Print this Article


අනුරාධපුර ශ්‍රී සම්බෝධි ජයන්ති විහාරය


ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ


ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති ‍නුගේතැන්නේ පඤ්ඤානන්ද නා හිමි

මෑත ඉතිහාසයේ ඉදිවූ අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරය ජාතික, ආගමික සේවාවන්ට මහත් ආශිර්වාදයක් වී ඇති පුණ්‍ය ආයතනයකි.

අතීතයේදී ‘දහයියාවල පන්සල’ යනුවෙන් හැඳින්වූ මෙම දර්ශනීය විහාරස්ථානයේ වර්තමාන දියුණුව උදාවූයේ වත්මන් විහාරාධිපති උතුරු හා උතුරුමධ්‍යම දෙපළාතේ ප්‍රධාන සංඝනායක මංගල ධර්මකීර්ති ශ්‍රී සෝභිත පණ්ඩිත නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමියන්ගේ උත්සාහයත්, ධෛර්යත්, පුණ්‍ය මහිමයත් නිසාමය. අනුරාධපුර අටමස්ථානාධිපති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන අටමස්ථානයේත්, පළාතේ මහා සංඝ රත්නයේත් ප්‍රසාදය දිනාගනිමින් ආගමික, ජාතික, අධ්‍යාපනික සේවාවන්හි නිරතව රජරට ප්‍රදේශයේ ප්‍රමුඛස්ථානයක ක්‍රියාකරන නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමිපාණන් වහන්සේ සියදායක දායිකාවන් අතර ඉතාම ගෞරවයට පාත්‍රව වැඩ සිටී.

රාජ්‍ය තන්ත්‍රයේ දේශපාලන භේදයකින් තොරව සියලු ජන කොටස්වල ගෞරවාදරයට අද ශ්‍රී බුද්ධ ජයන්ති විහාරයත්, නායක හිමිපාණන් වහන්සේත් පත්ව ඇත්තේ බුද්ධ වචනයට අනුව ක්‍රියා කරන පි‍්‍රයශීලි ආකල්ප සම්පත්තිය නිසාමය.

දැනට විහාරස්ථානයේ අලංකාර ලෙස ඉදිවී ඇති ශෛලමය බෝසත් ප්‍රතිමා වහන්සේ , දෙමහල් ධර්මශාලාව, බුද්ධ මන්දිරය , ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමාව, චෛත්‍ය රාජයාණන් වහන්සේ’ රාජ්‍ය අනුග්‍රහය ඇතිව තැනවූ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ බෞද්ධ මධ්‍යස්ථානය , වාහල්කඩ දෙකක් සහිත මහා ප්‍රාකාරය, රාජ්‍ය අනුග්‍රහයද ඇතිව දැනට ඉදිවෙමින් පවත්නා දෙමහල් සංඝාවාසය තවත් වසර සිය දහස් ගණනක් ලක්වැසි ජනතාවට අභිමානයක් වනු ඇත. එසේම එය අනුරාධපුර ඉතිහාසයේ රන් අකුරින් ලියවීමටද සමත්වනු ඇත.

