Print this Article


තැවීම සහ පසුතැවීම

තැවීම සහ පසුතැවීම

බෞද්ධ දර්ශනයට අනුව තැවීම සහ පසුතැවීම පිළිබඳව විමසා බැලිය යුතුයි. වර්තමාන සමාජය තුළ බොහෝ අවස්ථාවල “මම තැවෙනවා, මම පසුතැවෙනවා”, කියන ප්‍රකාශය මිනිසාගේ මුවින් වරින් වර ප්‍රකාශ කරනු ලබයි.

සත්‍ය වශයෙන්ම තැවෙනවා සහ පසුතැවෙනවා කියන ප්‍රකාශනය බොහෝ විට සාමාන්‍ය සමාජයේදී බොහෝ විට ප්‍රකාශ කරනු ලබන්නේ, තමන් කරපු දෙයක් හෝ තමන් නොකරපු දෙයක් සම්බන්ධව තමන් මේ මොහොත වන විට දුකට, අසහනයට හෝ කළකිරීමට පත් වෙනවාය කියන අර්ථයෙනි. නිදසුනක් ලෙස තමන් දරුවන්ට ඉතාම දුක් මහන්සි වී වැඩිදුරටත් උසස් අධ්‍යාපනය ලබාදීම සඳහා ඔවුන් එංගලන්තය , ඕස්ට්‍රේලියාව වැනි රටවල්වලට යැවූ මව්පියන්, එහිදීත් ඔවුන්ට ඉගෙනීමට අවශ්‍ය සියලු වියදම් දරල, අධ්‍යාපනය ලැබීමෙන් පසුව අවසානයේ ඔවුන් මෙරටට නොපැමිණියහොත් බොහෝ විට එම මව්පියන්ගේ මුවින් නිකුත්වෙන අදහස් අතර, තම දරුවන් විදේශ අධ්‍යාපනය ලබාගැනීමට පිටත් කර යැවීම පිළිබඳව තමන් පසුතැවෙනවා.

තමන් තැවෙනවා, කියන ප්‍රකාශය ඔවුන් ගෙන් අපට අසන්නට ලැබෙනවා. තමන් විසින් ගනු ලැබූ තීරණය යහපත් දෙයක් නොවන බවට ඔවුන් තීරණය කරනු ලබනවා. ඒ නිසයි ඔවුන් “තැවෙනවා “ සහ “පසුතැවෙනවා “ කියන වචනය මෙවැනි තත්ත්වයකදී ප්‍රකාශයට පත් කරන්නේ. එම දෙමාපියන් විසින් දරුවන්ට ඉගැන්වීමට ගත් තීරණය හෝ එම දරුවන්ට ඉගැන්වීම සඳහා කරනු ලැබූ වියදම් සහ කැපකිරීම්, ඔවුන් විදේශ රටවලට පිටත්කර යැවීම වරදක් ලෙස තමන් කළ වැරැදි ක්‍රියාවක් ලෙස ඔවුන්ට කල්පනා කිරීමට සාධාරණ හේතු සාධක තිබෙනවාද? සත්‍ය වශයෙන්ම නැත.

මේ මොහොතේ ඔවුන්ගේ ප්‍රකාශ තුළ දක්නට ලැබෙන්නේ හුදෙක්ම ආත්මාර්ථය කියන මනෝභාවය පිළිබඳවයි. එකී ආත්මාර්ථය සාධනය කරගන්නට නොහැකි වීම නිසා ඔවුන් ඉච්ඡාභංගත්වයට ,අපේක්‍ෂා සුන් වී යාමට පත්වූ පිරිසක් බවට පත්වීම නිසා ඔවුන්ගේ දුක් අදෝනාවන් නිතර නිතර සමාජයෙන් අසන්නට අවස්ථාව ලැබෙනවා. එම දෙමාපියන් විසින් දරුවන්ට ඉගැන්වීම සම්බන්ධව ඔවුන් ගත්ත තීරණය ඉතාම නිවැරැදි තීරණයක්. සිදුකරනු ලැබූ කැපකිරීම ඉතාම නිවැරැදි කැපකිරීමක්. එය වැරැද්දක් හෝ සාවද්‍ය මානසිකත්වයක් මත පදනම් වෙලා ගනු ලැබූ තීරණයක් නොවේ.

