Print this Article


සසර සැරිසරන්නෝ හා සසරෙන් එතෙර වන්නෝ

සසර සැරිසරන්නෝ හා සසරෙන් එතෙර වන්නෝ

ලෝකයේ පුහුදුන් මනුෂ්‍ය ප්‍රජාව දෙස බලනවිට බහුල වශයෙන් අපට දකින්නට හැකි වන්නේ පළමු කී ගණයට වැටෙන පුද්ගලයන්ය. එනම් සදාකල්හිම ජලකඳට හසු වී කිසිදු අවස්ථාවක ජල මතුපිටටවත් නොඑනවා වැනි අයයි. එනම් මේ කාමභෝගි සංසාරයෙහි ඇලි ගැලී ජීවත්වන පිරිසයි. මේ අතර තවත් පිරිසක් මෙම තත්ත්වයට වඩා කිසියම් ඉදිරියක් පෙන්නුම් කරමින් ජලය මතුපිටට අවුත් ඒ සමඟම ජලය තුළට ආපසු ගිලී යනවා. එනම් මොහොතකට වුවත් මේ දුක් සහිත සංසාරයෙහි ආදීනව කිසියම් කල්‍යාණ මිත්‍රයෙකුගෙන් හෝ සත්පුරුෂ ආශ්‍රයකින් අසා දැනගන්නවා. එහෙත් ඒ ඔස්සේ තම නැණැස යොදවා බැලීමට උනන්දු වීමක් නැහැ. ජලය මතුපිටට පැමිණි ආකාරයෙන්ම එතනම ජලයෙහි කිමිදෙනවා. මෙම ලක්ෂණ ඇති අය ඊළඟට බහුල වශයෙන් සමාජයේ දක්නට පුළුවන

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ සිටි අවදියක භික්ෂූන් වහන්සේලා අමතා දේශනා කොට වදාළ සූත්‍රයක් උදකූපම පුග්ගල සූත්‍රය. මේ සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ අප ගත කරන මේ සසර උපමා කරන්නේ මහා ජලකඳකටයි. ගොඩබිම උපමා කරන්නේ බෞද්ධයන් වශයෙන් අප ඉලක්ක කර සිතන පතන නිවනට යි. එතකොට සසර සැරි සරන අප හැම දෙනාම පරක් තෙරක් නොපෙනෙන මහා ජලකඳකට, කොටු වී ගොඩබිමක් ගැන අසා තිබෙන, ඒත් කවරදාකවත් ඒ ගොඩබිම නොදැක, එසේ වුවත් ඒ නොදුටු ගොඩබිමට පැමිණීමට ප්‍රාර්ථනා කරමින් ඉන්නවා. එසේ ප්‍රාර්ථනාවක් ඇති කරගත් පමණින් ඒ අරමුණ ඉටු කර ගතහැකි ද? අප කළ යුත්තේ කුමක් ද? ඉතින් මේ ආකාරයෙන් සසර සැරි සරන පුද්ගලයන් බුදුරජාණන් වහන්සේ කොටස් හතක් වශයෙන් ලෙස ගෙන පැහැදිලි කරමින් උදකූපම පුග්ගල නම් වූ මේ සූත්‍රය භික්ෂූන් වහන්සේ අමතා දේශනා කර තිබෙනවා.

