Print this Article


වියපත් වූවත් වියපත් නොවන්නෝ

වියපත් වූවත් වියපත් නොවන්නෝ

වියපත් බව හෙවත් මහළු බවට පැමිණීමට හැම දෙනාම අකැමැති වෙති. එහෙත් එයින් බේරීමට කිසිවෙකුටත් නොහැකිය. අඩු ආයුෂයකින් මියැදීමට සිදු නොවන හැම දෙනාම වයසට ගොස් මියැදෙති. සිරුර දිරාපත් වීම වයසින්, වැඩිවීම, ශක්තිය හීන වීම, අව පැහැ ගැන්වීම, රෝගාබාධවලට වහා ගොදුරුවීම, සිහි කල්පනාව අඩු වීම, වියපත් බවේ ලක්‍ෂණ කීපයකි. ජීවිත අත්දැකීම් බහුල වීම, දැනුම හා අවබෝධය පුළුල්වීම වැනි සුබවාදී ලක්‍ෂණද වියපත් වූ අය තුළ විද්‍යමාන වේ.

වියපත් බව පිළිබඳ කරන ලද පර්යේෂණ තුළින් විවිධ තොරතුරු අනාවරණය කරගෙන තිබේ. බෞද්ධ ඉගැන්වීම් අනුව ජීවිතයේ වයස් කාල 03 කි. එනම් බාල, තරුණ හා මහලු වශයෙනි. මෙයින් තෙවැනි කාලච්ඡේදය වියපත් කාලයයි. අටුවාචාරි බුද්ධඝෝෂ ආචාර්යයන් වහන්සේ මිනිස් ජීවිතයක ආයුෂ කාලය වර්ෂ 100 ලෙස ගෙන වසර 10 බැගින් කාණ්ඩ 10 ට බෙදා දක්වති.

මේ අතර තුරුණු වියේදීම වියපත් වූ අයද සිටිති. ඒ ගතින් නොව සිතින් වියපත් වූවන්ය. තුරුණු වියේදීම දුර්වල මානසික ලක්‍ෂණ පෙන්වන, ධනය උපයා ගැනීමේදී පවා අලසකමක් දක්වන, පරපුටු ජීවිත ගෙවන පිරිස මේ කොටසට ඇතුළත් වේ. මේ පිරිස සමාජයට මෙන්ම රටටද බරකි. එමෙන්ම වයසින් ජීවිතයේ අග භාගයට පැමිණිය ද සිතින් යෞවනත්වයේ පසුවෙන අයද දැකිය හැකිය. වියපත්ව සුසුම් හෙළමින් දිවි ගෙවන උදවියට නකුල පිතු සූත්‍රය තුළින් පැහැදිලි කරන්නේ ජීවිතයේ අවසාන භාගය සතුටින් සොම්නසින් ගත කිරීම පිළිබඳවයි.

බුදුරජාණන් වහන්සේ භග්ග ජනපදයේ ‘සුන්සුමාරගිර’ නම් නගරයේ ‘භේසකලා’ වනයේ වැඩ වස න සමයක ‘නකුල’ නම් දරුවාගේ පියා ‘නකුලපිතා’ උන්වහන්සේ හමුවට පැමිණියේය. බුදු රදුන්ට ගෞරව දැක්වූ ඔහු මෙසේ කීය. ස්වාමීනි, මම මහළුය, වයෝ වෘද්ධය, රෝගී වූ කයකට උරුමකම් කියයි. මහල්ලෙක් බවට පත්ව සිටී. ඔබ වහන්සේ භික්ෂූන් වහන්සේට සිත දියුණුකර ගැනීම පිණිස අවවාද කරන්නා සේ මටද අවවාද කරන සේක්වා. එය මට දිගු කලක් හිත සුව පිණිස හේතු වන්නේ යැයි ඉල්ලා සිටියේය. බුදුපියාණන් වහන්සේ නකුල පියාට හොඳින් සවන්දීමෙන් පසුව ඔහුගේ හිතේ හටගෙන ඇති සිතිවිලි මැනවින් වටහාගෙන මෙසේ වදාළහ.

“එවමේතං ගහපති,එවමේතං ගහපති. ආතුරො භයං ගහපති.කායො අන්ධභූතො පරියොනද්ධො යො හි ගහපති. ඉමං ගහපති කායං පරිහරන්තො මුහුත්තමපි ආරොග්‍යං පටිජානෙය්‍ය එව මඤ්ඤත්‍ර බාල්‍යා”

එහෙමයි ගහපති එහෙමයි. මේ කය රෝගයෙන් දිරාපත්වීමෙන් හාත් පසින්ම වෙලන ලදී. රෝග වැළඳීම හා දිරාපත්වීම උරුමකරගත් සිරුරකට හිමිකම් කියන කවරෙකු හෝ එයින් මොහොතකටවත් නිරෝගිකමක් බලාපොරොත්තුවන්නේ නම් එය මෝඩ කමක්.

