Print this Article


සම්බුදු සසුනේ පිළිසරණ ලද චිත්ත ගෘහපතිතුමා

 සම්බුදු සසුනේ පිළිසරණ ලද චිත්ත ගෘහපතිතුමා

අසිරිමත් ප්‍රඥාවකින් හෙබි අපගේ ස්වාමි වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවකයන් හටද ඒ ප්‍රඥාව බෙදා දුන් සේක. ඒ සම්බුදු ප්‍රඥා මහිමයේ ආධාරයෙන් ඒ ශ්‍රාවකයන් වහන්සේලා තම ප්‍රඥාව පුබුදුවා ගත්හ.

සම්බුදු සසුනේ පිහිට ලබන ඒ තථාගත ශ්‍රාවකයන් සිවු වැදෑරුම් ය. ඒ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිවුවනක් පිරිස ය. ගිහි ජීවිතය අතහැර පැවිදි දිවියට පත්ව ප්‍රාතිමෝක්ෂ සංවරාදී සීලයන් ආරක්ෂා කරන උතුමෝ භික්ෂු භික්ෂුණී සංඝයාට අයිති වේ. තෙරුවන් සරණ ගොස් ගිහි ජීවිත ගත කරමින් සිටින්නෝ උපාසක උපාසිකාවෝ ය. මේ දෙ පිරිසේම අභිවෘද්ධිය බුදු සසුනේ චිර පැවැත්ම පිණිස සෘජුවම හේතු වේ.

සම්බුදුරජාණන් වහන්සේ ගම් දනව් සිසාරා අමා මහ නිවන දන් දෙමින් වැඩි සේක. තම ශ්‍රාවකයන් වහන්සේලා ද ඒ සඳහා උනන්දු කළ සේක. ඒ නිසා ඒ යුගයේ කසාවත් දරා සිටි මහානුභාව සම්පන්න මහා සෘද්ධිමත් මහරහතුන් වැඩ සිටියා සේම සතර අපායෙන් සදහටම නිදහස් වූ සම්බුදු දහම මැනැවින් දරා සිටින උදාර ගුණයෙන් සුපෝෂිත වූ උපාසක උපාසිකාවෝ ද දුලභ නො වූහ.

ඒ පින්වත්ත මිනිසුන් අතර සිටි මච්ඡිකාසණ්ඩ නගරවාසී චිත්ත ගෘහපතිතුමා සුවිශේෂී උපාසකයෙකි. භාග්‍යවතුන් වහන්සේ අවශේෂ උපාසක උපාසිකාවන්ට චිත්ත ගෘහපතිතුමා පිළිබඳව හඳුනාගත යුතු ආකාරය මෙසේ වදාළ සේක.

ශ්‍රද්ධාවන්ත උපාසකයෙක් මැනැවින් අයදිනවා නම් මේ චිත්ත ගෘහපතිතුමාත්, හත්ථ ආලවකත් යම් බඳු වේද එබඳු වූ කෙනෙක් වන්නේම යි’ කියලයි ආයාචනා කළ යුත්තේ. ‘පින්වත් මහණෙනි, මාගේ ශ්‍රාවක වූ උපාසකවරුන්ට මිනුම් දණ්ඩ වන්නේද පරමාදර්ශය වන්නේද ඒ චිත්ත ගෘහපතිතුමාත් හත්ථ ආලකත් ය.

සංඝයා දැකීමට ඇති කැමැත්ත, ඇසුරු කිරීමට ඇති කැමැත්ත දන් පැණින් සංඝයාට සංග්‍රහ කිරීම නො පිරිහෙන උපාසකයෙකුගේ ලක්ෂණයන් ය. චිත්ත ගෘහපතිතුමා මච්ඡිකාසණ්ඩයේ අම්බාටක නම් වනයේ ඉතා මනහර වෙහෙරක් කරවා බුදු සසුනට පූජා කළේය. එහි බොහෝ ස්ථවිර මධ්‍යම නවක සංඝයා වැඩ සිටියහ. චිත්ත ගෘහපතිතුමා නිරන්තරයෙන් උන්වහන්සේලා දැකබලා වන්දනා කිරීමට දහම් කතා කිරීමට එහි යෑම පුරුද්දක් විය. ඒ අතර පසුදින තම නිවසේ දානයට ආරාධනා කරන ගෘහපතිතුමා ඒ භික්ෂූන් වහන්සේලාට ප්‍රණීත වූ වළඳන අනුභව කළ යුතු දෑ සියතින්ම පිළිගැන්වීය. ගිලන් භික්ෂූන් වෙත්නම් ඔවුනට සොයාබලා කැප සරුප් දන් පැන් පූජා කරමින් නොයෙක් පුණ්‍ය ධර්මයන් රැස් කළේය.

