Print this Article


දියේ ගිලෙන ක්‍රමවේදයෙන් ආර්ය පුද්ගලයා හඳුන්වා දීම

දියේ ගිලෙන ක්‍රමවේදයෙන් ආර්ය පුද්ගලයා හඳුන්වා දීම

මිනිසා පිළිබඳව මිනිස් සමාජය පිළිබඳව විවිධ විග්‍රහ විවරණ බුදු දහමෙහි සඳහන්ව ඇත. ඒ සෑම විග්‍රහයක්ම මිනිසාගේ ඵෙහලෞකික හා පාරලෞකික හිත වැඩ පිණිසත්, අවසන සසර දුකින් නිදහස් වීම පිණිසත් හේතු වන සේ විග්‍රහ කොට තිබීම බුදුදහමෙහි ඇති විශේෂත්වයකි. අංගුත්තර නිකායෙහි අනුසය වග්ගයේ එන “උදකූපම පුද්ගල” සූත්‍රය ද මිනිසා පිළිබඳව එබඳු විග්‍රහයක් ඉදිරිපත් කරන අතිශයින් වැදගත් සූත්‍රයකි.

මෙම සූත්‍රයෙන් උදකූපම පුද්ගලයන් සත් දෙනෙක් පෙන්වා දී ඇත. එම සත් දෙනා මෙසේය.

1.නියත මිථ්‍යාදෘෂ්ඨික පුද්ගලයා දියේ ගිලුනේ ගිලුනේම වෙයි

2.දෙවැන්නා ශ්‍රද්ධා,හිරි, ඔතප්, වීර්යය, ප්‍රඥාව යන කුසල් දහම් ඇති කර ගැනීම හොඳ යයි සිතයි. එහෙත් ඒ කුසල් දහම් නොවඩයි. ඔහු දියේගිලී වරක් මතුවී යළි දියේ ගිලෙන පුද්ගලයාය.

3.තෙවැනි පුද්ගලයා නම් ශ්‍රද්ධාදී ගුණ තිබෙන පුද්ගලයාය. එහෙත් ඒ ගුණ නො වැඩෙයි. ඔහුදියේ ගිලී මතුවී සිටින පුද්ගලයාය.

4.සිව් වන පුද්ගලයා නම් මතුවී වට පිට බලන්නාය. ඔහු ශ්‍රද්ධාදී ගුණ උපදවාගෙන යා යුතු මඟ සොයා බලා දස සංයෝජනවලින් සක්කාය දිට්ඨි , විචිකිච්ඡා, සීලබ්බත පරාමාස යන සංයෝජන තුන නසා නියත ගතිකයෙක් බවට පත් වන්නාය.

5. පස්වැන්නා නම් දියෙන්මතු වී තරණය කරන පුද්ගලයාය. ඔහු ශ්‍රද්ධාදී ගුණයන් හි පිහිටා සංයෝජන තුනක් නසා රාග – ද්වේෂ දෙක්හි බලය බිඳින්නාය.

6.ස වැන්නා දියෙන්මතු වී ගොඩබිමට පිහිනා යන පුද්ගලයාය. ඔහු ශ්‍රද්ධාදී ගුණ ධර්මයන්ගෙන් යුතුව ඕරම්භාගිය සංයෝජනයන් නසා ශුද්ධාවාස බඹලොව ඉපදි එහිදීම පිරිනිවන්පාන්නාය.

7.හත් වැන්නා නම් දියෙන්මතු වී තරණය කොට පරතෙරටම යන පුද්ගලයාය. හෙතෙම ශ්‍රද්ධාදී ගුණයන්ගෙන් යුතුව ආශ්‍රවයන් දුරු කොට චේතෝ විමුක්තිය – ප්‍රඥා විමුක්තිය මෙලොව දීම විශිෂ්ට ඤාණයෙන් සාක්‍ෂාත් කොට වසන බාහිත පාපි බ්‍රාහ්මණව නිවනට පැමිණි පුද්ගලයාය.

