Print this Article


ප්‍රාර්ථනාවන් සපිරූ සුභද්‍රාරම රජමහා විහාරස්ථානය

ලංකා ඉතිහාසයේ ස්වර්ණමය යුගයක් වශයෙන් සැලකෙන කෝට්ටේ යුගයට දීප්තියක් ලබාදුන් රජතුමා වූයේ හයවැනි පරාක්‍රමබාහු ය. පොළොන්නරුවේ මහා පරාක්‍රමබාහු රජතුමාගෙන් පසුව තුන් සිංහලයම එක්සේසත් කරමින් අප ලක්බිමේ අභිමානය උදා කළේ සවැනි පැරකුම්බා රජතුමා විසිනි. ක්‍රි.ව. 1412 සිට 1467 දක්වා වූ අඩසියවසකටත් අධික දිගු කාලයක් සිහසුනට හිමිකම් කියූ මෙතුමාගේ රාජ්‍ය කාලය ලංකා ඉතිහාසයේ සදානුස්මරණීය යුගයක උත්කෘෂ්ට පරිච්ඡේදයක්ම වන්නේම ය. සවැනි පැරකුම්බාවන්ගේ මව සුනේත්‍රා දේවිය ද පියා ජයමහලෑන නම් කුමරකු බව සඳහන් වෙයි.

පරාක්‍රමබාහු රජතුමා තම මව වෙනුවෙන් ‘සුනේත්‍රාදේවී’ නමින් පිරිවෙන් විහාරස්ථානයක් කරවන ලද අතර ’සුභද්‍රා’ නම් වූ බිසවක නමින් සුභද්‍රාරාම විහාරස්ථානය ඉදිකළ බව ජනප්‍රවාද ගත ප්‍රවෘත්තියකි. එහෙත් සුභද්‍රා නමින් වූ බිසවක් රජතුමාට සිටි බවට ඓතිහාසික සාක්‍ෂි නොමැත. එහෙත් විහාරස්ථානයේ අදටත් පවතින පැවතුණු ඇතැම් සාධක මතින් සැක හැර දැනගත හැකි වන්නේ සුභද්‍රාරාම විහාරස්ථානය කෝට්ටේ යුගයේ සිට පැවත ආ පැරැණි සිද්ධස්ථානයක් බවයි.

කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා දිවෙන හයිලෙවල් මාර්ගයේ නුගේගොඩ පසුවී හමුවන ගම්සභා හන්දියෙන් වමට ඇති සුභද්‍රාරාම පාරේ පැමිණ මීටර් 400ක් පමණ දුරින් ඇති මෙම ඓතිහාසික විහාරස්ථානයට ළඟා විය හැකි වෙයි.

දැනට කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය පිහිටි බිමෙහි පැරැණි උමගයක දොරටු තුනක් දකින්නට ලැබෙයි. මෙය පෞරාණික වටිනාකමකින් හෙබි පුරාවිද්‍යාත්මක සාධකයකි.

එවැනිම වූ උමගයක දොරටුවක් සුභද්‍රාරාම විහාර භූමියේ ද ඇත. මෙම උමං කටින් ඇතුල් වී, ගමන් කිරීමෙන් ආනන්ද ශාස්ත්‍රාල භූමියේ උමගයෙන් මතු විය හැකි බව ඇතැම් සාධක මතින් විශ්වාස කළ හැකි බව පැවසෙයි.

අද ආනන්ද ශාස්ත්‍රාලය පිහිටි භූමිය කෝට්ටේ රාජධානිය පැවැති යුගයේ දී කෝට්ටේ රජමහා විහාර භූමියේ පොහොය සීමා හැටියට පැවැති බව ඇතැම් පුරාවිද්‍යාඥයන් මත පළ කර තිබෙයි.

මේ සාධක අනුව විශ්වාසයක් පවතින්නේ කෝට්ටේ රජමහා විහාරය වැඳ පුදාගෙන එහි සිට ගංගොඩවිල සුභද්‍රාරාම විහාරස්ථානය වෙතද වන්දනා මාන කිරීමට රජතුමාට හා බිසෝවරුන්ට ආරක්‍ෂා සහිතව ගමන් කිරීමට මෙම උමං මාර්ගය සකසන්නට ඇති බවය.