පළමු වැනි පුද්ගල කොටස හැමදාමත් ජලයේ ගිලිලා ජීවත්වන පිරිස ලෙස බුදුරජාණන් වහන්සේ විසින් හඳුන්වා දෙනු ලැබේ. මෙබඳු පුද්ගලයාගේ ස්වභාවය වන්නේ එක්වරක් මේ මහා ජලකඳට හසු වී එහි ගිලෙනවා. ඒ අයගේ ස්වභාවය වන්නේ එසේ ගිලුණු පසු හැමදාමත් ගිලිලාම එහි ජීවත් වෙනවා කියන එකයි. එයින් අදහස් කරන්නේ ඔහුට මේ ජලකඳ මතුපිටටවත් කිසි දිනෙක පැමිණිය නොහැකිය. එසේ නම් ගොඩට ඒමට හැකියාවක් නොමැති බව නේද? හැමදාමත් ජලකඳේ ගිලිලාම ජීවත් වන්නේ ඇයි? එය සුවදායක ද? එහෙත් එයනම් සුවදායක වන්නට හැකියාවක් නැත. හේතුව ජලය පුද්ගලයාට හැම විටම සැපත උදාකරන්නක් නම් නොවේ. සැපත වගේම ජලයෙන් විපතත් ඇති කරනවා. ජල බිය බොහොම දැඩියි. ජලකඳ මහා භයංකර එසේත් නොමැති නම් ජීවිත හානි කෙරෙන සතුන්ගෙන් ගහණයි. ඒ නිසාම ජලය මිනිසාට මහත් වූ බිය ඇති කරන කරුණු සතරින් එකක් ලෙසත් දහමෙහි සඳහන් වෙනවා. එහෙත් ඇයි අප එතෙර විය නොහැකි වී සිටින්නේ. මිනිස් සිතේ කෙලෙස් ගති ඉවතලන නීවරණයන්ගෙන් සිත වැසී පවතින නිසයි. මෙම නීවරණ පංචනීවරණ (කාමච්ඡන්ද, ව්‍යාපාද, ථිනමිද්ධ, උද්ධච්චකුක්කුච්ච, විචිකිච්ඡා) ලෙස ධර්මයෙහි සඳහන් වෙනවා. සදාකල්හිම ඒ සිත් ඇයි එසේ එම නීවරණ ධර්මයන්ගෙන් වැසී පවතින්නේ? ඒ අන්කිසිවක් නිසා නොව නියත මිත්‍යාදෘෂ්ටිය නිසයි. මේ නියත මිත්‍යාදෘෂ්ටිය යන්නෙන් අදහස් කරන්නේ කිසි දිනෙක නිවැරදිව යමක් දැකීමේ හැකියාවක් ඇති කර නොගැනීමේ ස්වභාවයයි. කුසල් අකුසල් පින, පව, යුතු අයුතු, මෙලොව පරලොව පිළිබඳ ඇදැහීමක් විශ්වාසයක් නැත. මේ නිසා එවැන්නවුන්ට ගොඩබිමක් (සදාකාලික සැනසීමක්) කියා දෙයක් ලෝකයේ තියෙනවාද? කියා සිතා ගැනීමටවත් හැකි මානසික ශක්තියක් නැහැ.

දෙවන පුද්ගල කොටස යන්තමට වගේ ජලකඳින් උඩට ඉපිල එනවා. ඒත් ඒ සමඟම ආයෙත් ගිලෙන පිරිසයි. ඒ යාන්තමට වගේ ජලකඳින් ඉපිල එන ලෙස බුදුරජාණන් වහන්සේ දකින්නේ කිනම් ස්වභාවයක් ඇති පුද්ගලයෝ ද? ඒ උදවිය වරෙක අසා දැනගෙන හෝ හිතනවා යන්තමට වගේ සිත පාප ධර්මයන්ගෙන් වෙන් කරගැනීමේ වැදගත්කම. එසේත් නැති නම් කුසල සිතිවලිවල අගය වටිනාකම ඒ සමඟම කුසලදම් පිළිබඳ’ව හොඳ සිතිවිල්ලක් ඇති කරගන්නවා. එහෙත් එම සිතිවිල්ල මොහොතකින් තම සිතෙන් ඉවත් වෙනවා. (පසුගිය උඳුවප් පුර පොහෝදින බුදුසරණ කලාපයෙහි ශ්‍රද්ධාදි ධන හත පිළිබඳ මා විසින් සවිස්තර හැඳින්වීමක් කර ඇත. මේ ආකාරයෙන්ම හිරි හෙවත් අකුසල ධර්මයන් පිළිබඳ ලැජ්ජාව ද ඔත්තප්ප හෙවත් බිය ද ඇති කර ගනී. එමෙන්ම කුසලධර්මයන් පිළිබඳ වීර්යයත්, ප්‍රඥාවත් අවශ්‍ය බව මෙහොතක් සිතයි. ඒ ක්ෂණයකින්ම එයින් සිත ඉවත් වෙනවා. මේ පිරිස ජලයෙහි ඉල්පී ඒ සමඟම නැවතත් ගිලුණා හා සමාන වෙනවා.