මෙම සූත්‍රයෙන් මිථ්‍යාදෘෂ්ටිය , ශ්‍රද්ධා, හිරි,ඔතප්, වීර්යය, ප්‍රඥාව යන ධර්ම කරුණු පිළිබඳව විස්තරයක් දක්වා ඇත. මිථ්‍යාදෘෂ්ටිය නම් වැරැදි දැකීමයි. සාමාන්‍ය කරුණක් ගෙන වැරැදියට සිතා සිටීම, වටහා ගැනීම මිථ්‍යාදෘෂ්ටියෙහි ලා ගිණිය නොහැකිය. බ්‍රහ්මජාල සුත්‍රයෙහි දෙසැට මිසදිටු පිළිබඳව සඳහන් කොට ඇත. ඒ සැම මිසදිටුවක් ම ශාස්වත වාදයට හෝ උච්ඡෙද වාදයට වැටේ.

ශාස්වත වාදය නම් සදාකාලික ආත්මයක් ඇත යන විශ්වාසයයි. උච්ඡේදවාදය නම් සත්වයන්ගේ නැවත උපතක් නැත, මේ ආත්මයෙන් පසු සියල්ල අවසන්වේ යැයි පිළිගැනීමයි. මේ අනුව සලකා බලන විට අපලයක්, උපද්‍රවයක් දුරුකර දෙන්නැයි දෙවියකුගෙන් ඉල්ලීමක් කළාට, ඒ සඳහා දේව පූජාවක් තැබුවාට උච්ඡේද වාදයට හෝ ශාස්වත වාදයට නො වැටේ. දෙවියන්ගෙන් නිවන ස්වර්ගය, සදාකාලික සැපත ලබා දෙන්නැයි ඉල්ලා සිටී නම් එය මිථ්‍යාදෘෂ්ටියයි. එසේ දෙවියන්ගෙන් පරම නිෂ්ටාව බලාපොරොත්තු වන ආගම් බොහෝය. බුදුදහම එම ආගම් මිථ්‍යාදෘෂ්ටි වශයෙන් හඳුන්වනු ලැබේ.

ශ්‍රද්ධාව

දෙවැන්න ශ්‍රද්ධාවයි. ශ්‍රද්ධාව ධනයක් වශයෙන්ද සම්පතක් වශයෙන්ද බලයක් වශයෙන්ද දහමෙහි හඳුන්වා ඇත. සැම පිනක්ම කිරීමට මුල් වන්නේ ශ්‍රද්ධාවයි. දීර්ඝ ගමනක් යන විට මුදල් අත්‍යවශ්‍ය වෙයි. මුදල් නොමැති නම් හිරිහැර බාධක කරදරවලට මුහුණ පාන්නට සිදුවෙයි. එමෙන් දීර්ඝතම සසර ගමනක යෙදෙන අපට පින් නමැති මග වියදම් සපයා දෙන්නේත් ශ්‍රද්ධාවයි. “සද්ධා බන්ධති පාතෙය්‍යං “ යනුවෙන් දක්වා ඇත්තේ එයයි. බෞද්ධයා තුළ තෙරුවන් කෙරෙහි ඇත්තේ ශ්‍රද්ධාවයි. එය භක්තියක් වශයෙන් හැඳින්විය නොහැකිය.භක්තිය නම් ගෞරවය හා භය පදනම කරගෙන ඇති වන්නකි. ශ්‍රද්ධාව නම් පැහැදීමයි. ඒ පැහැදීම අන්ධ භක්තියකින් නොව විමංසන බුද්ධියෙන් කළ යුතුය. බුදුරජාණන් වහන්සේ පිළිබඳ වුවද විමසීමෙන් හා පරීක්‍ෂාවෙන් යුතුව අවබෝධ කර ගත යුතු බව “විමසංසක” සූත්‍රයේ සඳහන්ව ඇත.

