Print this Article


සදහම් දැනුම

ප්‍රශ්නය - සැවැත්නුවර ආනන්ද බෝධිය නමින් සුවිශේෂී වූ පූජනීය වස්තුවක් පිළිබඳ සඳහන් වෙයි. ඒ කුමක් පිළිබඳවද?

පිළිතුර- බුදුරජාණන් වහන්සේ ජේතවනාරමයේ වැඩ නොසිටි අවස්ථාවලදී උන්වහන්සේ බැහැදැකීම සඳහා සැදැහැතියන්ට, වැඳපුදා ගැනීමට ආනන්ද හිමියන් විසින් රෝපණය කරන ලද බෝධීන් වහන්සේ ‘ආනන්ද බෝධිය’ නමින් හැඳින්වෙයි.

ප්‍රශ්නය - ඉපැරැණි ගොඩනැගිලි අතරෙන් අනුරාධපුර මහා විහාර සීමාව තුළ කරවන ලද නව මහල් ලෝවාමහා ප්‍රාසාදය කුමක් සඳහා කවුරුන් විසින් ඉදිකරන ලද්දක්ද?

පිළිතුර - මහා සංඝයා වහන්සේගේ විනය කර්ම කිරීම සඳහා උපෝෂථාගාරයක් වශයෙන්ද උන්වහන්සේලාගේ ආවාස ගෘහයක් වශයෙන්ද ප්‍රයෝජන වනසේ දුටුගැමුණු මහරජතුමා විසින් කරවා මහා සංඝරත්නයට පූජා කරන ලදී.ආරම්භයේදීීී නවමහලකින් යුතු වුවත් සද්ධාතිස්ස රජු දවස ගින්නෙන් විනාශවීම නිසා පසුකලෙක සත්මහලකින් යුතුව තැන වූයේය.

ප්‍රශ්නය - ප්‍රඥාවෙන් බුදුරජාණන් වහන්සේට පමණක් දෙවැනි වූ “ධම්ම සේනාපති” යන නමින් ප්‍රකට වූ ශ්‍රාවකයාණන් වහන්සේ කවුද?

පිළිතුර - ‘සාරි’ නම් බැමිණියගේ පුත් උපතිස්ස ‘ සාරිපුත්ත’ හෙවත් සැරියුත් නම් විය. උන්වහන්සේ පැවිදිව පසළොස් දිනක් ගියදා තම බෑණනුවන් වූ ‘දීඝණඛ” පිරිවැජියාට බුදුන් වහන්සේ දෙසූ ‘වෙදනාපරිග්ගහ’සූත්‍රය අසා රහත් වූහ. බුදුරජාණන් වහන්සේ සැරියුත් මහ තෙරුන් නුවණැතියන් කෙරෙන් තමන් වහන්සේට දෙවැනිකොට අගතැන්පත් කොට උන්වහන්සේ දකුණත් සවු බවට ද පත්කළහ.

ප්‍රශ්නය - එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ බරණැස ඉසිපතන මිගදායෙහි වැඩ වසන සේක්, මෙසේ වදාළහ. මහණෙනි! පැවිද්දන් විසින් අත්හළ යුතු අන්ත දෙකක් වෙයි. අත්හල යුතු මේ අන්ත දෙක මොනවාද?

පිළිතුර – හීන වූ ග්‍රාම්‍ය වූ පුහුදුන් මිනිසුන් විසින් සෙවනා ලද අනාර්ය වූ අවැඩ පිණිස මවන්නා වූ කාමසුඛල්ලිකානු යෝගය සහ දුක් සඳහාම හේතු වන්නා වූ අනාර්ය වූ අවැඩ පිණිසම වූ අත්තකිලමතානු යෝගයයි.

