Print this Article


බෞද්ධ සමාජ ලක්ෂණ - බොදු සමාජ පිළිවෙත් මත සැකසෙන යහ දිවි පැවැත්ම

බෞද්ධ සමාජ ලක්ෂණ

බොදු සමාජ පිළිවෙත් මත සැකසෙන යහ දිවි පැවැත්ම

එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වත්පුර න්‍යාග්‍රෝධාරාමයේ වැඩ වෙසෙති. දිනක් මහානාම ශාක්‍ය රජතුමා උන්වහන්සේ වෙතට පැමිණ සකසා වැඳ ස්වාමීනී, කොපමණකින් උපාසකයෙකු වේදැයි ඇසීය.

“යතෝ බෝ මහානාම. බුද්ධං සරණං ගතෝ හෝති. ධම්මං සරණං ගතෝ හෝති. සංඝං සරණං ගතෝ හෝති. එත්තාවතා ච මහානාම උපාසකෝ හෝති.”

බුදුරජාණන් වහන්සේ මහානාමය, යම් තැනක පටන් යමෙක් බුදුන් සරණ කොට ගියේ වේද? දහම් සරණ කොට ගියේ වේද? සඟුන් සරණ කොට ගියේ වේද? මේ පමණකින් හේ උපාසක වේ යයි දේශනා කළහ. බුදුන් දහම් හා සඟුන් සරණ කොටයන්නේ උපාසක හෙවත් බෞද්ධයා නම් වේ. බෞද්ධ සමාජයේ මූලික පදනම වූ පුද්ගලයා පිළිබඳව මෙයින් ප්‍රකට කෙරේ. මහානාම ශාක්‍ය රජතුමා නැවතත් ස්වාමීනී, උපාසක තෙමේ කොපමණකින් ශීල සම්පන්න වේදැයි ඇසීය.

“යතෝ ඛෝ මහානාම, උපාසකෝ පාණාතිපාතා පටිවිරතෝ හෝති. අදින්නාදානා පටිවිරතෝ හෝති. කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති. මුසාවාදා පටිවිරතෝ හෝති. සුරාමේරය මජ්ජපමා දට්ඨානා පටිවිරතෝ හෝති. එත්තාවතා ච ඛෝ මහානාම, උපාසකෝ සීල සම්පන්නෝ හෝති.”

මහානාම, යම් තැනක පටන් සතුන් මැරීමෙන් වැළකුණේ වේද? නුදුන් දෙය ගැනීමෙන් වැළකුණේ වේද? මෙවුන්දම්හි වරදවා හැසිරීමෙන් වැළකුණේ වේද? බොරුකීමෙන් වැළකුණේ වේද? මදයට පමාවට කරුණු වූ රහමෙරින් වැළකුණේවේද? මෙපමණකින් උපාසක තෙමේ ශීලයෙන් යුක්ත වූවෙක් වන්නේයයි බුදුරජාණන් වහන්සේ පිළිතුරු දී වදාළහ. මෙයින් වඩාත් පැහැදිළි වන කරුණක් වන්නේ උපාසක හෙවත් බෞද්ධයා සිල්වත් විය යුතු බවයි.

ඒ සඳහා පන්සිල් මුල් වන බව පැහැදිළිය. එය තව දුරටත් පැහැදිළි කරත හොත් බෞද්ධ සමාජය භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිවුවනක් පිරිසෙන් යුක්තය. බෞද්ධ සමාජය ගිහි/ පැවිදි වශයෙන් ප්‍රධාන කොටස් දෙකකට බෙදේ. පස්වග තවුසන්ගේ පැවිදි වීමත් සමගම ආරම්භ වූ පැවිදි සමාජය භික්ෂු, භික්ෂුණී වශයෙන් දෙකොටසකට බෙදුණි. යස කුල පුත්‍රයාගේ මව් පිය දෙදෙනාගෙන් ආරම්භ වූ ගිහි සමාජය උපාසක, උපාසිකා වශයෙන් ද සකස් ව පොදු ආයතනයක් ලෙසින් බෞද්ධ සමාජය සකස් වුණි. මෙම සමාජය තුළ ජාති, කුල, ගෝත්‍ර, පක්ෂ ආදී කිසිදු භේදයක් නොමැත. ඕනෑම කෙනෙකුට එහි දොරටු විවෘතව පවතී.

බෞද්ධ සමාජය තුළ දක්නට ලැබෙන්න ප්‍රධාන ම ලක්ෂණය ශීලය යි. ඒ තුළින් පුද්ගලයාගේත් සමාජයේත් සංවරය, සංසුන්කම ශීලයෙන් සිදු කෙරේ. බෞද්ධ සමාජය තුළ දක්නට ලැබෙන්නේ මුලින් සඳහන් කළ පරිදි පංච ශීලයයි. ඒවා මෙසේය.

