Print this Article


පිරිනිවුණි ඒ නිකෙලෙස් රහත් හිමිවරු 23 මුදිත මහරහතන් වහන්සේ

පිරිනිවුණි ඒ නිකෙලෙස් රහත් හිමිවරු 23

මුදිත මහරහතන් වහන්සේ

ගෞතම බුදු සසුන තුළ පහළ වී වදාළ උතුම් මහ රහතන් වහන්සේලා අතර වැඩ සිටි මුදිත නම් මහරහතන් වහන්සේ ගැන අද අප සිත පහදවා ගනිමු.

මේ මහා භද්‍ර කල්පයට කල්ප අනූ එකකට පෙර යුගයේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු අසූ දාහක්ව පැවතුණා. එකල බන්ධුමති නම් රාජධානියේ බන්ධුමති රජුට දාව බන්ධුමතී නම් රජ බිසවගේ කුසින් විපස්සි නම් බෝතසාණන් වහන්සේ පහළ වී වදාළා. පලොල් නම් බෝධි වෘක්ෂ මූලයේ දී තුන් ලොවම ජය ගෙන විපස්සී සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ යුගයේ දෙවි මිනිසුන්ට චතුරාර්ය සත්‍ය ධර්මය ඉස්මතු කරමින් පෙන්වා දී වදාළා. ඛණ්ඩ මහ රහතන් වහන්සේ සහ තිස්ස මහරහතන් වහන්සේ යන අග්‍ර ශ්‍රාවක භික්ෂුන් දෙනම ඇතුළු සුවිශාල භික්ෂු සංඝයා පිරිවරාගෙන එකල ගම්දනව් පුරා විපස්සී බුදුරජාණන් වහන්සේ දහම් දෙසමින් වැඩම කළා.

මුදිත ස්වාමින් වහන්සේ එකල සිටු පුත්‍රයෙකු ලෙස ඉපදී සිටියා. ශ්‍රාවක සංඝයා පිරිවරාගත් විපස්සී බුදුරජාණන් වහන්සේ දැක බොහෝ සෙයින් ඔහුගේ සිත පැහැදුණා. ඒ චිත්ත ප්‍රසාදයෙන්ම බුදුරජාණන් වහන්සේ උදෙසා එක් පැසල් (මල්ලක් වැනි) පූජාකර ගන්නට යෙදුණා. බුදුරජුන් උදෙසා සිදුකළ මේ පූජාව ඔහුට දෙවි මිනිස් දෙගතියේ බොහෝ සැප විපාක සලසා දුන්නා. කල්ප අනූ එකක අතිදීර්ඝ කාලයක් ගෙවී ගියා.

මේ මහා භද්‍ර කල්පයේ සිව්වෙනි බුදුරජුන් ලෙස අපගේ ගෞතම අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලොව පහළ වී වදාළ යුගයේ හෙතෙම කොසොල් රට ගෘහපති පවුලක උපත ලැබුණා. මුදිත නමින් හැඳින් වූ ඔහු තරුණ වියට එළඹෙත්ම එම ගෘහපති පවුලම යම් කරුණක් හේතු කරගෙන රජුගේ උදහසට ලක්වුණා. රජතුමා නොයෙකුත් වධ හිංසා, පළිගැනීම් නිසා බියට පත් වූ මුදිත ඒ නුවරින් පලා ගොස් වනයක සැඟ වී සිටියා. වනයේ සැරිසරණ ඔහුට ඒ මහා වනය තුළ භාවනානුයෝගිව වැඩ සිටින ස්වාමින් වහන්සේ නමක් මුණ ගැසුණා. ඒ රහතන් වහන්සේ නමක්. බියෙන් තැති ගෙන සිටින මුදිතගෙන් ඒ රහතන් වහන්සේ ‘පින්වත් දරුව, ඔබ කුමක් නිසා බිය ව සිටින්නේදැයි’ විමසා සිටියා.