ප්‍රශ්නය - සෙංකඩගලපුර (මහනුවර) ඇසළ පෙරහර ආරම්භයේදී දේවාල පෙරහර නමින් හැඳින්වූ අතර පසු යුගයකදී මෙය දළදා පෙරහර යනුවෙන් භාවිතා විය.මෙය සිදුවූයේ කුමන රාජ්‍ය පාලන සමයේදීද?

පිළිතුර – කීර්ති ශ්‍රී රාජසිංහ රාජ්‍ය සමයේදී දළදා පෙරහර ආරම්භ විය.

ප්‍රශ්නය - සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේගේ ‘ප්‍රඥා පාරමිතාව ‘ විස්තර කරන සම්මානනීය ජාතක කථා ප්‍රස්තුතයේ නාමය කුමක්ද?

පිළිතුර – උම්මග්ග ජාතකය

ප්‍රශ්නය - අනේපිඬු සිටුතුමා, අමතා බුදුරජාණන් වහන්සේ වරෙක මෙසේ වදාළහ. ගහපති අරියසාවකො උට්ඨාන විරියාධිගතෙහි භොගෙහි බාහා බල පරිච්තෙහි සෙදා වක්ඛීත්තෙහි ධම්මිකෙහි ධම්ම ලද්දෙහි චත්තාරි කම්මානි කත්තා හොන්ති කතමානි චත්තාරි

ගෘහපතියා ඒ ආර්ය ශ්‍රාවක උත්සාහ වීර්යයෙන් දෑත දෙපයේ සහ දහඩිය මහන්සියෙන් උපයන ලද ධාර්මිකව භෝගයෙන් ධනයෙන් කළ යුතු වූ කරුණු සතරක් ඇත. බුදුරජාණන් වහන්සේ විසින් වදාළ එම කරුණු හතර මොනවාද?

පිළිතුර - සමාජ සැපවත් වෙයි. මවුපියන් සැපවත් කරයි. අඹුදරුවන් දැසි දසුන් සුවපත් කරයි. මිතුරු සහායකයන් සුවපත් කරයි.ආපදාසු භොගෙහි පරියෝධාය වත්ති. විපතකදී ප්‍රයෝජනය සඳහා තැන්පත් කරයි. ඤාතිබලි, අතිථිබලි, පුබ්බපේතබලි, රාජ බලි, දේවතාබලි, වශයෙන් ධනයෙන් පංචබලි සඳහා වෙන් කරයි. මහණ බමුණන් සඳහා දක්ෂිණාවක් වශයෙන් වෙන් කරයි.

ප්‍රශ්නය - ආනන්දය! ‘සුභද්‍ර’ ට මා වෙත පැමිණීමට ඉඩ දෙන්න. ඔහු මා වෙහෙසට පමුණු වන්නෙක් නොවේ.තවදුරටත් කරුණු විමසා සැක දුරුකර ගැනීමට පැමිණ සිටී.මේ සිදුවීම කුමක්ද?

පිළිතුර - කුසිනාරානුවර විසූ ‘සුභද්‍ර’ නම් පරිබ්‍රාජකයෙක් තථාගතයන් කෙරේ පැහැද තමන් තුළ උපන් සැකයක් දුරුකර ගැනීම පිණිස පැමිණියේය.

ඔහු තථාගතයන් වහන්සේ දක්වන සේ තෙවරක් කී නමුත් තථාගතයන් වහන්සේගේ අවසන් මොහොත වෙහෙසකර වනු අකැමැති ආනන්ද හිමියන් ඔහුට අවසර නුදුන්හ. මේ දෙදෙනාගේ කථාව අසා සිටි බුදුහිමියන් ‘සුභද්‍ර’ පිරිවැජියා කැඳවන ලෙස අනඳ හිමියන්ට නියම කළහ.

ප්‍රශ්නය - වය ධම්මා සංඛාරා, අප්පමාදෙන සම්පාදෙථ’ සංස්කාර ධර්මයෝ අනිත්‍යයහ. එහෙයින් සිහියෙන් යුතුව නොපමාව නිවන පිණිස වූ සියලු කටයුතු සපුරා ගන්න. මෙම බුද්ධ වචනය පිළිබඳව පැහැදිලි කරන්න.

