාට දෙවනුවත් හොඳය. සැපය.
මෙයින් කියැවෙන්නේ කුමක්ද? පැවිදි දිවිය ගත කරන සැබෑ භික්‍ෂුවකට
රැකියාවක් වශයෙන් කුමන වෘත්තියක් හෝ කිරීම අකැප බවය. එසේ රේරුකානේ චන්ද
විමල හිමියන් සැබෑ භික්‍ෂූන් වහන්සේ නමක් වශයෙන් තම පැවිදි දිවිය
පිවිතුරුව ගත කළහ. ඒ නිසා අද භික්‍ෂු සමාජය දෙස බැලීමේ දී උන්වහන්සේ
ඉතා විරළ ගනයේ භික්‍ෂූන් වහන්සේ නමක් බව විවාදයකින් සැකයකින් තොරව
පැවසිය හැකිව තිබේ.
උන්වහන්සේ මේ අකැප සියල්ලෙන් මිදී පිවිතුරු භික්‍ෂූත්වයට තම ජීවිතය
පරිත්‍යාග කළේ බොහෝ බාහිර දේ පිළිබඳ ඇති අවබෝධය නිපුණතාවයන්,
කුසලතාවයන්ගේ සීමාවන් දැන එය අනවශ්‍ය විදියට තම භික්‍ෂු ජීවිතයට ඈඳා නො
ගැනීමෙනි.
මේ කිසිදු දේකින් සීමාව ඉක්මවා නොයෑමට තරම් උන්වහන්සේ ප්‍රවේශම් විය.
අද දේශපාලන, ආර්ථික, වෘත්තීය ක්‍ෂේත්‍රයන්ට යොමු වී ඇති බොහෝ භික්‍ෂූන්
වහන්සේට චන්දවිමල මහා නා හිමි චරිතයෙන් ගත හැකි ආදර්ශයන් බොහෝ වෙතැයි
සිතේ. උත්තම පුරුෂ ඒක වචනයෙන්ම පැවසිය හැකි වූ පරමාදර්ශී මෙවන් යුග
පුරුෂයාගේ අගය තවතවත් තීව්‍ර ලෙස දැනෙන්නට පටන් ගන්නේ, සමාජයේ භෞතික
සංවර්ධධනය වර්ධනය වී අධ්‍යාත්මික සංවර්ධනය ශීඝ්‍රයෙන් පරිහානියටම ඇද
වැටෙමින් පවතින නිසා ය. පිරිහීමත් සමඟ සමාජ දේහයද රෝගාතුර වී ඇත. එහෙත්
උන්වහන්සේගේ ජීවිත කාලය තුළ දී දියවැඩියාව, අධික රුධිර පීඩනයෙන් වැනි
තදබල රෝගයකින් පීඩා විඳ නොමැත.
මෙයට බොහෝ සේ හේතු වී ඇත්තේ මහා නා හිමියන් ගෙවූ සරල, ජීවන රටාව ය.
එසේම චෛතසිකයේ නිරවුල් පිවිතුරු බව මෙන්ම සැහැල්ලුවෙන් ජීවිතය
පවත්වාගෙන යාම ය. එසේම අල්පේච්ඡතා ගුණය නිසා අනවශ්‍ය කායික හෝ මානසික
ව්‍යාකූලත්වයක් ද නො වී ය.
එසේම දියුණුකරගත් චිත්ත ඒකාග්‍රතාවයේ අධ්‍යාත්මික සුවය කායික සුවයට ද
බොහෝ සේ බලපාන්නට ඇත. ස්වභාව ධර්මයට අනුකූලව වියපත් වන විට කායික
දුබලතා ඇතිවීම කිසිවකුටත් වැළක්විය නොහැක. එහෙත් ජීවිතයේ අවසානය දක්වාම
මා හිමියන්ගේ මනස නිරවුල්ව ක්‍රියාත්මක විය. භාවනාදිය වඩමින් දියුණු
කරගත් මනස අපවත් වන මොහොත දක්වාම රෝගාතුර නොවූයේ සංසාර රෝගය නිවාරණය කර
ගැනීමට අවශ්‍ය ඔසුව මේ ප්‍රඥාසම්පන්න වූ මනස විසින්ම ප්‍රත්‍යක්‍ෂ කළ
නිසා විය හැකි ද?