තමන් ලද ශරීරය නොවන, විනාශ නොවන එකක් ලෙස බොහෝ දෙනා විශ්වාස කරති. දිරාගිය සිරුරක් ඇති වෙනත් උදවිය ඇහැ ගැටුණත්, මැරුණු පුද්ගලයින්ගේ අවසන් කටයුතු වලට සහභාගි වී ඇතත් බොහෝ දෙනෙකුට තමන් එවැනි තත්වයකට පත්වන සිරුරකට හිමිකම් කියන බව අමතක වෙති.

පරිජිණ්ණ මිදං රූපං රොග නිඩ්ඪං පභං ගුරං ධම්මපදයේ එන මේ ගාථා අර්ධයෙන්ද කියවෙන්නේ දිරාපත්වීම හා රෝගාබාධ වලට ගොදුරුවීම සිරුරෙහි ලක්ෂණ බවයි.

තමන් වියපත් ජරා ස්වභාවය උරුමකර ගැනීම නිසා සිත් වේදනාවට පත් නකුල පිතා හට ජීවිතයේ යථා ස්වභාවය පැහැදිලි කර දුන් බුදුපියාණන් වහන්සේ, දැන් තමන් වියපත් බව ගැනවත් රෝගී වීම හා ජරාවට පත්වීම ගැනවත් හිත හිතා නොසිට, රෝගී වූ කයක් ඇතත් මට නිරෝගි මනසක් ඇතැයි හික්මිය යුතු බව වදාළහ. “එවං සික්ඛි තබ්බං ආතුර කායස්ස මෙ සතො චිත්තං අනාතුරං භවිස්සන්ති” බුදුරදුන්ගේ දේශනාව ඇසූ නකුල පිතා ඉමහත් සතුටට පත්ව උන්වහන්සේට වැඳ එකත්පස්ව සිටියේය. එතැනට පැමිණි සැරියුත් මහ රහතන් වහන්සේ ඔහුගේ මුහුණෙහි වූ ප්‍රසන්න බව දැක, “ගහපතිය ඔබ තුළ විශේෂයෙන් පැහැදුනු පෙනුමක් ඇත. ඔබගේ ඉන්ද්‍රියන් පිරිසුදුය. මුහුණ වර්ණවත්ය.ඉතාම පැහැපත්ය. අද ඔබට බුදුහාමුදුරුවන්ගෙන් ධර්ම කතාවක් අහන්න ලැබුනේදැයි” විමසූහ. සැරියුත් තෙරුන්ට පිළිතුරු දෙමින් ඔහු ප්‍රකාශ කළේ, භාග්‍යවතුන් වහන්සේ තමන් අමෘතාභිෂේකයෙන් අභිෂේක කළ බවයි. “භගවතා ධම්මියා කථාය අමතෙන අභිසිත්තොති” රස අතර ඉහළම රසය අමෘතය යැයි පිළිගැනේ. නකුලපිතා සවන්දුන් ධර්මය ඔහුට අමෘතයකි. ඉතා මිහිරි ධර්මයක් තමන් ශ්‍රවණය කළ බව ඔහු පවසා බුදුරදුන් හා තමා අතර ඇතිවූ කතා බහ පිළිබඳව උන්වහන්සේට පැහැදිලි කර දුනි. නකුලපිතු ගෘහපතියට සවන්දුන් සැරියුත් තෙරුන් වහන්සේ,”ගෘහපතිය කොපමණකින් ගිලන් කය ඇත්තේද?,, ගිලන් සිත ඇත්තේද, කොපමණකින් ගිලන් කය ඇත්තේද , නොගිලන් සිත ඇත්තේදැයි ඔබ බුදුරදුන්ගෙන් අසා දැන ගත්තේ නැද්දැයි” ඇසූහ. තමාට එවැන්නක් ඇසීමට සිත යොමු නොවුනේයැයි ඔහු ප්‍රකාශ කළේය. ඒ කාරණය සැරියුත් තෙරුන් වහන්සේ පැහැදිලි කර දෙන්නැයි ඉල්ලා සිටියේය.

සැරියුත් තෙරුන් වහන්සේ ගිලන් සිරුරක් ඇත්තෙකු ගිලන් වූ මනසක් ඇති අයෙකු බවට පත්වීමට හේතු පැහැදිලි කළහ. ආර්ය ධර්මය නොදත්, එහි අදක්ෂ වූ,ආර්ය ධර්මයෙහි නොහික්මුණු, එමෙන්ම සත් පුරුෂ ධර්මයෙහි අදක්ෂ, අශ්‍රැතවත් පෘථග්ජනයා රූපය ආත්මයයැයි කියා හෝ ආත්මය රූපයයැයි කියා හෝ වරදවා ගනී. එනිසාම රූපය මමය, මගේයැයි සිතයි. එනිසාම රූපය වෙනස් වෙන විට, විපරිනාමයට පත්වෙන විට සෝක පරිදේවාදියට පත්වෙයි. වේදනා ,සංඥා, සංඛාර, විඤ්ඤාණ පිළිබඳව ද මෙසේ වරදවා සිතයි. ගෘහපතිය සත්‍යය සත්‍යය ලෙස වටහා ගත නොහැකිව, අසත්‍යය සත්‍යය ලෙස වරදවා වටහා ගැනීම නිසා ඔහුගේ සිත ගිලන්වූවකි. දුක් දොම්නස ඇතිවන්නේ එනිසයි. මෙහි ආර්යයන් යනුවෙන් දැක්වෙන්නේ බුදු, පසේබුදු , මහ රහතුන් වහන්සේලායි. උන් වහන්සේලා කෙලෙසුන්ගෙන් දුරුව විපතෙහි තම ඉරියව් නොපවත්වන, සැපතෙහි ඉරියව් පවත්වන දෙවියන් සහිත ලෝකයේ නොඇළුනු සිතැතිව වෙන්ව වසන උතුමන් පිරිසකි. උන්වහන්සේලාගේ ධර්මය නිර්මලය. ප්‍රසන්නය, සත්‍යය එකී ධර්මය නොදත් එහි නොඇළුනු මහල්ලාගේ සිත රෝගී වූවකි.