පිළිතුර – බුදුරජාණන් වහන්සේ පිරිනිවීමට මොහොතකට පෙර මහණෙනි! දැන් තොප අමතමි’යනුවෙන් ඉහත සඳහන් අවවාදය දේශනා කළහ. එම දේශනය අවසාන බුද්ධ වචනය වශයෙන් බුදු සිරිතට එකතු විය.

ප්‍රශ්නය -
අනිච්චා වත සංඛාරා - උප්පාද වය ධම්මිනො

උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති -තෙසං වූප සමො සුඛො

සංස්කාර ධර්ම සියල්ල අනිත්‍යයහ. හැම දෙන නැසෙන සුළුය. ඔව්හු ඉපිද නැතිවෙත්. එබැවින් ඔවුන්ගේ සංසිදීම සැප පිණිස වේ.

මේ ප්‍රකාශය කවුරුන් විසින් කුමන අවස්ථාවකදී කරන ලද්දක් ද?

පිළිතුර- තථාගතයන් වහන්සේ පිරිනිවීමෙන් සහම්පති මහාබ්‍රහ්මයා ආදිකොට ඇති සුවිශේෂ පුද්ගල සංවේගාලාප අතර සක්දෙව් රජුගේ බුද්ධ පරිනිර්වාණය පිළිබඳව කළ සංවේග ප්‍රකාශයයි මේ.

ප්‍රශ්නය - විපාක කර්මයකදී ‘මහද්ගත කුසල’ කර්ම නමින් සඳහන් වන කුසල කර්ම හා ආනන්තර්ය අකුසල කර්ම විපාක පිළිබඳ හැඳින්වීමක් කරන්න.

පිළිතුර - ප්‍රථමධ්‍යානයෙහිදී රූපාවචර ධ්‍යාන සතර, ආකාසානඤ්චායතනාදී අරූපා වචර ධ්‍යාන සතරද යන සමාපත්ති අට මහද්ගත කුසල කර්ම වෙයි.

මෙයින් අනතුරු ආත්මභාවයෙහි (මරණින් මතු) ඒකාන්තයෙන් බඹලොව උපත ලබයි. මෙය ගරුක කුසල විපාක නමින්ද හැඳින්වෙනු ඇත. පංචානන්තර්ය කර්ම හා නියත මිත්‍යාදෘෂ්ටික අකුසල පක්ෂයෙහි ගරුක කර්ම වෙයි. මහද්ගත කුසල කර්ම හා ආනන්තර්ය අකුසල කර්ම කළ පුද්ගලයාට පළමුකොට විපාක දෙන්නේ ආනන්තර්ය අකුසල කර්ම විපාකයයි. මුල් මහද්ගත කුසලකර්ම විපාකය ඉන් වැළකේ.දෙව්දත් තෙරුන් ධ්‍යානලාභී වුණද පළමු කළ මහද්ගත කුසල කර්ම විපාක වළකා පසුව කළ ලෝහිතුප්පාදක සංඝභේද යන ආනන්තර්ය අකුසල කර්ම විපාක විඳීමට සිදුවෙයි.

ප්‍රශ්නය - අනේපිඬු සිටුතුමා , උදෙසා දිනෙක බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ. ‘ගෙහෙවිය, ඉෂ්ට කාන්ත මනාප දුර්ලභ වූ සතර දහම් හි ප්‍රතිලාභය පිණිස සතර දහමක් පිළිපැදිය යුතුය. අනේපිඬු සිටු අරභයා දේශනාකොට වදාළ එම දහම් සතර මොනවාද?

පිළිතුර -

සද්ධා සම්පදා
සීල සම්පදා
චාග සම්පදා
පඤ්ඤා සම්පදා