කැලණිය විශ්වවිද්‍යාලයේ
පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය
දේවාලේගම
මේධානන්ද හිමි ගමේ ගහ කොළ ඇළ දොළ කඳුහෙල් මිටියාවත්
කෙත්වතු ඔවුන් තුළ පැවති
ඒ හැදියාවට ම අනුබල දෙමින් අව්‍යාජත්වයත් රසකාමිත්වයත්
එක් කළ බව නොරහසකි. ගමට
ආවේණික වූ සැහැල්ලු ගැමි දිවි පැවැත්ම එසේ හැඩ ගැස්වීමට
මුල් වූයේ බුදු දහමයි. ජන කවිය ගැමි අත්දැකීම් මෙන් ම
ජීවිතාවබෝධය ද පිළිබිඹු කරන කැඩපතක් වැනි ය. මේ එක් නිදසුනකි.
ජන කවිය වූ කලී පැරණි ගම්බද ජනයාගේ එදිනෙදා දිවි පැවැත්ම ඇසුරුකොටගෙන
උපන් විශිෂ්ට සාහිත්‍යාංගයකි. ව්‍යාජ සාටෝප සාඩම්බර ගති පැවතුම්වලින්
තොර වූ හිස පුරවාගත් මහා දැන උගත්කම්වලින් බර නොවූ සැහැල්ලු එහෙත්
වඩාත් හරවත් ජීවන දැක්මකින් හා විවෘත සදාචාර සම්පන්න ගති පැවතුම්වලින්
ද සරු වූ ගැමි ජීවිතය ජන කවියෙහි උල්පත වූයේ ය. ඒ ගැමියනට සුවිසල් මහ
මන්දිරවල සුව පහසු යහන් නොවූයේ ය. රසමසවුළු සහිත අහර ද නොවිණි. රන්
රිදී මුතු මැණික් යාන වාහන ඔවුන් සතු නොවී ය. ඔවුහු ලද පමණින් සතුටු වැ
අපිස් සතොස් ගුණයෙන් සරුවැ නිහඬ නිස්කලංක හා ශිෂ්ට සම්මත ජීවිත ගත කළෝ
ය. ගමේ ගහ කොළ ඇළ දොළ කඳුහෙල් මිටියාවත් කෙත්වතු ඔවුන් තුළ පැවති ඒ
හැදියාවට ම අනුබල දෙමින් අව්‍යාජත්වයත් රසකාමිත්වයත් එක් කළ බව
නොරහසකි. ගමට ආවේණික වූ සැහැල්ලු ගැමි දිවි පැවැත්ම එසේ හැඩ ගැස්වීමට
මුල් වූයේ බුදු දහමයි. ජන කවිය ගැමි අත්දැකීම් මෙන් ම ජීවිතාවබෝධය ද
පිළිබිඹු කරන කැඩපතක් වැනි ය. මේ එක් නිදසුනකි.
රන්විමනේ සිටි මුත් දුක නැති වෙත් ද
පැණි මීයේ කෑමුත් බඩගිනි නැද් ද
මිණි බරණින් සැදු මුත් ගත නොදිරත් ද
පැණි වරකා ගහටත් හෙණ නොවදිත් ද
මේ උපහැරණ කවියකි. අපේ ගැමියන් බුදු ගුණ තුළින් ජීවිතය දුටු හැටි මින්
පෙනෙයි. රත්රන් විමානයෙක බොහෝ සරුසාර ව සිටිය ද සසර දුක මිනිසාට උරුම
ය. ඉපදීම, ලෙඩවීම, මහලුවීම, මරණය ඉක්මවා යා නොහැකි ය. නිපදවන මිහිරිතම
කෑම නම් මී පැණි ය. එහෙත් එය ද තාවකාලික ය. මී පැණි කෑව ද නැවත බඩගිනි
උපදියි. මුතු මැණික් අබරණින් මේ කය සරසාගත්තද මෙය දිරන සුළු කුණු කයක්ම
ය. අනිත්‍යය, අසාරය, දුකය. ගස පැරණි වරකා ගසක් වුව ද එයටත් හෙණ ගහයි.
ජීවිතය කෙතරම් උපභෝග පරිභෝග සම්පත්වලින් ආඪ්‍ය වුව ද දුක මිනිසාට උරුම
වන්නේ ය. උචිත රූපක ද භාවිත කරමින් සිය අත් දැකීම් හා පරිසරය ද ඇසුරින්
ගැමියෙකු කවිබණක් කී හැටි මින් පෙනේ. මේ තවත් එබඳු නිමැවුමකි.