තෙවන පුද්ගල කොටසට ඇතුළත් වන්නේ ජලකඳේ ඉල්පී ඒ ආකාරයෙන්ම සිටිනා පිරිසයි. හරියට ජලය මතුපිට සිටත් යායුතු දිශාව ගැන සිතිමට වට පිට නොබලා ගොඩබිමට ඒමට හැකියාවක් නැතිව ඒ ආකාරයෙන්ම ඉල්පී සිටිනා පිරිසයි. මේ තත්ත්වයට හේතුවන ආකාරය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ කුසල ධර්ම පිළිබඳ ඇදැහීම, විශ්වාසය හෙවත් පැහැදීම හොඳයි. මැනවැයි සිතීම පමණයි. හිරි (පවට ඇති ලැජ්ජාව) ඔත්තප්ප (පවට ඇති බිය) වීර්යය, ප්‍රඥාව අවශ්‍ය බව සිතනවා. අනුමත කරනවා. එසේ වුවත් එයින් ඉදිරියට යන්නේ නැත. එතැනමයි ආපසු යන්නේත් නැත. වැඩි දියුණුවක් ඇති කර නොගනී. එසේ වුවත් ඒ ශ්‍රද්ධාව, හිරිය, ඔත්තප්පය, වීර්යය, ප්‍රඥාව යන මේ කරුණු හොඳයි මැනවැයි කියා ඇති කරගත් පිළිගැනීමෙන් ඉවත්වන්නේත් නැහැ. ඒ සිතිවිලිවල හෙවත් වර්ධනයකුත් නැහැ. ජලය මතුපිට එතැනම පවතින ස්වරූපයක් බවට උපමා කර දක්වනවා. මෙන්න මේ කොටසට අයත් උදවිය අපේ සමාජයේ වැඩියෙන්ම දක්නට ලැබෙනවා කිවහොත් නිවැරදියි කියලා අපට සිතා ගන්නට පුළුවනි. එසේ කියන්නේ අප ජීවත් වන මෙම බෞද්ධ සමාජය කියා අද අප බොහෝ විට ව්‍යවහාර කරන්නේ මෙවැනි පිරිසකට යි. ඒ අය දනුත් දෙනවා. සිලුත් රකිනවා. බණ භාවනාත් කරනවා. එහෙත් එය ආවාට ගියාට වගේ එතැනින් එහා එහි දියුණුවක් නම් නැහැ. ගොඩටත් එනවා. ඒ සමඟම මඩට බහිනවා වගේ තත්ත්වයක් තිබෙන්නේ.

සිව්වන පුද්ගල කොටස මේ මහා ජලකඳෙහි මතුපිටට ඉල්පී එනවා. ඒ උදවිය උඩට අවුත් ඒ ආකාරයෙන්ම නොසිට වටපිට බලනවා පරක් තෙරක් දැක ගැනීමේ අපේක්ෂාවෙන් එම කාර්යය හා සමානව කුසල පක්ෂයෙහි ශ්‍රද්ධාව ඇති කර ගත් මේ කොටසට අයත් පිරිස එම ශ්‍රද්ධාව හිරිය, ඔත්තප්පය, වීර්යය, ප්‍රඥාව යහපත් ලෙසම දකිනවා. එහි වෙනසක් ඇති කර ගන්නේ නැහැ. එපමණකින්ම සෑහීමට පත්වන්නේ නැහැ. මේ පිරිස සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස යන සංයෝජන තුන සහමුලින් විනාශ කරනවා. යායුතු මග දකිනවා. නැවත ඒ පිරිසගේ සිත කිසිවිටෙක අකුසල පක්ෂයට හැර වෙන්නේ නැහැ. එමෙන්ම නිවන නමැති ගොඩ බිම කරා ඇදෙන ජලපහරට හසු වුණා වැනි බවක් මෙයින් අදහස් වෙනවා. ඒ ජලපහර වන්නේ ආර්යඅෂ්ඨාංගික මාර්ගයයි. ඔවුන්ගේ සිත කෙලෙස් විනාශ කිරීමට හැම අතින්ම සවිමත් වී තිබෙනවා. එමෙන්ම අපායගාමී ශක්තිය විනාශ වෙනවා. ඒ සෝතාපත්ති මාර්ග චිත්තයේ ශක්තිය නිසයි. මේ පිරිස එම භවයෙහි රහත් නොවූයේ නම් ඊළඟ ජන්ම භවයෙහි (ඒකබීජ) හෝ සත්වන ජන්මයෙහි (සත්තක්ඛත්තුපරම) හෝ ඒ අතරතුර ජන්මයෙක (කොලංකොල) වශයෙන් උපත ලැබ ඒකාන්තයෙන් රහත්බවට පැමිණ සියලු කෙලෙසුන් නසා රහත්වීමේ ශක්තිය ඇති කර ගන්නවා.