“සප්පුරිස ධම්මා ” යනුවෙන් සත්පුරුෂයින්ගේ ධර්මය පිළිබඳව මෙහි සඳහන් වෙයි. කල්‍යාණ මිත්‍රයා, සත්පුරුෂයා පිළිබඳව ධර්මයේ බොහෝ තැන්වල සඳහන් වෙයි.

යො වෙ කතඤ්ඤු කතවේදි ධීරො
කල්‍යාණ මිත්තො දල්හ භක්ති ච හොති
දුක්ඛිතස්ස සක්කච්ච කරොති කිච්චං
තථා විධං සප්පුරිසං වදන්ති

මේ සත්පුරුෂයා හඳුනා ගැනීම සඳහා ඉදිරිපත්ව ඇති එක් දේශනාවකි. ඒ අනුව කළගුණ දැනීම, කළ උපකාරය දැකීම, ප්‍රඥාවත් බව ඇති කල්‍යාණ මිත්‍ර වූ දැඩි භක්තිය ඇති, දුකට පත්වූවන්ගේ කටයුතු මැනවින් ඉටු කරන තැනැත්තා සත්පුරුෂයෙකිි. එයින් ප්‍රකට කෙරෙන්නේ ද බුදු පසේබුදු මහ රහතන් වහන්සේලා මෙන්ම,ලොව්තුරු ගුණ වලින් සෝභාමත් වන බුද්ධශ්‍රාවකයෝද සත්පුරුෂ ගණයෙහිලා සැලකෙන බවයි. සත්පුරුෂයින්ගේ ධර්මය තුළින් ද ප්‍රකාශ වෙන්නේ සත්‍යයයි. යථාර්ථයයි. එය මැනවින් අවබෝධ නොකරගන්නාගේ සිත ගිලන්වූවකි.

“අරියානං අදස්සාවි සප්පුරිසානං අදස්සාවි “ යැයි ආර්යයන්ගේ හා සත්පුරුෂයින්ගේ නොදැකීම ද සිතේ ගිලන්බව හේතුවේයැයි මේ සූත්‍රයේ දැක්වෙයි. දැකීම හෝ නොදැකීම ක්‍රම දෙකකට සිදුවේ. එනම් දෙනෙතින් දැකීම හෝ නොදැකීම හා නුවණින් දැකීම හෝ නොදැකීමයි. මසැසින් ආර්යයන් වහන්සේලා දැකීමෙන් උන්වහන්සේලාගේ වර්ණය හා හැඩය පමණක් දැකගත හැකිය. ගුණ මහිමය දැකගත නොහැකිය. අප පමණක් නොව සුනඛ , ගව ආදි සතුන්ද ආර්යයන් දෙනෙතින් දැක ඇත. එය ආර්ය දැකීමක් ලෙස නොසැලකේ. බුදුරජාණන් වහන්සේ දෙස බලා සිටි වක්කලි තෙරුන්ට මේ කුණු කය දෙස බලා සිටීමෙන් ඇති ඵලය කුමක්ද? යමෙක් මා දුටුවායැයි වන්නේ ධර්මය දැකීමෙනි.

ධර්මය අවබෝධ කර ගැනීම නම් මා දැකීම කැයි ද වදාළේ පියවි ඇසින් දැකීම සැබෑ දැකීමක් නොවන නිසයි. ධර්මය නුවණින් දුටු අය සසර දුක් නිමා කොට සදා සැනසීම ලදහ. සියලු දුක් නැති කළහ. කය දිරාපත්වීම, විනාශයට යාම වළකාලීමට කිසිවෙකුට නුපුළුවන. එහෙත් සිත කිලුටු නොවී, අපිරිසුදු නොවී පිරිසුදුව හා ශක්තිමත්ව පවත්වා ගෙන යාම උත්සාහවන්තයාට කළ හැකිය. එවිට කයෙහි යථා ස්වභාවය පිළිබඳ මනා අවබෝධය ඇති බැවින් දුක්ඛ දෝමනස්ස උපායාසයන් ගෙන් තොර සැනසිලිදායක ජීවිතයක් ගත කිරීමට පුළුවන.