ඉහත උදාහරණය දෙස සලකා බැලීමේදී මිනිසුන්ට තවමත් “තැවීම” “පසුතැවීම” පිළිබඳව කාරණාවන් සම්බන්ධව පුළුල් අවබෝධයක් ලැබී නැති ආකාරයයි. අප ලොව්තුරා බුදුපියාණන් වහන්සේ,

ඉධ තප්පති, පෙච්ච තප්පති,
පාපකාරි උභයත්ථ තප්පති
පාපං මේ කතන්ති තප්පති
භිය්‍යො තප්පති දුග්ගතිං ගතො

යනුවෙන් දේශනා කොට තිබේ. මෙහිදීත් තැවෙයි. පසුවද තැවෙයි. පව්කළ තැනැත්තා දෙලොවම හෙවත් අවස්ථා දෙකේදීම තැවෙයි. මා විසින් පව්කරන ලද්දේ වී යැයි දුගතිගාමි වීමෙන් පසුව වඩ වඩාත් තැවෙයි. මේ අනුව “තැවීම” සහ “ පසුතැවීම” මේ ලෝකයේදීත් පරලොවදීත් සිද්ධ වෙන්නා වූ කාරණයක් ලෙස වදාරණ බුදුරජාණන් වහන්සේ එකී “ තැවීම” හෝ “ පසුතැවීම” කෙනෙකුට ඇතිවන්නේ තමන් විසින් කරන ලද පව් හෙවත් වැරැදි පිළිබඳව යැයි මෙහිදී අවධාරණය කර තිබෙනවා.

අපගේ ධර්මයට අනුව “ තැවීම” සහ පසුතැවීම සාකච්ඡා කරන්නේ පාපයේ ප්‍රතිඵලයක් ලෙස සහ වැරැදිවල ප්‍රතිඵලයක් ලෙස ගොඩනැඟෙන මනෝභාවයන් පිළිබඳවයි. නමුත් වර්තමාන සමාජය “ තැවීම” සහ “ පසුතැවීම” සාකච්ඡා කරනු ලබන්නේ තමන් විසින් සිදුකරන ලද වැරැදි, පව් පදනම් කරගෙන නොව බොහෝ විට තම ආත්මාර්ථය සාධනය කරගැනීමට නොහැකි වීම, ඉච්ඡා භංගත්වයට පත්වීම, වැනි තත්වයන් මත පිහිටමින් ඔවුන් මෙකී ප්‍රකාශන බොහෝ විට සිදුකරනු ලබන්නේ.

බුදුරජාණන් වහන්සේ තැවීම සහ පසුතැවීම සම්බන්ධව ඉදිරිපත් කරනු ලැබු පාපය සම්බන්ධව අදහස් ඉතා ගැඹුරින් තේරුම් ගැනීමට ඔබ ප්‍රථමයෙන්ම උත්සාහ කළ යුතුයි. තැවීමක් හෝ පසුතැවීමක් ඉතාමත් නිවැරැදි අර්ථාන්විත තත්වයට පත්කර ගැනීමට හැකිවන්නේ ඒ පිළිබඳ බෞද්ධ අර්ථකථනය පුළුල් ලෙස අවබෝධ කරගැනීමෙන් පසුවයි.

නවසිය අනූනව දෙනෙක් ඝාතනය කරනු ලැබූ අංඟුලිමාල නම් වූ මිනීමරුවකු සම්බන්ධව තොරතුරක් බෞද්ධ සාහිත්‍යයේදී සඳහන් වෙනවා. ඔහු ගෞතම බුදුපියාණන් වහන්සේ මුණ ගැසීමත් සමගම තම පවින් පිරුණ ජීවිතය සම්පූර්ණයෙන්ම අතහැර දමනවා. පසුකාලීනව භික්‍ෂුවක් වන මෙම තරුණයා අංඟුලිමාල තෙරුන් නමින් ප්‍රකට වෙන අතරම මහරහත් වහන්සේ නමක් වූ බවටත් බෞද්ධ සාහිත්‍ය සාක්‍ෂි දරනවා.

