Print this Article


රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 14 ව්‍යාකූල වූ ගැටලු විසැඳීම වෙනුවෙන් චන්දවිමල මහා නා හිමියෝ නිබඳව වෙහෙසුන හ

රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 14

ව්‍යාකූල වූ ගැටලු විසැඳීම වෙනුවෙන් චන්දවිමල මහා නා හිමියෝ නිබඳව වෙහෙසුන හ

ප්‍රථමයෙන් 1959 වසරේදී ලියා ඵල කළ ‘ධර්ම විනිශ්චය’ නම්වූ ධර්ම පුස්තකය , 2004 වසර වන විට තවත් හත් වාරයක් මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.

බුද්ධ ධර්මයේ යම් යම් තැන් වැරදි ආකාරයට තේරුම්ගත් ඇත්තන්ට නිවැරැදි පැහැදිලි අවබෝධයක් ලබාදීම උදෙසා වූ ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙස ‘ධර්ම විනිශ්චය’ හඳුන්වා දිය හැකිය. පැන නගින ඇතැම් ගැටලු 100 ක් පිළිබඳව මෙම පොතෙන් පුළුල් විග්‍රහයක් කෙරෙයි.

ඔබට අපට ඇතැම් විට දැනෙන සැක සංකා දුරුකර ගැටලු නිරාකරණය කර ගනිමින් පැහැදිලි අවබෝධයක් උදෙසා ‘ධර්ම විනිශ්චය’ රැගෙන පරිශීලනය කිරීම වඩාත් ඵලදායි වෙතැයි සිතෙයි. ගතානුගතිකත්වය තුළ රැඳෙමින් ඇතැම්විට වැරදි සම්ප්‍රදායයන් තුළ සිරගතවූ ඔබගේ මනස නිදහස් කරගැනීමේ අපේක්‍ෂාවෙන් එහි ඇති ප්‍රශ්න කීපයක් ගෙන ඒවාට උන්වහන්සේ සපයා ඇති දීර්ඝ පිළිතුරු සංෂිප්ත කරමින්, එහෙත් අර්ථ විකෘති නො කරමින් ඉදිරිපත් කරමි.

ප්‍රශ්නය :- බුද්ධ ප්‍රතිමා තනා ඒවාට වැඳුම්පිදුම් කරන ලෙස බුදුරජාණන් වහන්සේ නියම කළ සේක් ද?

උත්තරය :– මෙයට දිය යුතු කෙටිම පිළිතුර නම් එවැනි නියමයක් තථාගතයන් වහන්සේ විසින් නො කරන ලද්දේය කියාය. අනුන් ලවා ගරු බුහුමන් කර ගැනීමේ ආශාව බුද්ධාදී මහෝත්තමයන් වහන්සේලාට නැත. අනුන් ලවා ගරු බුහුමන් , වැඳුම්පිදුම් කරවා ගැනීමට උත්සාහ කරන්නේ කෙලෙස් සහිත වූ ලාමක අදහස් ඇති පුද්ගලයන් විසිනි. සියලු කෙලෙස් නසා සිටිනා ආර්යයන් වහන්සේලාට එවැනි ලාමක අදහස් කොයින් ද?

බුදුන් වහන්සේ විසින් තමන් වහන්සේට ගරුබුහුමන් පූජා සත්කාර කරන ලෙස නියෝගයක් හෝ ඉල්ලීමක් නො කරන ලද නමුත් උන්වහන්සේ ලෝකානුකම්පාවෙන් සැදැහැවතුන් කරන ගරු බුහුමන් පූජා සත්කාර පිළිගන්නා සේක. එබැවින් බුදුගුණ දන්නා සැදැහැවත්තු ජීවමාන වූද පිරිනිවියා වූ ද තථාගතයාණන් වහන්සේට ගරු බුහුමන් වැඳුම් පිදුම් කරති.

ප්‍රශ්නය :– වැඳුම් පිදුම් කිරීමේදි ගාථා කිය යුතුම ද? ගාථා නොකියා වැඳුම්පිදුම් කිරීම වරදක් ද?

