Print this Article


පුණ්‍ය ශක්තියයි මිතුරු ඇසුරයි

පුණ්‍ය ශක්තියයි මිතුරු ඇසුරයි

බුදුරජාණන් වහන්සේ පැහැදිළි කරනු ලැබූ ධර්මයද නිවන් මඟ සඳහාද ගිහිජීවිතයේ ජයග්‍රහණය සඳහාද හේතු වූවකි. ඇතැම්හු ඒ මගේ ගොස් සංසාරය දිනති. ඇතැම්හු ඒ මගේ ගොස් ගිහි ජීවිතය දිනති. මෙසේ ජයග්‍රහණය සඳහා යාමට මහෝපකාරි වන බුදු දහම මිතුරු දම් රැකගෙන වැඩිය යුතු දහමක් ලෙස දක්වා ඇත.

සිද්ධාර්ථ කුමාරයා කිඹුල්වත් නුවර රජමාලිගාවේ සිට මහාභිනික්මන් කරනු ලැබුවේ ඡන්න නමැති සේවකයාගේද සහාය ඇතිවය. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වූ පසු ඡන්න ඇමැතියාද ගිහිගෙය කළකිරී පැවිදි දම් පුරන්නට බුදු සසුනෙහි පැවිද්ද ලබාගත්තේය.

බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලබා සමාජයට ධර්ම දේශනා කරන්නට පටන් ගත්හ. උන්වහන්සේ තමන් වහන්සේගේ අනුගාමිකයන් සහිත සංවිධානයක් ගොඩනඟා ගනු ලැබූහ. භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා නම් වූ පිරිස් හතර බුද්ධ ශාසනයේ සම අයිතිකරුවෝය. එයින් භික්‍ෂු භික්‍ෂුණී දෙපාර්ශ්වය පූර්ණ කාලීන වශයෙන් බුද්ධ වචනයට අනුවද, උපාසක උපාසිකා දෙපක්‍ෂය අර්ධ කාලීන වශයෙන් බුදු දහම අනුගමනය කිරීමටද කැප වූහ. මේ විදිහට ශාසනික සංවිධාන ස්වරූපය වඩාත් පුළුල්වත්, ක්‍රමානුකූලවත්, සකස් වී ගියේය. බුද්ධ ශාසනයට පූර්ණ කාලීනව ඇතුළත් වූ පිරිසට ද අන්‍ය අයටද තනතුරු ප්‍රදානය කොට ඔවුන්ගේ ශාසනික සේවය ස්ථාපිත කරවීමට බුදුරජාණන් වහන්සේ කටයුතු කළහ. බුදුරජාණන් වහන්සේ කිසියම් කෙනෙකුට තනතුරක් ප්‍රදානය කිරීමේදි කරුණු තුනක් පිළිබඳව සැළකිල්ල දක්වා ඇති බව පෙනේ. එනම්

1. පෙර සංසාරයේ පුණ්‍ය මහිමය
2. තනතුරට ලබා ඇති සුදුසුකම්
3. තනතුර ලැබුණ පසු ඒ පිළිබඳව දක්වන කැපකිරීම
යන කාරණා තුනයි. උන්වහන්සේ මෙම කරුණු කාරණා පිළිබඳව අවධානය යොමු කළා මිස, පුද්ගල දැන හැදුනුම්කම් හෝ වෙනත් සබඳකම්, සහ වෙනත් කෙටි මාර්ග පිළිබඳව අවධානය යොමු කරනු ලැබුවේ නැත.