කල්බලා නොවෙද ගොවිතැන් කරන් නේ
මල්වරා නොවෙද කිරිවැද පැසෙන් නේ
පව් කළා නොවෙද පිං පල නොදෙන් නේ
ලොවුතුරා බුදුන් කවද ද දකින් නේ
වී ගොවිතැනෙන් දිවි ගෙවූ ගැමියෝ සිය අත්දැකීම් ද මුසු කොට සසර පැවැත්මට
තුඩු දෙන කර්මය ද සසර නැවැත්ම වූ නිවන ද එසේ කවියෙන් කීහ. කල්යල් බලා
ගොවිතැන් කළ යුතු ය. වැසි කල නියංකල නොබලා කරන ගොවිතැන නිසි පල උදා
නොකරයි. පින ද එබඳු ම ය. එය පල දරන්නේ ද නිසි කලට ය. කළ පව් ඇති විට
පින් පල නොදෙන්නේ ය. මේ සසර පැවැත්ම ය. ගොයම කිරි වැද පැසෙන්නට නම් මල්
වැරිය යුතු ය. ඉවරයක් නැති, දුක් සැප උදාකරන මේ සසරින් මිදී බුදුන් දැක
නිවන් දකින්නේ කවදා දැයි ගැමියාට උපන් ඒ බුදු බණ සිතිවිල්ල එසේ කවියක්
වූයේ ය. ගැමියන් කෙතරම් අපූරුවට, නිවැරදිව බුදු බණ දැන සිටියේ දැයි
මින් පෙනේ. ගොවිතැන ඔහුට සසර ද පින් පව් ද කියා දුන්නේ ය. නැවත නැවතත්
වැසි වසී. නැවත නැවතත් සීසෑ යුතු ය. වැපිරිය යුතු ය. නැවත නැවතත්
අස්වනු නෙළිය යුතු ය. එලෙසින් ම සත්වයෝ නැවත නැවතත් සසර ඉපිද දුක්
විඳිති යි වදාළ බුදු බණ ද මේ ගොවිතැනෙහි නිමක් නොපෙනෙන්නා සේ සසර ද
නිමක් නොපෙනේ යැයි ධර්මසේන හිමියන් සද්ධර්මරත්නාවලියෙහි කී උවම ද මෙම
පද්‍යය අසන්නෙකුට සිහිපත් වෙයි. පවෙහි විපාකය දුක යැයි බුදු බණ
උගන්වයි. දුක දිළිදු ගැමියාට හුරු පුරුදු ය. මේ ඒ ඇසුරින් උපන් කවියකි.
ඉන්නේ දුම්බරයි මහ කළු ගලක් ය ට
කන්නේ කරවලයි රට හාලේ බත ට
බොන්නේ බොර දියයි පූරුවෙ කළ පව ට
යන්නේ කවදා ද මවු පියො දකින්න ට
ඔහු දුරුරට ගොස් සිටියි. ඒ ගමින් බැහැරව ය. පතල් කම්කරුවෙකු වූ මේ
ගැමියාට හෙවණ වී ඇත්තේ දුම්බර පිහිටි මහ කලු ගලකි. ඔහුගේ වාසය එතැන ය.
ගමෙහි උපදින අල බතලින් ද පලා කොළ ඇඹුලින් ද හේ දුරස්ව සිටියි. කන්නේ
කරවල හොද්දත් රටහාලේ බතත් පමණි. එය ඔහුට නීරස ය. ගමෙහි සිසිලස ඇති
සුපිරිසුදු උල්පතකින් වෑහෙන දිය දහර ඔහුට නැත. සිදු වී ඇත්තේ බොර දිය
බීමට ය. මේ දුකින් මිදී මව්පියන් දක්නට ගමට යන්නේ කවදා දැයි ඔහුට සිතේ.
අපේ ගැමියෝ තදින් ම පින් පව් ඇදහූහ. ඔහුට පෙනෙන පරිදි ඒ දුක පවෙහි
විපාක ය. එයින් මිදී සැප ලබන්නේ කවදාදැයි උපන් අහිංසක සිතිවිල්ල හෙතෙම
එසේ කවියට නැගුවේ ය. මේ ගැමියන් තුළ කර්මය අරබයා පැවැති දැනුම ප්‍රකට
කරන තවත් ජන කවියකි.