උත්තරය :- වැඳුම් පිදුම් කිරීමට ගාථාවක් උවමනා බවක් ත්‍රිපිටකයෙහි හෝ අටුවා ටීකාවල හෝ සඳහන්ව නැත. පැරැණියන් වැඳුම් පිදුම් කළේ ගාථා කීමක් නැතිවය.

බුදුන් වහන්සේ ජීවමාන කාලයේදී උන්වහන්සේ වෙත එන ජනයා ගාථා කියා වඳින්නට පටන්ගත්තා නම් කොතරම් අවුලක් වේද කියා සිතා බැලිය යුතුය. උන්වහන්සේ වෙත පැමිණෙන අය වැඳීම් කළේ ගාථා නොකියා ය. එසේම දැනුදු ගාථා නොකියා වැඳීම හා මල් පහන් ආදිය පිදීම ඇති වරදක් නැත. විහාරයට ,චෛත්‍යයට බෝමළුවට ගොස් පසඟ පිහිටුවා තුෂ්ණිම්භූතව වැන්දාට වැඳීමේ කුසලය අත්පත් වේ. ගාථා නො කීමෙන් වැඳිම පිදුම් සිදු නො වීමක් නැත.

ඇතැම්හු ගාථා කියන්නට වුවමනා යැයි වරදවා සිතාගෙන ගාථා නොදැනීම නිසා වැඳුම් පිදුම් කරන්නට නො යෙති. එය වැරදි හැඟීමකි. ගාථා නොදත් අය විසින් ගාථා නොකියා වැඳුම් පිදුම් කළ යුතුය.

ඇතැම්හු තමන් ගාථා කීමට නො දත් බැවින් වැඳුම් පිදුම් කරන්නට වුවමනා වූ විට ගාථා කියවා ගන්නට තවත් අය සොයමින් වෙහෙසෙති. දේව පූජා වලට කපුවකු සොයන්නාක් මෙන් බුද්ධ පූජා කිරීමට ගාථා කියවීමට අය සෙවීමට වුවමනා නැත. කියවන කෙනකු ඇත්නම් ගාථා කියවා ගත්තාට වරදක් නැත. ගාථා කීමේ සිරිත ඇති වුයේ මෑත කාලයේ ය.

තේරුමක් නොදැන ගාථා කීම එතරම් ඵලක් ඇති දෙයක් නොවේ. ගාථා කියන පින්වතුන් ඒවායේ තේරුම දැන ගැනීමට උත්සාහ කළ යුතුය. වැඳුම්පිදුම් කිරීමේදි සිය බසින් ගෙතුණු තුනුරුවන් ගුණ පාඨ භාවිතා කිරීමේ දී රත්නත්‍රය ගුණ කී පමණට පින් සිදු වන බව සැලකිය යුතුය.

ප්‍රශ්නය :- දානයක් සංඝීක කිරීමට කොපමණ භික්‍ෂූන් වහන්සේලා සිටිය යුතු ද?

උත්තරය :- දානයක් සංඝීක කිරීමට යටත් පිරිසෙන් උපසම්පන්න භික්‍ෂූන් වහන්සේලා සතර නමක් සිටිය යුතුය යන හැඟීමක් ඇතැමුන්ට ඇත්තේය. එය සංඝීක කිරීමය යන්නෙහි අර්ථය නො දැනීම නිසා ඇති කරගෙන තිබෙන වැරදි හැඟීමකි. සංඝීක කිරීම භික්‍ෂූන්ට අයිති වැඩක් නොවෙයි. දායකයකුගේ දානයක් සංඝීක කිරීම දායකයාගේ වැඩකි. ආහාරපානාදී යම් කිසි වස්තුවක් සංඝීක කළ හැක්කේ ඒ වස්තුවේ අයිතිකරු විසින් පමණකි. අනෙකෙකුට එය නො කළ හැකිය.

දාන සංඝීක කිරීමේදී ‘ඉමං භික්ඛං භික්ඛු සංඝස්ස දේම” යන වගන්තිය භික්‍ෂුවක් විසින් කියවන්නේ සාංඝික කිරීමේදී කිය යුතු ඒ වැකිය දායකයන් කියන්නට නො දන්නා නිසාය. සංඝීක වන්නේ භික්‍ෂුව විසින් ඒ වගන්තිය කියවන නිසා නොව දායකයා විසින් ඒ වස්තුව සංඝයාට පූජා කළ නිසාය.සංඝික යන වචනයේ තේරුම සංඝයාට අයත් දෙය යනුයි. සංඝයාට අයත් ‍ෙදය සාංඝික යැයි කියනු ලැබේ.

