Print this Article


මහා පරිනිර්වාණය

මහා පරිනිර්වාණය

සෑම බෞද්ධයෙකු විසින් ම තමන්ගේ ජීවිත කාලයේදී එක් වතාවක් හෝ පැමිණ දැක බලා ගෙන පහන් සංවේගය ඇතිකරගත යුතු වූ සුවිශේෂ පුණ්‍ය භූමියක් වෙතටයි ඔබව මේ රැගෙන යන්නේ.

අප ශාන්ති නායක තිලෝගුරු සම්මා සම්බුදුපියාණන් වහන්සේ පන්සාලිස් වසක් පුරා දෙව් මිනිස් සහිත ලෝකවාසීනට මෙලොව සුව, පරලොව සුව හා ලොව්තුරා සුවය වන නිවන් සුවය පිණිස මඟ පෙන්වා මීට වසර දෙදහස් පන්සිය පනස් අටකට පෙර දස දහසක් ලෝක ධාතුව ම කම්පා කරවමින් මහා පරිනිර්වාණයට පත්වී වදාළ, ලෝකවාසී සියලු බෞද්ධ ජනතාව ධර්ම සංවේගය උපදවාගෙන වන්දනාමාන කරන කුසිණාරා නුවර මල්ල රජ දරුවන්ගේ උපවර්තන සල් උයනට යි. මහා කාරුණික බුදුපියාණන් වහන්සේ පරිනිර්වාණ මඤ්චකයේ වැඩ සිටිනා අයුරු නිරූපණය කර ඇති ලොව ඇති වඩාත් ම සංවේදීභාවය ඇති කරවන බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩ සිටිනා ස්ථානය ගැන සිතෙහි පහන් සංවේගය උපදවා ගත යුතුයි.

දීඝ නිකායේ මහා පරිනිබ්බාණ සූත්‍රයට අනුව මහාකාරුණික බුදුපියාණන් වහන්සේ පිරිනිවන් මඤ්චකය කරා වැඩි ගමන ආරම්භ කරන්නේ රජගහ නුවර ගිජ්ක්‍ධකූට පර්වතයේ වැඩ සිටිය දී අජාසත් මහාරාජාණන් විසින් එවන ලද සුනීධ සහ වස්සකාර යන අමාත්‍යවරුන් දෙදෙනාට ලිච්ඡවී රජ දරුවන් සප්ත අපරිහානීය ධර්මයන්ගෙන් යුක්තව කටයුතු කරන තුරු ඔවුන් කිසිවෙකුටත් පරාජය කළ නො හැකි බව පවසා එම සප්ත අපරිහානීය ධර්මයන් භික්ෂුන් වහන්සේලාට ද ගලපා දේශනා කොට එයින් අම්බලට්ඨිකා නම් ග්‍රාමය බලා පිටත් වන්නට ගමන් ආරම්භ කළා.

‘අම්බලට්ඨිකා’ ග්‍රාමයට වැඩම කළ බුදුපියාණන් වහන්සේ එහි දී භික්ෂූන් වහන්සේලාට කථා කොට සිහිපත් කළේ මහණෙනි, තථාගතයන් වහන්සේ දැන් බොහෝ වයස්ගත යි. පිරිනිවන් පාන කාලය ආසන්නව යි සිටින්නේ. ඔබ සීල, සමාධි, ප්‍රඥාවන් දියුණු කොට ආශ්‍රවයන් ප්‍රහාණය කිරීමෙහි යෙදී කටයුතු කරන්න යනුවෙනු යි.