අංඟුලිමාල තෙරුන්, අංඟුලිමාල ගිහියෙක් විදිහට කරනු ලැබූ කටයුතු සම්බන්ධ හැසිරුණු ආකාරය සම්බන්ධ ඇතිකර ගනු ලැබූ ගැඹුරු නිවැරැදි පසුතැවීමක් තුළයි අංගුලිමාල කියන රහතන් වහන්සේ නිර්මාණය වන්නේ. ඔහු පසුතැවුනේ කුමක් පිළිබඳවද? මිත්‍යා දෘෂ්ටියක් තුළින් මෙහෙයවනු ලැබු ඔහුගේ මනස තුළ ගොඩනගනු ලැබූ ව්‍යාපාද සංකල්පය පිළිබඳව ඔහු පසුතැවුණා. එනම් ඉතාම නිවැරැදිව ඔහු එය හඳුනාගනු ලැබුවා. එය අවබෝධකර ගත්තා. අංඟුලිමාල තෙරුන් නිවැරැදි පසුතැවීමකට ගමන් කරපු නිසයි රහතන් වහන්සේ නමක් නිර්මාණය වුණේ.

ඒ පසුතැවීම යන්නෙන් අදහස් කරනු ලබන්නේ තමන් කරන ලද වරදට අදාළ වරදකාරි චෛතසිකය තේරුම් අරගෙන එම අකුසල චෛතසිකයෙන් සම්පූරණයෙන්ම නිදහස් වීම හෙවත් ඉවත්වීමයි. මෙහිදී වටහාගත යුතු ඉතාම සංකීර්ණම කාරණය තේරුම් ගැනීම සහ ඉවත්වීම කියන කාරණය එකම මොහොතක සිදුවන දෙයක් ලෙස යම් වරදක් සම්බන්ධව අවබෝධය ලැබුවාය යනු එම වරදින් ඉවත්වුණා කියන එකයි. වැරැදි සම්බන්ධව දැණුම තියෙන අය බොහෝ විට නැවත නැවතත් වැරැදි කිරීමේ අවස්ථාව තියෙනවා.

එහෙත් වැරැදි කිරීම සම්බන්ධව කරන වැරැදිවලට අදාළ වූ චෛතසිකයෝ සම්බන්ධව යම් කිසි කෙනෙකුට පූර්ණ අවබෝධයක් පහළ වුවහොත් එය අංඟුලිමාල නම් වූ තරුණයාගේ ජීවිතය බරපතළ වෙනසකට ලක් වුණා වගේම අදාළ පරිවර්තනයක් පුද්ගල අධ්‍යාත්මය තුළ ඇති කරන්නට හේතු සාධක වන කාරණයක් බවට අනිවාර්යෙන්ම පත්වෙනවා. එවිට “ ඉධ තත්පති” හෙවත් ඒ මොහොතේම තැවීම යම් කිසි පව්කරන තැනැත්තකු තුළ නිර්මාණය වුවහොත්, තැවීම සම්බන්ධව පූර්ණ අවබෝධයකුත් ඔහුට පවතිනවා නම්, ඒ මොහොතේ පටන් එම අකුසල ක්‍රියාකාරකමට අදාළ වන්නා වූ අකුසළ චෛතසික ඉදිරියට ගමන් කිරීම නවත්වන්නට ඔහුට හැකියාව ලැබෙනවා. ඒ අනුව පව්කරන අවස්ථාවේ තැවීමක් ඇතිවීම ඔහුගේ විශාල ජයග්‍රහණයක් බවට පත්කරගන්නට හැකියාව ලැබෙනවා. ඒ