යම් කිසිවකු විසින් තමාට අයත් වස්තුවක් ඒ වස්තුවෙහි තමාට ඇති අයිතිය අතහැර එහි අයිතිය සංඝයාට පිරිනමනවා නම් එයට සාංඝික කිරීමක් යැයි කියනු ලැබේ.දාන වස්තුවක් සංඝික කිරීම ඒ වස්තුවෙහි අයිතිකරුට එක් භික්‍ෂුවක්වත් නැති තැනකදී වුවද කිරීමට පුළුවන.

එක් භික්‍ෂුවක් ඉදිරි පිටදීද කළ හැකිය. භික්‍ෂූන් දෙනමක් හෝ තුන්නමක් ඉදිරියේද කළ හැකිය. බොහෝ භික්‍ෂූන් ඉදිරියේද කළ හැකිය.

ප්‍රශ්නය :- එසේ නම් සංඝීක දානයක් දිය යුතු හොඳම ක්‍රමය කෙසේ විය යුතුද?

උත්තරය :- මෙකල සංඝීක දාන දෙන පින්වතුන් දසනම පහළොස් නම විසි නම ආදි වශයෙන් යම් කිසි භික්‍ෂූන් වහන්සේලා ගණනකට ආරාධනා කොට ඒ ආරාධනා කළ භික්‍ෂූන් වහන්සේලාට දෙන බලාපොරොත්තුවෙන් ම ඒ භික්‍ෂූන් වහන්සේලා ගණනටම දන් පිඟන් හා පරිෂ්කාරයන් ද සූදානම් කොට භික්‍ෂූන් වහන්සේලා පැමිණි කල්හි ඒ භික්‍ෂූන් වහන්සේලා ඉදිරිපිට පිළියෙල කළ දානය හා පරිෂ්කාරයන් තබා ඉමං භික්ඛවේ භික්ඛුසංඝස්ස දෙම” යන අපරිච්ජින්නක මහා සංඝයාට දීමේ දී කිය යුතු වාක්‍ය කියා, පසුව ඒ භික්‍ෂූන් වහ්නසේලාට ම ඒ දානය දෙති.

දස නමකට දානයක් දෙන තැනැත්තා බලාපොරොත්තු වන්නේ තමා ආරාධනා කළ දස නමට දීමට නම් දානය පිළියෙල කර ඇත්තේ ඒ දසනමටම නම් කටින් පමණක් මහා සංඝරත්නයට දීමේ වාක්‍යය කීමෙහි තේරුමක් තිබේද? මෙය ගතානුගතිකව අවිචාරවත්ව කරන වැඩක් නොවේද? සංඝික කිරීමය, සංඝයාට දීමය, සංඝයාට පූජා කිරීමය යන වගන්ති තුනෙන්ම කියැවෙන්නේ එකම කරුණකි.

ඒ බව බොහෝ බෞද්ධයෝ නො දනිති. සාමාන්‍යයෙන් බෞද්ධයන් පූජා කිරීම ලෙස සලකන්නේ යම් කිසිවක් තමන්ගේ අතින්ගෙන භික්‍ෂූන් වහන්සේගේ අතෙහි තැබීමය. “ඉමං භික්ඛං භික්ඛූ සංඝස්ස දෙම” යන වාක්‍ය කීම දීමක් හෙවත් පූජා කිරීමක් බව ඔවුහු නො සලකති. එබැවින් ඒ වාක්‍ය කීමෙන් පසු ඔවුහු නැවත ඒ දාන වස්තු වෙන වෙනම පූජා කෙරෙති. අර වාක්‍ය කියන අවස්ථාවේදී ඔවන් සිතිනුත් ඒ වස්තූ®න් පූජා කළා නම් නැවත පූජාවක් කරන්නට ඉදිරිපත් වන්නට අවශ්‍යතාවයක් නැත. නැවත පූජා කිරීමට ඉදිරිපත් වීමෙන් තේරුම් ගන්නට තිබෙන්නේ භික්‍ෂූන් වහන්සේ කියවන නිසා ඉහත වාක්‍ය කියනවා මිස ඔවුන් පූජා කිරීමක් වශයෙන් ඒ වාක්‍ය නො කී බවය. දායකයා විසින් සිතිනුත් ඔහුගේ අයිතිය අතහැර සංඝයාට හිමි කිරීමේ අදහසින් තොරව ඒ වාක්‍යය කීවේනම් එයින් එම දාන වස්තු සාංඝික නොවේ. දැන් කරන පරිදි සංඝීක වාක්‍ය කීමෙන් ඒ වස්තූ®න් සංඝික වනවා ද නැති ද යන බව ද තේරුම් ගැනීම අපහසු කරුණකි. එබැවින් දැනට කරගෙන යන සංඝීක දාන දීමේ ක්‍රමය අවුල් වැඩක් බව කිය යුතුය.

