උඳුවප් අමාවක 2014 ජනවාරි 01 වන දා
ආපසු හැරී බලමු
තම ජීවිතය දෙස බලා සතුටු විය හැකි තැනැත්තා මෙ ලොව නොතැවී,
පසුතැවිලි නොවී දෙ ලොව යහපත උදා කර ගනී.
තම ජීවිතය පිළිබඳ ආපසු හැරී බලා සතුටු විය හැකි ජීවිතයක් ගත
කිරීම මනුෂ්‍යයා සතු වගකීමක් ද වේ.
ජීවිතය දෙස ආපසු හැරී බලා තමාට සතුටු විය හැක්කේ කෙසේදැයි
කල්පනා කර බැලීම කාලෝචිත වෙයි.
තමාගෙන් තමාට සතුටු විය හැකි වන්නේ කෙසේ ද? තමන් නිසා වෙනත්
අයකුට කරදරයක් සිදුනොවන්නේ නම් සමාජයට කෙතරම් නම් යහපතක්
උදාකරයිද?
ආත්මාර්ථයෙන් ඈත් වී සමාජය දෙස සානුකම්පිතව සිතීමත්, ඒ අනුව
ක්‍රියා කිරීමත් බුද්ධිමත් මනුෂ්‍යයා සතු වගකීමකි.
මනුෂ්‍යයකු ලෙස උපත ලැබීම සැබැවින් ම වාසනාවකි. එහෙත් ඇතැම්
මනුෂ්‍යයෙකු ඒ වාසනාව පවා අවාසනාවක් බවට පත්කර ගන්නේ කවර
හේතුවක් නිසා දැයි කල්පනාවට ගත යුතුවෙයි.
පින, පව ගැන මෙන්ම කර්මඵල ගැන විශ්වාසය තබා ක්‍රියා කරන බොහෝ
දෙනා තමන් ජීවත් වන කෙටි කාලය තුළ වුවත් වාසනාවන්ත දිවි
පෙවෙතෙක් ගත කිරීමට පෙළඹේ.
කිසිවිට කිසිවෙකුටත් අවැඩක් නොවන්නට ගත කරන ජීවිතය දෙස බලා
නැවත නැවතත් හැරී බලා සතුටු විය හැකිය.
සමාජයට සේවයක්, උපකාරයක් කළ හැකි හැම විට එය නොපිරිහෙළා ,ඉටුකළ
යුතුවේ. වගකීම, යුතුකම, මෙහෙවර පසෙකලා ජීවත්වීම ම පමණක් අගය කළ
හැකි නොවේ.
ජීවිතයක කවර හෝ මොහොතක යථාර්ථයට මුහුණ පෑමට සිදුවේ. එබඳු
අවස්ථාවක තමාට ,තමා පිළිබඳ සිතා සතුටු විය හැකි වේද?
ළමයා කුඩා කල ස්වකීය ජීවිතය දෙස නැවත සිතා බලා සතුටු වීමට නම්,
නිසි පරිදි අධ්‍යාපනය ලැබිය යුතුය. ජීවිතයක අවසානය දක්වා
ඉගෙනීමට අවස්ථාව ලැබුණ ද? අධ්‍යාපනය ලැබීමට ඇත්තේ ඉතා කෙටි
කාලයකි. ඒ කෙටි කාලය තුළ නිසි පරිදි අධ්‍යාපනය නොලැබුවහොත්
තමාට දැනුම් තේරුම් ඇති කල තමාට සිදුවනුයේ පසුතැවීමටයි.
ළමා කාලය ගත කර උදාවන තුරුණු වියේදී තමා ළමා කල ලැබූ
අධ්‍යාපනයේ ඵල නෙළා ගැනීමෙන් රැකියා ආදී ජීවනෝපාය සලසා ගනිමින්
තමා ආර්ථික වශයෙන් සමාජ සම්මතයට අනුව ජීවිතය උසස් තත්ත්වයකට
පත්කර ගැනීමට අවකාශ සැලසේ.
මව්පිය සිතුම් පැතුම් මල්ඵල ගන්වමින් මව්පිය ආශිර්වාදයෙන්
විවාහ ජීවිතයටද ඇතුළත්ව තමාගේ මෙන්ම තම පවුලේත් ඤාතීන්ගේත්,
සමාජයේත් , යුතුකම ඉටු කළ යුතුවේ.
ගෙවී ගිය කාලය නැවත කිසිදා යළිත් උදාකරගත නොහැකිය. එසේ නම්
ගෙවී ගිය කාලයෙන් ජීවිතයට යහපතක් කර නොගත්තේ මන්දැයි පසුතැවිලි
වීමෙන්ද ඵලක් නොවේ.
යළි පසුතැවීමෙන් වැළකීමට ජීවිතයේ ඉදිරි කාලය හෝ යහපතට අනුව ගත
කළ යුතුවේ.
පැරැණි මුතුන් මිත්තන් දවස “පින් පොත භාවිතා කළේද තම යහපත්
ක්‍රියාවන් නැවත නැවත සිහිපත් කර සතුටුවීම සඳහායි. පින්පොත
භාවිතා කළ හැකි වෙතොත් එය තමාට මෙලොවට මෙන් ම පරලොවටද වැඩදායක
වන්නකි.
කරන සෑම ක්‍රියාවක්ම තම සිතෙහි සනිටුහන් වෙයි. එසේ කළ
ක්‍රියාවන් පිළිබඳ සතුට මිස, අසතුට උදාවන ක්‍රියාවන් නොවිය
යුතුය.
පින් සිතිවිලි හදවතෙහි තැන්පත් කර ගත හැකි වෙතොත් හැම විට
සතුටු විය හැකිය. අතීතය ගැන සිතා පසුතැවිලිවීමෙන් වැළකී අනාගතය
යහපත් කර ගැනීමේ අදිටනින් වර්තමානයේ යහපත් සිතුම් පැතුම් ඇතිකර
ගනිමින් ඒ අනුව දිවි ගෙවමු. එවිට ජීවිතය පුරා සතුටු විය
හැකිවේ.
|