මොහොතේ යම් කිසි කෙනෙක් මෙම අවබෝධය කරා ගමන් නොකළහොත් “ඉධ තප්පති” ඔහු තමන් කරන ලද පව සහ අකුසලය සම්බන්ධව පසුතැවීමක් එන අවස්ථාවේ ඔහුට වඩාත් නිවැරැදි වෙන්න තවත් අවස්ථාවක් තිබෙනවා. තමන් මෙහිදී දුකට පත්වීම හෝ අඬා වැළපීම හෝ තමන් ඒ සම්බන්ධයෙන් මේ ලෝක වශයෙන් ලැබෙන්නා වූ දඬුවම ගැන ද්වේෂයට කළකරීමට පත්වීම වැනි මනෝභාවයන් තුළට පත්වෙනවා වෙනුවට,පසුතැවීම ඒ අවස්ථාවේ තමන් විසින් සිදුකරනු ලැබූ, පාපය හා බැඳුණු භයානක කෘර මානසිකත්වය වටහාගතහොත් ඔහුට නිවැරැදි වීමට අවස්ථාවක් උදාවෙනවා.

මෙම අවස්ථා දෙකේදීම නිවැරැදි පසුතැවීමක් ගොඩ නඟා ගැනීමට නොහැකි වුවහොත් දුගතියට ගොස් ඔහුට දුක්ඛිත ස්ථානවල ඉපදීමෙන් ඔහුට වඩ වඩාත් දුකට පත්වෙන්නට සිදුවෙනවා. අහෝ මා විසින් කරන ලද පාපකර්ම නිසා මේ නිරය තුළ උපදින්න වුණා. පේ‍්‍රත ලෝකවල උපදින්නය වුණා. මෙම අමනුෂ්‍ය කොට්ඨාස අතර ඉපදීමට සිදුවුණාය කියා ඔහු වඩ වඩාත් තැවීමට පත්වන්නට පුළුවන්. නමුත් නිරයකදි හෝ පේ‍්‍රත ලෝකයකදි මේ කාරණාව අවබෝධ කරගන්නට තිබෙන අවකාශය මිනිස් ලෝකයකදී අපගේ වරදකාරි චෛතසිකයක් අවබෝධ කරගැනීමට තිබෙන අවස්ථාවට වඩා අල්ප වීම විශාල ගැටලුවක් වෙනවා.

දැඩි දුකක් දැඩි හිංසා පීඩාකාරි අවස්ථාවන්ට පත්වන්නට වන විට බඩගින්න පිපාසාව වැනි ඉතාම දුක්ඛිත පරිසරයකට පත්වෙන්නට සිදු වන විට,අවබෝධය කරා යාම අතිශයින් දුෂ්කර වෙනවා. තමන්ගේ චෛතසිකය තේරුම් ගන්නවා වෙනුවට ඔහු හෝ ඇය දුගතියකදී තමන් දුක්විඳිනවා කියා කළකිරීමට පත්වීම පමණයි. පෙර කරන ලද කරුම නිසා දුක්විඳිනවා කියල කිව්වත්, ඒ කර්මවලට අදාළ චෛතසික මනෝභාවයන් තේරුම් ගැනීමක් බවට පත්වන්නේ නැහැ. එබඳු ගැඹුරු අවබෝධයක් ලබාගැනීමට අවශ්‍ය පරිසරය සිවු අපාය තුළම ඉපදුන කෙනෙකුට උදාවන්නේ නැති නිසා.

පව්කරන පුද්ගලයෝ ඒ අවස්ථාවේ දුක්වීම හා වේදනාවට පත්වීම වෙනුවට කළ යුත්තේ කරන පවට අදාළ මානසිකත්වය අවබෝධ කරගැනීමයි. පසුව කළ කරපු පව් ගැන සිහිපත් කරල අඬා වැළපීම වෙනුවට ඔවුන් කළ යුත්තේ, එකී තත්වයට පත්වීමට තමන් බලපෑ ඒ මනෝභාවයන් වටහාගෙන ඒ මනෝභාවයන් තුළින් නිදහස් වීමයි. නිවැරැදි පසුතැවීමක් ඔබ තුළ ගොඩනඟාගෙන ඔබ විසින් ලැබුවාවු උතුම් මිනිස් ආත්මභාවය තුළ වඩාත් අර්ථවත් කරගැනීමට උත්සාහ කළ යුතුය.