Print this Article


ලිහිණියගොඩ පුරාණ විහාරය

ලිහිණියගොඩ පුරාණ විහාරය


දෙනුවර ප්‍රධාන සංඝනායක කොහොවල දම්මදස්සි හිමි

උඩුනුවර, සියඹලාගොඩ , ලිහිණියගොඩ පුරාණ විහාරස්ථානය ප්‍රදේශයේ බෞද්ධ ජනතාවගේ නිබඳ පුද සත්කාරයට බඳුන්වන පින් බිමකි.


චෛත්‍ය රාජයාණන් වහන්සේ

කොළඹ සිට මහනුවර දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ පිළිමතලාව නගරය පසුකර මඳ දුරක් ගමන්කළ පසු දකුණට හැරී දව්ලගල මාර්ගය ඔස්සේ ගඩලාදෙණිය, ලංකාතිලක හා ඇම්බැක්ක යන පුරා විද්‍යා ස්මාරකයන් දැක බලා ගනිමින් ගමන් කරන අයකුට ලී කැටයම් නිර්මාණ සඳහා චිර ප්‍රසිද්ධ ඇම්බැක්කේ ඓතිහාසික කතරගම දේවාලයේ සිට මීටර් 500 ක් පමණ දුරින් පිහිටි ලිහිණියගොඩ පුරාණ විහාරස්ථානය වෙත ළඟා විය හැකිය.

මහනුවර යුගයේ බිතු සිතුවම් හා ප්‍රතිමා නිර්මාණයන්ගෙන් විහාර මන්දිරය විසිතුරු වී ඇති අතර,ඉපැරණි බෝධි වෘක්ෂයකින් හා ධර්ම ශාලාවකින් සමන්විත විහාරස්ථානයට අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍ය රාජයාණන් වහන්සේගෙන් ලැබී ඇත්තේ මහත් ආලෝකයකි.

ලිහිණියගොඩ පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති පදවිය දරනු ලබන්නේ දෙනුවර ප්‍රධාන සංඝනායක, සමස්ත ලකා සාමවිනිසුරු, ආයුර්වේද වෛද්‍ය ,දේශ කීර්ති, විශ්ව බන්ධු, සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මපාල, කොහොවල දම්මදස්සී නාහිමියන් ය. උන්වහන්සේගේ පරිශ්‍රමයෙන් විහාරස්ථානයේ සංවර්ධන කටයුතු රැසක් සිදුවී ඇති අතර, එළැඹෙන පෙබරවාරි මස සිවු වැනි දිනට උන්වහන්සේගේ හැට වැනි ජන්ම සංවත්සරය යෙදී තිබීමද විශේෂ සිද්ධියකි. ඒ වෙනුවෙන් විහාරස්ථානයේ දී පින්කම් රැසක් පැවැත්වීමට නියමිතය.


ප්‍රධාන විහාර මන්දිරය

බෝධින් වහන්සේ

විහාරස්ථානයේ දිගු කලක සිට පවත්වාගෙන එනු ලබන දහම් පාසල ප්‍රදේශයේ සිසු දරු දැරියන්ට දහම් දැනුම බෙදාදෙන සිප් හලකි. අභිනවයෙන් ඉදිකරන ලද චෛත්‍ය ගර්භයේ මේ සිසු සිසුවියන් වෙනුවෙන් පොත් ගුලක්ද පවත්වාගෙන යනු ලැබේ.