‘අම්බලට්ඨිකා’ ගමේ ටික කාලයක් වැඩ සිටි බුදුපියාණන් වහන්සේ එතැනින් නාලන්දා නුවරට වැඩම කළා. ‘නාලන්දාවෙහි ’ ටික කාලයක් වැඩ සිටි බුදුපියාණන් වහන්සේ එතැනින් ‘පාටලීපුත්‍ර’ ග්‍රාමයට වැඩම කොට එම ගම් වැසියන් විසින් තනා පූජා කරන ලද ආවාසයෙහි ටික කාලයක් වැඩ සිටියා. අනතුරු ව එතැනින් ‘කෝටි ග්‍රාමය’ටත්, ‘නාදිකා ග්‍රාමයටත්’ වැඩම කළ බුදුපියාණන් වහන්සේ ‘විශාලා මහනුවරට ‘වැඩ ම කොට අම්බපාලීගේ අඹ උයනයට පිවිසියා. තමන්ගේ අඹ උයනට බුදුපියාණන් වහන්සේ වැඩම කළ බව දැන ගත් අම්බපාලිය උන්වහන්සේට පසුදා දනට ආරාධනා කොට දන් පිළිගන්වා බණ අසා සැදැහැවත් කාන්තාවක් බවට පත් වුණා. තමන් සතු අගනා අඹ උයන බුදුපියාණන් වහන්සේට පූජා කළා. පූජා කළ අඹ උයනේ කාලයක් වැඩ සිටිය බුදුපියාණන් වහන්සේ එයින් නික්ම ‘බේලුව ග්‍රාමය’ කරා වැඩම කළා. මේ බේලුව ග්‍රාමයේ තමයි උන්වහන්සේ අවසාන වස් කාලය ගත කළේ. මෙහි වැඩ සිටින සමයේ බුදුපියාණන් වහන්සේට ඉතා දරුණු මාරාන්තික වේදනාවන් ගෙනදුන් රෝගාබාධයක් ඇතිවුණා.

මනා සිහි නුවණින් ඒ සියලු වේදනාවන් ඉවසා දරා ගත් බුදුපියාණන් වහන්සේ කල්පනා කළේ භික්ෂූ සංඝයාට නො දන්වා පිරිනිවන් පෑම නුසුදුසු බැවින් සතර සෘද්ධිපාද බලයෙන් ආයු සංස්කාරයන් අධිෂ්ඨාන කළ යුතු බව යි. එසේ සිදු කළ පසු බුදුපියාණන් වහන්සේගේ ශරීරයේ වූ රෝගාබාධය දුරුවී ගියා. ඉන්පසු ළඟ සිටි ආනන්ද හාමුදුරුවන්ට ද කථා කොට ඒ අසළ තිබුණු ‘චාපාල චේතිය’ ළඟට වැඩම කළා.

චාපාල චේතිය අසල දී බුදුපියාණන් වහන්සේ ‘ආනන්දය, ඡන්ද, චිත්ත, වීරිය, විමංසා යන සතර සෘද්ධිපාද ධර්මයන් බහුල කොට වඩා තිබෙන කෙනෙකුට අවශ්‍ය නම් කල්පයක් කල් වුණත් සිටිය හැකියි.’ තථාගතයන් වහන්සේ ද එලෙසින් සතර සෘද්ධිපාද වැඩූ කෙනෙක් යැයි පැවැසුවා. එසේ පැවැසුවත් බුදුපියාණන් වහන්සේ මේ කියන කථාවේ යටි අදහස කුමක් දැයි අවබෝධ කර ගැනීමට ආනන්ද හාමුදුරුවන්ට අවකාශ නො ලැබුණේ උන්වහන්සේගේ සිත පවිටු මාරයා විසින් වෙනතකට යොමු කර තිබුණු නිස යි.

ආනන්ද හාමුදුරුවන්ගෙන් දිගු කල් වැඩ සිටීම සඳහා ආරාධනාවක් ලැබුණේ නැහැ. උන්වහන්සේ බුදුපියාණන් වහන්සේට උපස්ථාන කොට එතැනින් මදකට ඉවත් ව ගිය පසු එතැනට පැමිණි මාරයා සුගතයන් වහන්ස, දැන් පිරිනිවන් පාන්න කාලය සුදුසු යැයි පවසා සිටියා. තමන් වහන්සේගේ පන්සාලිස් වසක බුද්ධ කෘත්‍යය දෙස නැවත ආවර්ජනය කළ බුදුපියාණන් වහන්සේ සසුන රැක ගත හැකි ප්‍රතිබල සම්පන්න භික්ෂු, භික්ෂුණී උපාසක, උපාසිකා යන සිව්වණක් පිරිසක් දැන් සකස් වී ඇති බැවින් මෙයින් තවත් මාස තුනක් ගෙවී යන තැන දී තමන් වහන්සේ පිරිනිවන් පානවා යැයි සිතා ආයු සංස්කාර ධර්මයන් අත්හැර දැම්මා. ඒ සමඟින් ම මහ පොළොව මහ හඬින් කම්පා වී අකලට වැසි ඇද හැළෙන්නට ගත්තා.

මහ පොළොව කම්පා වීමෙන් අතිශයින් ම කලබලයට පත් ආනන්ද හිමියන් බුදුපියාණන් වහන්සේ වෙතට පැමිණ පොළොව කම්පා වෙන්නට හේතු විමසුවා.