2014 ජනවාරි මස 05 වැන දිනට පනස් එක් වැනි වියටපා තබන නුගේතැන්නේ පඤ්ඤානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ හඟුරන්කෙත මාදන්වල රජමහා විහාරස්ථානයේ ප්‍රධාන දායක ගමක් වන දොඩංකුඹුර ගමේ ඓතිහාසික අත්තනායක පරපුරට අයත්ය. මධ්‍යම පළාතේ, මහනුවර දිස්ත්‍රික්කයේ තෙල්දෙණිය ප්‍රදේශයේ නුගේතැන්න නම් වූ රමණීය ගම් පියසෙහි විසූ අත්තනායක අබේකෝන් වාසල මුදියන්සේලාගේ හීංබණ්ඩා , නිළමෙතුමාට සහ සමන්තිලක මුදියන්සේලාගේ හීංමැණිකේ මැතිනියට 1963 ජනාවරි 05 වෙනි දින පින්වත් පුත් රුවනක් ලැබුණේය. නිමල් අත්තනායක නම් වූ මේ පුත්රුවන ගමේ පාසල වන නුගේතැන්න මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබීය. සම්බුදු දහමට, පන්සලට ලැදිව පාසැල්දිවිය ගත කරන අතර තුර එවකට නුගේතැන්න ශ්‍රී වික්‍රම රාජසිංහ රජ මහා විහාරයේ වැඩ විසූ නුගේතැන්නේ ශ්‍රී චන්දානන්ද ලොකු හාමුදුරුවන්ගේ දැඩි කැමැත්ත ඇතිව පින්වත් නිමල් අත්තනායක කුල කුමරු 1977 වසරේ සැප්තැම්බර් මස 22 දින නුගේතැන්නේ පඤ්ඤානන්ද පොඩි හාමුදුරුවන් ලෙස සසුන් ගත විය.


රාජ්‍ය අනුග්‍රහය ඇතිව විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකර ඇති සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ බෞද්ධ මධ්‍යස්ථානය


දෙමහල් ධර්ම ශාලාව

කුඩා කාලයේදීම පඤ්ඤානන්ද පොඩි හාමුදුරුවන් වහන්සේගේ ගුරුදේවයන් වහන්සේ වූ නුගේතැන්නේ චන්දානන්ද මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් මාදන්වල රජ මහා විහාරාධිපතිව වැඩ විසූ උඩහේවා හැට වලපන දෙදිසාවේ ප්‍රධාන සංඝනායක මහෝපාධ්‍යාය මාදන්වල ශ්‍රී සුමංගල සුමනසාරාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සෙවණට භාර කරනු ලැබූහ. මාදන්වල ශ්‍රී ධර්මෝදය මහ පිරිවෙනේ අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ එම ගුරුබිමට ගෞරවයක්, කීර්තියක් ගෙන දෙමින් ව්‍යක්ත, විනීත, විශාරද ධර්මධර හිමිනමක් ලෙස නම් දැරීමට සමත්වූහ.

මේ වන විට ශ්‍රී චන්දානන්ද ලොකු හාමුදුරුවන් විසින් අනුරාධපුර ශ්‍රී‍්‍ර සම්බුද්ධ ජයන්ති විහාරයද ආරම්භ කර තිබූ බැවින් පඤ්ඤානන්ද පොඩි හාමුදුරුවන්ටද අනුරාධපුරයට වැඩම කිරීමට සිදුවිය. අනුරාධපුර සිරිසඟබෝ භාවනා මධ්‍යස්ථානයට අනුබද්ධිත පිරිවෙන, අනුරාධපුර ශ්‍රී සාරානන්ද මහපිරිවෙන, යන පිරිවෙන් වලින් අධ්‍යාපනය ලබා උසස් අධ්‍යාපනය සඳහා ඇතුළත් වූයේ හඟුරන්කෙත මාදන්වල ශ්‍රී ධර්මෝදය පිරිවෙනටය. ඉන්පසුව අනුරාධපුර බුද්ධශ්‍රාවක භික්‍ෂු විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ උන්වහන්සේ බුද්ධ ධර්මය, විනය පිටකය,අභිධර්මය පිළිබඳ පමණක් නොව පාලි, සංස්කෘත, යන භාෂාවන් පිළිබඳ මනා දැනුම් සම්භාරයක් ලබා ගත්හ. 1990 වසරේදි තම ගුරුදේව චන්දානන්ද ලොකු හාමුදුරුවන් වහන්සේ අපවත් වූයෙන් උන්වහන්සේට ශ්‍රී බුද්ධ ජයන්ති විහාරයේ අධිපතිධූරය භාරගැනීමට සිදුවිය. නුගේතැන්නේ පඤ්ඤානන්ද පොඩිහාමුදුරුවන් අනුරාධපුරයට වැඩම කළේ 1978 පෙබරවාරි මස 16 වැනිදාය.