තණ්ඩලේ දෙන්න දෙපලේ දක්කන වා
කටුකැලේ ගාල නොලිහා වද දෙන වා
හපුතලේ කන්ද දැකලා බඩ දන වා
පව්කළ ගොනෝ ඇදපන් හපුතල් යන වා
මේ කරත්ත කවියකි. “කරත්තය අදින ගොනු පසුපස රිය සක ඇදී එන්නා සේ පව් කළ
තැනැත්තා පසුකර දුක ඇදී එන්නේ යැයි” වදාළ බුදු බණ සිහියට නංවන මේ කවිය
ගැමි අත්දැකීම් ඇසුරින් ම උපන්නෙකි. මේ ගැල්කරු දුෂ්කර වූ කඳු සහිත
මගෙක ගැල පදවමින් කී කවියයි. ඔහුට හපුතලේ මහ කන්ද ඉදිරියෙන් පෙනේ. බඩ
දන්නේ එහි උස දකින විට ය. ඒ කන්ද නැගීම නම් මහ දුකකි. එහෙත් යා යුතු ය.
පව් කළ විට දුක් විඳින්නට සිදු වේ. සිය දිවි පැවැත්ම හා දහම එක් කොට
ගත් මේ කවියා තුළ මහා බරක් ද ඇදගෙන කඳු නගින ගොනුකෙරේ ඇත්තේ
අනුකම්පාවකි. ගොනු විඳීන දුක ගැමියාට ද දැනේ. පෙනේ.
අව්‍යාජ වූ ශ්‍රද්ධා භක්තියෙන් අපේ ගැමියෝ පිරිපුන් ව සිටියෝ ය. ඔවුනට
තුනුරුවන් හැර වෙනත් සරණක් නොවී ය. මේ ගොයම් කවිය ඒ බව ප්‍රකට කරන්නකි.
බුදුන් තිලෝකෙට උත්තම වන් නේ
යොදුන් ගණන් බුදුරැස් විහිදෙන් නේ
සඳුන් සුවඳමල් පුදකර පන් නේ
බුදුන් සරණ සිහිකර කියමින් නේ
ගැමි ගෙවිලියක් කෙත්යායෙහි බුදු ගුණ ගැයූ සැටි ය. ඒ සෞම්‍ය වූ සංවේදී
වූ අහිංසක ආගමික හැඟීමෙන් පිරුණු හදවතින් ඔවුහු බුදුන් වැන්දෝ ය. සුවඳ
කවිමල් පිදුවෝ ය. එය ඔවුන්ගේ ගැමි සිතට අස් වැසිල්ලක් වූයේ ය. ඒ බුදු
ගුණ ගීතිකා සිසාරා ගියේ ගොයම අතරිනි. සැදැහැබර සිතිවිලි පැතිර ගියේ
කෙත්යාය මැදිනි. එය සරු අස්වැන්න ලබා දුන්නේ ය. පෙර එබඳු ගෙවිලියන්
පිරිසක් කෙත්යායෙහි කී සසර දුක නියා වෙන් බුදුබණ අසා සැට නමක් රහත් වූ
පුවතක් අපේ අටුවාවෙහි ද එයි. එය ලක්දිව පුවතෙකි. ලෝවැඩ සඟරාව ඒ පුවත
කවියට නගයි. ඒ “දහමට සරිකොට එළුවෙන් පෙර කී” යන උපදෙස ය එබඳු බොදු
ගෙවිලියකගේ තවත් ගැයුමක් මෙසේ ය.
විස්තර මුනි ගුණ කවි පද කීවෙ න්
දොස් නැත රන්කෙත වරුණේ කීවෙ න්
අත්සර එන්නට එක ලෙස තැනුවෙ න්
වස් නැත මේ කවි පද කර කීවෙ න්
මේ බුදු ගුණ ගායනාවෙක කෙළවර ය. බුදු ගුණ කවියෙන් කීම වරදක් නොවන්නේ ය.
එය රන්කෙතක වර්ණනාව කවියෙන් කීමක් වැන්න. ඒ ගෙවිලියට රන් අස්වනු දෙන
කෙතත් පින් අස්වනු උපදවන බුදුරුවනත් එක බැල්මට පෙනුණා සේ ය. ඇය කවි
කියා ඇත්තේ අකුරු නොවරද්දා ය. නිවැරැදිව උච්චාරණය කරමිනි. එබැවින් ඇගේ
කවි කමෙහි ද වරදක් නැත. ජන කවියන් කිවිදියන් එදා කී මේ කවිබණ ඔවුන්
උගත්තේ මහ බණ පොත් කියවීමෙන් නොවේ. වෙහෙර, ගමේ පන්සල නමැති තක්සලාවෙනි.
සරසවියෙනි. එදා ධර්මදේශනා කළ අපේ දේශකයන් වෙතිනි. බණ මඩුවෙන් උගත් ඒ බණ
කවි කෙත් යායේ දී මෙන් මැ කමතේ දී ද එසේ කවියට නැගින.