පස්වැනි පුද්ගල කොටස මේ මහා ජලකඳෙහි මතුපිටට ඉල්පී එනවා පමණක් නොව ගොඩබිම පැත්ත කිනම් දිශාවක ද? යන්න හරියටම දැන ඒ දිසාවට ස්ථිරවම ගමනාරම්භ කරනවා. මේ උදවිය කුසල පක්ෂය පිළිබඳ ශ්‍රද්ධාව, හිරිය, ඔත්තප්පය, වීර්යය, ප්‍රඥාව, යන සිතිවිලි තහවුරුව පිහිටුවා ගෙන කාමරාග (සත්වයා සංසාරයෙහි බැඳ තබන වස්තුකාමයෙහි මෙන්ම ක්ලේශ කාමයෙහි ඇලීම) ත්, ව්‍යාපාද (අනුන් නැසේවා, විනාශවේවා යන ක්‍රෝධ සහගත සිතිවිල්ල) යන සිතිවිලි තුනී කිරීමෙන් සකෘදාගාමී තත්ත්වයට හෙවත් මේ සසර තවත් එක්වරක් පමණක් උපත ලබා එම සාංසාරික දුක කෙළවර කිරීමේ සුගති සංඛ්‍යාත නිර්වාණය උදා කර ගන්නවා. මේ අනුව ජලකඳ මතුපිට ඉල්පී සිටින පුද්ගලයා සෝවාන් තත්ත්වයට පැමිණීමෙන් පසු එහි සිට අවට ගොඩබිම කිනම් දිසාවකදැයි සොයා බලා විමසීමෙන් (දැක ඒ දිසාවට තරණය කිරීම උපමා කරමින් මේ පිරිසේ ස්වභාවය හඳුන්වා දෙනවා.

සයවැනි පුද්ගල කොටස ඉහත සඳහන් ආකාරයෙන් ජලකඳෙහි මතුපිටට අවුත් ගොඩබිම කිනම් දිසාවකදැයි විමසා බලා (සෝවාන් වීම) එදෙසට තරණය කොට (සකෘදාගාමි) ඒ දිසාවම ගොඩබිම බව ස්ථිරවම තහවුරු කර ගන්නවා. මෙයින් අදහස් කරන්නේ කුසල පක්ෂය කෙරෙහි ඇති කර ගත් ශ්‍රද්ධාව, හිරිය, ඔත්තප්පය, වීර්යය, ප්‍රඥාව, යන සිතිවිලි ඇති කරගෙන ඉහත කී කාමරාග, ව්‍යාපාද සිතිවිලි දෙකත් සමඟ මුලින්ම සපුරා විනාශ කරන ලද සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බතපරාමාස යන සංයෝජන තුනද සමඟ බලවත් කෙලෙස් පහම සපුරා දුරු කිරීමේ ශක්තිය උදාකර ගන්නවා. නැවත මේ සංසාරයෙහි හෙවත් ලෝකයෙහි උපතක් නොලබන හෙවත් මේ ලොවට නොඑන බැවින් අනාගාමි තත්ත්වයට පත් වෙනවා. එම ජීවිත කාලය තුළදී රහත් නොවී මිය ගියේ නම් ශුද්ධාවාස බඹලොව ඔපපාතිකව උපත ලබනවා. ඒනිසා ගොඩබිම සොයා තරණය කළ දිශාව අත් නොහැර එදෙසටම ස්ථීරවම ගමන් කිරීම මෙයින් උපමා කෙරෙනවා.