චෛත්‍ය රාජයාණන් වහන්සේ


විහාර මන්දිරය

ජයන්ති විහාරය පිහිටි භූමිය ඒ වන විට වල ගොඩැලිසහිත එකක් විය. මේ නිසාම ජයන්ති විහාරයට “ දහයියාවල පන්සල” යන නම ලැබී තිබුණි. දහයියා වල පන්සලට දායක පිරිසක් සිටියේ නැත. පසුකලෙක ඉතා සීමිත දායක පිරිසක් දහයියාවල පන්සල කේන්ද්‍රකරගෙන බිහිවිය. දායක සභාවේ ප්‍රථම සභාපති වරයා වූයේ අභාවප්‍රාප්ත ඩබ්.පුංචි බණ්ඩා මහතාය.

අභාවප්‍රාප්ත සෝමරත්න මහතා ලේකම්වරයා විය. අභාවප්‍රාප්ත ඩී.එම්. එම්. චන්ද්‍රසේකර මහතා සමලේකම් විය. පසුකලෙක කථානායක අභාවප්‍රාප්ත කේ.බී.රත්නායක පන්වැල්ලේ දිසානායක යන මහත්වරුන් දෙපළද දායක සභාවට එක්විය. දහයියාවල පන්සල ස්ථිර පන්සලක් ලෙස ගොඩ නැගෙන්නට පටන් ගන්නේ ඉන් පසුවය. දහයියා වල පන්සල අද මුළු රජරටම බබලවන ඉතා දර්ශනීය විහාර ස්ථානයක් බවට පත්වී තිබීමේ ගෞරවය හිමි විය යුත්තේ නුගේතැන්නේ පඤ්ඤානන්ද ලොකු හාමුදුරුවන්ටය.

නුගේතැන්නේ පඤ්ඤානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ 51 වැනි වියට පාතබන ජනවාරි 05 වැනි දින ශ්‍රී බුද්ධ ජයන්ති විහාරස්ථානයේ පින්කම් රැසක් සිදු කිරීමට එහි වැඩ සිටින මහා සංඝරත්නය ඇතුළු දායක පිරිස් කටයුතු සංවිධානය කර තිබේ. නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශාසනික කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රී දළදා සමිදුන්ගේ හා ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ අශිර්වාදය නිරතුරුවම ලැබී නිදුක්, නිරෝගි සම්පත්තිය සමග චිර ජීවනයද උදාවේවා


අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් විහාරස්ථානයේ අභිනව සංඝාවාසයට මුල්ගල තැබූ අවස්ථාව

නාහිමියන් සංඝනායක පදවිය ලැබූ දින උතුරු මැද ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ මහතා නාහිමියන් වෙත අටපිරිකරක් පිළිගැන්වූ අයුරු.

විහාරස්ථානයේ පැවැති කපිලවස්තු සර්වඥ ධාතු ප්‍රදර්ශනයට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී‍්‍ර නාමල් රාජපක්‍ෂ මහතා නාහිමියන් බැහැ දැක විහාරස්ථානයේ සංවර්ධන කටයුතු ගැන කථාබහ කළ අයුරු.

නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සිය ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා සමඟ

පසුගියදා විහාරස්ථානයේ පැවති දරුවන් පැවිදි කිරීමේ උත්සවයෙන්.


අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ උතුරු හා උතුරුමධ්‍යම දෙපළාතේ ප්‍රධාන සංඝ නායක පදවියට පත් නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමියන් පිළිගැනීමේ උත්සවය අරලියගහමන්දිරයේදී පැවති අවස්ථාවේ දී මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමන් කරඬු වහන්සේ නමක් පූජාකොට නා හිමියන්ට උපහාර දැක්වූ අයුරු.