බෝධි සත්වයන් වහන්සේ බුද්ධත්වය ලබාගැනීම සඳහා ගිහිගෙයින්,අභිනික්මන් කළ අවස්ථාවේ උන්වහන්සේගේ සහායට හිටියේ ඡන්න ඇමැතියාය. පැවිදි වූ පසු ඡන්න හාමුදුරුවන් වහන්සේය. පසුව පැවිදි වූ අනෙක් අයටත් තනතුරු ලැබුණද තමන් වහන්සේට බුද්ධ ශාසනයේ කිසිම තනතුරක් නොලැබීම පිළිබඳව උන්වහන්සේ කාලය ගත කරනු ලැබුවේ නොමනාපයෙනි. කලින් සිටම තමන් දන්නා හඳුනන බුදුරජාණන් වහන්සේ පසුව දැන හදුනාගත් අයට විවිධ තනතුරු ලබාදුන්නට තමන් වහන්සේට තනතුරක් ලබා නොදීමෙන් බුදුරජාණන් වහන්සේ මුල අමතක කර දැමුවා නොවේදැයි උන්වහන්සේගේ නොදැනුවත්කමට කල්පනාවට ආවේය. හිතේ තිබුණ නොමනාප සහගත සිතිවිල්ල වරින් වර මතකයට එන විට හිත උහුලන්නේ නැත. “දැන්නම් වමත් සව්, දකුණත් සව් වෙන වෙනත් සව් ආදි වශයෙන් විවිධ තනතුරු දරන්නෝ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ බොහෝය. නමුත් එදා රාත්‍රී අභිනික්මන් කරන වෙලේ ඔය කිසිවෙක් බුදුහිමියන් සමග සිටියේ නැත. උන්වහන්සේ සමග උන්නේ මම විතරයි “ ආදි වශයෙන් තැනින් තැන කිය කියා දෑගසවුවන් වහන්සේලාට විවිධ අපවාද සිදුවන පරිදි කතාකරන්නට විය. ඡන්න හාමුදුරුවන් තුළ පවතින භික්‍ෂුවකට කැපසරුත් නොවන මේ නරක ගති සිරිත් පිළිබඳව ආරංචිය බුදුරජාණන් වහන්සේටද දැනගන්නට ලැබිණි. බුදුරජාණන් වහන්සේද වරින් වර ඡන්න හිමියන් කැඳවා මෙබඳු ප්‍රකාශ නොකරන්නැයි අවවාද කරනු ලැබුවද ඡන්න හිමි බුදුරජාණන් වහන්සේ උපදෙස් දෙන වෙලාවට සියල්ල නිහඬව අසා සිට පසුව පෙර සේම කටයුතු කරන්නට පටන් ගත්හ.

ඡන්න හිමියන්ගේ මේ නොමනා ක්‍රියා කලාපය නිසා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළ වාර අනන්තය. උන්වහන්සේ බොහෝ අවස්ථා වල දේශනා කරනු ලැබුවේ මෙපරිදිය.

පවිටු මිතුරන් සහ අධම මිතුරන් ඇසුරෙන් වළකින්න. කළණ මිතුරන් සහ උතුම් මිතුරන් ඇසුරු කරන්න යනුවෙනි. බුදුරජාණන් වහන්සේ කළණ මිතුරන් සහ උතුම් මිතුරන් ලෙසද මෙහිදී සළකනු ලැබ ඇත්තේ සැරියුත් , මුගලන් ආදි මහරහතන් වහන්සේලාය. අධම මිතුරන් සහ පවිටු මිතුරන් ලෙස දක්වා ඇත්තේ හරි වැරැද්ද නිවැරැදිව තෝරා බේරා ගන්නට අසමත් තමන්ගේ ලාභය හා වාසිය ගැනම පමණක් සිතා මෙය මෙසේ විය යුතු යැයි සිතන ඡන්න හිමියන් වැනි අය පිළිබඳවය. මෙම ගාථා ධර්මය දේශනා කිරීමට හේතුවූ සමාජ පරිසරය අනුව භික්‍ෂූන් වහන්සේ පමණක් උපමාවට ගනු ලැබුවද, ගිහි සමාජය තුළද මෙවැනි සිරිත් නැත්තෝ නොවේ. ගිහි සමාජයේද ස්ත්‍රි පුරුෂ දෙපාර්ශවයම මෙම අංශ දෙකම නියෝජනය කරන්නෝ වෙති. ඡන්න හිමියන් බුදු බණ අසා ද සිය වැරැදි නිවැරැදි කර නොගත්තාසේම වර්තමාන ගිහි සමාජය තුළද වරද, නිවරද දැන දැන ද තමන්ගේ වරද හදාගන්නේ නැත්තෝ වෙති. එබඳු අයට එබඳු මානසික තත්වයන් ලැබුණේ ඇයි? බුදුදහමට අනුව මෙබඳු සිද්ධියක හේතු කාරණා නිවැරැදිව තෝරා බේරා ගෙන විමසා බලන්නෙකුට පැහැදිළි වන්නේ පෙර සංසාර ගතිය සහ ලැබුණු සමාජ ඇසුර නිසා එබඳු තත්ත්වයකට පත්වී ඇති බව

මෙම කතාවෙන් පැහැදිළිවන කරුණු කාරණා දෙකක් මතුකර ගත හැකිය. එනම්
1.සමාජයේ ජීවත්වන විට ඇසුරට මිතුරන් අවශ්‍ය වන බව
2.තමා ඇසුරු කරන මිත්‍රයා අනුව බොහෝ විට තමාගේ ගති සිරිත් ද වෙනස් භාවයට ලක්වන බවය.

