Print this Article


බොදු සමාජ පිළිවෙත් මත සැකසෙන යහ දිවි පැවැත්ම

බොදු සමාජ පිළිවෙත් මත සැකසෙන යහ දිවි පැවැත්ම

උඳුවප් පුර පසළොස්වක පත්‍රයේ මෙම ලිපියේ පළමු කොටස පළ විය

දෛනික ජීවිතයේදී පුද්ගලයා තුළින් ඉටුවිය යුතු වත් පිළිවෙත් සමූහය වෙය්‍යාවච්ච නමින් කියවේ. ගෙදර, දොර, පාසල, පංසල වැනි ස්ථානයන්හි දී මෙම වත් පිළිවෙත් කිරීම කළ යුතුය. එයින් සමාජයේ සමාජ යුතුකම් රැසක් ඉටුවේ. එසේම සමාජයේ අන්‍යෝන්‍ය සබඳතා ඔප් නැන්වෙයි පිදිය යුත්තන් පිදීම ( අපචායන ) දෙමව්පියන්, ගුරුවරයන්, තෙරුවන් වැඳීය යුතු පිදිය යුතු අය වෙති. එයින් කෘතඥතාව, ගුණගරුත්වය, සමාජය තුළ වැඩි දියුණු වේ. ධර්‍මදේශනය හා ධර්‍ම ශ්‍රවණය කිරීම උසස් සමාජීය අගයකින් යුක්තවේ.

ධර්‍ම දේශනාවෙන් සමාජය යහමගට හරවා ගැනීමට හැකිය. ධර්‍මශ්‍රවණය කිරීමෙන් සමාජය සුචරිතයට යොමු වේ. මේ කරුණු අනුව දස පුණ්‍ය ක්‍රියා වස්තු සමාජයේ මනා වූ පැවැත්මට හේතුගත වේ. ආගමික වශයෙන් පමණක් නොව සාමාජික වශයෙන් ද මෙහි ඇති අගය කියා හෝ ලියා නිම කළ නොහැකිය.

බෞද්ධ සමාජය තුළ දක්නට ලැබෙන තවත් ලක්ෂණයක් වන්නේ සතර සංග්‍රහ වස්තුය.

01. දානය – පරිත්‍යාගයයි. ගිහි පැවිදි කාහටත් යමක් දීම.
02. ප්‍රිය වචනය – අන්‍යයන්ට ප්‍රිය වචනයෙන් කථා බහ කිරීම.
03. අත්ථචරියා - අර්ථයක් ම, සුබ සිද්ධියක් ම වන දෑ කථා කිරීමය.
04. සමානාත්මතා - අන්‍යන්ගේ දුකේදීත් සැපේදීත් පිහිටවීමය.

රට වැසියාගේ, සමාජයේ අසහනය සමනය කොට සහනය සලසාලීම පිණිස සතර සංග්‍රහ වස්තුන් ගෙන් නොමද අනුග්‍රහයන් ලැබී ඇත. බෞද්ධ සමාජය තුළ මේ කරුණු අතිශයින්ම ප්‍රායෝගික වෙයි.

බෞද්ධ සමාජය තුළ ලැබෙන තවත් ලක්ෂණයක් වන්නේ සතර බ්‍රහ්මවිහරණය. ඒ මෙසේය.

01. මෙත්තා - අන්‍යන්ට මිතුරු බව දැක්වීම.
02. කරුණාව - අන්‍යයන්ට දුක කැමති නොවීම.
03. මුදිතා - අන්‍යයන්ගේ සැපත කැමති වීම.
04. උපේක්‍ෂාව - අන්‍යයන් කෙරෙහි මැදහත්ව සිටීම.