සම්පසාදන ලක්ඛණ සද්ධා – සම්පක්ඛන්ධන ලක්ඛණ සද්ධා -ඕපක්කම සද්ධා – ආගමසද්ධා, අධිගම සද්ධා යනුවෙන් ශ්‍රද්ධාවෙහි ප්‍රභේද පහක් දක්වා ඇත. සක්විති රජුගේ උදකප්පසාද මාණික්‍යයෙන් ජලය පිරිසුදු වන්නාක් මෙන් තෙරුවන් කෙරෙහි පැහැදීමෙන් ඇති වන ශ්‍රද්ධාව සම්පසාදන ලක්ඛන සද්ධා නමි, සම්පක්ඛන්ධන ලක්ඛණ සද්ධා නම් බාධක කරදර මධ්‍යයේ වුවද ඉදිරිපත්ව පින් දහම් කිරීමට පෙළඹීමය. ඕපක්කම සද්ධා නම් කිසිම උපක්‍රමයකින් වෙනස් නො කළ හැකි ශ්‍රද්ධාවයි. ආගම ශ්‍රද්ධා හා අධිගම ශ්‍රද්ධා ඇති වනුයේ අර්ය පුද්ගලයන්ටය. මෙම ශ්‍රද්ධාව අමූලිකා සද්ධා ආකාරවති සද්ධා යැයි ද දෙපරිදි වේ.අමූලිකා සද්ධා නම් කරුණු නො විමසා භක්තිය පදනම් කොටගෙන ඇති වන ශ්‍රද්ධාවයි.ආකාරවති ශ්‍රද්ධාව විමංසන බුද්ධියෙන් කරුණු දැනගෙන ඇතිවන ශ්‍රද්ධාවයි.

ශ්‍රද්ධාව වැඩි වී ප්‍රඥාව අඩු වුවහොත් මෝඩ පැත්තට වැටෙයි, “මන්ද සද්ධා බලව පඤ්ඤා කෙරාටික පක්ඛං භජති” ශ්‍රද්ධාව අඩු වී ප්‍රඥාව වැඩි වුවහොත් කෛරාටික පක්‍ෂයට වැටෙයි. මේ නිසා ශ්‍රද්ධාව හා ප්‍රඥාව සම මට්ටමේ පැවැතිය යුතුය. ශ්‍රද්ධාව යනු යහපත්දේ කරන විට සිතේ ඇතිවන ප්‍රසන්නභාවය යයි ඇතැමෙක් හඳුන්වති. එහෙත් බුදුදහමෙහි හඳුන්වන ශ්‍රද්ධාව එයට වඩා ගැඹුරු අර්ථයක් ප්‍රකාශ කරයි.

ඊළඟට ධර්ම කරුණු දෙක හිරි ඔත්තප්ප යන්නයි. කරුණූ දෙකක් වුවත් එකට යෙදෙන වචන දෙකකි. එසේ යෙදෙනුයේ එයින් කියැවෙන ධර්ම කරුණු එකකට එකක් සාපේක්‍ෂකව සිටින බැවිනි. හිරි නම් ලජ්ජාවයි. ඔත්තප්ප නම් භයයි. මෙහිදී ලජ්ජාව වශයෙන් හඳුන්වා ඇත්තේ සබකෝලය නොවේ. පව් කිරීමට ඇති ලජ්ජාවයි. එම ලජ්ජාව ජාතිය, කුලය, උගත්කම , පරපුර යන කරුණු ගැන සලකා බලා ඇති කරගත යුතුය. භය නම් පව් කිරීමට ඇති බියයි. පව්කළවිට අපායාදී දුගතිවලට වැටී දුක් විඳීමට සිදුවේය යන දුග්ගති භය නිසා පව් නො කරයි. එසේම රජයෙන් ලැබෙන දඬුවම් ගැන සිතා පව් නො කරයි.”අත්තානුවාද’ භය “ නමින් හැඳින්වෙන්නේ තමාට සමාජයෙන් නින්දා අපහාස විඳීමට සිදුවේය යන බියෙන් පව් නො කිරීමයි. පරානුවාද භය’ නම් අන්‍යයන්ගේ නින්දා අපහාසවලට බියෙන් පව්නො කිරීමයි.