බුදුරජාණන් වහන්සේ පැහැදිළි කරනු ලැබූ ධර්මයද නිවන් මඟ සඳහාද ගිහිජීවිතයේ ජයග්‍රහණය සඳහාද හේතු වූවකි. ඇතැම්හු ඒ මගේ ගොස් සංසාරය දිනති. ඇතැම්හු ඒ මගේ ගොස් ගිහි ජීවිතය දිනති. මෙසේ ජයග්‍රහණය සඳහා යාමට මහෝපකාරි වන බුදු දහම මිතුරු දම් රැකගෙන වැඩිය යුතු දහමක් ලෙස දක්වා ඇත.වරක් බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන් අමතා ප්‍රකාශ කරනු ලබන්නේ සම්පූර්ණ බුදුදහමම මිත්‍රත්වය මතම ගොනු කරනු ලැබ ඇති බවය. බුදු දහමෙහි මිතුරු ඇසුර නරක දෙයක් ලෙස දක්වන්නේ නැත. බුදුදහමෙහි දක්වන්නේ නරක ගති සිරිත් සහිත මිතුරන් ඇසුරු නිසරු කරන්නන්ටද එම ගති සිරිත් හුරු පුරුදු වන බවය. හොඳ මිතුරන් ඇසුරු කරන්නන්ට ද බොහෝ විට හොඳ ගතිසිරිත් ද ඉඳහිට නරක ගතිසිරිත් ද ඇතැම් විට ඇති විය හැකිය. තමන්ගේ ඇසුරට මිත්‍රයකු තෝරා ගැනීම සාමාන්‍යයෙන් ලෙහෙසි කාර්යයක් නොවේ. නරකට නරක එකතු වන්නා සේම කෙනෙක් ඇසුරට ඒමේදී තමන්ගේ ගතිසිරිත් ද බලපානු ලබයි.

සාමාන්‍යයෙන් කෙනෙකුට සිටින මිතුරෝ වර්ග කිහිපයකි. එනම්

කෙටි කාලීන මිතුරෝ, දීර්ඝකාලීන මිතුරෝ, විවිධ අරමුණු සඳහා එක්වන මිතුරෝ ආදි වශයෙනි. නමුත් මේ ස්වභාවයන් හරි හැටි දැන හඳුනාගන්නේ නැතිව තමන්ට උදව් පදව් කරන හා තමන්ගේ ගුණ පිරිස ඉදිරියේ වණන පුද්ගලයෝ තමන්ගේ මිතුරන් ලෙස සැළකීම සාමාන්‍ය සිරිතයි. තමන්ට උදවු පදවු කරන පුද්ගලයා හොඳ කෙනෙකුට හැටියට සළකන්නේ ආත්මාර්ථකාමී මිතුරාය. ඔහු හැමවිටම කල්පනා කරන්නේ තමන්ගේ මිතුරන් තමන්ට උදවු පදවු කළ යුතු බවය. තමන්ගේ ගැන වුව වර්ණනා කළ යුතු බවය. එසේ කරනු ලබන මිතුරා හොඳ මිතුරකු ලෙස එබන්දෝ සිතති. නමුත් එසේ තමන්ට ඇප උපස්ථාන කරන්නේද තමන්ගේ ණැන නුවණ වර්ණනා කරන්නේද කුමන අරමුණකින්දැයි සොයා විමසා බලන්නේ නැත.

සාමාන්‍යයෙන් කෙනෙකුගේ ජීවිතය ක කෙටිකාලීන මිතුරෝ බොහෝය. විවිධ අරමුණු සඳහා එකතුවන මිතුරෝ ද බොහෝය. දීර්ඝ කාලීන සිටින මිතුරෝද දවසින් දවස අඩුවනවා මිස වැඩි වන්නේද නැත. මෙසේ සිතන විට කෙනෙකුට තමා ගැන කළකිරීම් ද ඇති විය හැක.මම සමාජයට කොතරම් උදවුකළත් හදිස්සියක දී මට උදවු කරන්න නැතැයි කල්පනා විය හැකිය. සමාජයක ස්වභාවය නිවැරැදිව වටහා නොගත්තෝ මෙසේ සිතති.

නමුත් හැම කෙනෙකුටම පොදු වූ එකම ධර්මතාවය වන්නේ දීර්ඝ කාලීන මිතුරන් අල්ප වශයෙන් සිටීම සහ ඉන්න පිරිසක් දවසින් දවස අඩුපැත්තට වැටීමය. කළණ මිතුරකු ඇසුරු කරන්නට ලැබීම දුෂ්කර එකක් ලෙසත් උතුම් මිනිසකු ඇසුරු කරන්නට ලැබීම පුණ්‍ය ශක්තියක් බවත් යනුවෙන් බුදු දහමෙහි උගන්වනු ලබන්නේ හොඳ මිතුරකු ලබාගැනීම අපහසු වන නිසාය.