තමන් තුළ රජු නිසා හට ගත් භීතිය ගැන මුදිත ඒ රහතන් වහන්සේට කරුණු නො සඟවා පැවසුවා. ඉතා බිහිසුණු මහ වනය මැද වාසය කරන ඒ රහතන් වහන්සේ තුළ පවතින අභීත සංසිඳීමට මුදිතගේ සිත පැහැඳුණා. අනතුරුව ඔහු ‘අපේ ස්වාමිනි, මේ ප්‍රශ්නය සංසිඳෙන්නට තව හත් අට මාසයක්වත් යාවි. මට එතෙක් ඉවසා සිටින්නට නො හැකිය. මේ ප්‍රශ්නය සංසිඳි යනතුරු මාගේ ජිවිතය ආරක්ෂාව උදෙසා ඔබ වහන්සේගේ සමීපයේ මාද පැවිදි කර ගන්නා සේක්වා’ යි ඉල්ලා සිටියා.

දැන් මුදිත, බුදු සසුනේ පැවිදි වූ භික්ෂුවක්. නමුත් ඔහු ශ්‍රද්ධාවෙන් පැවිදි වූ කෙනෙක් නොවේ. ඒ උතුම් රහතන් වහන්සේ සමීපයේ ඇප උපස්ථාන කරමින් වාසය කළ ඔහුට රහතන් වහන්සේ තුළ පැවැති අද්භූ®ත ඉන්ද්‍රිය සංවරයට ශාන්ති ගති පැවතුම්වලට බොහෝ සෙයින් කැමැත්ත ඇතිවුණා.

හත්අට මාසයකට පමණ පසුව ඒ රාජ බිය සංසිඳී ගියා. නමුත් මුදිත ස්වාමින් වහන්සේගේ සිත ද ඒ උතුම් පැවිද්ධ තුළම ඇලී පැවතුණා. උන්වහන්සේ ඉතාමත් උනන්දුවෙන් ධර්ම විනය ඉගෙන ගත්තා. අප්‍රමාදවධර්මයේ හැසිරුණා. කෙලෙස් දුරුකොට නිකෙලෙස් වීම පිණිස මුදිත ස්වාමින් වහවන්සේ තුළ තිබුණේ පුදුමාකාර වීර්යයක්. ඒ වීර්යය උන්වහන්සේ උපදවා ගත්තේ භාග්‍යවතුන් වහන්සේගේ අවවාදය මුල් කරගෙනම යි.

ධර්ම ස්වාමි වූ අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වීමට පෙර සය අවුරුද්දක් කටුක කර්කශ දුෂ්කර ක්‍රියාවක් අනුගමනය කළා. එය අන්තයක් බව දැන අත්හැරියා. එදා වෙසක් පුන් පොහෝ දිනයේ සුජාත සිටු දේවිය දුන් කිරිපිඬු වළදා අපගේ ගෞතම මහ බෝසතාණන් වහන්සේ සොත්ථිය බමුණා දුන් කුස තණ මිටි අට රැගෙන නේරංජරාවේ පිහිටි ඇසතු බෝධි වෘක්ෂ මූලයට වැඩම කොට වදාළා. කුස තණ අට මිට අතුරා ඒ මත පළඟක් බැඳගෙන අප මහ බෝසතාණන් වහන්සේ වැඩසිටියේ ‘චතුරංග සමන්නාගත වීර්යයෙන්’ යුක්තවයි.

‘මේ කයේ ලේ මස් වියලුනොත් වියලීයේවා! සම් නහර ඇට ඉතිරි වෙතොත් ඉතිරි වේවා! යම් පුරුෂ විර්යයකින් පුරුෂ පරාක්‍රමයකින් අවබෝධ කළ යුතු යමක් ඇද්ද එය අවබෝධ නො කොට මම මේ අසුනෙන් නො නැගිටිමි! යි තිර අධිෂ්ඨානයක් කළා. ඒ වීර්යයේ බලයෙන්මයි දසමාර සේනා පරදවා සකල ක්ලේෂයන් ප්‍රහාණය කොට ගෞතම නමින් සම්මා සම්බුද්ධත්වයට පත් වී වදාළේ.