මෙම ගුණ ධර්‍ම පුද්ගලයා තුළත් ප්‍රගුණ කිරීමෙන් ව්‍යාපාදය දුරුවේ. මෙත් සිත පැතිරී යයි. අන්‍යයන්ට දුකක් කරදරයක් කැමතිවීම දුරු වන්නේ කරුණාවෙනි. ඊර්ෂ්‍යාව, කුහකකම, කුඩුකේඩුකම් ආදී දුර්ගුණ දූරුවන්නේ මුදිත භාවය නිසාය. උද්දච්ච භාවය දුරුවන්නේ උපේක්ෂාවෙනි. මේ ලක්ෂණවලින් යුක්ත පුද්ගලයාගෙන් සැදුම් ලත් සමාජය මොන තරමක් වාසනාවන්තද? විශිෂ්ට ද? මෙකී බෞද්ධ සමාජ ලක්ෂණ අරගත් සිංහල රජ දරුවන් පවා රාජ්‍ය පාලන කටයුතු අර්ථවත්ව නිරවුල්ව මැනවින් සිදු කළ බව පෙනේ.

බෞද්ධ සමාජය තුළ දක්නට ලැබෙන තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ දස රාජ ධර්මයි. රටවැසියන් තම දරුවන් ලෙස රජදරුවෝ සැලකූහ. එදා පාලක පාලිත දෙපිරිස අතර පැවතියේ ද පිය පුතු සබඳතාවයි. ඒ අනුව ඔවුනොවුන් අතර විශ්වාසය, සුහදතාව ආරක්ෂා විණි. එකී රජවරු අනුගමනය කළ දස රාජ ධර්‍ම නම් මෙසේය.

01. දානය
02. ශීලය
03. පරිත්‍යාගය
04. අවංකකම
05. මෘදු බව
06. කෙලෙස් තැවීම
07. අක්‍රෝධය
08. අවිහිංසාව
09. ක්ෂාන්තිය
10. අවිරෝධතාවය

මෙහි දක්වන ලද බෞද්ධ සමාජය තුළ මේ ගුණ දහම් වඩා වර්ධනය වීමෙන් ඔවුනොවුන් අතර අවංක භාවය, නිරහංකාරබව හා අපක්ෂපාතීබව ඔප් නැංවී තිබුණි.

එදා බෞද්ධ සමාජය තුළ ප්‍රකට වන තවත් විශේෂ පිළිවෙතක් ලෙස දැක්විය හැක්කේ දස සක්විති වත්ය. ඒවා මෙසේය.

01. තමන් ධාර්මිකවීම
02. දැහැමිව අඹුදරුවන් පෝෂණය කිරීම.
03. දැහැමිව හමුදා බල ඇණි පෝෂණය කිරීම.
04. දැහැමිව ක්ෂත්‍රියන් පෝෂණය කිරීම
05. දැහැමිව බ්‍රාහ්මණ ගෘහපතියන් පෝෂණය කිරීම.
06. දැහැමිව ගම්වැසි දනව් වැසියන් පෝෂණය කිරීම.
07. දැහැමිව මහණ බමුණන් පෝෂණය කිරීම.
08. පක්ෂි සිව්පා මත්ස්‍ය උරග ආදි සත්වයන්ගේ ආරක්ෂාව සැලැස්වීම.
09. ධනය නැති දිළින්දන්ට ධනය දීම.
10. වරින් වර මහණ බමුණන් වෙත එළඹ උපදෙස් ලබා ගැනීම.

බෞද්ධ සමාජය තුළ මෙන්ම බෞද්ධ පාලකයන් අනුගමනය කළ තවත් උසස් පිළිවෙතක් වනුයේ සප්ත අපරිහාණීය ධර්‍මයන්ය.

01. නිතර නිතර රැස්වීම.
02. සමගියෙන් රැස්ව සමගියෙන් විසිර යෑම.
03. නොපැන වූ නීති නොපැනවීම පනවන ලද නීති මැනවින් ගරු කිරීම.
04. වැඩිහිටි උපදෙස් ගරු කිරීම.
05. කුල කාන්තාවගේ ආරක්ෂාව සැළසීම.
06. ඓතිහාසික පූජනීය ස්ථාන සුරැකීම.
07. ආගමික නායකයන් කැඳවා උපදෙස් ලබා ගැනීම.

මේ හැරුණු කොට බෞද්ධ සමාජය තුළ ධනය ඉපදවිය යුතු අයුරු ද බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ. ධනය ඉපදවීම ධාර්මිකව කළයුතුය.