ඡන්න හාමුදුරුවන්ට සිදුවූයේ ස්වාර්ථය සහ තනතුරු පිළිබඳ උන්මාදය විසින් හොඳ මිනිසුන්ගේ හොඳ ගති ගුණ නොපෙනීමට පටන්ගැනීමය. ඒකට හේතුව වන්නේ හොඳ මිනිසුන්ගේ හොඳ ගති ගුණ දැකීමට තරම් පිරිසුදු මනසක් නොතිබීමය. ඇස් බාහිරට තිබුණද ඇසට පෙනෙන්නේ සමාජයේ තිබෙන හැමදේම නොවේ. මනස ඇසින් ඉල්ලන දේවල් පමණි. විවිධ ශබ්ද හෝ කරුණු තිබුණාට කනට ඇසෙන්නේ සිත ඉල්ලන දේවල් පමණි. පංච ඉන්ද්‍රිය තුළම ප්‍රධානත්වය පතුරුවා හරිනු ලබන්නේ මනස නිසා සිත සියල්ල පෙරටුව ගමන්කරයි. සිතින් සිතාම මිනිස්සු හොඳ දෙය නරක දෙය කරන්නට හුරුපුරුදු වෙයි. මිත්‍රත්වය ද ලැබෙන්නේ එසේය.

මිත්‍රයකු ලැබෙන්නේ පෙර සංසාරයේ උරුම කරුම අනුව බව බුදුදහමේ පිළිගැනීමයි. සසර පුරුදු ලෙස සංසාරයට ඇදෙන හිතකර හුරු පුරුදු හොඳ මිතුරු දම ඇතිකරනවා මෙන්ම සංසාරගත නරක හුරු පුරුදු සමීප මිතුරු ඇසුරට මිනිසා හුරුකරයි.

බුදු දහමෙහි මූලික ඉගැන්වීම්වල ස්වභාවය මෙන්ම මිත්‍රත්වය ද සදාකාලික නොවේ. එහිද ඇත්තේ වෙනස්වන ස්වභාවයයි. පවිටු මිතුරු ඇසුරෙහි නිතර යෙදී සිටි කෙනකු ඉන් මිදී හොඳ මිතුරු ඇසුරට වැටිය හැකිය. එසේම තමා තුළ තිබුණු යහපත් ගති සිරිත් ඉවත දමා නරක පැත්තට හිත නැඹුරුකළ හැකිය.

සම්පූර්ණ බුදු දහම මිත්‍රත්වය පාදක කරගත්තක් යැයි බුදු දහමෙහි කියනු ලැබුවා මෙන්ම සමස්ත සමාජය තුළම අපිට දක්නට ලැබෙන හැම හුවමාරුවක්ම මිතුරු දම මත කැටි වී තිබේ. ඒවා ඇතැම් විට ඒ ඒ සිද්ධියේදි පමණක් අපට ඇසුරට ලැබෙන මිත්‍රයෝය.

නැත්නම් ආයතනයන්ය. ඇතැම් ඒවා වර්ෂ කිහිපයකට පමණක් මිත්‍රත්වය පවතින ඒවාය. බොහෝ කාලයක් එක දිගට මෙබඳු සහ සම්බන්ධකම් පවතින්නේ කලාතුරකිනි. දීර්ඝ කාලයක් මිත්‍රත්වය පවතින්නේ කිසියම් බැඳීමක් සහිත වුවොත් පමණි. නැදෑකමක් වුවත් ඒ තුළ මිත්‍රත්වය පැවැතිය හැක්කේය. අම්මා සමාජයේ හොඳම මිතුරිය බව “ මාතා මෙත්තං සෙචිගරේ” යනුවෙන් බුදුදහමෙහි දක්වයි. නමුත් ඇතැම් මව්වරුන් දරුවකුට මිතුරකු වනවාට වඩා ආඥාදායක කෙනකු බවට පත්වේ.

අම්මා තුළින් ලෝකය ඉගෙනගන්නා දරුවකුට මිතුරු වෙසින් ඒ දැනුම දීම ඉතාමත් පහසුයි. බුදුරජාණන් වහන්සේ පවිටු මිතුරන් ලෙස දැක ඇත්තේ බුද්ධිමත් නැති ප්‍රායෝගික ඥානයෙන් තොර ඒ විෂය පිළිබඳ හැදෑරීමකින් තොර නිසා අත්දැකීම් අඩු පුද්ගලයන්ය. එබදු අය ඇසුරු නිසරු කිරීමෙන් තමනුත් අවුල්භාවයට පත්වී තමා සාපේක්‍ෂව සමාජයේද එබඳු තත්වයකට පත්කිරීමට තරම් නීරස අත්දැකීම් එකතු කර ගනී. එනිසා එබඳු අයගේ නරක ගති ස්වභාවයන් හඳුනාගෙන ඒවායින් ඈත්වී තමන්ට අවශ්‍ය අංශ ඔවුන්ගෙන් ගන්නට උත්සාහ ගැනීම වැදගත්ය.