සම්බුද්ධත්වය ලැබීමෙන් පසුව බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙනුත් නිකෙලෙස් භාවය පිණිස එබඳුම වීර්යයක් කැමැති වුණා. ඒ දවස්වල භාග්‍යවතුන් වහන්සේ වැඩි සිටියේ ගෝසිංහ නම් සල් වනයේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ, මහමොග්ගල්ලාන මහ රහතන් වහන්සේ, අනුරුද්ධ මහ රහතන් වහන්සේ, රේවත මහරහතන් වහන්සේ, ආනන්ද ස්වාමින් වහන්සේ වැනි ඉතා කීර්තිමත් ස්වාමින් වහන්සේලාත් භාග්‍යවතුන් වහන්සේ සමඟ වැඩ සිටියා.

දිනක් ඒ උතුම් මහ රහතන් වහන්සේලා අතර සුන්දර දහම් සංවාදයක් ඇතිවුණා. ඒ ගෝසිංහ සල් වනය හරි ලස්සනයි. රාත්‍රී කාලයට හරිම සුන්දරයි. මේ සල් ගස් පුරා අතු පතර මල් පිරිලා තිබෙනවා. ඒ මල් සුවඳ හමාගෙන එන්නේ දිව්‍ය සුවඳක් වගෙයි. මේ ලස්සන ගෝසිංහ සල් වනය තවත් ලස්සන වෙන්නෙ කොයි වගේ භික්ෂුවකගෙන් ද? යැයි ඒ උතුම් රහතන් වහන්සේලා සංවාදයක යෙදුණා. (මෙය මජ්ඣිම නිකාය 01 පොත් වහන්සේගේ මහා ගෝසිංහ සූත්‍රය තුළ අන්තර්ගත වේ)

අවසානයේ ඒ රහතන් වහන්සේලා ඒ ප්‍රශ්නයම බුදුරජාණන් වහන්සේගෙන් ද විමසා සිටියා. භාග්‍යවතුන් වහන්සේ ඒ ගැන මේ විදිහටයි පිළිතුරු දී වදාළේ ‘ පින්වත් සාරිපුත්ත, භික්ෂුව පිණ්ඩපාතේ වැඩල දන් වැළඳුවට පස්සේ පළඟක් බැඳගෙන වාඩි වෙනවා. කය සෘජු කර ගන්නවා. භාවනාව අරමුණේ සිහිය පිහිටුවා ගන්නවා. ‘මමනම් කිසිවකට නො බැඳී ආශාවන්ගෙන් හිත නිදහස් වෙලා යනකම් මේ පළඟ ලිහන්නේ් නැහැ’ කියලා. පින්වත් සාරිපුත්ත ඔන්න ඔය වගේ භික්ෂුවක් නිසාත් ගෝසිංහ සල් වනය වඩාත් ලස්සන වෙනවා.

මුදිත ස්වාමින් වහන්සේත් බලවත් විර්යයකිනුයි අරහත්වයට පත් වී වදාළේ. උන්වහන්සේ වැඩ සිටි කුටිය තුළට ගොස් නිකෙලෙස් වනතුරුම මම කිසිවක් නො වළඳන්නෙමි යි කිසිවක් පානය නො කරන්නෙමි යි මේ කුටියෙන් බැහැරටද නො යන්නෙමි බලවත් සේ අධිෂ්ඨාන කළා. ඒ මුදිත ස්වාමින් වහන්සේ ඒ වීර්යයේ බලයෙන්ම ගෞතම බුදු සසුනේ උතුම් මහ රහතන් වහන්සේලා අතර තවත් එක් රහතන් වහන්සේ නමක් බවට පත් වී වදාළා. ඒ අරහත්වයේ සුවය සිහි කරන උන්වහන්සේ මේ උතුම් ගාථාවන් වදාළා.