එවිට උන්වහන්සේ මහපොළාව කම්පා වෙන්නට හේතු කාරණා අටක් සඳහන් කරමින් “භූමිචාල සූත්‍රය” දේශනා කළා. ඒ දේශනාව අනුව බුදුපියාණන් වහන්සේ ආයු සංස්කාර අත්හරින මොහොතේ ද මහ පොළොව කම්පා වෙනවා. කරුණු මැනවින් තේරුම් ගත් ආනන්ද හාමුදුරුවන් එම මොහොතේ මහ පොළොව කම්පා වූයේ බුදුපියාණන් වහන්සේ ආයු සංස්කාරයන් අත්හළ නිසා බව අවබෝධ වී මහත් කම්පාවෙන් තවත් කල්පයක් කල් වැඩ සිටින ලෙස ආයාචනා කළා.

එවිට බුදුපියාණන් වහන්සේ දැන් එම ඉල්ලීමට කාලය නො වන බව පවසා සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යතාව ගැන පවසා අනඳ මා හිමියන්ගේ සිතෙහි දුක තුනී කළා. අනතුරුව උන්වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට පැවැසුයේ රජගහනුවර සිටින භික්ෂූන් වහන්සේලා ද කූටාගාර ශාලාවට රැස් කරවන ලෙසයට යි.

එදා මහා කාරුණික බුදුපියාණන් වහන්සේ මහ සඟ මැද පණවා තිබූ ආසනයේ වැඩ සිට බුදු සසුන බොහෝ කාලයක් පවත්වා ගැනීමට සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් පුහුණු කළ යුතු බව පවසා සිටියා. එසේ ම හේතුන් නිසා හට ගන්නා සියල්ල ඒ හේතූන් නැති වී යාම තුළ නිරුද්ධ වෙන බවත්, තමන් වහන්සේ තව නොබෝ දිනකින් සියලු දෙනා අත්හැර පිරිනිවන් පානා බවත් පවසා සිටියා.

පරික්කෝ වයෝ මය්හං - මහණෙනි, මට දැන් බොහෝ වයසයි

පරිත්තං මම ජීවිතං - මට තව ජීවත්වීමට ඇත්තේ බොහෝ ටික කාලයයි

පහාය වෝ ගමිස්සාමා - මම ඔබ සියලු දෙන අතැර යන්නෙමි

කතම්මේ සරණමත්තනෝ - මම මගේ පිහිට සාදා ගත්තා

අප්පමත්තා සතීමන්තා - මහණෙනි ඔබ ද අප්‍රමාදී ව සිහිය පිහිටුවා ගෙන

සුසීලා හෝථ භික්ඛවෝ - සිල්වත් ව වාසය කරන්න

සුසමාහිත සංකප්පා සචිත්තමනුරක්ඛථ -හිත හොඳින් එකඟ කරගෙන

යෝ ඉමස්මිං ධම්ම විනයේ - යමෙක් මේ ධර්ම විනය නම් ශාසනය තුළ

අප්පමත්තෝ විහෙස්සතී - අප්‍රමාදී ව වාසය කරද්ද,

පහාය ජාති සංසාරං දුක්ඛස්සන්තං කරිස්සතී - ජාත්‍යාදී සසර දුක් දුරු කොට නිවන් සුව සලසා ගන්නවා යනුවෙන් වදාළා.

අනතුරුව මහා කාරුණික බුදුපියාණන් වහන්සේ විශාලා මහනුවර පිණ්ඩපාත චාරිකාවෙහි යෙදුණා. එහිදී තමන්ගේ මුළු ශරීරය ම හරවා නාගාවලෝකනයෙන් විශාලා මහනුවර දෙස බැලූ බුදුපියාණන් වහන්සේ ආනන්ද හිමියන්ට කථා කොට ‘ආනන්ද, තථාගතයන් වහන්සේ විශාලා මහනුවර දකින අවසන් අවස්ථාව මෙය යි. අප දැන් භණ්ඩ ග්‍රාමය වෙත යමු’ යනුවෙන් පවසා සිටියා. උන් වහන්සේලා විශාලා මහනුවරට සමු දී භණ්ඩ ග්‍රාමය වෙත වැඩ ම කළා.

ඉතිරි කොටස ජනවාරි 24 පත්‍රයේ

නයනා නිල්මිණි