මාහිමිපාණන් වහන්සේ පිවිතුරු බුද්ධ ධර්මයේ අග්‍ර ඵලය වූ නිර්වානය
නිර්වචනය කර ඇත්තේ මෙසේ ය. ‘රාගාදී කෙලෙස් ගිනිවලින් හා ජාති ජරා මරණා
දී දුක් ගිනිවලින් තොර වූ ශාන්ත සුඛස්වාභාවය නිර්වාණය’ බව ය. එම
සුඛස්වාදය සාක්සාත් කර ගැනීමට හැකි වූවා යැයි සිතීමට අවැසි කරුණු කාරනා
ඒ පිවිතුරු ජීවන මගේ දී අපට දැක ගැනීමට ලැබෙයි.
නිවැරදිව ගණන් සදා බැලුවහොත් චන්දවිමල මහා නා හිමියන් වහන්සේ වසර 99 යි
මාස එකොළහකුත් දින පහළොවක් ජීවත් වී ඇත. වසර සියයක් නැති නම් ශත
වර්ෂයක් සම්පූර්ණ කිරීමට තවත් ඉතිරිව තිබුණේ දින 15 ක් පමණි.
නමුත් සාමාන්‍ය වශයෙන් පවසන්නේ නම් එම කාලය වසර සියයක් වශයෙන් ගණන්
ගැනීමට පුළුවන. චන්දවිමල මහා නා හිමියන් හද්දා පිටිසර ග්‍රාමයක එහෙත්
සොඳුරු ඉසව්වක ජන්ම ලාභය ලැබුවේ 1897 වර්ෂයේ ජූලි මාසයේ 04 වැනි දින ය.
අපවත් වී වදාළේ 1997 වසරේ ජූලි මාසයේ 19 වැනි දිනය. ජන්මලාභය ලද මාසයේ
දීම අපවත් වීමද සිදුවීම විශේෂයක් ය.
අප කවුරුත් ජන්ම ලාභය ලැබුව ද ඒ ලැබීම ලාභයක් නොවන්නේ මේ අතිමහත් වූ
දීර්ඝ සංසාර චක්‍රය පුරාම පවතින්නේ දුක වේදනාවම බැවිනි. සදා නිර්මල
සත්‍ය මත පදනම් වූ බුද්ධ දේශනාවේ පැවසෙන්නේ මේ පංචස්කන්ධය වූ ලෝකය
පවතින්නේ දුක මත බවය.
සංසාරයේ දීර්ඝ කාලයක් පිරූ පාරමී බලය දෑතේ මිට මොළොවා ගනිමින් අපේ මහා
නා හිමියන් ජන්ම ලාභය ලද දින සිට ගෙවූ වසර සියක ජීවන මගේ අසිරිමත් වූ
අවසන් නිමේෂය වෙත අප දැන් ක්‍රමයෙන් පැමිණෙමින් සිටිමු. ඒ මොහොත ඔබ වෙත
ළඟා කර දීමට ප්‍රථමයෙන් උන්වහන්සේගේ ජීවන චරිතාපදානයේ තවත් විශේෂිත
කරුණු කීපයකට අවධානය යොමු කිරීමට අවසර පතමි.
තවත් කොටසක් පෙබරවාරි 14 වන දා පත්‍රයේ පළවේ
රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 19 නිරවුල් ලෙස ධර්ම
දේශනාවක් කරන්න අභිධර්මය ඉගෙන ගන්න ඕනෑ
|