01. පාණාතිපාතා පටිවිරතෝ හෝති – පරපණ නැසීමෙන් වැළකුනේ වෙයි. සතෙකුවීමත්, සතෙකුයැයි හැගීමත්, මරණ චේතනාවත්, මැරීම සඳහා කරන උපක්‍රමයත්, ඒ උපක්‍ර‍්‍රමයෙන් මරණය සිදු කිරීමත් යන අංග පස සම්පූර්ණ වූ පසු මේ සතුන් මැරීම නම් වූ පාණාතිපාතය සිදුවේ. එයින් වැළකීම මෙහි දී ගනු ලැබේ.

02. අදින්නාදානා පටිවිරතෝ හෝති - සොරකම් කිරීමෙන් වැළකුණේ වෙයි. අන්සතු නොදුන් දෙයක් සොර සිතින් ගැනීම, සොරකමයි. අන්සතු දෙයක් යයි දැන ගැනීමත්, සොර සිතින්, නොදුන් දෙයක් ගැනීමට කරන උපක්‍රමයත්, ඒ උපක්‍රමයෙන් පැහැර ගැනීමත් යන අංග පස සම්පූර්ණ වූ විට අදින්නාදානය සිදුවේ. එයින් වැළකීම මෙහිදී ගනු ලැබේ.

03. කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති – කාමයේ වරදවා හැසිරීමෙන් වැළකුණේ වෙයි. මෙවුම්දම්හි වරදවා හැසිරීම නම් වූ කාම මිථ්‍යාචාරය තමාට නිත්‍යානුකූලව හිමි නොවූ කාම වස්තුවක්වීම, එහි යෙදීමෙහි සිත, සේවනය සඳහා උපක්‍රම යෙදීම, එය සිතින් ඉවසීම යන අංග සතර සම්පූර්ණ වූ විට කාම මිථ්‍යාචාරය සිදුවූයේ වෙයි. එයින් වැළකීම මෙහිදී ගනු ලැබේ.

04. මුසාවාදා පටිවිරතෝ හෝති - බොරු කීමෙන් වැළකුණේ වෙයි. බොරු කීම නම් අනුන් රවටන අදහසින් යුක්තව අසත්‍යයක් කීම ය. අසත්‍යයක් වීමත්, රවටන සිතත්, එයට නිසි උපකරණ යෙදීමත්, එමගින් අනුන් රැවටීමත් යන අංග සතර සම්පූර්ණවූ විට මුසාවාදය සිදු වූයේ වෙයි. එයින් වැළකීම මෙහි දී ගනු ලැබේ.

05. සුරාමේරය මජ්ජ පමාදට්ඨානා පටිවිරතෝ හෝති. - සුරා පානයෙන් වැළකුණේ වෙයි. සුරාව මදයටත් ප්‍රමාදයටත් හේතු වේ. මධ්‍ය පානය නිසා සියලු පාපයනට යොමු වේ. මත්පැන් හා මත් ද්‍රව්‍යය නිසා සිහිය විකල් වූ විට සියලු ආකාරයේ ආගමික හා සදාචාර ගති ගුණ දුරුවී යයි. අමතක වී යයි. තමාට තමාම පාලනය කිරීමේ හැකියාව අතුරුදහන් වෙයි. කායික මානසික දුර්වලතා හටගනී. එයින් වැළකීම මෙහි දී ගනු ලැබේ. බෞද්ධ සමාජය තුළ පංචශීලය අනිවාය¸ අංගයකි. පුද්ගලික වශයෙන් පුද්ගලයා සංවර්ධනයට පැමිණේ. පොදු වශයෙන් සමාජය නිරවුල් වේ. සමාජයේ එකමුතුකමත් නිවන පෙරටු කිරීමත් මෙයින් සිදු වේ. නිත්‍ය ශීලයට අමතරව උපෝසථ දිනයන්හි අටසිල්, දසසිල් ආදී සිල් සමාදන් වීම බෞද්ධ සමාජය තුළ දක්නට ලැබෙන තවත් ලක්ෂණයකි.

බෞද්ධ සමාජය තුළ දක්නට ලැබෙන තවත් ලක්ෂණයක් වන්නේ දස කුසල් ය. දස කුසල් නම් කයින්, වචනයෙන්, සිතින් ඉටුවිය හැකි දුසිරිත් දහයකින් දුරුවීමයි. වෙන්වීමයි.

01. ප්‍රාණඝාතයෙන් වෙන්වීම.
2. අදත්තාදානයෙන් වෙන්වීම.
03. කාම මිථ්‍යාචාරයෙන් වෙන්වීම. – කායික සුචරිත
04. මුසාවාදයෙන් වෙන්වීම.
05. පිසුණාවාචයෙන් වෙන්වීම
06. පරුෂා වාචයෙන් වෙන්වීම
07. සම්ඵප්‍රලාපයෙන් වෙන්වීම - වාචසික සුචරිත
08. අභිධ්‍යාවෙන් වෙන්වීම
09. ව්‍යාපාදයෙන් වෙන්වීම
10. මිථ්‍යාදිට්ඨියෙන් වෙන්වීම – මානසික සුචරිත