පබ්බජිං ජීවිකත්ථේහ
ලද්ධානං උපසම්පදං
තතෝ සද්ධං පටිලහිං
දළ්විරියෝ පරක්කමිං

ඇත්තෙන්ම මම මහණ වුණේ නැතිබැරිකම නිසා. ඒ වුණාට උපසම්පදාව ලැබුණට පස්සේ මගේ හිතේ ලොකු ශ්‍රද්ධාවක් ඇතිවුණා. ගොඩාක් වීර්ය අරගෙන උත්සාහ කළා.

කාමං භිජ්ජතු යං කායෝ
මංස පේසී විසියරං
උභෝ ජණ්ණුක සන්ධිහි
ජංඝායෝ පතත්තු මේ

ඒකාන්තයෙන්ම මේ ශරීරය බිඳී යේවා! මේ මස් ගොබ විසිරීයේවා! මගේ් දණහිස් දෙකෙන් මේ කෙණ්ඩා දෙක ගිලිහී යේවා!

නාසිස්සං න පිවිස්සාමි
විහාරා ච න නික්ඛමේ
න පි පස්සං නිපාතෙස්සං
තණ්හා සල්ලේ අනූහතේ

මේ සිතේ තියෙන තණ්හාව නමැති හුල උදුරා දමන තාක් මම කිසිදෙයක් වළඳන්නේ නැහැ. කිසිදෙයක් පානය කරන්නෙත් නැහැ. මේ කුටියේ එළියට යන්නෙත් නැහැ.

තස්ස මේවං විහරතෝ
පස්ස විරිය පරක්කමං
තිස්සෝ විජ්ජා අනුපත්තං
කතං බුද්ධස්සං සාසනං

මම වාසය කළේ ඒ විදිහට. මගේ වීර්ය පරාක්‍රමය දෙස බලන්න. මම ත්‍රිවිද්‍යාව ලබා ගත්තා. බුදු සසුන සම්පූර්ණ කර ගත්තා.

ඇත්තෙන්ම මුදිත ස්වාමින් වහන්සේ ශ්‍රද්ධාවෙන්ම පැවිදි වූ කෙනෙක් නොවේ. ජීවිත ආරක්ෂාව පිණිසයි සිවුරු දරා ගත්තේ. නමුත් ජීවිතයේ යථාර්ථය අවබෝධ කළ රහතුන්ගේ දහම, සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් වදාළ පරම ගම්භීර චතුරාර්ය සත්‍ය ධර්මය නිතර නිතර ඇසෙද්දී උන්වහන්සේ මේ ඝෝර සසරින් නිදහස් වීමට කැමැති වුණා. අවසානයේ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයෙකුගෙන් අපේක්ෂා කළ කෙලෙස් දුරු කිරීමේ බලවත් වීර්යය උන්වහන්සේ උපදවා ගත්තා.

ගෞතම බුදු සසුන තුළ පහළ වී වදාළ සියලු රහතන් වහන්සේලා මේ ලෝකයේ සැබෑම වීර්යවන්ත පිරිසයි. මේ ලෝකයේ සැබෑම ප්‍රඥාවන්තයින් පිරිස යි. මේ ලෝකයේ අග්‍රතම ශ්‍රේෂ්ඨතම පිරිස යි. ඒ සියලු රහතන් වහන්සේලා ගෞතම බුදුරජාණන් වහන්සේගේ පුතණුවන් පිරිස යි. අපත් ඒ මහ රහතන් වහන්සේලා ගැන සිත පහදවා ගනිමු.

සටහන: නයනා නිල්මිණි


පිරිනිවුණි ඒ නිකෙලෙස් රහත් හිමිවරු 22 -සප්පක මහරහතන් වහන්සේ