එවන් විශ්වාසයන්, පැවතිය ද ඓතිහාසික නිශ්චිත නිගමනයන්ට පැමිණීමට නොහැකි වී ඇත්තේ ලක්බිමේ ප්‍රබල සන්ධිස්ථානයක වූ සුවිශේෂී ජාතික උරුමයක සැමරුම් බහුතරයක් විනාශ කර දැමීමට පෘතුගීසි ආක්‍රමණිකයන්ට හැකි වීම ය. එසේම ඔවුන්ගේ කුරිරු විනාශ කිරීම් සහ දේශීය රාජ්‍ය ආරක්‍ෂාව දුර්වල වී යද්දී ලාංකේය භික්‍ෂූන් වහන්සේට සිදු වුනේ එළඹෙන ආපදාවන් හමුවේ කන්ද උඩරටට මෙන්ම සීතාවක ප්‍රදේශයට පලා යාමට ය.

විශේෂයෙන් ආක්‍රමණිකයන්ගේ ඇසට කටු අනිනවා වැනි වූ වෙහෙර විහාර සඟ සතු දේපළ ඔවුන් විසින් කතෝලික පල්ලියට තෑගි කළහ. ඇතැම් තැන් විනාශ කළහ. මේ සියල්ල එසේ සිදු වූයේ ලක්දිව අඳුරට ඇද දැමූ පරිච්ඡේදයක් උදා කළ දොන් ජුවන් ධර්මපාල නිවට රජතුමා මුළාවී කතෝලික ආගම වැලඳ ගැනීමේ ප්‍රතිඵලයක ආදීනව වශයෙනි. අවසානයේ අභිමානවත් සිංහල ලෙයට තරම් නොවන සටනකින් තොර නියාලු ප්‍රතිපදාවකට යටත් වී අප මාතෘ භූමිය පෘතුගීසීන්ට පවරාදෙනු ලැබුවේ තෑගි ඔප්පුවකිනි.

රාජයෝගය නීච වෙද්දී රටේ ජනතාව අසරණ වූහ. ඇතැම් සිද්ධස්ථානයන්හි ඇති භූමියන්හි ආගමික ලකුණු මැකී යමින් වල් බිහි විය. එසේ නොවුණේ නම් 15 වන ශතවර්ෂයේ ආගමික, සාමාජික, ශාස්ත්‍රීය පුනරුදයත් ඇති කළ කෝට්ටේ රාජධානි සමය මෙන්ම එම යුගය සැමැරීමට සමත් බොහෝ ඔදවත් තේජාන්විත ඓතිහාසික ගමන් මඟ ඔස්සේ සාඩම්බර ලෙස සැරිසරන්නට හැකි මං මාවත් තවමත් ඉතිරි වී තිබෙනු නියතය.

එය එසේ වුවද ඉතිහාසයට දොර කවුළු විවර වන සුභද්‍රාරාම විහාරස්ථානයේ තවමත් නිරුපද්‍රිතව පවතින පැරැණි බෝධීන් වහන්සේ කෝට්ටේ යුගය නියෝජනය කරමින් අපව ඉතිහාසය වෙත කැඳවාගෙන යයි.

ජනප්‍රවාදයට අනුව පැවසෙන්නේ හයවැනි පැරකුම්බා රජතුමාගේ බෑණනුවන් වන නන්නූර්තුනයා ඇමැතිතුමා විසින් තම බිසව වූ උලකුඩය දේවියට පුතකු ලැබේවායි පතමින් කළ භාරය ඔප්පු කිරීමට ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් මෙම භූමියෙහි රෝපණය කළ බවයි.

එසේම විහාරභූමියේ උස් තැනක ඇති ඉතා පැරැණි දෙල්ගස ද එය වට කරගත් නුග වෘක්‍ෂය ද එවැනිම පැරණි ස්මාරක බව පිළිගැනෙයි. එදා නන්නූර්තුනයා ඇමැතිතුමා දරුවකු ලබා ගැනීම සඳහා භාරවීමට පැමිණ ඇත්තේ ද මෙම දෙල්ගස සමීපයට බව ජනප්‍රවාද මතයක් බවට පත් වී ඇත.