සත්වැනි පුද්ගල කොටස ඉහත ජලකඳ මතුපිට ඉල්පී තරණය කර ගොඩබිමට යනවා. එනම් කුසල පක්ෂයෙහි ශ්‍රද්ධාව, හිරිය, ඔත්තප්පය, වීර්යය, ප්‍රඥාව, තහවුරුව පවතිනවා. සම්පූර්ණයෙන්ම මාන, උද්දච්ච, අවිජ්ජා ආදී සියලුම ආශ්‍රවයන්ගෙන් සිත මිදෙනවා. එසේත් නැත්නම් ආශ්‍රවක්ෂය කිරීමෙන් මෙලොවහිදීම විශිෂ්ට වූ ඥානයෙන් යුක්ත වෙනවා. නිර්වාණාවබෝධය ලබනවා.

මේ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ උදකූපම පුද්ගල සූත්‍රයෙන් මෙම පුද්ගලයන් හෙවත් පිරිස් 7 ගැන පැහැදිලි කර දී තිබෙනවා. මේ අනුව ලෝකයේ පුහුදුන් මනුෂ්‍ය ප්‍රජාව දෙස බලනවිට බහුල වශයෙන් අපට දකින්නට හැකි වන්නේ් පළමු කී ගණයට වැටෙන පුද්ගලයන්ය. එනම් සදාකල්හිම ජලකඳට හසු වී කිසිදු අවස්ථාවක ජල මතුපිටටවත් නොඑනවා වැනි අයයි. එනම් මේ කාමභෝගි සංසාරයෙහි ඇලි ගැලී ජීවත්වන පිරිසයි. මේ අතර තවත් පිරිසක් මෙම තත්ත්වයට වඩා කිසියම් ඉදිරියක් පෙන්නුම් කරමින් ජලය මතුපිටට අවුත් ඒ සමඟම ජලය තුළට ආපසු ගිලී යනවා. එනම් මොහොතකට වුවත් මේ දුක් සහිත සංසාරයෙහි ආදීනව කිසියම් කල්‍යාණ මිත්‍රයෙකුගෙන් හෝ සත්පුරුෂ ආශ්‍රයකින් අසා දැනගන්නවා. එහෙත් ඒ ඔස්සේ තම නැණැස යොදවා බැලීමට උනන්දු වීමක් නැහැ. ජලය මතුපිටට පැමිණි ආකාරයෙන්ම එතනම ජලයෙහි කිමිදෙනවා. මෙම ලක්ෂණ ඇති අය ඊළඟට බහුල වශයෙන් සමාජයේ දක්නට පුළුවන. ඊළඟ පුද්ගල කොටස ජලය මතුපිටට අවුත් ඒ ආකාරයෙන්ම ගල් ගැසී සිටිය ආකාරයෙන් සිටිනවා. කුමන දිසාවකටවත් ගමන් කිරීමක් බැලීමක් නැත. එවැනි පුද්ගලයෝද බෞද්ධ අප ජීවත් වන සමාජයේ අපට බහුලව දකින්නට පුළුවන. මෙබඳු අය කුසල පක්ෂයෙහි ශ්‍රද්ධා දි සිතිවිලි ඇති කර ගන්නවා. එසේ වුවත් එහි වර්ධනයක් හෝ පිරිහීමක් හෝ හීනවීමක් ඇති කර ගන්නේ නැහැ. ඒ සිතිවිලි ඇති කරගත් ආකාරයනම් ස්ථාවරව පැවතීමයි.

අනතුරුව සඳහන් පුද්ගලයන් වර්ග හතර (සිව්වන, පස්වන, සයවන හා හත්වන) හෙවත් සෝවාන්, සකෘදාගාමි, අනාගාමි හා රහත් මඟට පිළිපන් පිරිස) වැදගත් වෙනවා. ඒ පිරිස් නිවන් මගට පිළිපන් පිරිසයි. මේ පිරිස සමාජයේ දුර්ලභ ලෙසයි දකින්නට හැකියාවක් ඇත්තේ.