ලජ්ජා භය -ලෝක පාලක ධර්ම – සුදු ධර්ම, දේව ධර්ම වශයෙන් හඳුන්වා ඇත. ලෝකය පාලනය වනුයේ ලජ්ජා භය නිසාය. නැති නම් මවය. පියාය. සහෝදර සහෝදරියන්ය. දූදරුවන්ය යන භේදයක් නැතිව තිරිසන් සතුන් මෙන් හැසිරෙනු ඇත. “අත්තාධිපතෙය්‍යා හිරි ලෝකාධිපතෙය්‍යා ඔත්තප්පං” හිරි හෙවත් ලජ්ජාව අධ්‍යාත්මික වශයෙන් ඇතිවෙයි. භය බාහිර ලෝකය කරණ කොට ගෙන ඇති වෙයි.

විර්යය යනු කිසියම් කටයුත්තක් නිමා වන තෙක් කරගෙන යාමට සිතේ ඇතිවන ධෛර්යයයි. ගතේ වීර්යයද එයට උපකාරවත් වෙයි. එම වීර්යය, ආරම්භධාතු, නික්ඛමධාතු,පරක්කම ධාතු වශයෙන් තෙයාකාරයෙන් පෙන්වා දී ඇත. අයෙක් යම් කටයුත්තක් පටන් ගැනීමට පෙරාතුවම මේ කටයුත්ත කරන විට මේ මේ බාධක හිරිහැර පැමිණේවි යයි කටයුතු ආරම්භ නො කරම පසුබසිති. ආරම්භක ධාතු නම් කෙතරම් බාධක ආවත් තම කටයුත්ත ඇරැඹීමට ඇති ධෛර්යයයි. එම කටයුත්ත බාධක මැඩ කරගෙන යාමට ඇති ධෛර්යය නික්ඛම ධාතු නමි. පරක්ඛම ධාතු නම් නිෂ්ටාව තෙක්ම ආරම්භ කළ කටයුත්ත කරගෙන යාමට ඇති ධෛර්යයයි.

අප මහා බෝසතාණන් වහන්සේ එදා බෝමැඩ වජ්‍රාසනාරූඪ වූයේ සම්,මස්, නහර,ලේ වියළී ගියත් බුදු වී මිස නො නැගිටිමි යි යන චතුරංග සමන්නාගත විර්යයෙනි. රෝදයක් කන්දක් මුදුනට පෙරළාගෙන යන්නාක්මෙන් තම කටයුතු කෙරෙහි නිබඳවම වීර්යය වැඩිය යුතුය.

ප්‍රඥාව නම් අනිත්‍ය, දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්‍ෂණය අවබෝධ කර ගැනීමේ ශක්තියයි. බුදු දහම ප්‍රඥාවන්තයන්ට ය. දුෂ්පාඥයන්ට නොවේ. ‘පඤ්ඤාවන්තස්සායං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස” යන්නෙන් දේශනා කොට ඇත්තේ එයයි. ප්‍රඥාවන්තයෙක් වීමට ත්‍රිහේතුක උත්කෘෂ්ට කුශල කර්මයකින් උපත ලැබිය යුතුය. නිර්වාණාවබෝධය කළ හැක්කේ එබඳු පුද්ගලයන්ටත් ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් සම මට්ටමට තිබිය යුතුය. එවිට සක්කාය දිට්ඨි, විචිකිච්චා සීලබ්බතපරාමාස යන සංයෝජන තුන නැසෙයි. ඉන් පසු ශ්‍රද්ධාව ස්ථීරත්වයට පත්වෙයි. නියත ගතිකයෙක් වෙයි. කාමරාග - පටිඝ / ව්‍යාපාද දෙකෙහි බල සකෘදාගාමි තත්ත්වයෙන් බිඳී යයි. අනාගාමි වීමේදි එම සංයෝජන දෙක සහමුලින්ම නැතිවෙයි. රහත් වීමේදී දස සංයෝජන ධර්මයන් ම දුරුවෙයි. දියේ ගිලී ඉපිලී පීනා තරණය කොට ගොඩබිමට නැගී සිටින්නා නම් ඒ රහතන් වහන්සේය.