මෙම විහාරභූමියේ පුරාණයේ පැවැති චෛත්‍ය බුද්ධ මන්දිරය අබියස තිබී 1963 වසරේ දී ගරා වැටී ඇත. වත්මන් චෛත්‍ය ගොඩනැඟෙන්නේ 1968 වසරේ දී ය. පැරැණි ශ්‍රී විභූතිය වර්තමානය වෙත කැඳවාගෙන ඒමට සමත් ලෙස සුභද්‍රාරාම රජමහා විහාරයේ නව බුද්ධ මන්දිරය සෑදීමට ආරම්භ කරන්නේ 1917 වසරේදී බෝරුක්ගමුවේ ශ්‍රී රේවත නා හිමිපාණන්ගේ යුගයේදීය. මාල තුනකින් සමන්විත අතිශය ආකර්ෂණීය රමණීය නිර්මාණයක් වන මෙම විහාර මන්දිරය සාදා නිමකිරීමට වසර 51 ක් පමණ ගතවී තිබේ. මෙහි වැඩ නිමවන්නේ 1968 වසරේදී ය.

පුළුල් භූමි භාගයක් වටා ඉදිවුණු බුදු මැදුර නිසා එතැන් පටන් සුභද්‍රාරාමය, සුභද්‍රාරාම අතුල රාජ මහා විහාරය නමින් ප්‍රකට විය.

බුදු සිරිතේ සුවිශේෂී අවස්ථා මෙන්ම සම්බුද්ධ ඉතිහාසයේ සිදුවීම් විශේෂයෙන් ප්‍රතිමා අනුසාරයෙන් සජීවී ලෙසින් මේ තුළ ප්‍රතිනිර්මාණය කර ඇත්තේ එවකට ලංකාවේ දක්‍ෂ මූර්ති ශිල්පීන් වූ බී.එස්. දනේරිස් සහ බී.එස්.ජී. සිරිනේලිස් යන ශිල්පීන් විසිනි. එය බුද්ධාලම්බන පී‍්‍රතියෙන් සිත් උද්දාමයට පත් කරවන සුවිසල් කලාගාරයක් බඳු වෙයි. 1936 වසරේ දී මෙහි පිරිවෙනක් ආරම්භ වන්නේ බෝරුක්ගමුවේ ශ්‍රී රේවත මා හිමිපාණන්ගේ අනුශාසකත්වයෙනි. එහි ගිහි පැවිදි දෙපක්‍ෂයටම ශාස්ත්‍රීය අධ්‍යාපනය ලබා දෙති. සුභද්‍රාරාම රජමහා විහාර වංශ කතාව දිදුලවාලු සංඝ පරම්පරාව පැවත එන්නේ වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ පරම්පරාවෙනි. ශ්‍රී ලාංකේය සංඝ සමාජය සම්භාවනීය කළ සංඝ පීතෘන් වහන්සේ නමක් වූ බෝරුක්ගමුවේ ශ්‍රී රේවත නා හිමිපාණන් වහන්සේගේ සිල්වත් ගුණවත් සංඝ ශෝභන ගුණයන්හි කෙරෙහි අතිශයින් පැහැදී සිටි අනගාරික ධර්මපාලතුමා, පැවිද්ද ලබා ගත්තේ ශ්‍රී රේවත නා හිමියන් ඉන්දියාවට වැඩමවා උන්වහන්සේ වෙතින් වීමද විශේෂයකි. ශාසනික, ආගමික, ශාස්ත්‍රීය කාර්යයන්හි පෙරමුණ ගෙන සිටින සුභද්‍රාරාම රජමහා විහාරය අගනගරයේ සුවිශේෂි විහාර නාමාවලිය සරසන ලක්බිම පැහැපත් කරනා තවත් වටිනා සිද්ධස්ථානයකි.