චිත්ත ගෘහපතිතුමා මේ ගෞතම බුදු සසුනේ අග තනතුරු ලද භාග්‍යවන්තයෙකි. දිනක් භාග්‍යවතුන් වහන්සේ ජේතවන දම්සභා මණ්ඩපයේදී අග තනතුරු පිරිනමමින් මෙසේ වදාළ සේක. ‘මච්ඡිකාසණ්ඩ නගරවාසී මේ චිත්ත ගෘහපති නම් උපාසකයෙක් සිටියිද මාගේ ගිහි ශ්‍රාවක වූ ධර්ම කථික උපාසකයන් අතර අග්‍ර භාවයට පත් වන්නේ මේ උපාසකතුමා ය.

තම නිවසේ දානයට වඩින භික්ෂූන් සමඟද ධර්ම සාකච්ඡාවෙහි යෙදීම පුරුද්දක් කර ගත් ගෘහපතිතුමා ඇතැම් අවස්ථාවලදී භික්ෂූන්ට ද දහම් කාරණා නිරවුල් කර ගැනීමට උපකාර කළේය. දිනක් අම්බාටක වනයේ වැඩසිටි භික්ෂූන් වහන්සේලා අතර මේ කතාව ඇතිවුණා. ‘පි‍්‍රය ආයුෂ්මතුන් වහන්ස, කෙලෙස් බන්ධන කියලත්, කෙලෙස් බන්ධන ඇති කරන දේවල් කියලත් කියන මේ කාරණා අර්ථ වශයෙනුත් වෙනස් ද? වචන ප්‍රකාශ කිරීම වලින් විතරක් වෙනස් ද? එහෙම නැතිනම් එකම අර්ථයක් ද? වචන ප්‍රකාශ කිරීම්වල විතරක් ඇති වෙනස්කමක් ද?’ කියා. ඒ භික්ෂූන්ට මේ කාරණය නිරවුල් කර ගන්න බැරි වුණා. මේ අතර චිත්ත ගෘහපතිතුමා කිසියම් කටයුත්තකට ඒ අසල ඇති ‘මිගපථක’ ගමට පැමිණ සිටියා. චිත්ත ගෘහපතිතුමාට ඉහත නො විසඳුණු දහම් කතාව පිළිබඳව සැලවුණා. එහිදී චිත්ත ගෘහපතිතුමා ඒ කරුණ විමසා මෙසේ ප්‍රකාශ කළා. ‘ස්වාමිනි, කෙලෙස් බන්ධන කියලත්, කෙලෙස් බන්ධන ඇති කරවන දේ කියලත් කියන මේ කාරණය අර්ථ වශයෙනුත් වෙනස්. ප්‍රකාශ කිරීම් වශයෙනුත් වෙනස්කමක් තියෙනවා. ඉන්පසු චිත්ත ගෘහපතිතුමා උපමාවක් ඇසුරු කර ගනිමින් ඒ භික්ෂූන්ට ඒ දහම් කාරණය නිරවුල් කර දුන්නා. ඒ භික්ෂූන් මහත් සතුට ට පත් වී චිත්ත ගෘහපතිතුමාට ප්‍රශංසා කළා. තවත් එවැනි අවස්ථාවන්හි දී චිත්ත ගෘහපතිතුමා මැදිහත් වී භික්ෂුන්ට පවා දහම් කරුණු කියා දෙමින් ධර්මය කතා කිරීමට උනන්දු කළා.