“එත්තකා මෙ භික්ඛුසංඝතො උද්දිසථා ති දානං දෙති අයං ජට්ඨා සංඝගතා දක්ඛිණා” යි දක්‍ෂිණවිභංග සූත්‍රයෙහි වදාරා ඇති පරිදි සංඝයාගෙන් මට මෙපමණ භික්‍ෂූන් වහන්සේලා ලබා දෙන්නය කියා සංඝ ස්ථවිරයන් වහන්සේ නමකට ආරාධනා කොට භික්‍ෂූන් වහන්සේලා ලබාගෙන ඒ පැමිණෙන භික්‍ෂූන් වහන්සේලාට දන්දුන්නාම සවන සංඝීක දානය වේ. එසේ කරන කල්හි ‘ඉමං භික්ඛං භික්ඛු සංඝස්ස දෙම’ කියා සංඝීකයක් කිරීමට උවමනාවක් නැත. සංඝයා වෙනුවෙන් වැඩම කළ ඒ භික්‍ෂූන් වහන්සේලාට යම් පමණ ආහාරපාන පරිෂ්කාර දුන්නා නම් ඒ සියල්ල සංඝයාට දුන්නා වන්නේය.

පිළියෙල කළ දාන වස්තූන්ගෙන් යමක් ඉතිරි වූයේ නම් ඒවා සංඝික නොවන බැවින් අවුලක් නැතිව ම ඒ ඒ දායකයන්ට ම අයත්ය. ඒවායින් තමාට ප්‍රයෝජන ගත හැකිය. දැන් දැන් දෙන ක්‍රමයට සංඝික කොට බොහෝ ආහාරපාන විනාශ කෙරෙති. මෙසේ දන් දුන්නාම ඒ ආහාරපාන ද විනාශ නොවේ.

පුද්ගල විභාගයක් නැතිව සංඝයාගෙන් ලබාගෙන එක නමකට වුවද දෙන දානය සංඝික දානය වේ. තමාගේ ශක්ති ප්‍රමාණය අනුව මේ ක්‍රමයට දෙතුන් නමකට වුවද එක නමකට වුව ද බොහෝ ගණනකට වුව ද සාංඝික දානය දිය හැකිය. මෙසේ දන් දීමේදී මහා සංඝරත්නයේ ප්‍රයෝජන පිණිස පුදන ඇඳ පුටු ආදි විශේෂ භාණ්ඩ ඇත්නම් ඒවා පමණක් වාක්‍ය කියා සංඝ ගත කළ යුතුය. ඒවා සියලු සංඝයාට මිස ඒ පැමිණි භික්‍ෂූන් වහන්සේලාට අයත් නොවේ. මේ කිසි අවුලක් නැතිව සංඝීක දානය දෙන ක්‍රමයයි. පෞරාණික දන්දීමේ ක්‍රමයත් මෙයයි.මෙකලත් බුරුම බෞද්ධයන් දන්දෙන්නේ මේ ක්‍රමයටය. අප රටට මේ ආහාරපාන වාක්‍යයක් කියා සංඝීක කිරීමේ පුරුද්ද කවර කලෙක කෙසේ ඇති වූවක් දැයි නො දනිමු.

තවත් කොටසක් ජනවාරි 01 දා