බුද්ධං සරණය ද බලේ
ධම්මං සරණය ද බලේ
සංඝං සරණය ද බලේ
මෙතුන් සරණ කමත බලේ
මේ කමත් කවියකි. බැත සැකසෙන කමතට තෙරුවන්සරණ පතා සැදැහැයෙන් කී
පබැඳුමෙකි. ගැමියා වී හඳුන්වන්නේ බුද්ධ බෝග නමින් බව ද මෙහිලා සිහිපත්
කළ යුතු ය. තෙරුවන් ගුණ බලය මුළු ලෝකයේ ඇති උසස් ම බලය යැයි ගැමියෝ
මුළු හදින් ම අදහති. දුක් ගිනි මැදින් මහත් බලාපොරොත්තු ඇතිව කළ
ගොවිතැනෙහි පල සකසන කමතේ දී ද ඔවුනට පිහිට තෙරුවන් ගුණ බලය ම ය. ඒ සසරට
ඒ ගුණ බලය පිහිට වන්නාක් මෙනි. කෙත්යායෙක සීසාමින් ගැමි ගොවියෙකු මුවට
නගන අපූරු ගායනාවක් මෙසේ ය.
තිසරණ සරණයි බුදුන් දැක්පන් මගේ සුරතල් මීවෝ උඹ ඌවෝ... ඌවෝ...
හතරවරම් දෙවියන්හට බාරයි මගෙ මී වස්සෝ උඹ
තිස්තුන් කෝටියක් දෙවි පිහිටයි මගෙ වහුදරුවෝ උඹ
කතරගමේ දෙවි රැකපන් මගේ මී වස්සෝ උඹ
බුදු බණෙහි ඇසුර ලද මේ කවියාගේ සිතෙහි ඇති සත්ව කරුණාව පිළිබිඹු වන මේ
කවිය දරුවෙකු සේ තම මීවස්සාට කතා කරන ගැමියෙකු අප ඉදිරියට පමුණුවන්නකි.
දුක් විඳින ඒ සතුන්ට තෙරුවන් සරණ පතන දෙවි පිහිට පතන ගොවියා මේ කවි
කියවන්නේ සී සානා ගමන් ය. මෙහි අගට එක්වන ඌවෝ.. ඌවෝ.... යන්න අඬහැරයයි.
සීසාන ගොවියා ඉතා දික් ස්වරයකින් නගන හඬයි. ගැමියෝ නිමක් නැති තර්ක
විතර්කයෙන් දූෂිත ව කටුක ව ගිය සිත් නැත්තෝ වූහ. එබැවින් ඔවුහු බුදුන්
මෙන් ම දෙවියන් ද පිළිගත්හ. තම ජීවන පැවැත්මට උරදුන් ඒ අසරණ තිරිසනුනට
ද දෙවි පිහිට ම පැතූහ. ඒ සැබෑ කරුණාවෙනි.
පැරණි සිංහල ගැමියන්ගේ උපහැරණ කවි තුළ ද නිර්මාණාත්මක ව කී බුදු බණ
දැකගත හැකි ය. මේ ඊට නිදසුනකි.
නහින දෙහින කාලෙට පින් කෙරුම යුත
වහින කලට කුරිව් විල්වලින් එත
බහින දියෙන් දෝතක් මුත් ගතොත් ඇත
පනින රිලවුන්ට ඉනිමං කමක් නැත
එක් අතෙකින් ඇතැම් මිනිස් දුබලකම්වලට එල්ල කෙරෙන සියුම් උපහාසය ද
ඇණුම්පද ස්වරූපය ද අනෙක් අතින් පුළුල් ජීවිතාවබෝධය ද කැටි කොට ගත් මේ
කව මද සිනහවකින් ගායනා කළ බව නිසැක ය. නහින දෙහින කාලෙට එනම් මහලු වියේ
දී වත් පින් දහම් කරගත යුතු ය. එහි පල විපාක ලැබෙන්නේ නිසි කලට ය. ඒ
වැසිකලට විල් උතුරා මසුන් ගොඩට එන්නාක් මෙනි. මේ සංසාරගත ජීවිතයෙන් ගත
යුතු එක ම පලය වන්නේ ද පින් දහම් කර ගැනීම ය. උපදින මේ ජීවිතය මහලු විය
තෙක් ගලාගොස් නිමවෙයි. එබැවින් එසේ මියෙන්නට පළමු පින් කළ යුත්තේ ය. ඒ
පින මැ පරලොවට ද පිහිට වෙයි. බහින දියෙන් දෝතක් වුව ද ගත් තැනැත්තාට එය
පලදායක වන්නාක් මෙනි.
|