දිනක් මච්ඡිකාසණ්ඩයට නිගණ්ඨනාථපුත්ත ඇතුළු මහත් පිරිසක් පැමිණි බව ගෘහපතිතුමාට සැල වුණා. ගෘහපතිතුමාද බොහෝ උපාසක පිරිසක් සමඟ එහි ගියා. විතර්ක විචාර රහිත දෙවැනි ධානය පවා නො පිළිගන්නා නිගණ්ඨනාථපුත්ත විතර්ක විචාර රහිත ධ්‍යානයක් තිබේදැයි චිත්ත ගෘහපතිගෙන් ඇසුවා. ඒ පිළිබඳ ‘හුදු පිළිගැනීමකට යන්නේ නැහැ’ කියා එතුමා පැවසුවා. එම පිළිතුරෙන් මහත් සතුටට පත් නිඝණ්ඨනාථපුත්ත ගෘහපතිතුමාට මහත් සේ ප්‍රශංසා කළා. පසුව ගෘහපතිතුමා පෙරලා මෙසේ ඇසුවා. ‘ස්වාමිනි ඔබ මේ ගැන කුමක්ද සිතන්නේ. වඩාත්ම ප්‍රණීත ඤාණය ද? ඇදහීම ද?’ කියා. ‘එම්බා ගෘහපතිය ඇදහීමට වඩා ඤාණයනේ වටින්නේ’ කියා නිගණ්ඨනාථපුත්ත ප්‍රකාශ කළා. එවිට චිත්ත ගෘහපතිතුමා මෙසේ ප්‍රකාශ කළා. ස්වාමිනි, මම කැමැති තාක් පළමුවැනි ධ්‍යානයට සම වදිනවා. විතර්ක විචාර රහිත වූ දෙවැනි ධ්‍යානයටත්, තුන්වෙනි ධ්‍යානයටත් , හතරවෙනි ධ්‍යානයටත් සම වඳිනවා. ඒ නිසා මා ඒ ගැන පුහු ඇදහිල්ලකට යන්නේ නැහැ’ කියා ප්‍රකාශ කළා. පිළිතුරෙන් නිගණ්ඨනාථපුත්තගේ දුර්මතය සම්පූර්ණයෙන්ම ඛණ්ඩනය වුණා. ඔහු ගෘහපතිතුමාට බැන වදින්නට පටන් ගත්තා. ඊටද විශාරදව පිළිතුරු දුන් ගෘහපතිතුමා ඉන් පිටත්ව ගියා. තිස් අවුරුද්දක් නිරුවත් තාපසයෙක් ලෙස සිටි චිත්ත ගෘහපතිතුමාගේ ගිහි කළ යාළුවෙක් වූ අවේලකස්සපට චිත්ත ගෘහපතිතුමා මුණ ගැසීමෙන් පසුව බුදු සසුනේ පැවිදි උපසම්පදාව ලබා රහතන් වහන්සේ නමක් බවට පත්වුණා.

මෙසේ සියලු දෙනාගේම ගරු සැලකිලි ලබමින් සිටි චිත්ත ගෘහපතිතුමා දිනක් ජේතවනාරාමයට ගියා. එවිට එහි සිටි බොහෝ මිනිස්සු චිත්ත ගෘහපතිතුමාට බොහෝ ආදර ගෞරව දැක්වූවා. ඒ බව දුටු ආනන්ද ස්වාමින් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කියා සිටියේ ය. ‘ස්වාමිනි, මේ චිත්ත ගෘහපතිතුමා මෙහි එනකොට බොහෝ දෙනා ගරු සැලකිලි දක්වයි. වෙනත් තැන්වලදීත් එසේ කරයි ද? එහිදී භාග්‍යවතුන් වහන්සේ මෙසේ ගාථාවකින් වදාළ සේක. ‘තිසරණය කෙරෙහි ශ්‍රද්ධාව පිහිටුවාගත් සීලවන්ත ගිහි ශ්‍රාවකයා යසසිනුත්, භෝග සම්පත් වලිනුත් යුක්තනම් ඔහු කොයි පළාතකට ගියත් ගිය ගිය තැන පුද සත්කාර ලබනවා කියා’.

ගෘහපතිතුමා බුදු සසුනට පැහැද වූයේ මහනාම මහරහතන් වහන්සේ යි. එතුමා දහම් අසා සෝතාපන්න වී අනාගාමි ඵලය දක්වා සිත දියුණු කර ගත්තා. අවසාන කාලයේ බොහෝ ගිලන් වී සිටි ගෘහපතිතුමා ළඟට බොහෝ පොළවවාසී දෙවිවරු පැමිණ සක්විති තනතුරේ සිත පිහිටුවා ගැනීමට ඇවිටිලි කළා. ඒ දෙවිවරුන්ට සක්විති රජ තනතුරේ ඇති අනිත්‍ය හා අස්ථිර බව ප්‍රකාශ කරද්දී කිසිවකු නැතුව තනියම කතා කරන ගෘහපතිතුමා දුටු නෑදෑයෝ ‘සිහිය පිහිටුවා ගනු මැනැව, නිකරුණේ නො දොඩනු මැනැවැ’ යි කීවා. එවිට කරුණු පැහැදිලි කළ චිත්ත ගෘහපතිතුමා තම ජීවිතයේ අවසාන මොහොතේදීත් තම ඤාතීන්ට තෙරුවන් සරණ යාමත් , දානයේ වටිනාකමත් ප්‍රකාශ කර කළුරිය කළා.

මෙසේ සම්බුදු සමිඳුන් ජීවමාන සමයේ ජීවත් වූ මහත් යසස් ඇති චිත්ත ගෘහපතිතුමා අවබෝධයෙන් ද, ඤාණයෙන් ද නො පිරිහි බුදු සසුනේ චිර පැවැත්ම උදෙසා බොහෝ ශාසනික සේවාවන් ඉටු කර නැවත මොලොවට නො එන සේ මේ කය අතහැර සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්ම රාජයෙකුව උපන්නා .