මෙම දස කුසල්හි ආචාර විද්‍යාත්මක වටිනාකමක් මෙන් ම අධ්‍යාත්මික වටිනාකමක් ද දක්නට ලැබේ. කායික පැවැත්මත්, වාචසික පැවැත්මත්, මානසික පැවැත්මත්, යහපත් වූ විට සමාජය සුචරිතයට යොමු වේ. කුසල්වලින් පිරිපුන් පුද්ගලයාත්, ඒ පුද්ගලයන් වසන සමාජයත් ලෝභයෙන්, ද්වේෂයෙන් හා මෝහයෙන් දූෂිත නොවෙයි. සමාජය තුළ පරිත්‍යාග චේතනාව, මෛත්‍රීය ආදී ඥානාන්විත සිතිවිලි උපදියි. බෞද්ධ සමාජය තුළ දක්නට ලැබෙන තවත් වටිනා ලක්ෂණයක් වන්නේ දස පුණ්‍යක්‍රියා වස්තුය.

“දානං සීලං ච භාවනා - පත්තිපත්තානුමෝදනා”
“වෙය්‍යාවච්චාපචායන්ති - දේසනා සුති දිට්ඨිජු”

1. දාන – තමා සතු දේ පරිත්‍යාග කිරීමය.
02. ශීල – කය වචනය යන දොරවල් දෙක සංවර කර ගැනීමය.
03. භාවනා – නිවන අරමුණු කොට සිත දියුණු කිරීමය.
04. පත්තිදාන – තමා විසින් කරනු ලබන පින් අනුන්ට දීමය.
05. පත්තානුමෝදනා - අනුන් විසින් කරනු ලබන පින් තමා ද අනුමෝදන් වීම ය.
06. වෙය්‍යාවච්ච – වතාවත් කිරීමය.
07. අපචායන – වයසින් වැඩිහිටියනට වැඳුම් පිදුම් කිරීම ය.
08. දේසනා - අනුන් යහමග යැවීමට අවවාද අනුශාසනා කිරීම ය.
09. සුති – යහමග යැවීම සඳහා උදව් උපකාර වන දහම් ඇසීම ය.
10. දිට්ඨිජු - වැරැදි දෘෂ්ටීන්ගෙන් මිදී සෘජු දෘෂ්ටීන්ගෙන් යුක්ත වීම ය.

මේ දස පුණ්‍ය ක්‍රියා පොදුවේ ගත් කල බෞද්ධ සමාජය තුළ දක්නට ලැබෙන වටිනාම ක්‍රියාවලියකි.

සමාජයක මූලය පුද්ගලයාය. පුද්ගල පාරිශුද්ධියට අදාළ වන කරුණු ලෙස ශීල, භාවනා, දිට්ඨිජුකම්ම යන තුන දැක්විය හැකිය. ශීල, භාවනා දෙක තුළින් පුද්ගලයා තිදොරින් සංවරවූවෙකු කරයි. දිට්ඨිකම්මයෙන් පුද්ගලයා වැරැදි ඉවත දමා, නිවැරැදි අවබෝධයක්, හරි දැක්මක් ලබයි. මෙවන් ගුණ පුද්ගලයා තුළ ඇතිවීමෙන් එවන් පුද්ගල සමූහයකින් සමාජය සකස් වේ. ඒ සමාජය තුළ මේ ලක්ෂණ පහළ වේ නම් ඒ සමාජය කොතරම් අගනේද? ඔවුහු දියුණු වූ විචාර පූර්වක චින්තනයට නැඹුරුවූවෝ වෙති.

මෙහි දක්වන ලද දාන, පත්තිදාන, පත්තානුමෝදනා, වෙය්‍යාවච්ච, අපචායන, ධම්මදේසනා, ධම්මසවණ යන පුණ්‍ය ක්‍රියා හත පුද්ගලයා සමාජය හා සම්බන්ධ කෙරෙන, සමාජයේ ධාර්මික පැවැත්මට අවශ්‍ය වන කරුණු ලෙස දැක්විය හැකිය. දානය තුළින් සමාජයේ ඇති නැති දෙපක්ෂය අතර ඇතිවිය හැකි ගැටුම් නැතිකර, අන්‍යෝන්‍ය ප්‍රියශීලීභාවය උදා කරයි. පත්තිදාන හෙවත් පින්දීම මෙයින් කෙරෙනුයේ තමා කරන යහපත් ක්‍රියාවකට අනුන් ද සම්බන්ධ කර ගැනීමය.

පත්තිදාන හෙවත් පින් අනුමෝදන්වීම යනු අනුන් කරන යහපත් ක්‍රියාවලට තමා ද සම්බන්ධවීමයි. තමන් යහපත් හොඳ ක්‍රියාවක් කරනවිට හැකිතාක් අනුන් ද ඊට සහභාගි කරවා ගැනීම බෞද්ධ සමාජය තුළ දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයකි. මෙයින් පුද්ගලයා තුළ පවත්නා අන්තුක්කංසනය හෙවත් තමන් හුවා දැක්වීම, ආත්මාර්ථකාමිත්වය වැනි නරක ක්‍රියා දුරු වී සමාජ සුභ සිද්ධිය උදාවෙයි.

ඉතිරි කොටස දෙසැම්බර් 25 වනදා