01. ගොවිතැන 02. වෙළෙඳාම, 03. ගවපාලනය, 04. ආරක්ෂක සේවා, 05. රාජ්‍ය සේවා, 06. ශිල්පයක් හෝ කර්මාන්තයක් යන රැකියා හය බෞද්ධ සමාජයට අනුමත කොට තිබේ. එම රැකියා නිසා පංච ශීලය ආරක්ෂා වේ. ආර්ථික කටයුතු දියුණු වේ.

පස් ආකාරයක වෙළෙඳාම් බෞද්ධ සමාජයට තහනම්ය. ඒ වෙළෙඳාම් පහ මෙසේය. 01. අවි ආයුධ වෙළඳාම, 02. වහල් වෙළෙඳාම 03. මස් හෝ මසට සතුන් වෙළෙඳාම, 04. මත් පැන් හා මත් ද්‍රව්‍ය වෙළඳාම 05. වස විෂ වෙළෙඳාම, ධාර්මික වෙළෙඳාම් වුවත් අධාර්මිකව කළ හැකිය. හොර පඩි, හොර තරාදි, හොර මිණුම්, හොර මුදල් හා අඩු වටිනාකම් ඇති බඩු ඒ සඳහා යොදා ගත හැකිය. ධාර්මිකව උපයා සපයා ගන්නා ධනය පරිහරණය කළයුතු ආකාර හතරක් ද දේශිතය.

එකේන භොගේ භුඤ්ජෙය්‍ය
ද්විහි කම්මං පයෝජයේ.
චතුත්ථං ච නිධාපෙය්‍ය
ආපදාසු භවිස්සති.

01. එක් කොටසක් පරිභෝජනය සඳහාත්, 02. කොටස් දෙකක් ආයෝජනය සඳහාත්, 03. ඉතිරි කොටස විපතක්, කරදරයක් පැමිණි විට ගැනීමටත් ය. පුද්ගලයා මෙන්ම බෞද්ධ සමාජයේ ලෞකික වශයෙන් ලැබිය හැකි ධාර්මික සන්තුෂ්ඨි සතරක් සඳහන්වේ.

චත්තාරිමානි භික්ඛවෙ සුඛානි කතමානි චත්තාරි? අත්ථි සුඛං, භෝග සුඛං, අණන සුඛං, අණවජ්ජ සුඛන්ති.’

අත්ථි සුඛය – වස්තුව ඇති බව, භොග සුඛය – වස්තුව ක්‍රමානුකූලව පරිභෝග කිරීම, අණන සුඛය – ණය නැති බව, අණවජ්ජ සුඛය – නිවැරැදි දිවි පැවැත්ව, බෞද්ධ සමාජයේ පුද්ගලයා සාර්ථක ලෙස සමාජ සම්බන්ධතා පවත්වා ගතයුතු ආකාරය බෞද්ධ දේශනාවේ මැනවින් ප්‍රකට වේ.

මාපිය – දූදරු - ස්වාමි – භාර්යා - මිතුරු - අමිතුරු - ආචාය¸ - ශිෂ්‍යය, ස්වාමි - සේවක, ගිහි – පැවිදි, ආදී වශයෙන් බෞද්ධ සමාජය තුළ ඒ ඒ කොටස් සමඟ සම්බන්ධතා පවත්වා ගත යුතු අයුරු මැනවින් දේශනාවේ සඳහන් කොට තිබේ.

කරණීය, රතන, මංගල, ධම්මික, පරාභව ආදී සූත්‍ර දේශනාවල බෞද්ධ සමාජයට යෝග්‍ය, උචිත දහම් උපදේශ අන්තර්ගත කොට ඇත. මේ සෑම දේශනාවක කෙළවර ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. එය සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්ෂාවට අනුව මෙලොව ජීවිතයත් පරලොව ජීවිතයත් සතුටින් වාසය කොට අවසානයේ නිවනින් සැනසීම ලැබෙන බව බුදුරජාණන් වහන්සේ බෞද්ධ සමාජයට, එනම් භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිවුවනක් පිරිසට මැනවින් දේශනා කළහ.


බෞද්ධ සමාජ ලක්ෂණ - බොදු සමාජ පිළිවෙත් මත සැකසෙන යහ දිවි පැවැත්ම